උන්ගේ පොරය සහ අපේ අරමුණු

may dayමැතිවරණ දේශපාලනය මැතිවරණ දේශපාලනය තුළ සමාජවාදියාගේ කාර්යභාරය විය යුත්තේ එම මැතිවරණය නියෝජනය කරමින් පන්ති දේශපාලනය කම්කරු පන්තිය වෙත රැගෙන යාමයි. ධනපති පන්තියේ පන්ති කි‍්‍රයාකාරීත්වය සකස් වී ඇති ආකාරයත් වැඩකරන ජනතාවත් ගොවි ජනතාවත් ඇතුළු සමස්ත පීඩිත පන්තිි ජනතාවත් තම ජයග‍්‍රහණය ලබාගත හැක්කේ සංවිධාන ශක්තිය පණගන්වා කේවල් කිරීමේ හැකියාව ප‍්‍රබල කිරීමෙන් පමණක් බවත් හැමදාමත් පාලක ධනපති පන්තිය පීඩිත පන්ති ජනයා රවටමින් මග නොහරින ආකාරයත් ධනපති පන්තියේ පිල් මාරුව මැතිවරණ කි‍්‍රයාව තුළ සියලූ සූරාකෑමට හසුවන ජනතාව දෑස් වසා නොමග හරිමින් තම බලය යළි යළිත් ලබා ගන්නා ආකාරයත් එම තත්වයන් හඳුනා ගනිමින් ඉන් මිදී පන්තිමය ජයග‍්‍රහණයත් ළඟා කරගත හැක්කේ ඔවුන්ගේ රැුවටිලිකාර ඉච්ඡුා බස්වලට අවනත වීමෙන් නොවන බවත් ධනපති පාන්තික ඒකාධිකාරී බලය පලවා හැරිය හැක්කේ නිර්ධන පාන්තික අයෝමය සංවිධානාත්මක බලයකින් පමණක් බවත් යන පණිවිඩය රැුගෙන යාමේ ඉනිමඟක් ලෙස මැතිවරණය පාවිච්චි කළ යුතුය. මේ පිළිබඳව හොඳම උදාහරණය 8 වැනි දා අවසන් වූ ජනාධිපතිවරණයයි. ධනපති පන්ති කණ්ඩායම් දෙක එකිනෙකාගේ රෙදි ගලවා ගත් අතර පිල් මාරුව කිසිදු හිරිකිතයකින් තොරව සිදුවිය. උගත් බුද්ධිමත් යැයි සම්මත සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන බණ දෙසන වාමවාදී මහත්වරු පිල් දෙකට බෙදී මෙයා නොවේ අරයා හොඳයි අරයා නොවෙයි මෙයා හොඳයි’ යනුවෙන් වැදි බණ දෙසූහ. දැන් සිදුවීම පැහැදිලිය. පරාජිතයන් සහ ජයග‍්‍රාහකයන් එක වර්ගයේ සතුන්ය. ධනපති පන්ති පවුලේ කලබගෑනිය යළිත් මැතිවරණයක් එනතුරු අවසන්ය. කවුරු කවුරුත් එක්තැන් වෙමින් යහන්ගත වීම අරඹා තිබේ.

අලූත් වටයකින් ජනතාව පීඩාවට පත්වීම අරඹා තිබේ. දෙනවා කියූ දේවල් ඉල්ලා සිටීමටත් ඒවා ලබා ගැනීමට වැඩකරන ජනයාට ඇති අයිතිය ශක්තිමත් කරමින් සැබෑ වමට මහත් කාර්යභාරයක් ඉටු කිරීමට තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණයට මාස කිහිපයකට කලින් බොනපාට් ලොකුද? අපේක්ෂකයා පොදුද? අපේක්ෂාව සුදුද? යන මැයින් කරන ලද දේශනයේ අරුත බොනපාට් ලොකු නොවන බව, ඔහු වේදිකාවෙන් ඇද දමා සනාථ කර ඇත. ධනපති පන්තියට අපේක්ෂකයා පොදු වී ඇති අතර අපේක්ෂාව සුදුද යන්න නිර්ධන පාන්තික බහුජනයාට ඉදිරියේ දී දැකගත හැකිවනු ඇත. වේදිකාවේ හැඩය වෙනස් වී ඇත. නළුවන් රංගනයේ යෙදෙන්නේ තිරකථාව එසේම තිබිය දී රූපරාමුව වෙනස් කරමිනි.

දැන් යළිත් මැතිවරණයක් එනතුරු ජනතාව වෙත යන නඩයක් නැත. භූමිය කෙටි කලකට නිසංසලය. මේ මොහොතේ පන්ති අවබෝධය සමාජය වෙත ගෙන යමින් සමාජවාදියාගේ කාර්යභාරය වඩාත් වේගවත්ව සිදුවිය යුතුය.

මැතිවරණයකට පෙරත් මැතිවරණයකට පසුවත් අවස්ථාවාදී වම්මු ඉතිහාසයේ කළ දේ යළි යළිත් කරමින් සිටී. මැතිවරණයේ දී කුමාර් ගුණරත්නම් පැමිණීම ජ.වි.පෙට අනුව අරහංය. පසුගිය වාරයේ මාධ්‍යයට පැවසූ පරිදි එවැන්නකු ජ.වි.පෙ තුළ සිටියේ නැත.

මේ මොහොතේ ජ.වි.පෙ. ඉතිහාසය හොඳින්ම දන්නා ඒ තුළ 1966 සිට අඛණ්ඩ සම්බන්ධතාවකුත් කි‍්‍රයාකාරී වැඩ කොටසකුක් 2005 වනතුරු ඉටුකළ කෙනෙකු ලෙස පැහැදිලි කළ යුත්තක් ඇත.

1971 අරගලයට සම්බන්ධ වූ එදා ශ‍්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමගි පෙරමුණ ආණ්ඩුව අපරාධ යුක්ති කොමිසන් සභාව නමැති ලංකා ඉතිහාසයේ සමාජවාදීන්ට එරෙහිව පිහිටුවන ලද අධිකරණ පද්ධතිය තුළින් රෝහණ විජේවීර සහෝදරයා ජීවිතාන්තය දක්වා සිර දඬුවමට යටත් කරන ලදී. එම පනත යටතේම විදේශ විනිමය වංචාකරුවන් වන තහා, මුක්තාර් වැනි මහා ධන කුවේරයන් සිරගත කරන ලදී.

1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත් විගස ජේ.ආර්. ජයවර්ධන අපරාධ යුක්ති කොමිසන් සභා පනත අහෝසි කළේ තම හිතමිතුරන් නිදහස් කර ගැනීමටයි. එම පනත යටතේ සිරද`ඩුවමට ලක්ව සිටි විජේවීර සහෝදරයා ඇතුළු සගයන් නිදහස් වුණේ කෙසේද? එදා අවස්ථාවාදී වම්මු කියා සිටියේ ජේ.ආර්. තම සුරතලා නිදහස් කළ බවයි. විජේවීර සහෝදරයා අවඥාවට ලක් කළේ එසේයි. මෙවැනි අදහස් පළකළ මෘග‍්‍රයන් රෝහණ සහෝදරයා යූ.එන්.පී. ආණ්ඩුවෙන් මරා දමද්දී මුනිවත රැුක්කේය. පුදුමය නම් එය නොවේ. දස දහස් ගණන් විප්ලවාදීන් අවස්ථා දෙකක කුරිරු වද බන්ධනයට ලක්කර මරා දමා තිබිය දී මහත් ධෛර්යයෙන් යුතුව නැවතත් පක්ෂය ගොඩනගුවේ එසේ නැවත ගොඩනැගීමට පෙරමුණු කාර්යභාරයක් ඉටු කළ සහ ජ.වි.පෙ විසින්ම විදේශගත කළ කුමාර් ගුණරත්නම් සහෝදරයා ගෝඨාභය ගෙන්වා ගත්තා යැයි අවලාද නඟමින් තම පක්ෂ සාමාජිකයා ඇතුළු ජනතාව නොමඟ හැරීමයි.

1994 මහ මැතිවරණය ප‍්‍රකාශයට පත් කරන විට ජනතා විමුත්කි පෙරමුණ තහනම් පක්ෂයකි. එම මැතිවරණයට ජ.වි.පෙ. කඩා වැදුනේ ජේ.ආර්. ගෙන් තහනම ඉවත් කරගෙනද? පරණ සම සමාජ කොමියුනිට්ස් පක්ෂ ධනපති පන්තියට කඬේ ගියා සේම. ඔවුන්ගේ අභාවයත් සමඟ ජ.වි.පය එම ස්ථානය බාරගෙන තිබේ.

කුමාර් ගුණරත්නම්ගේ භූමිකාව කුමක්දැයි මෙරට පාලක පන්තිය හොඳින් දනී. ඔවුන්ට කුමාර් ගුණරත්නම් බිහිසුණු සතුරෙකි. ඔහු කවුදැයි එදා 1988, 1989 සමයේ දී ධනපති ගහලයන්ට කිසිසේත්ම හඳුනාගැනීමට නොහැකි වුණේ අත්අඩංගුවේ සිටි ඔහු දන්නා සහෝදරයන් වද බන්ධනයට ලක් වෙමින් ජීවිත පූජා කරමින් ඔහු ආරක්ෂා කළ නිසාය.

අද තම අවස්ථාවාදී ගමන වෙනුවෙන් තම සාමාජිකයන් නොමඟ හරිමින් කටයුතු කරන ජ.වි.පෙන් තව ඇසිය යුත්තක් ඇත. සෝමවංශ අමරසිංහ ජ.වි.පෙ. නායකයා ලෙස ලංකාවට ආවේ ධනපති ආණ්ඩුවෙන් අවසර ගෙනද?

එළඹුණ ජනාධිපතිවරණයේ දී වමේ පෙරමුණක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වාම අවස්ථාවාදයට අතුල් පහරක් විය. දැන් කතාව ‘ලැබුණු ඡුන්ද ටික’ ගැනයි. අන්තර්ජාල වෙබ් අඩවි තුළ වහසිබස් කියන මහත්වරුනි, මෙම ඡුන්ද කි‍්‍රයාවලියේ දී වමේ පෙරමුණ කතිර හිඟමනේ ගියේ නැත. ලැබුණ ඡුන්ද පන්ති අරමුණකින් යුතු සැබෑ මිනිසුන්ගේ ඡුන්දයි. දස දහසකට ආසන්න ප‍්‍රමාණයක් හෙට දවසේ පන්තියට සමාජවාදය දිනා දීමේ අරගලයේ දී අතිමහත් දායකත්වයක් ලබා දෙන බව අපට විශ්වාසයි. ඒ ඔවුන් කවුරුන්දැයි අප දන්නා නිසාය.

ජී. ගුරුගේ

Advertisements