පොදුජන බලය නැතිනම් මුකුත් වෙන්නේ නැහැ – ආචාර්ය සුමනසිරි ලියනගේ

Sumanasiri Liyanage1ජනාධිපතිවරණය අවසන්ව නව පාලනයක මුල් හැඩරුව පැමිණ තිබේ. මෙම නව තත්වයට පසුබිම් වූ සමාජ දේශපාලන ක‍්‍රියාකාරීත්වය පිළිබඳ සමාලෝචනයක් සඳහා අපි සමාජ ක‍්‍රියාකාරිකයන් හා විද්වතුන් පිරිසකට ආමන්ත‍්‍රණය කළෙමු. ජනාධිපතිවරණය ඔස්සේ ප‍්‍රවේශ වූ දේශපාලන ක‍්‍රියාවලිය පිළිබඳ හැරී බැලීමක් සඳහා අප ගත් උත්සාහයක පළමු පියවර මෙයයි.

  •  විධායක ජනාධිපති ක‍්‍රමය, එකම පුද්ගලයෙක් වටේ බලය ඒකරාශී වීමට විරුද්ධව මතු වූ අදහස් පසුකාලීනව මතවාදීමය වශයෙන් පරිණාමයක් සිද්ධවුණා. ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ සිදු වූ ඒ වෙනස සම්බන්ධයෙන් ඔබ දරන අදහස මොකක්ද?

ආරම්භක සංවාදය පදනම් වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියන බොහෝ කාලයක පටන් කරපු ඉල්ලීම මත. විශේෂයෙන් ඒක කේන්ද්‍රගත ඉල්ලීමක් වුණේ 1994 මැතිවරණයේ දී. ජනතා විමුක්ති පෙරමුණ 1994 දී සිය අපේක්ෂකයා ඉල්ලා අස්කර ගත්තේ එම ඉල්ලීමට වැදගත් තැනක් දීම නිසයි. මෑතක විරුද්ධ පක්ෂ විසිරිලා තිබෙන අවස්ථාවක තමයි එම අදහස මතු කළේ. මේ අදහසට කිසියම් වූ ජයප‍්‍රියතාවක්, සහයෝගයක් ලැබෙන බව පෙනීමත් සමඟ 1994 වුණා වගේම ව්‍යුහගත දේශපාලන පක්ෂ මේ අවකාශය තමන්ගේ වාසිය සඳහා යොදාගන්න බවක් දකින්නට ලැබුණා. මුලින්ම ඒ මතයට එකතු වූ බොහෝ අය කිව්වා සෝභිත හාමුදුරුවෝ අපේක්ෂකයා නොවුණොතින් අපි මේකෙ ඉන්නෙ නෑ කියලා. ඒ කියන්නේ චන්ද්‍රිකා හෝ රනිල් හෝ ආවොත් මේකෙ ඉන්නේ නෑ කියලා ගොඩාක් අය කිව්වා. නමුත් අපි පැහැදිලිව දන්න දෙයක් තමයි සෝභිත හාමුදුරුවන්ගේ වගේ ව්‍යාපාරයක් ටිකක් දුර යනකොට අර සංවිධිත දේශපාලන පක්ෂ ඔය අවකාශය ආක‍්‍රමණය කිරීම ස්වාභාවිකයි.

සෝභිත හාමුදුරුවන්ගේ ව්‍යාපාරයේ තිබුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ඉතා පටු අදහසක්. උන්වහන්සේ ඒ පටු අදහස උඩ විවිධ පක්ෂ සමඟ ගනුදෙනු කළා. ජාතික හෙළ උරුමය වගේ ජාතිවාදී පිරිස්, බලයට කෑදර පිරිස් සම්බන්ධ වීමත් හා රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ වීමත් නිසා ඒ ව්‍යාපාරයේ ප‍්‍රජාතන්ත‍්‍රීය ගුණය අඩුවෙනවා. ඒ මාස 3/4ක කාලය තුළ ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සංවිධානය ලංකාවේ දේශපාලනය විසින් ඩැහැගත්ත බවක් තමයි පේන්න තියෙන්නේ.

  •   මෛත‍්‍රීපාල විපක්ෂයේ අපේක්ෂකයා බවට පත්වීම නිසා විපක්ෂයේ තිබූ විසිරුණු බව නැතිවීම විසින් පටු වුවත් සෝභිත හාමුදුරුවන් විසින් සමාජය තුළ මතුකරන ලද අදහස සම්පූර්ණයෙන්ම විස්ථාපනය වුණා කියලද ඔබ කියන්නේ?

මම කියන්නේ නැහැ ඒ අදහස සම්පූර්ණයෙන්ම විස්ථාපනය වුණා කියලා. අපි දකිනවා කිසියම් ප‍්‍රමාණයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අදහස ඇති වූ බලවේග දිගටම හිටියා කියලා. මහින්ද ආණ්ඩුවේ අධිකාරවාදී ස්වභාවය නිසා මිනිසුන්ට වෙනසක් අවශ්‍යයි කියන අදහස ඇතිවුණා. අමෙරිකාවේ ඔබාමාත් ආවේ වෙනසක් අවශ්‍යයි කියමින්. ඒ නිසා 2010 දී සරත් ෆොන්සේකාට වඩා විශාල ඡුන්ද ප‍්‍රමාණයක් ගත්තා. එහෙම වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සමාජයේ කැකෑරෙමින් තිබූ අදහස නිසයි. නමුත් මේකෙන් ඇත්තටම වෙනසක් වෙනවා ද? කියන ප‍්‍රශ්නය මතුවෙනවා. ඒක තීරණය වෙන්නේ එකතු වී ඇති බලවේගවල දේශපාලන දිශානතීන් එක්ක.

මෛත‍්‍රීපාල තෝරා ගැණුනේත් ග‍්‍රාමීය බෞද්ධ බලවේග එක්ක අනන්‍ය වීමේ හැකියාව ඇති නිසයි. රනිල්ට තිබුණු ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි ඒක. ව්‍යාපාරයක් ඉදිරියට යන විට අවශ්‍ය පුද්ගලයා තෝරා ගැනීමේ දී ධනපති පන්තිය ඒකට ඕනෑම පරිත්‍යාගයක් කැපවීමක් කරන්න සූදානම් වගේම මැළි වන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට මෛත‍්‍රීපාල තමයි ලැබුණු හොඳම කදිම ආදේශකය. ඒ නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරු පවා කිව්වා මෛත‍්‍රී සරලයි, චාම්, ශාන්තයි වගේ ඒවා. ඒක ලංකාවේ ධනේශ්වර පන්තියේ දක්ෂ තෝරාගැනීමක්.

  •   ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය වැනි අරමුණු වෙනුවෙන් අරගල කරපු සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් අවංක විශ්වාසයෙන් තමයි මේ ක‍්‍රියාකාරිත්වයට එකතු වුණේ. නමුත් ඔවුන් මැදිහත්වීමෙන් ඇතිවුණු තත්වය ගැන ඔබ හිතන්නේ මොකක්ද?

තනි තනි කාරණා පිළිබඳ අදහස උඩ මැතිවරණයක් ගොඩනැඟීම අපහසුයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වගේ කාරණාවක් බොහෝවිට නාගරික සමාජයට සීමා වූ අදහසක්. ඒක පළල් කරන්න තමයි යහපාලනය, ජීවන වියදම වගේ අදහස් ගේන්න වුණේ. එවිටයි විශාල පෙරමුණක් සැදීමට පුළුවන් වන්නේ. මෙතන තියෙන ප‍්‍රශ්නය තමයි මේ කතිකාව පුරවැසියා යන සංකල්පය වටා ගොඩනැ`ගීම. ඒ අදහස එන්නේ සමානයන් යන අදහසින්. ග‍්‍රීකයන් වහලූන්ව පුරවැසියන් ලෙස සැලකුවේ නැහැ. පුරවැසියා යන වහල් සමාජයේ තිබූ අදහස නූතන සමාජයට ගැනීමම තක්කඩිකමක්. වමේ කියන මිනිස්සුත් කලාකරුවොත් ‘රාවය’ පුවත්පත කේන්ද්‍ර කරගෙන බිහිවුණු පුරවැසි කතිකාව ප‍්‍රජාතන්ත‍්‍රීය කතිකාවට තදින්ම කාවැද්දවීම මා නම් හිතන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අඩපණ කිරීමක් ලෙසයි.

මෙතනට ගොනු වූ බොහෝ පිරිස් අනෙක් ජනවර්ග අමතක කරන, පන්ති ස්තරයන් අමතක කරන තත්වයට පත්වුණා. මේ වෙලාවේ ඔවුන් මේ සමස්ත දේශපාලන ක‍්‍රියාවලිය කොටස් දෙකකට බෙදුවා. ඉන් පළමු කොටස පුරවැසි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්. ඒකෙ තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, ඒකාධිපති වියරුවට එරෙහි වීම, දූෂිත පවුල් පාලනයට එරෙහිවීම වැනි සටන් පාඨ තිබුණේ. අනෙක් පියවර ලෙස ගත්තෙ පන්ති ප‍්‍රශ්නය, ජනවාර්ගික ප‍්‍රශ්නය. ඒක පසුවට බලමු කියලා තමයි ඔවුන් කිව්වේ. මේ නිසා මෛත‍්‍රී, මහින්ද යන තේරීම් දෙකෙන් එකක් තෝරගන්න තමයි සිද්ධ වුණේ. ජනමාධ්‍ය තුළ වුණත් මේ අදහස් දෙකට ඇරෙන්න වෙනත් වාම අදහසකට ඉඩක් දුන්නේ නැහැ. අපේක්ෂකයන් 17ක් අතහැරලා ජනමාධ්‍ය විසින් ඉඩකඩ හැදුවෙ දෙදෙනකුගේ මැතිවරණ ව්‍යාපාරයට විතරයි.

  •  රාජපක්ෂ රෙජීමය බලවත් කළ අන්තවාදී ජාතිකවාදී අදහස් පරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය යන අදහස් මේ ඡුන්දය තුළ ඉහළට ආවා නේද?

සමහරු කිව්වා මහින්ද රාජපක්ෂ තමයි සිංහල බෞද්ධ බලවේගය නියෝජනය කරන්නේ, ඒත් මෛත‍්‍රී එහෙම නැහැ කියලා. නමුත් ඇත්තටම මතුවුණු අදහස තමයි, අධිපතිවාදී මුරණ්ඩු සිංහල බෞද්ධයාද? ශාන්ත දාන්ත සංවර සිංහල බෞද්ධයාද? කියන එක. එතනදී තමයි හෙළ උරුමය වගේම සමහර වාමාංශික කොටසුත් එකතු වුණේ. මේ දෙකේම තියෙන්නේ සිංහල බෞද්ධ සායම් තවරලා. මෛත‍්‍රීගේ දින 100 පොරොන්දු ගත්තොත් එහි වැඩිම පියසටහන් ප‍්‍රමාණයක් තබා තියෙන්නේ හෙළ උරුමයයි. සෝභිත හිමියන්ගේ සංවිධානයෙන් නෙමෙයි. මේ වෙලාවෙ නවලිබරල් ධනවාදය උනත් විශාල අමාරුවකට පත්වෙලා. ඒ අමාරුව පියව ගන්න, නවලිබරල් ධනවාදය වගේම සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය රකින්න තමයි 2005 දී ගෙනාපු මුරණ්ඩු සිංහල බෞද්ධයා වෙනුවට ශාන්ත දාන්ත සිංහල බෞද්ධයාව ගේන්නේ. ඇතැම් වාමවාදී පිරිස් ඔවුන්ගේ ගැලවීමට තමයි මේක සිංහල බෞද්ධ එකක් නෙමෙයි කියමින් සිටින්නේ. ඒ හරහා ඔවුන් ඔවුන්ගේ දේශපාලන පක්ෂපාතීත්වය සාධාරණිකකරණය කරමින් සිටිනවා.

  •  මෛත‍්‍රීපාල සිරිසේන දැන් විධායක ජනාධිපති. සිවිල් බුද්ධිමතුන්ගේ අදහස තමයි, ජනාධිපති වටා යහපාලනය අගයන, දූෂණ වංචාව ප‍්‍රතික්ෂේප කරන, ඒකාධිපති වියරුවට එරෙහි පිරිස ඉන්න නිසා අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට ඉඩ නොදී සමාජයට අවශ්‍ය දේවල් කරගත හැකියි යන්න. මේ පිළිබඳ ඔබට කියන්න තිබෙන්නේ කුමක්ද?

1994 චන්ද්‍රිකා බලයට ආ ව්‍යාපාරයත් ඔහොමමයි. ඒක දිහා නැවත හැරී බැලූවොත් ඒකෙ තිබූ දේශපාලන සංවාදයටත් වඩා පෝෂිත එකක්. නමුත් ධනේශ්වර රාජ්‍ය ව්‍යුහය කාගෙවත් උවමනාවට එහෙට මෙහෙට කරන්න බෑ.

මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ පත්කිරීම් බැලූවහමත් පේන්නේ ඒ අය මේ රාජ්‍ය ව්‍යුහයේ බොහොම තදබල මිනිස්සු. රාජ්‍යයේ ව්‍යුහයන් ඔය එක එක්කෙනාට ඕන විදියට කඩාගෙන යන්න බැහැ. ඔය කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ව්‍යාපාර හයියට හිටියොත් සමහර විට මෛත‍්‍රීපාලට යම් තරමක බලපෑමක් කරන්න පුළුවන් වේවි. ඒත් මේ ධනේශ්වර ක‍්‍රමය ඇතුළෙ ඔය කියන ව්‍යාපාර දියවෙනවා. රනිල් නැවතත් ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ තමයි ක‍්‍රියාත්මක කරන්න යන්නේ. දැනට බඩු මිල අඩු කරාවි. ඒත් සුභසාධන සේවා කප්පාදු කරාවි. උදාහරණයක් ලෙස මෛත‍්‍රීපාලගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ දාලා තිබුණා විශ්වවිද්‍යාලවලට දෙවැනි වටයේ දී බඳවා ගන්නා සිසුන් ගෙන් මුදල් අයකරනවා කියලා. ඒක නිසා ඔය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ව්‍යාපාරය නව ලිබරල් ධනවාදයට එරෙහි ව්‍යාපාරයත් සමඟ ඒකාබද්ධ වුවහොත් මෛත‍්‍රීපාලගේ ගමනට යම් ප‍්‍රමාණයකට බ්රේක් ගහන්න පුළුවන් වෙයි.

  •  ‘දින 100 වැඩපිළිවෙළ’ ගැන මේ දිනවල නිතරම කියනවා. ඔබේ අදහස මොකක්ද?

දින සීයේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක නොකර සිටීමට මෛත‍්‍රීපාලගේ ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මං හිතනවා මේ අය දින 100 ඇතුළත විධායක ජනාධිපති ක‍්‍රමයේ යම් බලතල අඩුකරලා, රතන හිමිගේ 19 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කරන්න ඉඩ තියෙනවා. මොකද ඒවා මේ රාජ්‍ය ව්‍යුහය අතිවිශාල අර්බුදයකට යන දේවල් නෙමෙයි. ඒ අය පොරෙන්දු වූ පරිදි බඩු මිල අඩුකරාවි. තෙල් මිල අඩු වූ නිසා ඒක කරන්න ලේසියි. ඒ වගේම එයාලා අලූත් අයවැයකුත් ගෙනේවි. මේවත් එක්ක දැවැන්ත ආර්ථික ෆිස්කල් අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්. ඒකට මේ ආණ්ඩුවට කරන්න නවලිබරල් විසඳුම් මිස වෙනත් කිසිවක් නැහැ.

දැනට ශාන්තව තියෙන රාජ්‍යයට එරෙහිව ජනතාව ඩෝල් ලංකා එකට ලබාදුන් ඉඩම් හෝ පැල්වෙහෙර ඉඩම් ඉල්ලා උද්ඝෝෂණය කළහොත් ඒ ඉඩම් යළි ජනතාව අල්ලා ගතහොත් යළි රාජ්‍යයේ අධිකාරවාදී ස්වභාවය මැවේවි. ජනයා සිල් ගත්ත වගේ ඉන්නවා නම් රාජ්‍යත් සිල් අරන් ඉදියි. ජනයා අයිතීන් ඉල්ලා අරගල කළහොත් රාජ්‍ය තමන්ගේ බලය පෙන්වාවි.

  •   විධායක බලතල කප්පාදුව, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම වැනි වෙනස්කම් කරන්න මේ පාලනය පොරොන්දු වුණා. ඔබ හිතන විදියට ඒවා කෙරෙයිද?

ඔය දෙකම යම් ප‍්‍රමාණයකට කරාවි. ඒව එතරම් අමාරු කාර්යන් නොවෙයි. මහින්ද රාජපක්ෂටත් අවශ්‍ය නම් එය කළ හැකිව තිබුණා. නමුත් දැන් පත්තරේක තිබුණා ටී.එන්.ඒ එක කියලා දෙමළ ප‍්‍රශ්නය ගැනත් දින 100 ඇතුළත කතා කරන්න ඕන කියලා. තව ඉස්සරහට ඔය විදිහට තවත් යෝජනා ඒවි. එතකොට තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රඟ බලන්න වෙන්නේ.

මං හිතන්නේ නිශ්චිතව ආණ්ඩුව මැදිහත් වෙලා විධායක බලතල හා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමත් සිදුකරාවි. අනික්වා එන එන විදිහට පුළුවන් නම් කරාවි. නැත්තම් අතඅරියි. පොඩි පොඩි පැළැස්තර දමාවි. ස්වාධීන කොමිෂන් සභා පත්කරන එක උනත් කරාවි. සමහරු හිතන් ඉන්නවා ස්වාධීන කොමිෂන් පත්කරාම ඔක්කොම හරියයි කියලා. ඒත් මේක ඇතුළෙ නිලධාරිවාදය වෙනුවට පොදුජන බලය ඇතිවුණේ නැතිනම් මුකුත් වෙන්නේ නැහැ.

  •  දැන් බොහෝ අය මෛත‍්‍රී ලබාගත් උතුරු නැෙඟනහිර ඡුන්ද පදනම් කරගෙන ජාතිවාදී කතාවක් ගොඩනඟනවා නේද?

මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ බලාවි අලූත් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ගන්න බැරිකරවන්න. ඒකට සිංහල බෞද්ධ ජාතිකවාදය තවදුරටත් වපුරාවි.

ආරංචි මාර්ගවලට අනුව ජාතික හෙළ උරුමය දැන් වැඩිය කැමති නිදහස් පක්ෂයේ අලූත් නායකකත්වයක් යටතේ මහ මැතිවරණයට එන්නලූ. ඒකෙන් පේන්නේ සිංහල ජාතිකවාදී අදහස දිගින් දිගටම මේ රටේ හොල්මන් කරන එක නවත්වන්න බැහැ කියන එකයි. මේක නවත්වන්න වෙන්නේ මේකට එරෙහි විකල්ප ව්‍යාපාරයක් ශක්තිමත් වීමෙන්. වම ශක්තිමත් වීමෙන්. ඒක මෛත‍්‍රීටවත් මහින්දටවත් කරන්න බැහැ. ඔවුන් දෙදෙනාම ජාතිවාදය පෝෂණය කරනවා පමණයි. සංවාදය – චන්දන සිරිමල්වත්ත

Advertisements