මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මේ ක‍්‍රමයේම තවත් එක් කුලකයක් පමණි

iran election violenceකාලාන්තරයක් තිස්සේ සිදුවන ඇතැම් සමාජ විරෝධී ක‍්‍රියාවන් කාලයාගේ ඇවෑමෙන් සාමාන්‍යකරණය වන බව අප අත්දැකීමෙන් දන්නා දෙයක්. රටේ ප‍්‍රධාන පුරවැසියන් හෝ බලය සහිත පුරවැසියන්ට අදාළ නීතිය මෙයින් එකක්. ‘ ඕව ඉතින් ඔහොම තමයි’ යනුවෙන් පවසා අදාළ තත්වයන් පිළිබඳ ‘හිත හදාගන්න’ මේ වන විට අපි කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් පුරුදුවෙලා තියෙන්නේ. මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හා පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කියන කාරණාවත් ඒ වගේමයි.

1970 දී පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරදවල මැතිනිය බලයට ආපු සමගි පෙරමුණු ආණ්ඩුව ආරම්භයේ, සමගි පෙරමුණට සහාය දක්වපු පිරිස් ජයග‍්‍රහණ ප‍්‍රීතිය භුක්ති වින්දෙ පරාජය වුණු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට පහර පිට පහර දීලා. පස්සෙ 1977 දී ධර්මිෂ්ඨ සමාජයක් වෙනුවෙන් බලය ඉල්ලපු ජේ.ආර්. උන්නැහේ ජයග‍්‍රහණය කළාම ඒ සතුට සැමරුවේ සමගි පෙරමුණු ආණ්ඩුවේ ක‍්‍රියාව ඩබල් කරල. ඒ කියන්නේ ධර්මිෂ්ඨ සමාජයක් වෙනුවෙන් බලයට ආපු ජේ.ආර්. උන්නැහැ දින ගණනක් පොලිසියට නිවාඩු දුන්නා. ජයග‍්‍රහණය කරපු එක්සත් ජාතික පාක්ෂිකයන් පැරදුණු නිදහස් පක්ෂ සාමාජිකයන්ට පහර දීලා ඇති තරම් සතුට සැමරුවා. 1994 දී චන්ද්‍රිකා මැතිනිය දිනපු වෙලාවෙදිත් මේ තත්වයේ වෙනසක් තිබුණේ නෑ. අපේ වදන් ඉතිහාසයට ‘මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා’ කියල අලූතෙන් වදනක් එකතු වුණේ මේ කියන සංස්කෘතිය ඇතුළේ.

ගැටලූව තියෙන්නේ මේ වෙනකොට මේ සංස්කෘතිය සමාජයේ සාමාන්‍යකරණයට ලක් වීම. වත්මන වෙනකොට මේ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කියන එක මිනිසුන් මරණ තරමට සංකීර්ණ වෙලා. නමුත් සමාජය ඇතුලේ මේක සාමාන්‍යකරණය වෙලයි තියෙන්නේ.

යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් එක් පිලකුත්, දේශපේ‍්‍රමය හා සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් තවත් පිලකුත් ප‍්‍රධාන කරගත්ත තවත් එක් ජාතික මැතිවරණයක අවසානයේ තමයි අපි මේ දිනවල ගත කරන්නේ. මේ මැතිවරණයත් අර අපි මුලින් කියපු අපේ වදන් ඉතිහාසයට එක් කළ වචනයෙන් තොරව සිදු වූ මැතිවරණයක් නෙමෙයි. මේ මැතිවරණය ආරම්භ වුණේම මරණයකින්.

ඒක තමයි විපක්ෂයේ පොදු සන්ධානය වෙච්ච මෛත‍්‍රීපාල සිරිසේනගේ ගාල්ල, වඳුරඹ රැුලියක් සඳහා ඉදි කරමින් තිබූ වේදිකාවක් ගිනි තැබීමේ සිදුවීම. මේ පිළිබඳව අප ‘ජනරළ’ පෙර කලාපවල දී සාකච්ඡුා කළා. කොහොම වුණත් පසුගිය ජනවාරි 05 වැනිදා අලූයම මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවකුට කහවත්තේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු නියෝජ්‍ය ඇමැති පේ‍්‍රමලාල් ජයසේකර විසින් වෙඩි තබා තිබුණා. මෙසේ වෙඩි වැදී තුවාල ලැබූ කහවත්තෙ පදිංචි ශාන්ත දොඩංගොඩ නමැති එක්සත් ජාතික පාක්ෂිකයා රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ගනිමින් සිටිය දී ජනවාරි 07 වැනි දින මරණයට පත් වුණා. ඒ කියන්නේ මැතිවරණයට පෙර දිනයේ දී. මේ පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා.

දැන් මේ කියන්නේ පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ගැන. දේශපේ‍්‍රමය හා සුරක්ෂිත අනාගතයක් උදා කරනව කියපු මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිලා, යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගේන බව කියපු මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා දිනල. සුපුරුදු විදියටම ඕං ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පටන් ගත්ත. ඒකත් මරණයකින්ම තමයි.

පහුගිය ජනවාරි 09 වැනිදා ඒ කියන්නේ මැතිවරණයට පසුදා, තවත් කියනව නම් ඡුන්ද ප‍්‍රතිඵල ආපු ගමන්ම මිහින්තලයේ පලූගස්වැව ප‍්‍රදේශයේ දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර යහපාලනයයි සුරක්ෂිත අනාගතයයි අතර ගැටුමක් ඇති වෙලා. මේ ගැටුමේ උච්චතම අවස්ථාවේ දී එක් අයෙක් තවත් අයෙක්ව තල්ලූ කරල. තල්ලූවෙලා ගියපු එක් අයෙක් බිම වැටිල ඒ හේතුවෙන්ම මිය ගිහින්. මේ එක් මරණයක්.

අනෙක් අවස්ථාව වාර්තාවෙලා තියෙන්නේ හලාවත ප‍්‍රදේශයෙන්. පොදු අපේක්ෂක, එහෙමත් නැත්නම් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දක්වපු හලාවල, බංගදෙණිය ප‍්‍රදේශයේ මංජුල ප‍්‍රසන්න කියන තිදරු පියෙක්ව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් විසින් කපල කොටල මරා දාලා තියෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ ජනවාරි 10 වැනිදා. ඒ කියන්නේ අලූත්ම අලූත් ජනාධිපතිවරයා දිවුරුම් දුන් දිනට පසු දිනයේ දී. ඕං ඔහොමයි මේ මැතිවරණයේ දී පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ආරම්භ වෙලා තියෙන්නේ.

කොහොම වුණත් මේ මැතිවරණය ගැන දිවා ? නිරීක්ෂණය කරපු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියන්නේ පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 48ක් වාර්තා වෙලා තියෙනවා කියලයි. මේ වාර්තාව ජනවාරි 13 වැනිදා වෙනකල් සිද්ද වෙච්ච ඒවා විතරයි. මේ කියන නිරීක්ෂණ සංවිධානවලට අනුව බරපතළ පහරදීම් දෙකක් ඇතුළු පහරදීම් 10ක්, දේපළ හානි කිරීම් 12ක්, වෙඩි තැබීම් 02ක් වාර්තා වෙලා තියෙනවා. මෙම සිද්ධිවලින් පුද්ගලයන් 09 දෙනෙක් රෝහල්ගත කරලත් තියෙනවා. මේ අතරට වෙඩි තැබීම් වගේම ඇසිඞ් ප‍්‍රහාරත් අයිතියි. කොහොම වුණත් පැෆරල් සංවිධානය කියන්නේ දිස්ත‍්‍රික්ක කිහිපයක බරපතළ විදියට මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඉහළ ගිහිල්ලා කියල.

දැන් අපිට තියෙන බරපතළ ගැටලූව තමයි යහපාලනය නැත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ මේකද? එහෙමත් නැත්නම් දේශපේ‍්‍රමයට හා සුරක්ෂිත අනාගතයට මේ කියන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාත් අයිතියිද? නැත්නම් දැන් කාලාන්තරයක් තිස්සේ මේව සිදුවෙමින් එන නිසා දැන් සමාජය සෑම මැතිවරණයකදීම මේ වගේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා (මිනීමැරීම් ඇතුළුව) බලාපොරොත්තු විය යුතුද?

උත්තරේ හරිම සරලයි. එක වචනයයි. ඒ තමයි

”නැත”.

මේ තියෙන්නේ අපිට ආදරෙන් සිදුවන ක‍්‍රියාවලියක් නෙමෙයි. මේ මැතිවරණ ක‍්‍රියාවලියේ දී අපි හැමදාම කළේ ‘ඔළුවෙ අමාරුවට කොට්ටෙ පැත්ත මාරු කරපු එකයි’. කොට්ටේ ඒ පැත්තත් එකයි. මේ පැත්තත් එකයි. වෙනසකට තියෙන්නේ කොට්ටෙ පැත්ත මාරු කළාම ටික දවසක් යනකං ටිකක් සනීපයි. හරියට පුලූන් මෘදු වෙලා වගේ දැනෙන්නේ. හැබැයි ටික දවසක් ගියාම තමයි තේරෙන්නේ මේ තියෙන්නෙත් අර කලින් තිබුණු පුලූන්ම තමයි කියල.

තවත් විදියකට කියනව නම් අපි උඩ පැත්ත ගඳයි කියල ගූ බෙට්ටේ අනිත් පැත්ත කන්න හදනව වගේ. කොයි පැත්ත හැරෙව්වත් ගූ බෙට්ට ගූ බෙට්ටමයි. දැන් සමහර ඊනියා සදාචාරවාදීන් කියයි මේවද පත්තරවල ලියන්නේ කියල. ඇත්ත, මේව පත්තරවල ලියන්න තරමක් අමාරුයි. හැබැයි ලියන්න වෙනවා. මේ සමාජ ක‍්‍රමය අපි තාමත් ගූ බෙට්ටක් විදියට දැකල නෑ. මේක අයිසිං කරපු කේක් එකක් කිවුවම හිතෙනව කමක් නෑ අයිසින් ටික අයින් කළාම කේක් හරි තියෙනව නේද කියල. නෑ. මේකේ කේක් වත් නෑ. තියෙන්නේ ගූ විතරමයි. ඒක කොයි පැත්ත හැරෙව්වත් ගූම තමයි.

එහෙනම් අපි මොකක් කරන්නද? කරන්න තියෙන්නේ එක දෙයයි. මේ මහ කළු ගලක් වගේ පේන මේ සමාජ ක‍්‍රමය වෙනස් කළ යුතුයි. ඒ සඳහා පියවර තැබිය යුතුයි. මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හරි, පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හරි නතර කරන්න නෙමෙයි, මේ ක‍්‍රමයම අවසන් කරන්න අපි පෙළ ගැසෙමු. අපේ වහරෙන් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කියන වචනය විතරක් නෙමෙයි මේ සමාජ ක‍්‍රමයම අයින් කරන්න පෙළ ගැසෙමු. ඒ හැර අපට අන් විකල්පයක් නෑ. වෙන්ව මිය යමුද? එක්ව සටන් කරමුද? තීරණය ඔබේ අතේ.

අවන්ත ඉඩමේගම

Advertisements