සර්ව පාක්ෂික ආණ්ඩුව සහ ජනතා අපේක්ෂාව

ලංකාවේ 6 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණය නිමාවට පත් වී ඇත. නිලවශයෙන් ගත් කළ පැවැතියේ ජනාධිපති මැතිවරණයක් වුවද දේශපාලන වශයෙන් එය රටේ ජනාධිපති ධුරය සඳහා සුදුසු පුද්ගලයෙකු තෝරා ගැනීමට පමණක් සීමා වූයේ නැත. ඊට ප‍්‍රධාන වශයෙන් හේතු වුයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතා තම මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රථම මාධ්‍ය හමුවේ දීත් ඉන් අනතුරුව සිය මැතිවරණ ප‍්‍රකාශනය තුළත් දින සියයක ජාතික සමගි සන්ධාන ආණ්ඩුවක් සඳහා වූ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබිණ. එය එක්තරා විධියක ව්‍යවස්ථාමය තත්වයන් ඉක්මවා යාමක් වූ අතර එම ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා රනිල් වික‍්‍රමසිංහ යෝජනා කරමින් ආරම්භ කරන ලද මැතිවරණ ව්‍යාපාරය ජනාධිපති මැතිවරණය සමඟ නොනිල මහ මැතිවරණයක් එකවර කැඳවා ගැනීමට සමාන දේශපාලන තත්වයක් රට තුළ නිර්මාණය කරගැනීමට සමත් විය. මීට අමතරව ‘විකල්පය වමෙන්’ යන තේමාව මුල්කර ගත් පවතින සමාජ අර්බුදයට විසඳුම ලෙස සමාජවාදී වැඩපිළිවෙළක් ද වමේ පෙරමුණ ඉදිරිපත් විය.

ඒ අනුව ඉදිරි අපේ‍්‍රල් මාසයෙන් පසුව නිලවශයෙන් මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබිය දී වුවද ඊට පූර්වයෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්නට වඩා පැවැති මහින්ද රාජපක්ෂ පාලනය තවදුරටත් පවත්වාගෙන යන්නේද නැතහොත් ජාතික සමඟි සන්ධාන දින 100 තාවකාලික ආණ්ඩුවක් ගොඩ නඟන්නේ ද යන්න පිළිබඳව ජනප‍්‍රිය තලයේ තීරක දේශපාලන සාකච්ඡුාව බවට පත්විය. මීට අමතරව විය යුතු පරිදිම විශාල වශයෙන් එකවර සමාජ අවධානයක් දිනා ගැනීමට වමේ පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද සමාජවාදී වැඩපිළිවෙළ අසමත් විය. එහෙත් 80 දශකයෙන් පසු ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ ප‍්‍රථම වරට විධිමත් සමාජවාදී වැඩපිළිවෙළක් සමාජගත කිරීමට වමේ පෙරමුණ විසින් ගන්න ලද ප‍්‍රයත්නය සාධනීය ඉදිරි දේශපාලන පියවරක් ලෙස හැඳින්විය හැකිය.

මැතිවරණ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් ද මේ දිනවල විවිධ අර්ථකථන ඉදිරිපත් වෙමින් පවතියි. කෙසේවුවද ලංකාවේ මැතිවරණ නීතිය අනුව ජනාධිපතිිවරණය පවත්වන්නේ මුළු රටම එකම මැතිවරණ කොට්ඨාසයක් ලෙස සලකමින්ය. ඒ අනුව ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වන කවර අපේක්ෂකයෙක් වුවද දිස්ත‍්‍රික් හෝ ආසන මට්ටමෙන් ලබන ජයග‍්‍රහණයන්ගේ වෙනස් කම් වෙතොත් ඒවා ද්වීතීක වන අතර අවසාන වශයෙන් ජයග‍්‍රහණය තීරණය කරනු ලබන්නේ මුළු රටේම ප‍්‍රකාශිත වලංගු ඡුන්ද ප‍්‍රමාණයෙන් හරි අඩකට වඩා ලබාගැනීම සහ ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් වැඩිම ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගැනීමට සමත් වීම විසිනි. එය අවධාරණය කළ යුතු කරුණක් වන්නේ මැතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී ඊට ජාතිවාදී අර්ථ කථනයන් ඉදිරිපත් කිරීම පවතින නිසාය. නමුත් එම මැතිවරණ ප‍්‍රතිඵල මඟින් ලංකා දේශපාලනයේ ප‍්‍රකාශිත වන ජාතික විරසක භාවයන්ගේ අර්බුදය පිළිබඳව කිසිසේත් අවතක්සේරු නොවිය යුතුය. ඒ අනුව ජාතික සමගිය ගොඩනැඟීම මෙන්ම සමාජ සුභසාධනය සහතික කිරීම මෛතී‍්‍ර රනිල් මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රධාන පොරොන්දුව බවට පත්වන්නේ අහම්බෙන් නොවේ. ඒවා ඉටු කළ හැකිද සහ ඒ සඳහා වු සැබෑ වුවමනාවක් පවතින්නේද යන දේශපාලන විවාදය පසෙකින් තැබුවද ඒවා වර්තමාන පාලනයේ සමාජ අර්බුද බවට පත් වී ඇති බවට කිසිසේත් විවාදයක් නොපවතියි.

සිය මැතිවරණ පොරොන්දුව අනුව යමින් මෛතී‍්‍රපාල සිරිසේන මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට තනන ලද විශේෂ පීඨිකාවක සිට ජාතිය අමතමින් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂවල සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෙවත් ජාතික ආණ්ඩුවක් ගොඩනැඟීම සඳහා එක් වන ලෙස විවෘත ආරාධනයක් සිදුකරන ලදී. නමුත් මෙම ආරාධනය ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් නිදහස් චතුරශ‍්‍රයේ දී සිදු කරනවා වෙනුවට දළදා මාළිගාව ඉදිරිපිට හෝ එහි පත්තිරිප්පුව තෝරා ගැනීම සලකා බැලූ කළ මුල් මැතිවරණ පොරොන්දුවේ සඳහන් ජාතික සමගි සන්ධාන ආණ්ඩුවක් ගොඩ නැඟීමෙන් කිසියම් විතැන් වීමක් පෙන්නුම් කරන බව ද සඳහන් කළ යුතුය. කෙසේවෙතත් මැතිවරණ ව්‍යාපාරය තුළ දී මෙන්ම මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ   ජයග‍්‍රහණයෙන් පසුව ද දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, වතුකරයේ බොහෝ පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ග‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු සහ මහින්ද රාජපක්ෂ පාලනය නියෝජනය කළ වමේ පක්ෂ සහ සියලූ දෙනාම දින 100 යේ ආණ්ඩු වැඩපිළිවෙළට දැනටමත් සහාය   දැක්වීමට ඉදිරිපත් වී සිටින නිසා එක්තරා ආකාරයක ජාතික ආණ්ඩුවක් ගොඩනැඟී ඇත.

සර්ව පාක්ෂික හෙවත් ජාතික ආණ්ඩුවක් පිළිබඳ ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසයේ බෙහෙවින්ම සාකච්ඡුාවට බඳුන් වී ඇති මාතෘකාවකි. ලෝක දේශපාලන ඉතිහාසය අනුව වුවද මෙවැනි මාතෘකා දේශපාලන කරළියට රැුගෙන එන්නේ පවතින පාලනයේ අතිශය ගැඹුරු සංකීර්ණ අර්බුදකාරී අවස්ථා පියමන් කිරීම සඳහායි. ඒ නිසා මෙය තාවකාලික ස්වභාවයක් ගැනීම ද ආවේණික ලක්ෂණයක් වන අතර කිසියම් දේශපාලන පක්ෂයක් තම බලය තහවුරු කර ගැනීමත් සමඟ මෙම මාතෘකාව දේශපාලන කරළියෙන් බැස යන බව ද ඒ අනුව අමතක නොකළ යුතුය. ඉහතින් සඳහන් කළ පරිදීම මෙම ජාතික ආණ්ඩු සංකල්පය මෑත කාලීනව මුලින්ම සාකච්ඡුාවට බඳුන් වූයේ 2007 – 2009 උතුරු නැෙඟනහිර යුද්ධය පැවැති වකවානුවේ සිටය. ඉන් අනතුරුව වුවද විශේෂයෙන් යුද්ධය නිමා වීමෙන් පසු එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ බොහෝ මන්තී‍්‍රවරු මහින්ද රාජපක්ෂ පාලනයට එක් වීමෙන් ඉතා ශක්තිමත් පාර්ලිමේන්තු නියෝජනයක් පැවැති ආණ්ඩුවක් ගොඩනැඟීීමට හැකි වී තිබුණි. මෙම දේශපාලන ප‍්‍රවණතාව කෙතරම් ප‍්‍රබල වීද යත් පසුගිය ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කරන අවස්ථාව වන විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මුළු මන්තී‍්‍ර සංඛ්‍යාව වන 225 න් කතානායකවරයා හැරුණුකොට 168 ක්ම නියෝජනය කළේ පැවැති ආණ්ඩුවයි. නමුත් එම ශක්තිමත් ‘සර්වපාක්ෂික’ ආණ්ඩුව ජාතික සමගිය යහපාලනය වූ සමාජ සුභසාධනය යන කිසිවක් සමාජමය වශයෙන් තහවුරු කිරීමට යුද්ධය නිමා වී වසර පහක් ඉක්ම තිබිය දී වුවද සමත් වී නොතිබුණි. මේ වන විටත් ‘සර්වපාක්ෂික’ ආණ්ඩු නමින් සිදුව තිබෙන්නේ එයම නොවන බවට කිසිවකුට හෝ සහතිකයක් දිය හැකිද? ඊට හොඳම නිදසුන වන්නේ පැවැති ආණ්ඩු බලය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය දින 100 මෛතී‍්‍ර රනිල් පාලන වැඩපිළිවෙළට සහාය දක්වන බවට ප‍්‍රකාශ කර තිබියදී වුවද එය නියෝජනය කළ මන්ත‍්‍රීවරු 168න් මෙම ලිපිය ලියන මොහොත වන විට 112 දක්වා පහත දමමින් බොහොමයක් මන්ත‍්‍රීවරුන් වත්මන් පාලනය හා එක් වී තිබීමයි. එමඟින් ගම්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ අතිශය බහුතරය මහින්ද රාජපක්ෂ පාලනය හා එක් වුවාසේම අද මෛතී‍්‍ර රනිල් පාලනය හා එක් වී සිටින බවයි. එය පාර්ලිමේන්තුවේ පමණක් නොව රාජ්‍ය පාලනයේ සියලූ දේශපාලන නිලතල දැරුවන් තුළින් ද සිදුවෙමින් පවතියි. එහෙත් මෙහි ඇති බරපතළම ප‍්‍රශ්නය වන්නේ ඔවුන් මඟින් ජාතික සමඟිය, යහපාලනය සහ සමාජ සුභසාධනය සමාජ අරමුණු සාක්ෂාත් කර ගත හැකිද යන්නයි.

මෙය ප‍්‍රකාශිත අරමුණු සහ ප‍්‍රයෝගිකව සිදුවන දේ අතර ඇත්තේ බරපතළ පරස්පරතාවකි. අපි තවත් නිදසුනක් ගනිමු. ජාතික සමඟි සන්ධාන ආණ්ඩුවක් ගොඩනඟන බව මූලික මැතිවරණ පොරොන්දුවකි. මහින්ද රාජපක්ෂ පාලනය යුද්ධය නිමා කළේ ජනතාවට ජයග‍්‍රහණ අත්පත් කර දෙමින් නොවන බව මෙවර මැතිවරණ ප‍්‍රතිඵල තුළින් වුවද පෙනේ. අප එසේ කියන්නේ මහින්ද රාජපක්ෂ පාලනය දිගින් දිගටම එය තමන් ලද යුද ජයග‍්‍රහණයක් ලෙස සැලකීමත් එමඟින් මිලිටරිමය සහ සංස්කෘතිකමය ආධිපත්‍යයක් තමිල් සහ මුස්ලිම් මෙන්ම සිංහල කි‍්‍රස්තියානි ජනයා තුළ ද බලපැවැත්වීමට උපයෝගී කරගැනීම නිසාය. ඊට එම ජනයා තුළ පැවැති විරෝධය පැහැදිලි ලෙසම මැතිවරණ ප‍්‍රතිඵල තුළින් ප‍්‍රකාශයට පත් වී ඇත. එසේ නම් එම ආධිපත්‍ය ඉවත් කිරීම ජාතික සමගි සන්ධානයක් ගොඩනැඟීම සඳහා අත්‍යවශ්‍ය පියවරකි. මේ පිළිබඳව විවෘතව සාකච්ඡුාවක් නොපැවැත්වීම තුළින් පෙනී යන්නේ ඒ සඳහා ඉඩකඩ අවම කරගනිමින් පවතින බවයි. මීට අමතරව දළදා මාළිගාව

ඉදිරිපිට ජාතිය ඇමතීම වැනි ප‍්‍රායෝගික දේශපාලන කි‍්‍රයාකාරීත්ව එම තත්වය තවදුරටත් වැඩි දියුණු කරයි.

යහපාලනය ඇති කිරීම පිළිබඳව ද මෙවැනිම ගැටලූ පවතියි. එහිදී වැඩිපුරම සමාජ අවධානය යොමු වී ඇත්තේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කෙරෙහිය. කොටස් වශයෙන් සිදුකරන එවැනි ප‍්‍රතිසංස්කරණ මඟින් පවතින සමාජ අර්බුදයන්ට පිළිතුරු ලැබේ යන විවාදය පසෙකින් තැබුව ද එවැනි ප‍්‍රතිසංස්කරණ සඳහා විනිවිද පෙනෙන යාන්ත‍්‍රණයක් සකස් කිරීම කෙරෙහි ජනතා අවධානය යොමුවිය යුතුය. එම ප‍්‍රතිසංස්කරණ යෝජනා සැකසීම සඳහා පාර්ලිමේන්තු නියෝජනයන්ට අමතරව ඍජුවම වෙනත් ජනතා සංවිධාන සම්බන්ධ කර ගතයුතු බවටත් එවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ජනමත විචාරණයකට ලක්කළ යුතු බවටත් වමේ පෙරමුණ කියා සිටින අතර ජනතා විමුක්ති පෙරමුණ ද කැබිනට් මණ්ඩලයට ඉහළින් පවතින ජාතික විධායක සභාවක් මඟින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ යෝජනා සකස් කළ යුතුයැයි ප‍්‍රකාශ කර ඇත. කෙසේවෙතත් මෙම දේශපාන යෝජනා පිළිබඳව තවමත් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කර නැත. මීට අමතරව ජවිපෙ පරිවාස ආණ්ඩුවේ වැඩපිළිවෙළ තුළින් රැුගෙන ආ 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යාස්ථා පිළිබඳව ද ලාංකේය සමාජයට අත්දැකීමක්   ඇත. එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කෙටි කාලයකට සීමා වීම පිළිබඳව මෙන්ම එම කෙටිකාලය තුළදී පවා ඒවා ප‍්‍රායෝගිකත්වයට රැුගෙන ආවේ නැත. සමාජ සුභසාධනය සම්බන්ධයෙන් ඇත්තේ ද මීට නොදෙවැනි අත්දැකීම්ය. ඒ නිසා දින 100 යේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගනිමින් සංක‍්‍රාන්තික කාලය ගෙවා දැමීමේ ඇස් බැන්ඳුමක් ද යන්න පිළිබඳව සමාජය තුළ ඇති සැක සංකා බැහැර කළ නොහැක. අනෙක් අතට පවතින පාලනය මුහුණ දී සිටින දේශපාලන අර්බුදය සලකා බලන විට තවදුරටත් එවැනි හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයකින් තොරව පවතින පාලනය ඉදිරියට යා හැකිද යන්න පිළිබඳව ද ඇත්තේ අභියෝගයක් බව අවබෝධ කරගත යුතුය.

චන්ද්‍රසිරි ලන්දගේ

Advertisements