මහින්ද එළෙව්වනෙ මල්ලි !

පසුගිය සතියේ කතුවැකියෙන් අප කතා කළේ මහින්ද යළි පැමිණීම වළක්වන්නේ කෙසේද යන කාරණය ගැන. මේ සතියේ කතුවැකියත් ඊට ආසන්න වශයෙන් සමානයි. එකම දේ නැවත නැවත කතා කරන්නේ මොකද කියලා කවුරුහරි අහන්න පුළුවන්. ඒත් 1970 දී වුණ දේම අවුරුදු 7 කට පස්සේ 1977 වෙනකොට, 1977 වුණ දේම අවුරුදු 17 කට පස්සේ 1994 දී වෙනකොට, 1994 දී වුණ දේම අවුරුදු 21 කට පස්සේ 2015 දී වෙනකොට එකම දේ නැවත නැවතත් වෙනකොට, එකම දේ කතා නොකර වෙන මොනවා කරන්නද? වෙන්නේ එකම දේ නිසා එකම දේ කතා කරන්නත් වෙනවා. එතකොට මේ සැරෙත් කතා කරන්නේ දෙවැනි මහින්ද කෙනෙකු හරහා මහින්ද යළිත් එන එක ගැනද? එක්තරා විදියකට ඒකම තමයි. තවත් විදියකට ඒක නෙවෙයි. අපි එහෙනම් තවත් ඉඩ නාස්ති නොකර ඒ අපභ‍්‍රංශය ගැන කතා කරන්න පටන් ගමු.

මහින්ද නමැති ඒකාධිපතියකු, ඉපැරණි රාජ්‍යත්වය තමන්ට ආරෝපණය කරගත් හීනමානකාරයකු, නවලිබරල් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන ගමන් අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ කියමින් පපුවට ගහගන්න තරම් දෙබිඞ්ඩකු, අබමල් රේණුවක සමාජ වගකීමක් නැතිව තමන්ට වස්තුව ගොඩ ගසාගන්නා වංචනිකයකු බිහි වුණේ කොහොමද? ඒක ඔහුගේ පෞද්ගලික ලක්ෂණයකටත් වඩා අපේ සමාජයේම තිබෙන දුර්ගුණාංගවල පරාවර්තනයක්. හොඳට හිතලා බැලූවොත් ඒ ලක්ෂණ හැම එකක්ම අඩු වැඩි වශයෙන් හැමදෙනා ළඟම තිබෙනවා දකින්න පුළුවන්. යකාගේ හැටියටලූනේ විමානෙ හැදෙන්නේ. ජනතාවගේ විදියට තමයි පාලකයා හැදෙන්නේ. දෙවැනි මහින්ද කෙනකු බිහිවන එක වගේම, පළමුවැනි මහින්දම යළිත් ඔටුනු පලඳවන එක වළක්වන්න නම් මේ සමාජමය අගතීන් පිසදා දමන්න වෙනවා. මේ දිනවල හැමදෙනාම කතා කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කරන ආකාරය ගැන. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය හැදීමේ මූලික කොන්දේසිය තමයි නිවටකම හා වැරදි ඉදිරියේ උපේක්ෂාව වෙනුවට සමාජමය සටන්කාමීත්වයක් හා විචාරශීලීත්වයක් ගොඩනැඟීම. ඒ නිසා රාජ්‍යයේ ඉහළින් සිදුවූ මේ බලමාරුව සමාජයට කුඩා හෝ වාසියක්, ජයග‍්‍රහණයක් ගෙන දෙන එකක් බවට පත්කරන්න නම් සමාජමය වශයෙන් විචාරශීලීත්වය අවදි කරන්න ඕන.

සමාජමය විචාරශීලීත්වය ගොඩනඟන්න වෙන්නේ ප‍්‍රතිපත්තිමය දේශපාලනයක් හරහා. මෙවර ජනාධිපතිවරණයේ මුලින්ම සිදුවුණ දේ තමයි ප‍්‍රතිපත්ති ගැන සංවාදය යටපත් වීම. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන, දූෂණය තුරන් කරන යාන්ත‍්‍රණයක් ගොඩනැඟීම ගැන, පුරවැසියා සතු බලය ශක්තිමත් කිරීම ගැන, රාජ්‍ය යාන්ත‍්‍රණයට කෙරෙන දේශපාලන අතපෙවීම් තුරන් කරන නව ව්‍යුහයන් ගොඩනැඟීම ගැන මුලින් අඩුපාඩු සහිතව හෝ කතාවක් තිබ්බා. නමුත් පස්සේ ඒ කතාව යට ගිහින් නිකම්ම පුද්ගලයෝ ගැන ඕපාදූප වර්ගයේ කතාබහක් ඉදිරියට ආවා. සමස්ත ජනාධිපතිවරණයේම දේශපාලන සංවාදය මේ මූණම තියාගන්නවා ද වෙනත් මූණක් හොයාගන්නවා ද කියන මුහුණු මාරු දේශපාලනයකට සීමා වුණා. ‘කඩිනමින් මහින්ද රාජපක්ෂ එළවා දැමීම’ කියන කරුණ ඉතිරි සියලූ කරුණු අභිබවමින් ලිබරල් බුද්ධිමතුන් ලෙස තමන් හඳුන්වා ගන්නා අයගේත් ඇතැම් වාමාංශික වේශධාරීන්ගේත් න්‍යාය පත‍්‍ර තුළ ඉදිරියට ආවා. ඒ හැමදේකම අවසන් ප‍්‍රතිඵලය වුණේ සමාජමය විචාරශීලීත්වය මොට වීම.

මහින්දගේ පාලන කාලය තුළ සමාජ අවිචාරශීලීත්වය ප‍්‍රදර්ශනය වූ ආකාරය ගැන ජනාධිපතිවරණ ප‍්‍රචාරක දැන්වීමකත් අපූරුවට තිබුණා. ‘අපට ජීවත් වෙන්න විදියක් නෑ’ කීවම ‘යුද්ධෙ දිනුවනෙ මල්ලි’ කියා පිළිතුරක් ලැබෙනවා. ‘සුදු වෑන්වලින් මිනිස්සු පැහැරගන්නවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෑ’ කීවම ‘යුද්ධෙ දිනුවනෙ මල්ලි’ කියා හිතහදාගන්න කියනවා. මේ විදියට මොන ප‍්‍රශ්නය ගැන කීවත් ‘යුද්ධෙ දිනුවනෙ මල්ලි’ කියා තිබෙන තත්වය සාධාරණිකකරණය කරනවා. අවිචාරශීලීත්වය මහපොළොව මත ක‍්‍රියාත්මක වුණේ එහෙම. සිදුවන දැවැන්ත විනාශ මධ්‍යයේත් 2009 සිට 2014 දක්වා මැතිවරණ තුළ මහින්ද 60% ඉක්මවන ජයග‍්‍රහණ ගත්තේ එහෙම. දැන් ඒ අවිචාරශීලීත්වයම වෙනත් ආකාරයකින් තිබෙනවා. ‘හොරු දූෂිතයෝ ඔක්කොම දැන් මේ පැත්තෙ නේද?’ ඇහුවම ‘මහින්ද එළෙව්වනෙ මල්ලි’ කියා ප‍්‍රශ්නය යට ගහනවා. ‘ආයෙත් වරක් පවුල් බලය ගොඩනැෙඟමින් තිබෙනවා නේද’ කියා ඇහුවම ‘මහින්ද එළෙව්වනේ මල්ලි’ කියා මඟ හරිනවා. ‘පොරොන්දු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ කප්පාදු වෙනවා, ප‍්‍රමාද වෙනවා’ කීවම ‘මහින්ද එළෙව්වනෙ මල්ලි’ කියනවා. ‘අන්තිමට අපේ ජීවිතවල මොකුත් වෙනස් වුණේ නෑ නේද’ කියලා ඇහුවම ‘මහින්ද එළෙව්වනෙ මල්ලි’ කියලා හිත හදා ගන්නවා. මේ සිදුවෙන හැම එකක්ම දැක්කේ නෑ වගේ ඉන්නවා. සමාජ අවිචාරශීලීත්වය මෙහෙම්ම තියෙද්දි ‘යුද්ධෙ දිනුවෙන මල්ලි’ කියන කෝකටත් තෛලය වෙනුවට ‘මහින්ද එළෙව්වනෙ මල්ලි’ කියන කෝකටත් තෛලය ආදේශ වීම නිසා සමාජයට සතපහක වර්ධනයක් ලැබෙන්නේ නෑ.

ඒ නිසා මේ මොහොතේ කළ යුත්තේ සමාජ විචාරශීලීත්වය අවදි කිරීම. වැරදි ඉදිරියේ කටපියාගෙන සිටීම වෙනුවට සටන්කාමීත්වය තියුණු කිරීම. රාජපක්ෂ පවුලේ හොරකම් ගැන ඇඟ ලොමුදැහැගැන්වෙන රහස් පරීක්ෂක මෙහෙයුම් හා අරලියගහ මන්දිරයේ අධි සුඛෝපභෝගී වැසිකිළි දෙස රූපවාහිනියෙන් බලාගෙන ඉන්නවට වඩා අනාගතයේ දී එවැනි දේ සිදුවීම වළක්වන ආකාරය ගැන සිතීම සමාජයට වැදගත් වේවි. (කලින් කළේ යුද්ධය ගැන ඇඟ ලොමුදැහැගැන්වෙන වාර්තා සහ ප‍්‍රභාකරන්ගේ බංකර දෙස බලාසිටීම) ඒ නිසා ආයතනවලට කඩා පැන ලිපිගොනු අත්පත් කරගැනීම, රේසිං කාර් අත්අඩංගුවට ගැනීම වගේ දේවල් දෙස බලාසිටීම වගේම එවැන්නක් යළි ප‍්‍රතිනිර්මාණය වීම වැළැක්වීමට පුද්ගලයන් මත විශ්වාසය තබනවා වෙනුවට සමාජමය ව්‍යුහයන්, ක‍්‍රමවේදයන් වෙනස් කිරීම අවශ්‍ය බව තේරුම් ගැනීමත් වැදගත් වේවි. නැතිනම් ඊළඟ ජනාධිපතිවරණයේ දී මෙවර විකාශනය වූ ‘යුද්ධෙ දිනුවනෙ මල්ලි’ දැන්වීම ‘මහින්ද එළෙව්වනෙ මල්ලි’ කියා දෙබස් පමණක් වෙනස් කර නැවත විකාශනය කරන්න සිදුවේවි.

Advertisements