විල්සන් හෑගොඩ

කලාත්මක ඡායාරූපකරණයේ විශිෂ්ටයකු ගැන ආවර්ජනයක්

18Jan013 26June - (8 x 10) Sample1915 ජනවාරි මස අටවැනි දින ගාල්ලේ බටුවන්තුඩාවේ හෑගොඩ දී මෙලොව එළිය දුටු රණසිංහ ආරච්චිගේ විල්සන් පසු කලකදී ඡායාරූප ශිල්පියෙක් ලෙස ජාත්‍යන්තර කීර්තියට පත්වූයේ විල්සන්ගේ හෑගොඩ නමිනි.

විල්සන්ගේ පියා ඔහු කුඩා අවදියේදීම මරණයට පත්විය. එම මරණයත් සමගම පියාගේ පාර්ශ්වයේ ඥාතීහු විල්සන්ගේ පියා සතුව පැවැති සියලූ දේපළ අත්පත් කරගත්තෝය. ඉක්බිති ගම සමග තිබු සම්බන්ධතා සියල්ල අවසන් විය. අනතුරුව සිය මව තම දරුවන් තිදෙනා ද සමගින් කොළඹ කොල්ලූපිටියේ පදිංචි විය. එකල එම පෙදෙස හැදින්වූයේ බරන්දෙණිය නමිනි.

විල්සන් හෑගොඩ ඡුායාරූප ශිල්පියකු බවට පත් වීමට පෙර ඔහු පොලිසියේ සේවය කළ අයෙකි. ඒ පිළිබඳ ඔහුගේ පුත් ලාල් හෑගොඩ විසින් කළ ආවර්ජනයක් මෙහිදී ඉදිරිපත් කළ හැකිය.

”මගේ පියා පිළිබද මතකය අවදි කළ හැකි ඈතම අතීතයේ නම් මගේ මතකයේ තිබෙන්නේ ඔහු පා පැදියකින් උදෙන්ම නිවසින් බැහැර යන බවත් නැවත හැන්දෑවේ නිවසට පැමිණෙන බවත් පමණි. ඔහු කළ රැකියාව කුමක්ද යන්න හෝරැකියාව කළේ කුමන ප‍්‍රදේශයක ද යන්න ඒ වන විට මා නොදැන සිටියෙමි.

එවකට අප පදිංචිව සිටියේ මරදානේ පොලිස් මහල් නිවාසවල බවත් පියා සේවයෙහි නිරත වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇගිලි සලකුණු අංශයේ බවත් පසු කලකදි වැටහුණි. අපේමය කියා නිවසක් තනාගනු ලැබූයේ පියා මතු නොව මව ද විශ‍්‍රාම යාමෙන් අනතුරුවය. ඔහු පොලිසියේ සේවය කළ කාලය පුරාම නිල ඇදුම ඇගලෑවේ එක් දිනක් පමණි. ඒ මැයි පළමුවෙනිදා දිනයකි. එදින ලංකාවේ සිව් දෙසින් පැමිණි වාමාංශික ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීන් කොළඹ දැවැන්ත මැයි රැුලියක් පැවැත්වූහ. එම රැුලිය වෙනුවෙන් විශේෂිත ආරක්ෂාවක් කොළඹ නගරය පුරා ක‍්‍රියාත්මක විය. ම‘පියාණන් පොලිස් නිල ඇඳුම ඇගලෑවේ එදින පමණි. රාජකාරියට යන විට නිල ඇඳුම ඇ`ගලෑවේ නම් ඔහු පොලිස්කාරයකු බව මා වටහා ගන්නේ ඒ කුඩා අවධියේ දීමය.”

ඇත්ත වශයෙන්ම විල්සන් හෑගොඩ ඡුායාරූප ශිල්පියෙක් වීම ද අහම්බයකි. ඔහු එක්තරා පුවත්පතකින් පැවැත් වූ තරගයකින් පළමු ස්ථානය හිමි වූ පසුව ඔහු ලද ත්‍යාගය වූයේ කුඩා ප‍්‍රමාණයේ පෙට්ටි (Box Camera) කැමරාවකි. එම කැමරාවට හසුකරගත් පළමු පුද්ගලයා වූයේ ඔහුගේ මවයි. එම කැමරාවෙන් ලබාගත් ඡායාරූපයක් ද ඡායාරූප තරගයකින් ප‍්‍රථම ස්ථානයට පත් විය. එතැන් සිට ස්වෝත්සාහයෙන් ඡායාරූප ශිල්පය හැදෑරූ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ඡායාරූප ශිල්පියා බවට පත්වන්නට හේතුපාදක වූයේ ද එකී ජයග‍්‍රහණයමය. ත්‍යාගය දිනූ ඡායාරූපය ඇතුළත් ප‍්‍රදර්ශනය විවෘත කිරීම සදහා පැමිණ තිබුණේ එවකට පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකි. විල්සන් හෑගොඩ පෙනී සිටි තරග අංශය භාරව සිටි සංවිධායකයා විසින් ඡායාරූප ප‍්‍රදර්ශනයේ ජයග‍්‍රාහකයා එම නිලධාරියාට හඳුන්වා දෙන ලදී.

”එහෙම නම් මෙයා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩවලට ගන්න පුළුවන්” යැයි පවසා ඇත. එතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇගිිලි සලකුණු අංශයේ සේවය කළ හෑගොඩ, පසුදින සිට එහි ම නිල ඡුායාරූප ශිල්පියෙක් බවට පත්වූයේය. එය සිදුවූයේ ඡායාරූප ප‍්‍රදර්ශනය නැරඹූ ඉහළ නිලධාරියා විසින් විල්සන් හෑගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයට අනුයුක්ත කරන ලෙස කළ නිර්දේශයක් අනුවය.

ඔහු ඡායාරූපකරණයේ විශිෂ්ටයකු වන්නේ ඡායාරූප කලාවේ නියුතුවීම නිසා පමණක් නොවේ. ඉංග‍්‍රීසි ජාතිකයන් විසින් මෙරටට හඳුන්වා දී තිබුණු ඡායාරූප ශිල්පය එතෙක් පැවැතියේ ඉහළ පෙළැන්තිය අතය. කැමරාවක් යනු ඉහළ පෙළැන්තියේ අය පරිහරණය කරන දුර්ලභ භාණ්ඩයක් විය. සාමාන්‍ය ලාංකිකයකුට තාක්ෂණයේ නව දැනුම හෝ උපකරණ අත්පත් කරගැනීමේ අවස්ථා දුලබ විය. මෙරට පුවත්පත් කලාවට සමාන්තරව ඡුායාරූපය හා කැමරාව සාමාන්‍ය ජනයා අතර ගැවසෙන්නට පටන්ගෙන තිබුණද ඡායාරූපකරණය හා කලාත්මක ඡායාරූප කලාව ඒ වනවිටත් පොදු ජනයාගෙන් දුරස්තව පැවැතිණි. එම දුරස්තභාවය අවම කරන්නට දේශීය ඡුායාරූප කලා ශිල්පීන් දුන් දායකත්වය අමතක කළ නොහැක. විල්සන් හෑගොඩ ඒ අතර පුරෝගාමියකු බව සටහන් කළ යුතුය.

15මෙසේ ඡායාරූප කලාව සාමාන්‍ය ජනයා අතරට ගෙනයාමේ ව්‍යායාමයක් ඔහු සකී‍්‍රය ලෙස පටන්ගත්තේ ඡායාරූප ශිල්පය පිළිබද පාඨමාලාවක් ආරම්භ කිරීමෙනි. ඡායාරූප ශිල්පය ඉගැන්වීම කරමින් තමන් ද එහි අධ්‍යයනයක් සිදු කළේය. ප‍්‍රදර්ශන සඳහා ඡායාරූප සූදානම් කිරීම, ඡායාරූප මුද්‍රණය කිරීම ආදි සියලූම අංග තමන් විසින්ම හදාරමින් ක‍්‍රියාවේ යෙදවූ අයෙකි. ඔහුගේ ඡායාරූප පාඨමාලාවට පැමිණි කිසිවකුගෙන් මුදලක් අයකරගත් බවට නම් සාධක නොමැත. ඔහු තම ශිල්පීය ඥානය ඔවුනට ලබා දුන්නේ ස්ව කැමැත්තෙනි.

විල්සන් හෑගොඩ විශේෂ වන්නේ ඡායාරූප කලාවට පමණක් නොවේ. ඔහු සිය ජීවිතය ඡායාරූප ශිල්පයට මෙන්ම කවියට ද තදින් ආශක්ත කර තිබුණි. කවිය හා ඔහු අතර බැඳීම කොතරම්ද යත්, අගනුවර තරුණ කවි සමාජයේ නිර්මාතෘවරයකු වූයේ ද ඔහුය. පී. බී. අල්විස් පෙරේරා කවියා සහ ආතර් එම්. අල්විස් කවියා ද එහි පළමු හවුල්කරුවෝ වූහ. එසේම හෑගොඩ කවියා මිය යාමට ආසන්න කාලය දක්වාම එහි ලේකම් ලෙස කටයුතු කළේය. අගනුවර කවි සමාජයේ මහා සභා රැස්වීම හැර අනෙක් සෑම රැුස්වීමක්ම පාහේ පැවැත්වූයේ හෑගොඩගේ නිවසේය. පී. බී. අල්විස් පෙරේරා, කපිල සෙනෙවිරත්න, එච්. එම් කුඩලිගම, විමල් අභයසුන්දර, විමලරත්න කුමාරගම ආදි කාව්‍ය ක්ෂේත‍්‍රයේ දැවැන්තයෝ නිතර නිතර ඒ නිවසට පැමිණියෝය.

ඔවුන් නිවසට පැමිණ අල්ලාප සල්ලාපයේ යෙදෙන අවස්ථාවන් ඉතාමත් මිහිරි අවස්ථා බවට පත් විය. මන්ද, ඔවුන් එක්රැස්ව කතා-බහ කළේ, අදහස් හුවමාරු කළේ ද කවියෙනි. විශේෂයෙන්ම හිටිවන කවියෙනි. ඔවුන් සියලූ දෙනා පැමිණි දින විල්සන් හෑගොඩගේ නිවස මහා හිටිවන කවි මඩුවක් බඳුය.

ඡායාරූප කලාව පැත්තෙන් ඔහුගේ විශේෂත්වය වටහාගන්නට සාධක කිහිපයක් වේ. එක් වතාවක් ඔහු ඉතා දුර්ලභ ගණයේ ඡායාරූප පෙළක් තම කැමරාවට හසු කරගත්තේය. එනම්, කලාතුරකින් පිපෙනා කඩුපුල් මලක් විකසිත වීම ඇරඹි මොහොතේ සිට එය මුකුලිත වීම දක්වා මොහොතින් මොහොත ඡායාරූපගත කළේය. එම ඡුායාරූප පෙළ සඳහා ඔහු කව් පන්තියක් පබැඳුවේය. එය නම් කළේ ‘කඩුපුල් මලේ විත්තිය‘ නමිනි. එසේම නාටිකාංගනාවක් රංගනයට අවතීර්ණ වන මොහොතේ සිට ඇගේ රගපෑම අවසානය දක්වා එක් එක් මොහොත ඡුායාරූප ගත කොට ඒ සඳහා ද කව් පන්තියක් පබැඳුවේය. එය නම් කළේ ‘නිළියක් රැගූ වග’ නමිනි. තවත් සුවිශේෂිත කව් පන්තියක් ලියුවේ වෙස් මුහුණු නිර්මාණකරුවන් ආශ‍්‍රිතවය. ඒ සඳහා කදුරු ගසකින් කදුරු කොටයක් කපාගෙනවිත් ඉන් වෙස් මුහුණක් තනා, එය පැළඳ නර්තනයේ යෙදෙන තෙක් එක් එක් අවස්ථාවන් ඡායාරූප ගතකළේය. එම ඡායාරූප සඳහා ඔහු ලියූ කව් පෙළ නම් කොට තිබුණේ ‘වෙස් මුහුණ’ නමිනි.

විල්සන් හෑගොඩ කලාකරුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ කටයුතු කළේ නවසිය පනහේ දශකයේය. එවකට පොලිස් දෙපාර්තමේන්තුවේම නිත්‍ය ඡුායාරූප ශිල්පීන් සිටියේ තිදෙනෙක් පමණි. එහෙයින් දිවයින පුරා සිදුවන අපරාධ ඡායාරූප ලබාගැනීම සඳහා දිවයින පුරා සංචාරය කරන්නට ඔහුට අවස්ථාව හිමි විය. හොරකමක්, කොල්ලයක්, සියදිවි නසාගැනීමක් හෝ රිය අනතුරක් සිදු වු සැණින් හෑගොඩ හෝ අනෙක් ශිල්පීන් දෙදෙනාගෙන් කෙනෙක් වහාම එම ස්ථානයට යා යුතුය. එකල අද මෙන් දරුණු අපරාධ සුලබ තත්වයක් නොවූ බව ද අමතක නොකළ යුතුය. එමතු නොව එම අපරාධයට අදාළ ඡායාරූප අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ ද ඒ ඒ, ශිල්පීන් විසිනි. එහෙයින් විල්සන් හෑගොඩ යනු නිරන්තරයෙන් ගමනේ යෙදී සිටි පුද්ගලයෙකි. වයිට් හවුස් මංකොල්ලය, හාරලක්ෂයේ මංකොල්ලය සහ බණ්ඩාරනායක ඝාතනය පවා ඡායාරූපගත කළේ ඔහු විසිනි.

ලාල් හෑගොඩ කලාකරුවා විසින් සිය පියා පිළිබඳ පවසන තවත් කරුණු ඔහුගේ වචනයෙන්ම මෙහි සඳහන් කරන්නට හැකිය.

”මා පියාගේ අඩි පාරේ ගමන් කරන්නට සුදුසුකම් ඇති පුද්ගලයකු බව ඔහු දැන සිටියේය. පසු කලකදි නිවසේ තිබූ පියාගේ රසායනාගාරයේ යම් යම් කාර්යයන් මවෙත පැවරීමට ඔහු උනන්දු විය. එහෙත් මා කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා මා ඔහු කෙරෙහි යම් අමනාපයකින් ද පසුවිය. මෙසේ කල් ගෙවන විට දිනක් නොසිතූ මොහොතක මා සිහිනෙන් හෝ නොසිතූ දෙයක් සිදු විය. එනම්, පියාගේ ඡායාරූප පාඨමාලාවේ ඉගැන්වූ ගුරුවරයකු නොපැමිණීම හේතුවෙන් අදාළ පන්තිය පවත්වාගෙන යාමට මා හට පැවරීමය. මෙය මට අදහාගත නොහැකි කරුණක් වුව එය මට ඉබ්බා දියේ දැම්මා හා සම විය. මා මගේ වගකීම අකුරටම ඉටු කළෙමි.”

14විල්සන් හෑගොඩගේ ඡුායාරූප ශිල්පයේ විශේෂත්වය වූයේ ඔහු ඡායාරූප කලාවේ දී ක‍්‍රියාවට නැංවූ ඇතැම් භාවිතයන් ලෝකයේම ඒ වර්ගයේ එකක් වීමය. උදාහරණයක් ලෙස ගතහොත් ඔහු එක් වකවානුවක දී දිවයිනේ සිටි සියලූම කවීන්ගේ සහ සාහිත්‍යකරුවන්ගේ ඡුායාරූප ප‍්‍රදර්ශනයක් පැවැත්වීය. ලෝකයේ කිසිදු ඡුායාරූප ශිල්පියෙක් එවන් කටයුත්තක නිරත වී ඇතැයි සිතිය නොහැක. අනෙක් කරුණ නම් ‘නිරුවත් ඡුායාරූප කලාව’ සම්බන්ධයෙන් ඔහු දැක් වූ සුවිශේෂත්වයයි. ඔහු එකී කලා නිර්මාණ තම දරුවන් ඉදිරියේ වුව ද ප‍්‍රදර්ශනය කළේය. ඒවා ඔහු හඳුන්වාදුන්නේ හුදෙක් කාන්තාවන්ගේ නිරුවත් පින්තූර යන ආකල්පයකින් නොව එය උසස් ගණයේ කලාත්මක නිර්මාණ සමූහයක් ලෙස සලකමිනි. එපමණක් නොව, ජාත්‍යන්තර මට්ටමේ නිරුවත් ඡායාරූප ප‍්‍රදර්ශනයක් ද ඔහු විසින් සංවිධානය කරන ලදුව කොළඹ දී පැවැත්විණි. ඒ සඳහා ලෝකයේ විවිධ රටවල් නියෝජනය කළ ඡුායාරූප ශිල්පීන්ගේ ඡුායාරූප ඇතුළත් කොට තිබිණ.

පසු කලකදී ඔහු ඡුායාරූප ශිල්පය සම්බන්ධයෙන් තොරතුරු රැගත් ‘කැමරා’ සඟරාව ද ප‍්‍රකාශයට පත්කළේය.

1980 වසරේ අග භාගයේ දී ඔහු බරපතළ ලෙස රෝගී විය. එතැන් සිට තුන් වසරකට අධික කාලයක් ඔත්පලව සිිටි ඔහු සිය දරුවන්ගේ මැදිහත්වීමෙන් කොළඹ රැගෙන විත් රෝහල්ගත කෙරිණි. නේවාසිකව දින තුනක් ප‍්‍රතිකාර ලැබූ මේ අගනා කලාකරුවා 1984 සැප්තැම්බර් මස 13 වැනි දින අභාවයට පත් විය.

(මේ ලිපිය සකස් කෙරුණේ විල්සන් හෑගොඩගේ පුත් ලාල් හෑගොඩ කලාකරුවා සමඟ කළ සංවාදයක් ඇසුරිනි)

ජයසිරි අලවත්ත

Advertisements