ඉඩම් නිවාස අයිතිය සඳහා කඳුකරයේ විලාපය

estate-line-housesමෙම ලිපියට සංකල්පය ගොඩනැඟුනේ කොළඹ කොටුවේදීය. කඳුකරයට අදාළ ලිපියක වස්තු බීජය කොළඹ දී හමුවීම එක අතකට ඔබට ප‍්‍රහේලිකාවක් වනු ඇත. ජනාධිපතිවරණයට පාළු වූ කොළඹ යළි පණ ගැසූ සඳුදා දින උදේ වරුවේ නිනව් නැතිව සුපුරුදු පරිදි හැල්මේ දුවන මිනිස් පොදිය අතරින් මම ද කොටුව දුම්රියපොළ දෙසට ඇදුනෙමි. එකිනෙකා පරයමින් දුවන්නට වලිකන, කලබලකාරී මිනිස් සමූහයා අතර අත්පත‍්‍රිකාවක් බෙදමින් සිටින තරුණයෙක් මට ද අත්පත‍්‍රිකාවක් දිගු කළේය.

මැහුම් ඩිප්ලෝමා, කුකරි ක්ලාස්, උපාධි පාඨමාලා ඇතුළු නන්වැදෑරුම් අත්පත‍්‍රිකා අතර මෙහි විශේෂත්වයක් තිබිණි. එය බෙදා තිබුණේ ”කඳුකර ජනතාවගේ ඉඩම් නිවාස අයිතිය සඳහා ජනබලය” නමිනි. දුම්රියපොළේ මොහොතක් නැවතී එය කියවා, ඔවුන් සමඟ සාකච්ඡුා කළ පසුව ‘කඳුකරයේ විලාපය’ අකුරු කරන්නට මට සිතිණි.

මට මුලින්ම හමු වූ අත් පත‍්‍රිකා බෙ¥ තරුණයාගෙන්ම මේ කතාව අරඹන්නෙමි. ඔහු නමින් මාර්ක්ස් ප‍්‍රභාගර්ය. තතනමින් එහෙත් උපරිම පැහැදිලිව කතා කරන්නට උත්සාහ කරමින් ඔහු ලිඛිත සිංහල භාෂාවෙන් මේ ප‍්‍රශ්නය විග‍්‍රහ කරන්නට විය.

”වතුකම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් වන ඉඩම් අයිතිය ලබාගැනීම තමයි මේ අරගලයේ ඉලක්කය. දැනට තියෙන ලැයිම් ක‍්‍රමයේ ප‍්‍රශ්න හා අර්බුද ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට පසුගිය දවස්වල නායගිය මීරියබැද්ද වත්තේ පවුල් බොහොමයක ජීවිත හානි සිදුවුණා. එසේ පවුල් විශාල ප‍්‍රමාණයක් එකතැනක ඒ විදිහට වැළලූනේ ලැයිම් කාමර නිසා. තනි ගෙවල් ක‍්‍රමය තියෙනවා නම් මිනිස්සුන්ට ජීවත් වෙන්න පහසුයි. ඒ වගේම අනතුරක දී ගොඩ දෙනෙක් අනතුරට ලක්වෙනවා අඩුයි. නාවලපිටියේ දී පසුගිය දවසක විදුලි කාන්දුවක් නිසා ගෙවල් 24ක් ගිනිගත්තා. මේ එක තැනක වුණු පොඩි කාන්දුවක් නිසා එකට තියෙන ගෙවල් ගොඩක් විනාශ වෙනවා. ඒ මිනිස්සුන්ට ඒ බඩුමුට්ටු ආපහු කවුරුත් අරන් දෙන්නේ නැහැ. ගෙවල් කවුරුත් හදලා දෙන්නේ නැහැ. මේව වළක්වන්න තනි ගෙවල් ක‍්‍රමය අවශ්‍යයි.”

වතු කම්කරුවන්ගේ ජීවිත ගැන අපි නොදැන උන්නා නොවේ. එහෙත් අපට ඒ ගැන කල්පනා කරනවාට වඩා වැඩකටයුතු එමට තිබේ. පසුගිය දිනවල මීරියබැද්දේ නායයාමෙන් කම්පා වූ අප ඊට ටික දිනකට පසු එය ද අමතක කර ජනාධිපතිවරණයේ පැතිමාරු ජවනිකාවල නරඹන්නන් ලෙස ප‍්‍රීතිවීමු. දැන් පාප් වහන්සේගේ පැමිණීමේ ජවනිකාවේ ප‍්‍රීතිය විඳිමු. එනිසාම මහා වරදකාරී හැඟීමක් මට දැනෙන්නට විණි. සමාවන්න, මෙය කියවන ඔබට එසේ නොදැනෙනවා විය හැක.

ලැයිම් කාමර සාදා මේ වන විට වසර 200කටත් වැඩි අතර අලූත්වැඩියාවක් හෝ නඩත්තුවක් නොමැතිව කානු කැඞී ඇති, අපජලය උතුරන, ගෙවල් බොහොමයක් එකට ඇති නිසාවෙන්ම කුණු ජරාව වැඩි, දරුවන් ලෙඩ වෙන ලැයිමේ මේ ජීවිතය සිය උරුමය සේ සිතන බොහෝ අයට ජවයක් වෙමින් ඔවුන් සිය අරගලය අරඹා ඇත.

”ලැයිමේ 8ං10 කාමරවල තමයි උයන්නේ, කන්නේ, ඔක්කොමලා නිදියන්නේ. දරුවො වැඩිහිටියෝ, තරුණියො ඔක්කොමලා එකට. ඒ අයගේ කායික හා මානසික අවශ්‍යතාවන් වෙනුවෙන් වත් වෙනම තැනක් නැහැ. ඇත්තටම සත්තු වගේ තමයි ජීවත්වෙන්න වෙලා තියෙන්නේ. එක ගෙදරක ටිකක් හයියෙන් රේඩියෝව දැම්මොත්, එක ගෙදරක රණ්ඩු වුණොත් මුළු සේරටම ඇහෙනවා. දරුවොන්ට පාඩම් කරන්න බැහැ. බොන්න පිරිසිදු ජලය නැහැ. හැතැප්ම ගණන් වතුර හොයන් යන්න ඕන. අධ්‍යාපනය සෞඛ්‍ය හරිම දුර්වලයි. ඒ වගේම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ හෙම්බිරිස්සාවට උණටවත් හරියට බේත් නැහැ. මේ ඔක්කොම අපහසුකම් විඳගෙන අවුරුදු ගාණක් කටපියාගෙන උන්නා”

අතොරක් නැතිව ඔහු කියමින් යන්නේ ඔවුන්ගේ ජීවිතවල ඛේදවාචකයයි. අප අතර ඇති භාෂාමය අසීරුතාව නොවුණිනම් මේ සංවාදය තවත් හෘදයාංගම වේ යැයි ඔහු වචන සොයද්දී, සිය අදහස පැහැදිලි කිරීමට වෙහෙසෙද්දී මට සිතුණු වාර බොහොමයකි. මේ අරගලය පිළිබඳ වතුකරයේ ජනතාවගේ ප‍්‍රතිචාරය කුමක්ද? ඔහුගේ දීර්ඝ අදහස් දැක්වීමට බාධකයක් දමමින් මා ඇසීමි.

”මීරියබැද්ද, ඩයගම සිදුවීම්වලට පස්සේ ගොඩක් අයට මේ ප‍්‍රශ්න තදින් දැනෙනවා. ගොඩක් දේශපාලකයෝ නිවාස දෙනවා කියලා බොරු පොරොන්දු දුන්නා. ඒත් ලැබුණෙ නැහැ. ඒ නිසා හැමෝම මේ සටන වටේ එකතුවෙලා ඉන්නවා. ඒ වගේම අපි අලූත් පිරිස් මේ අරගලයට එකතු කරමින් ඉන්නවා. ඒ නිසා තමයි මේ විදිහට ගමින් ගමට ගිහින් රටම දැනුවත් කරන්න අත් පත‍්‍රිකා බෙදන්නේ. ”

තවත් බොහෝ කාරණා ප‍්‍රභාගර් අතින් කියවුණා. ඒ සියල්ලම පත්ඉරුවේ සටහන් කළ නොහැකි වුවත්, ඔවුන්ගේ ජීවිත පිළිබඳ දිග පළල ඒ කතාබහ තුළින් හඳුනාගත හැකිවුණා. ඒ නිසාවෙන්ම ඔවුන්ගේ ජීවිත පිළිබඳ තවදුරටත් සොයා යා යුතු බව මට හැඟුණා. ඒ ජීවිත සැබැවින්ම ඔවුන්ගේ ගෙවල් ඉදිරිපිට උතුරා යන කුණු කානු සේම ගඳ ගහන ජීවිත බැව් තවදුරටත් සනාථ කරමින් මා සමඟ කතාබහට මීළඟට එක්වුණේ තරමක් මැදිවියේ අයෙක්. ඔහු නමින් කනපති. කඳුකරයේ තේ ගස් යට පොළොවට පස් වුණු මිනිසුන්ගේ වේදනාව, පාලකයන් විසින් රවටන ලද මිනිසුන්ගේ හැඟීම් කනපති වචනවලට පෙරළුවේ මෙහෙම.

”කඳුකර මිනිස්සු අවුරුදු 200ක් මේ රටේ ආර්ථිකය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරලා තියෙනවා. ඒත් මේ ධනේශ්වර සමාජයේ මූලික අයිතීන්වත් ලැබිලා නැහැ. මිනිස්සු වගේ ජීවත් වෙන්න ඕන කියලා හිතාගෙන තමයි මේක කරන්නේ. හැමෝටම සමාන ජීවිතයක් තියෙන්න ඕන. ”

ඉතාම සරලව කෙටියෙන් ඔහු ඔහුගේ අදහස හමාර කළා. ඒ තවත් අය වෙත අත්පත‍්‍රිකාව බෙදා දීමේ අරමුණින්.

මියගිය පසුව මේ මිනිස්සුන්ට අඩුම තරමින් මිනිය වළලන්නවත් තැනක්, ඒ කියන්නේ කනත්තක්, කැරකොප්පුවක් නැහැ. කවුරුහරි මැරුණම මිනිය වළලන්නේත් තේ පඳුරු යට. ඒ බිම පාගගෙනමයි තේ දළු නෙළන්නේ. දිනකට රුපියල් 350 වැටුපට ඔවුන් ජීවත්ව සිටින විට තමන්ගේ ලේ දහදිය කඳුළු දියකරන තේ ගස් දළුලන්නේ මියගිය ඔවුන්ගේ ශරීර සාරයත් අරගෙන.

මීළඟට කතාබහ ඇරඹූයේ කඳුකර ජනතාවගේ ඉඩම් නිවාස අයිතිය සඳහා ජනබලය සංවිධානයේ සුජිත් කුරුවිට. මේ ඔහුගේ අදහස්.

”මේ ආණ්ඩු ධනපති පන්තියේ වාසියට ඕනම දෙයක් කරනවා. මුහුද ගොඩකරලා චීනෙට දෙනවා. පුළුවන්නම් කඳුත් කපලා දෙයි. ඒත් අවුරුදු 200ක් තිස්සේ මේ රටේ ආර්ථිකය වෙනුවෙන් දහදිය හෙළන වතු කම්කරුවන්ට මොනවද ලැබී තියෙන්නේ. සමහර දවස්වලට කන්නවත් නැහැ. රොටියයි, තේ කෝප්පයයි තමයි ප‍්‍රධාන ආහාරය. අඩුම තරමේ සීනි ටිකක්වත්් නැතිවයි සමහර දවසට තේ බොන්නේ. මේ වගේ විශාල අපහසුතාවන් මැද දරුවන්ට උගන්වනවා, ලෙඩට බේත් ගන්නවා කියන දේවල් විහිළුවක් වගේ. මේ මිනිස්සුන්ට අඩුම තරමින් සෞඛ්‍යවත් ජීවිතයක් මිනිස්සු විදිහට ජීවත්වෙන්න තියෙන අයිතිය වෙනුවෙන් තමයි මේ අරගලය අපි පටන් ගත්තේ. ඒ නිසා මොනතරම් බාධක ආවත් කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය ලබාගෙන මිස මේ සටන අතඅරින්නේ නැහැ කියන විශ්වාසය එක්ක තමයි අපි මේ සටන ආරම්භ කළේ. ”

ඉදින් දැන් ජනාධිපතිවරණය හමාර වී ඇත. කඳුකර ජනතාවට ලබාදුන් පොරොන්දු පමණක් ඉතිරි වී ඇත. අහිමි ජීවිතය වෙනුවෙන් ඔවුන් සටන ආරම්භ කර ඇත. ඒ සටන, අපි රස විඳින තේ කොළ රස වෙනුවෙන් සිය ජීවිතය තේ ගස් මුල වළලා දැමුණු මිනිසුන්ගේ සටනයි. අපට අමතකව ගොස් ඇති, සීතල කඳුකරයේ නාය යන පස් කඳු යට නිහ`ඩවම වැළලූණු මිනිසුන්ගේ සටනයි. ඔවුන්ට මිනිසුන් ලෙස ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් හ`ඩ නඟන සටනයි. ආණ්ඩු කොතරම් මාරු වුව ද මුහුණු කෙතරම් මාරු වුව ද සිසුන්, කම්කරුවන්, ධීවරයන්, ගොවීන් සිය අයිතීන් වෙනුවෙන් මෙලෙස තැනින් තැන හ`ඩ නඟනු ඇත. විය යුත්තේ ඒ සටන් සියල්ල ඒකාබද්ධ වීමය. එනම් සියල්ලෝම සිය අයිතීන් උදෙසා එකම සටනකට පෙළ ගැසීමය.

ශ්‍යාමලී ලියනආරච්චි

Advertisements