පරණ පාලනයේ විෂබීජවලින් අලුත් පාලනය ආතුරවන එක නවත්වන්න ඕන!

saumya-liyanage

සෞම්‍ය ලියනගේ

පසුගිය ජනාධිපතිවරණය තුළ ඇති වූ වෙනස පිළිබඳ සිදු කෙරෙන සාකච්ඡුාවක දී කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සිවිල් බුද්ධිමතුන් විසින් ‘පුරවැසි බලය’ ක‍්‍රියාකාරීත්වය තුළ ඉටු කළ කාර්යභාරය අමතක කළ නොහැකිය. තරුණ රංග ශිල්පියකු ලෙස ජනප‍්‍රියත්වයට පත්ව දැන් සෞන්දර්ය ආචාර්යවරයකු ලෙස කටයුතු කරන සෞම්‍ය ලියනගේ එම ක‍්‍රියාකාරීත්වය තුළ විය. ඇති වූ වෙනස්කම් හා එහිම අපේක්ෂිත ඉදිරි තත්වයන් සම්බන්ධයෙන් සෞම්‍ය ලියනගේ සමඟ අප කළ සංවාදයයි මේ.

  • විවිධ අරමුණු මත රාජපක්ෂ රෙජීමය තුළ ගොනු වූ ‘සංවේදී කලාකරුවන්’ කියලා පිරිසක් සිටියා. නමුත් ඒ සමස්තය විවේචනය කරමින් සිටි කලාකරුවනුත් හිටියා. සමාජයක් ලෙස අප අත්වින්ද මහින්ද රාජපක්ෂ පාලනයේ පැවැති ප‍්‍රධාන ගැටලූ පිළිබඳ ඔබ හඳුනාගන්නේ කොහොමද?

මුලින්ම කියන්න ඕන, පසුගිය ජනාධිපතිවරණයෙදි අප ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ වුණු කාර්යයන් ගැන. එහිදී අප කළේ විශාල බලාපොරොත්තු සමුදායක් මත අපට අවශ්‍ය පරමාදර්ශී රාජ්‍යයක් බිහි කරගැනීමේ අධ්‍යාශයෙන් කළ මැදිහත්වීමක් නෙවෙයි. 2010 විතර මම අධ්‍යයන කටයුත්තකට විදේශගත වුණා. නමුත් ඒ වනවිටත් නාට්‍ය කලාවට, සිනමාවට අත්වෙමින් තිබුණු ඉරණම ගැන කලකිරීමක් තිබුණා. නාට්‍ය අනුමණ්ඩලය සහ සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ගෙන ගිය ක‍්‍රියාකලාපය කලාවට කිසිදු ලෙස හිතකර මට්ටමක තිබුණේ නෑ.

විදේශගතව ඉන්නකොටත් අපි සමහර දේවල් දැක්කා. රටේ අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක ප‍්‍රතිපාදන වෙන්කරන ලෙස විශ්වවිiාල ප‍්‍රජාව පහුගිය කාලෙ කළ අරගලය ගැන දැනගන්න ලැබුණා. ඒ අතරම අර මම කිව්ව ‘සංවේදී කලාකරුවන්’ පිරිසකට ආචාර්ය උපාධි වරුසාවක් වහිනවා. යුද්ධය අවසන් වුණාම ඝාතනය සඳහා ආචාර්ය උපාධි පිරිනැමුවෙ කොළඹ විශ්ව විද්‍යාලයෙන්. ආරක්ෂක ලේකම්ට ජනාධිපතිට ආචාර්ය උපාධි පිරිනැමුව රටක්නෙ මේක. අපි ඒ වගේ දේවල් ගැන කනගාටුවට පීඩාවට පත් වුණා. ඒත් මේ රටේ විශ්වවිiාල ප‍්‍රජාව ඒ ගැන කට හෙල්ලූවෙ නෑ.

ඒ වගේම අර සංවේදී කියන කලාකරුවන් අතර පිරිසක් මේ සමාජය තුළ ඉතාම ආධානග‍්‍රාහී සහ ම්ලේච්ඡු මතවාද පැතිරවීමට පටන් ගත්තා. ජනමාධ්‍ය ඇතුළු මතවාදී යාන්ත‍්‍රණයක් ඒ අය භාවිතයට ගත්තා. ලංකාවේ සිනමාවට, වේදිකාවට, චිත‍්‍රකලාවට පවා ඒ මතවාද පැතිරවීම පටන්ගෙන තිබුණා. ඒ පරිහාණිය සහ විනාශය දැකපු සමාජයේ විවිධ කොටස්වලට ඒකරාශි වෙන්න සිදුවුණා මේ රෙජීමය පරාජය කිරීමේ අරමුණින්. විවිධ මතවාදී ප‍්‍රතිවිරෝධතා සහ ගැටලූ මැද වුවත් අපට එකතු වෙන්න බලකරනු ලැබුවා.

පසුගිය කාලෙ මම නැවත ලංකාවට ඇවිත් දැක්කෙත් අර පරණ තත්වයම ඉදිරියට යන බවයි. මම වැඩ කරන වෘත්තතීමය ක්ෂේත‍්‍රයේ සහ කලාව තුළත් ඒක තිබුණා. ඉතින් මමත් ඒ අරමුණින් ඒ පුරවැසි ක‍්‍රියාකාරීත්වයට එකතු වුණා.

  • ජනාධිපතිවරයට බලය ගිලිහෙමින් තිබෙන විට ඉක්මනින් බලය තහවුරු කරගැනීමේ අවශ්‍යතාවක් නිසා තමයි ජනාධිපතිවරණය කැඳවුවේ. ඒ ගෙවුණු කෙටි කාලසීමාවේ ‘පුරවැසි බලය’ තුළ සක‍්‍රීයවීමෙන් හඩ නැගීමෙන් තිබෙන අත්දැකීම මොන වගේද?

රාජපක්ෂ රෙජීමය පරාජය කරවන්න කලාකරුවන් හැටියට විද්වතුන් හැටියට ඒකරාශිවීමක් තිබුණා. එකිනෙකාට තියෙන විවිධ හේතු අතර පොදු හේතු ගණනාවක් එක්කයි අපි පෙළ ගැසුණේ. මම දැකපු දේ තමයි එක රජයක් පෙරළා දමා නව රජයක් පත්වෙන කොට කලා කණ්ඩායම නිර්මාණය වෙන්නේ හුදු අභිනව රජයේ තනතුරු බලාපොරොත්තුවෙන් කියන එක තමයි සාමාන්‍ය සම්ප‍්‍රදාය. ඒක තමයි අපි දිගටම කරගෙන ආවේ. සමහරු එවැනි ක‍්‍රියාකාරකම්වල යෙදුනු කලාකාරයොත් මේ පුරවැසි බලයට ආකර්ශනය වුණා. අපිටත් ඒ ගැන විවේචනයක් තිබුණා. නමුත් අපිට සිදුවෙච්චි එක දෙයක් තමයි අපිට අනියමින් කියන්නට වුණා පොදු අපේක්ෂකයාට ඡුන්දය දෙන්න කියලා. ඒක ජවිපෙත් කළා. ඒක කළේ බලය විතැන් කිරීමට.

නමුත් පුරවැසි බලයටත් මේ පත්වන පාලනය හා ඉදිරි කි‍්‍රයාමාර්ග ගැන පුළුල් විශ්වාසයක් තිබුණා කියලා මට හිතෙන්නේ නැහැ. අපේ තිබුණ මූලික එකඟතාව තමයි අර නෛතික සිද්ධාන්ත ටික ඉටුකරගන්න බලකිරීම. විධායක බලතල පිළිබඳ, මැතිවරණ ක‍්‍රමය පිළිබඳ ගැටළුව, කොමිෂන් සභා ගැන ගැටලූව වගේ ඒවා මේ පාලනයෙන් අපිට කරගන්න පුළුවන් වෙයි කියලා හිතුවා. පරණ රජයේ රෝගී තත්වයන්ගෙන් නව පාලනයත් ආතුර වෙනවා. රෝගී වෙනවා. මේක නවත්වන්න ඕන. අපි තාම ඉන්නේ පරණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතුළෙ. පුරවැසි බලය උත්සාහ කළේ බලපෑම් කණ්ඩායමක් ලෙස ඉඳලා මේ දේවල් දිනාගන්න.

  • පසුගිය කාලෙ නව පාලනය විසින් විවිධ පත්කිරීම් කරන්න පටන් ගත්තා. එහෙත් ඒ ගැන වෙනසක් අපේක්ෂා කළ සමහරු කලකිරීමට පත් වුණා. ‘පුරවැසි බලය’ තුළත් ඒ පිළිබඳ විවේචනයකුත් කෙරුණා නේද?

සමහර ජනමාධ්‍ය ආයතන අරාජික තත්වයකට පත් වේගෙන ආවා අලූත් රජයත් එක්ක. හිටපු අය පැනලා ගියා. සමහරු ආගිය අතක් නැහැ. ඒ නිසා රජය ඇතුළෙ වහ වහා යෝජනා සම්මත කරන් විවිධ පුද්ගලයෝ මේ තනතුරුවලට පත්කරා. එතකොට පුරවැසි බලය වගේ කණ්ඩායම් ඇතුළෙ ආපහු ප‍්‍රශ්නයක් ඇති වෙනවා මේකට මොකද කරන්නේ කියලා.

ඉතින් අයින් කරනවා නම් කී දෙනෙක් අයින් කරන්න වෙයිද මේ සිස්ටම් එක ඇතුළෙ. මේක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් අපිට තියෙන්නේ මේ පාලනයෙන් වැඩගන්න බලපෑම් කණ්ඩායමක් ලෙස ක‍්‍රියාත්මක වීමයි. ඒ නිසා මම නම් ලොකු ආහ්ලාදයක නෙමෙයි පසුවෙන්නේ මේ මොහොතේ. එළියේ තියෙන්්නේ වෙන දේශපාලන සංස්කෘතියක්නේ. ඒ අය රතිඤ්ඤා පත්තු කරනවා. කිරිබත් උයනවා. සමාජයට අවශ්‍ය දේවල් තියෙන්නේ පරිකල්පනයෙන්. වියුක්ත සංකල්පයකින්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පරමාධිපත්‍ය, නීතියේ ආධිපත්‍ය වගේ දේවල් අභූත රූපී සංකල්ප. මිනිස්සුන්ට ඇත්තටම මේව තේරෙන් නැහැ. අපි උත්සාහ කරන්නේ ඒව ස්ථාපිත කරන්න. අපේ රටේ දෙමළ මුස්ලිම් මිනිසාගේ ප‍්‍රශ්නේ කරළියට ගේන්න කාටවත් බැරිවෙලා තියෙනවා. සුදු සරම ඇඳලා ගියේ නැත්තම් ඡුන්දේ දෙන්නේ නැහැ මේ රටේ. මහින්ද ඇතුළු පිරිස කළේත් විශාල රංග කාර්යයක්. ඒක මාධ්‍ය විසින් ස්ථාපිත කළා සමාජය ඇතුළෙ.

  • විධායක බලතල, ව්‍යවස්ථා සංශෝධන වෙනස් කිරීම ආදියේ කුමන සීමාවන් ද පුරවැසි බලය ලෙස සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වුණේ?

මට ඕකට ඍජු පිළිතුරක් දෙන්න බැහැ. මොකද මේ සංවිධානයේ මූලික කමිටුවක් වගේ දෙයක් තිබුනේ නැහැ. කැඳවුම්කාර මණ්ඩලයක් තමයි තිබුණේ. ඒක සංයුක්ත ප‍්‍රශ්නයක්. නමුත් විධායක ක‍්‍රමය නැති කරන්න ඕන කියලා හිතනවා. කොමිෂන් සභා පිහිටුවිය යුතුයි කියලා හිතනවා. අපිට නිශ්චිත වැඩපිළිවෙළක් ඕන. තට්ටු මාරු ක‍්‍රමයට එක එක්කෙනා පත්වෙනවා. ඒ පත්වෙන කෙනා මට හොඳ වුණාට තවත් කෙනෙක්ට හොඳ නැහැ. ඒ නිසා පුරවැසි බලය ලෙස අපි මැදිහත් වෙන්න ඕන පුද්ගලයන් පත්කිරීමට නෙමෙයි.

උදාහරණයක් ලෙස උපකුලපතිවරු පත්කිරීමේ ප‍්‍රශ්නය සෑහෙන කාලයක ඉඳන් තියෙනවා. ඒ නිසා විශ්වවිiාල තුළ පවතින දේශපාලනික තත්වය වෙනස් කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ආචාර්යවරයෙක්ට විදේශ රටක ශාස්ත‍්‍රීය කටයුතුවලට යන්න ඇමැතිවරයෙක් අත්සන් කරන්න ඕන. වෙන රටවල එහෙම නෑ. ආණ්ඩු මාරුවෙන වාරයක් පාසා උපකුලපතිවරු මාරු වුණා. ප‍්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා ආණ්ඩුව මාරු උනාට ප‍්‍රතිපත්ති මාරු නොවන හරියාකාර වැඩපිළිවෙළක් ඕන. ජනාධිපතිවරයා කිව්වා මේ පාලනය දින 100කට විතරයි කියලා. ඒත් මේ ඇමැතිවරු මේක දිගටම ඉන්න පුලූවන් කියලා අරන් තියෙන්නේ. රජයේ දීර්ඝකාලීන වැඩ සැළසුම් හැදෙන්නේ මහ මැතිවරණයෙන් පස්සේ. ඒ නිසා බලපෑම් කණ්ඩායම්වලට මේකේ කාර්යය සීමා සහිතයි. අපි තාම අපේ අරමුණු ඉටුකරගෙන නෑ. නීති ක්ෂේත‍්‍රය තුළ ඒ අය තවමත් උත්සාහ කරමින් ඉන්නව විවිධ දේ වලට.

  • මේ වෙනස්කම තුළ අත්පත් කරන්න ප‍්‍රමුඛතා ලෙස මොන වගේ අරමුණු ගැන, මොන වගේ ප‍්‍රමුඛතා ද පුරවැසි බලය තුළ අවධානයට ලක්ව තියෙන්නෙ?

අපගේ ප‍්‍රමුඛතා බැලූවම මූලික වශයෙන් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ දැඩි අවධානයක් තිබුණා. තොරතුරු දැනගැනීමේ පනත හා ප‍්‍රකාශනයේ නිදහස ගැන සාකච්ඡුා කෙරුණා. කලා ක්ෂේත‍්‍රය තුළ සිනමාව, නාට්‍ය ලේඛන කලාව තුළ වෙනස්කම් තුළින් කලා ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිසංවිධාන පිළිබඳ අදහස් හා යෝජනා සාකච්ඡා වෙනවා. හැමදාම වගේ එවැනි අරගලවල හිටපු කලාකරුවන් එතැන ඉන්නවා.

ඊළඟට අධ්‍යාපනය කියන කාරණය, වැඩි වශයෙන් සංවාදයක් තියෙන්නෙ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය ගැනයි. පොදුවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළත් විශාල ප‍්‍රශ්න ප‍්‍රමාණයක් තිබෙනවා. නමුත් උසස් අධ්‍යාපනය තුළ විශ්වවිiාල ක්ෂේත‍්‍රය විසින් ගෙන ගිය අරගලයක් තිබුණා. අයවැයෙන් වෙන් කරන ප‍්‍රතිපාදන 6%ක් ලබාදෙන්න කියන ඉල්ලීම තිබෙනවා. ඒවට සම්බන්ධ වෙනත් අතුරු ඉල්ලීම් තියෙනවා. අධ්‍යාපනය කියන ක්ෂේත‍්‍රය තමයි වැඩි වශයෙන් සාකච්ඡුාවට බඳුන්වෙලා තියෙන්නෙ. සහ මගේ දැනීම අනුව මේ ක්ෂේත‍්‍ර තමයි අපේ අවධානයට ලක් වුණේ.

ඊළඟට ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තියෙනවා යහපත් දේශපාලන සංස්කෘතියක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යහපැවැත්ම පිළිබඳ ගැටලූ අවධානයට ලක්ව තිබෙනවා. අනෙක් වැදගත් කාරණය තමයි දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය, බලය බෙදීමේ ගැටලූව වගේ දේවල් ගැන සංයුක්තව කතාකරන සංවාදයක් නැහැ. නමුත් මම දන්නවා ඒ ගැන කතාකරන විද්වතුන් සහ සමාජ ක‍්‍රියාකාරිකයන් අප අතර ඉන්නවා. එවැනි අය විසින් කතාකරන දෙයක් තමයි එවැනි මහා පරිමාණ ප‍්‍රශ්නවලට අපි යන්නෙ නැත්තෙ කියලා.

  • කලාකරුවන් හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෝ මාධ්‍යකරුවන් හෝ වෙනත් සිවිල් ක‍්‍රියාකාරිකයන් ලෙස මෙවැනි විපර්යාසකාරී ක‍්‍රියාකාරිත්වයකට යන අතර තමන් ඉන්න ක්ෂේත‍්‍රය තුළ ඉටු කරන කාර්යයත් ඒ අදහසට සමපාත වියයුතුයි නේද?

ඕක එක පැත්තකින් ද්වන්දාත්මක ප‍්‍රශ්නයක්. මට නාට්‍ය ක්ෂේත‍්‍රයේ මිත‍්‍රයෙක් කිව්වා මෙහෙම දෙයක්. ජනාධිපතිවරණයට පෙර මෙතරම් සක‍්‍රීය දේශපාලන ව්‍යුහයකට මම දායක වෙලා තිබුණෙ නෑ. ඒ වගේම මගේ සමීප මිතුරන්ටවත් එන්න කියලා මම කිව්වේත් නෑ. ඒත් ඒ මිතුරා ප‍්‍රතිපත්තිමය වශයෙන් හිටිය තැන තමයි, තමන් කරන කලාත්මක කාර්ය තුළ දේශපාලනයක් තියෙනවා, ඒ දේශපාලන එයා කරනවා, ඒක තමයි එයාගෙ දේශපාලන ක‍්‍රියාකාරීත්වය කියලා. නමුත් ජනාධිපතිවරණය ආසන්න කාලයේ එයාම මට කිව්ව දේ අනුව ඔහුගෙ අදහස වෙනසක් වෙලා තිබුණා. මිත‍්‍රයා මට කිව්වෙ ‘මේ රට යන පැත්ත බැලූවම දැන් මටත් යම් ක‍්‍රියාකාරී වැඩකට යන්න තරම් තත්වයක් තියෙන්නෙ කියලා හිතෙනවා’ කියලා. එහෙම කියපු මිතුරන් හිටියා.

ඇත්තටම අප දන්න කලාකරුවන් මේ ක‍්‍රියාවලියට එකතු වුණේ නෑ විවිධ හේතු මත. ඉතින් ඒක තමයි ඒ අයගෙ දේශපාලනය, ඒ අය වුණත් විවිධ ආකාරයෙන් තමන්ගෙ දේශපාලන මැදිහත්වීම කරන්න ඇති. ඒ ගැන සැකයක් නෑ. නමුත් අපි දන්න ප‍්‍රශ්නයක් තියෙනවා, කලාවෙන් දේශපාලනය කරන්නෙ කොහොමද වගේ කාරණා.

පොදුවෙ මිථ්‍යාව, ආධානග‍්‍රාහීත්වය ප‍්‍රතික්ෂේප කරමින් මනුෂ්‍යත්වය ඉස්මතු කිරීමේ නිර්මාණ තුළ සවිඥානකත්වයක් ගොඩ නැෙඟනවා. සහජීවනය පිළිබඳ අනෙකා පිළිබඳ අදහස් ගොඩ නැෙඟන්නෙ ඒ නිර්මාණ කාර්යයන් තුළින්. පසුගිය වකවානුව සිනමා රැල්ල, ටෙලි නාට්‍ය රැුල්ල තුළ සමාජය මත කඩා වැටුණේ ඉතාම බරපතළ නරුම මතවාදයක්.

  • මග තොටේදි හමුවන රසිකයන් අහන්නෙ ඇයි ටීවි එකේවත් පේන්න නැත්තෙ? ඔයාට වැඩ නැද්ද, ටෙලියක්වත් ලැබුණෙ නැද්ද කියලා.

පහුගිය අවුරුදු කීපයක් විදේශගතව හිටිය නිසත් ඒක තිබුණා. නමුත් අදත් මට ඒවට යන්න වුවමනාවක් ඇත්තෙත් නෑ.

  • ඔබ කියන්නේ වෙනස්කම් කිරීමේදි එවැනි ජන ප‍්‍රජාවකගේ සීමාකාරීත්වය පරිවර්තනය කරගැනීමේ ප‍්‍රමුඛතා තිබිය යුතුයි කියන එකද?

සරල ජනප‍්‍රියවාදයක් හා පහත් රුචිකත්වයට ලොල් වුණු විශාල පේ‍්‍රක්ෂක ජනතාවක් වර්ධනය වී තිබෙනවා. මෙගා ටෙලිනාට්‍ය බලමින් අතීතයට ආවඩන චිත‍්‍රපටි බලමින්, තමයි පහුගිය අවුරුදු දහයක කාලයක් තිස්සේ රාජපක්ෂ පාලනය යටතේ පෝෂණය කරමින් පවත්වාගෙන ගියේ. ඒ අයට මේ ජනාධිපතිවරණයේ්දි වෙච්ච දේ පවා තවමත් තේරුම් ගන්න බෑ.

මම දන්නවා සමහරුන්ට තියෙන්නෙ රාජපක්ෂ මහත්තයා ගෙදර ගියා කියන එක හිතාගන්න බැරි තත්වයක්. ඒ අයට මේ රටේ නීතිය වල්වැදිලා කියලා ප‍්‍රශ්නයකුත් නෑ, වංචා ¥ෂණ ප‍්‍රශ්නයකුත් නෑ. අග‍්‍රවිනිශ්චයකාරයා ඉවත් කළාද, ලැම්බොගිනි ගෙනාවද ඒවා අදාළ නෑ. මේ සමහර අය දැනුමක් තේරුමක් තියෙන රාජ්‍ය අංශයේ සේවකයො. සමහර අය විශ‍්‍රාමිකයො.

මොකක්ද මේ වුණේ? රජා නැති වී ගියා වගේ ප‍්‍රශ්නයක් තියෙන්නෙ. ඉතින් ඒ අයට මේ සමාජයට වෙන දේ ගැන වැටහීමක් නැතිනම් ඒ අයව නඩත්තු කරන කලාවක් සිනමාවක් තමයි තිබුණෙත්. රාජ්‍යත්වය උත්කර්ෂයට නගපු කලාවක් සිනමාවක් තමයි තිබුණේ. ඒක වෙනස් වුණු එක හොඳ පැත්තට ගමන් කරවීම ගැන තමයි අප දැන් කල්පනා කරන්න ඕන.

සංවාදය – චන්දන සිරිමල්වත්ත

Advertisements