ජාතික ආණ්ඩුව විසඳුමක් ද කැඳහැළියක්ද?

මේ දිනවල දේශපාලන ක්ෂේත‍්‍රයේ කතාබහට වැඩිපුරම ලක්වන මාතෘකා අතර ඉහළින්ම ඇත්තේ ජාතික ආණ්ඩුවක් පිළිබඳ කතාබහයි.

ජනවාරි 20 වැනිදා මේ වසරේ පළමුවරට පාර්ලිමේන්තුව කැඳවිණි. එය ලංකාවේ ඉතිහාසයේ මහ මැතිවරණයකින් තොරව නව අගමැතිවරයකු හා නව කැබිනට් මණ්ඩලයක් පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයට පත්වූ ප‍්‍රථම අවස්ථාව විය. එමෙන්ම අන්කවරදාවත් නොවූ පරිදි විපක්ෂය ආණ්ඩු පක්ෂයට වඩා ප‍්‍රමාණයෙන් විශාල විය. විපක්ෂයේ මන්ත‍්‍රීවරු 158 කි. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු 67 කි. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක සිදුවන්නේ විශ්වාසභංගයක් හරහා ආණ්ඩුව පරාජය කිරීමයි. එහෙත් ජනවාරි 20 වැනිදා එවැන්නක් සිදුවූයේ ද නැත. හේතුව එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර ඇති සම්මුතියයි. ලංකාව තුළ දක්ෂිණාංශික පක්ෂ දෙකක් බිහි වී දශක හයකට පසුව එම පක්ෂ අතර මෙවැනි සම්මුතියක් ඇති වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දින සියයට තමන් සහාය දෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. මේ අතර මීළඟ මහමැතිවරණයෙන් පසුව ද බිහිවන්නේ මෙවැනිම ජාතික ආණ්ඩුවක් බව දේශපාලන වේදිකාවේ කියැවේ. ජනවාරි 19 වැනිදා රාජගිරියේ සදහම් සෙවණට ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පැවැසුවේ දේශපාලන පක්ෂ භේදය තුරන් කර, පක්ෂවල න්‍යාය පත‍්‍ර නොව සමාජමය න්‍යාය පත‍්‍රයක් ඉදිරියට ගෙනඒමට දැන් තම පක්ෂ දෙක එකඟ වී සිටින බවයි. එනම් ඉදිරි කාලයේ දී ජාතික ආණ්ඩුවක් ගොඩනඟන බවයි.

මේ කියන කතා අසන විට හැඟී යන්නේ මෙතෙක් කල් ඇති වී තිබෙන සියලූ ප‍්‍රශ්නවලට හේතුව එජාපය හා ශ‍්‍රීලනිපය නම් පක්ෂ දෙකක් එකිනෙකට තරගකාරීව පැවැතීම බවයි. ඒ පක්ෂ දෙක අතර භේද අහෝසි වී ගිය සැණින් රටේ ප‍්‍රශ්නය විසඳිය හැකි බවයි. සැබැවින්ම මෙවැනි පක්ෂ දෙකක් බිහි වී ඇත්තේ හා පවතින්නේ එවැනි ප‍්‍රශ්න නිසා බවය. ඒ අනුව හේතුව හා ඵලය පටලැවී ඇත. ප‍්‍රශ්න හේතුව වන අතර ඵලය පක්ෂ භේදයයි. එසේ නැතිව ප‍්‍රශ්නවල හේතුව පක්ෂ භේදය නොවේ. කෙසේවෙතත් මේ පක්ෂ දෙක අතර සම්මුතියක් ඇති වූ විට ප‍්‍රශ්න විසඳේ යැයි සිතීම මුළාවකි. එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තනි තනිව රට පාලනය කිරීමේ අත්දැකීම අප හැමදෙනාටම තිබෙන අතර මේ පක්ෂ දෙක රටේ ප‍්‍රශ්න විසඳීමට අසමත් වනවා පමණක් නොව එම ප‍්‍රශ්නවල නිර්මාපකයන් ද වනබව අපට තවදුරටත් රහසක් නොවේ. වෙන වෙනම පාලනය කරන විට කිසිදු ප‍්‍රශ්නයක් විසඳීමට අසමත් වූ මේ පක්ෂ දෙක එකට එකතු වූ විට එය සිදුකිරීමට සමත් වේදැයි විචාර බුද්ධිය මෙහෙයවා කල්පනා කළ යුතුය. ඒ අනුව ජාතික ආණ්ඩුව යනු කොහොඹ ගහට කරවිල වැල ගියා වැනි තත්වයක් බව අනුමාන කිරීම එතරම් වරදක් නොවේ.

සාමාන්‍යයෙන් පාලක පන්තියට සියලූ භේද අතහැර සමගි වීමට සිදුවන්නේ බරපතළ අර්බුදයක් ඉදිරියේ දීය. තවදුරටත් තනි තනිව සිය පාලන බලය රැුකගත නොහැකි විට දීය. ලෝක ඉතිහාසයේ එවැනි දේ සිදුව ඇත්තේ එක්කෝ මහා දැවැන්ත අර්බුද ඉදිරියේ දීය. නැතිනම් තනි තනි පක්ෂ මුළුමනින් අසාර්ථක වූ තත්වයක් යටතේය. සිංගප්පූරුවේ පමණක් අපට වෙනස් උදාහරණයක් දැකිය හැකිය. එහිදී සිදුවූයේ වාමාංශය සමූල ඝාතනය කර දක්ෂිණාංශික පක්ෂ හා නායකයෝ එක් පෙරමුණක් තනාගෙන නවලිබරල් වැඩපිළිවෙළ දියත් කිරීමයි. 1965 සිට වසර 15 ක් සිංගප්පූරු පාර්ලිමේන්තුවේ තිබුණේ ආණ්ඩු පක්ෂයක් පමණි. විපක්ෂයක් තිබුණේ නැත. එහි නවලිබරල් ධනවාදය ගොඩනැඟුවේ ඒ ආකාරයෙනි. නමුත් ලංකාවේ ජාතික ආණ්ඩුවක් සඳහා ගැම්ම දෙන්නේ කුමකින්ද? වාමාංශය ද තමන්ට එතරම් බරපතළ තර්ජනයක් එල්ල නොකරන තත්වයක් තුළ දක්ෂිණාංශික දේශපාලන පක්ෂ සමගි වන්නේ, සම්මුතියකට එන්නේ කුමක් සඳහාද? එහිදී මෙවර ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය එජාපයට මෙන්ම ශ‍්‍රීලනිපයටත් බලපා තිබෙන බව පැහැදිලිය. අපි එය තවදුරටත් පැහැදිලි කරගනිමු.

ලංකාවේ ආර්ථිකය නවලිබරල් උපායමාර්ගයට අනුව ගෝලීය ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් හැසිරවෙන අතර එය පවත්වාගෙන යන්නේ ජාතිකවාදයේ මාත‍්‍රාවක් ද මුහු කරමිනි. මේ සඳහා ආසන්නතම නිදසුනක් පසුගිය සතියෙන්ම සොයාගත හැක.

පසුගිය සතියේ පැන නැඟුණු එක් සංවාදයක් වූයේ මහින්දෝදය විද්‍යාගාර පිළිබඳ කතාබහයි. ඒවා පසුගිය කාලයේ යොදාගැනුණේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙනි. නමුත් පසුව අනාවරණය වූ ආකාරයට මේ විiාගාර ඉදිකිරීම ලෝක බැංකුවේ ව්‍යාපෘතියකි. එයට අරමුදල් සපයන්නේ ලෝක බැංකුවයි. මන්දයත් එය ලෝක පරිමාණයෙන් ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකමක් වන බැවිනි. නමුත් ලංකාවේ දී මෙම ගෝලීය ව්‍යාපෘතිය දියත් වන්නේ ජාතිකවාදය ද පවුලක ව්‍යාපෘතියක් ද එකට සංකලනය කරගනිමිනි. නවලිබරල් ධනවාදය ජාතිකවාදයේ හා පසුගාමීත්වයේ අනුපාතයක් සහිතව පවත්වාගෙන යාම මහින්දගේ පමණක් නොව සියලූ පාලකයන්ගේ උපක‍්‍රමයයි. ජාතික ආණ්ඩුවක් ගැන කියන්නේ මේ උපක‍්‍රමය සඳහා අවශ්‍ය යටිතල පහසුකමක් වශයෙනි.

ජාතික ආණ්ඩුවක් කියන විට ඒ සඳහා ජාතිය අර්ථ දැක්විය යුතුය. ජාතිය වෙනුවෙන් හැමදෙනාම එකමුතු වන ජාතික ආණ්ඩුවක් අවශ්‍ය බව මහානායක හිමිවරුන් ද පවසා තිබිණි. මහ නාහිමිවරුන් හා ආණ්ඩුවේ ලොක්කන් අර්ථ දක්වන ‘ජාතිය’ කුමක්ද? ඔවුන් ජාතිය ලෙස හඳුන්වන්නේ ලාංකික ජාතිය නොවේ. සිදුකරන්නේ සිංහල, තමිල්, මුස්ලිම් සියලූ දෙනා ඒකාබද්ධ කරගැනීම නොව සිංහල පක්ෂ අතර බෙදෙන ක‍්‍රමය අහෝසි කර සිංහල හා ඒකාබද්ධ කරගැනීමයි. මෙවර ජනාධිපතිවරණයේ දී තමිල් හා මුස්ලිම් ජනතාව සිටියේ මහින්දට (සහ ඔහු අනුගමනය කළ ප‍්‍රතිපත්තිය පිළිබඳ) තිබෙන ඉතා බරපතළ විරෝධයක් තුළය. එබැවින් ඉහත කී උපායමාර්ගය යළි පණ ගැන්වීම සඳහා සිංහල ඡුන්ද ඇතුළු දකුණ ඒකාබද්ධ කළ යුතුය. පෙනෙන ලෙසට ජාතික ආණ්ඩුව එන්නේ ලාංකේය ජාතිය ගොඩනැඟීමක් හෝ ප‍්‍රතිසන්ධානයක් අරමුණු කරගනිමින් නොව විවිධ ජාතික හා ආගමික කොටස් අතර භේද ඇති කර සිය පාලනය සදාකාලික කරගන්නා අරමුණෙනි.

දක්ෂිණාංශික දේශපාලන පක්ෂ අතර ඇති ප‍්‍රධානතම හා විශාලතම පක්ෂ දෙක වන එජාපය හා ශ‍්‍රීලනිපය ප‍්‍රතිපත්තිමය අර්බුදයකට ලක්වී ඇත. අවම වශයෙන් මේ දෙක අතර ඇති වෙනස කුමක් ද යන්නවත් දැන් ජනතාවට පැහැදිලි නැත. එම පක්ෂ දෙක මීළඟ මහ මැතිවරණයේ දී වෙන වෙනම ඡුන්දය ඉල්ලන බව කීවාට එහිදී එකිනෙකාට එරෙහිව ඉදිරිපත් කරන වෙනස කුමක්ද? දක්ෂිණාංශික පක්ෂ මෙම අර්බුදයට ගොදුරු වන අතර සමාජය පැත්තෙන් ද ඇත්තේ එවැනිම අර්බුදයකි. තිබෙන පාලන තන්ත‍්‍රවලින් තවදුරටත් ඉදිරියට යා නොහැකි අතර අලූතින් පාලන බලයට ගෙනෙන පුද්ගලයන් හා පක්ෂ ද ප‍්‍රමාණවත් නැත. මහින්ද එළවා මෛත‍්‍රී ජනාධිපති කිරීම හරහා ද සමාජය යළිත් වරක් ඉගෙන ගත් පාඩම එයයි. එහෙත් මේ සඳහා වෙනත් විකල්පයක් ද ශක්තිමත් වී නැත. රනිල්ට තනිවම බලය හසුරුවා ගත නොහැකි අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථීර නායකත්වයක් නැතිව දුර්වල වී ඇත. මෛත‍්‍රීපාල සිරිසේන දෙපැත්තේ කකුල් දෙක තබාගෙන සිටී. ජාතික ආණ්ඩුව ලෙස අර්ථ දැක්වෙන්නේ මේ සියලූ දෙනා එකතු කළ අච්චාරුව මිස ජාතික දේශපාලන වැඩපිළිවෙළක් නොවේ. මේ තුළ අවම වශයෙන් ජාතික වැදගත්කමක් ඇති ප‍්‍රශ්න ගැනවත් සමාජ සංවාදයක් නිර්මාණය වන්නේ නැත. ප‍්‍රශ්නය කුමක්ද? ප‍්‍රශ්නයට විසඳුම් ලෙස ඇති විකල්ප යෝජනා මොනවාද? ඒ අතරින් විසඳුම ලෙස තෝරා ගන්නේ කුමක්ද? අනෙක් විකල්ප තෝරා නොගැ නීමට හේතු කුමක්ද? මෙවැනි සංවාදයක් සමස්ත සමාජය තුළම ඉදිරියට ගෙනැවිත් සමාජමය දේශපාලන සාක්ෂරතාව ඉහළ නැංවීම තුළ මිස ඊනියා ජාතික ආණ්ඩු තුළ දිගුකාලීන පිළිතුරු සම්පාදනය වන්නේ නැත. මේ ජාතික ආණ්ඩු විසින් කරනු ඇත්තේ සමාජයේ දේශපාලන විඥානය මොටකර දැනට තිබෙන දේශපාලන සාක්ෂරතාව ද දුර්වල කිරීම පමණි.

සුධීර ප‍්‍රභාෂ්වර

 

Advertisements