බදු ඉවත් කොට බඩු මිල පහළ දැමීම – ගැලරි කතාවලින් ඔබ්බට

944549_657577874259712_819143281_nනව රජය එළැඹෙන ජනවාරි මස 29 වැනි දින අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතය. මෛත‍්‍රීපාල සිරිසේන ස්වකීය මැතිවරණ ව්‍යාපාරය තුළ ඉදිරිපත් කළ දින සියයේ වැඩපිළිවෙළ ජනවාරි මස 30 වැනි දින අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සමූහයක බදු ඉවත්කොට ජනතාවට සහන දෙන බව ප‍්‍රකාශ කොට සිටී. මේ අනුව එළැඹෙන 30 වැනි දා භාණ්ඩ හා සේවා සමූහයක් මත වූ බදු ඉවත්කොට ජනතාවට සහන සැලසූ බව ආණ්ඩුව ප‍්‍රකාශ කරනු ඇතැයි අපට බොහෝ දුරට බලාපොරොත්තු විය හැක. මේ අනුව ඒ භාණ්ඩවල මිල ගණන්වල ද යම් පහළ යාමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැක.

 මිල අඩු කිරීමේ සංදර්ශන

විවිධ ආණ්ඩු විසින් තෝරා ගත් භාණ්ඩවල මිල අඩු කිරීම් අපි කලින් කලට අත්දකිමු. ඒ සඳහා ආසන්නතම උදාහරණයක් වූයේ පසුගිය දා පැවැති ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම ඔන්න මෙන්න තිබිය දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගෑස් මිල අඩු කිරීමය. නව ආණ්ඩුව දින සියය තුළ ජනප‍්‍රියත්වය අත් කරගැනීම සඳහා නොයෙක් දේ කරමින් සිටින අතර යෝජිත බදු සංශෝධනය ද අයත් වන්නේ එබඳු එක් ජනප‍්‍රියවාදී පියවරක ගණයටය. මෙවැනි ජනප‍්‍රියවාදී ක‍්‍රියාමාර්ගවලට බෙහෙවින් ‘විසිල්’ වැදීමට නියමිතය.

එහෙත් ගැලරිය සඳහා කෙරෙන තෝරාගත් භාණ්ඩවල මිල බැස්සවීමේ සංදර්ශන අබිබවා ගොස් අප විසින් විභාග කළ යුතු ප‍්‍රශ්නයක් ඇත. එනම් සැබැවින්ම ජනතාවාදී බදු ප‍්‍රතිපත්තියක් ඇති කිරීම සහ මෙලෙස කලින් කල තෝරාගත් භාණ්ඩවල බදු එහා මෙහා කිරීම අතර සම්බන්ධය කවරේද යන්නයි.

 අසමානුපාතික බදු සංයුතිය

රජයක් විසින් බදු අයකරන විට ඍජු බදු සහ වක‍්‍ර බදු ලෙස බදු වර්ග දෙකක් තිබේ. ඍජු බදු යනු මූලික වශයෙන් ආදායම් හා වත්කම් මත අයකරන බදුය. ඉහළ ආදායම් ලබන්නන්ගෙන්

ඍජු බදු අය කරනු ලැබේ. වක‍්‍ර බදු සමන්විත වන්නේ පුද්ගලයන් විසින් පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා මත අයකරන බදුවලිනි. ඍජු බදු විතැන් කළ නොහැක. එනම් යම් පුද්ගලයෙක්ගේ ආදායම මත බද්දක් පැනවූ විට ඔහුට එය ගෙවීමට සිදු වේ. එහෙත් වක‍්‍ර බදුවල ලක්ෂණය නම් ඒවා විතැන් කළ හැකි වීමයි. භාණ්ඩයක් මත බද්දක් පැනවූ විට නිෂ්පාදකයාට හෝ වෙළෙන්දාට භාණ්ඩයේ මිල ඉහළ දැමීම මඟින් එම බදු බර

පාරිභෝගිකයා වෙත විතැන් කිරීමට පුළුවන. ඍජු බදු සමාජයේ ඉහළ ආදායම් ලබන්නන් විසින් ගෙවනු ලබයි. වක‍්‍ර බදු භාණ්ඩ හා සේවා මත අයකරන නිසා පොහොසත් – දුගී භේදයකින් තොරව භාණ්ඩ මිලදී ගන්නා සියලූ දෙනාට එම බදු බර ඉසිලීමට සිදුවේ.

ලංකාවේ බදු ව්‍යුහය සම්බන්ධව ගත් විට එහි තිබෙන කැපී පෙනෙන ලක්ෂණය වන්නේ රජයේ බදු ආදායමේ සාතිශය බහුතර පංගුව වක‍්‍ර බදුවලින් සමන්විත වී තිබීමයි. 2014 අයවැයට අනුව රාජ්‍ය ආදායමෙන් 86.74% ක්, එනම් රුපියල් බිලියන 1284.6 ක් උපයා ගැනීමට අපේක්ෂා කරන්නේ බදු හරහාය. මෙම බදුවලින් ඍජු බදු ඇත්තේ 22.2% ක් පමණි. අත්‍යවශ්‍ය ආහාර ඇතුළු ජනතාව පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා මත වූ බදුවලින් 54% ක්  අය කරගැනීමට අපේක්ෂා කෙරෙන අතර ඉතිරි බදු ආදායම උපයා ගැනීමට සැලැසුම් කොට තිබුණේ රේගු බදු, තීරු බදු ආදියෙනි. මේවාත් භාණ්ඩවල මිලට එකතු වන නිසා අවසාන වශයෙන් ඒ බදු බර ද දරන්නට සිදුවන්නේ පාරිභෝගිකයාටය. පසුගිය වසර ගණනාවක රාජ්‍ය බදු ආදායම් සංයුතිය සැලකූ විට ඍජු බදු සහ වක‍්‍ර බදු අතර අනුපාතය පවතින්නේ 20% – 80% පරාසය අතරය. එනම් ඉහළ පාන්තිකයන්ගෙන් රජය ඍජුව අයකරගන්නා බදු ප‍්‍රමාණය සුළු එකකි. බදු ආදායමේ අති විශාල ප‍්‍රමාණය වක‍්‍ර බදුවලින් අය කෙරේ. එහි අර්ථය නම් රාජ්‍ය බදු ආදායමේ වැඩි පංගුව අය කරගනු ලැබෙන්නේ සමාජයේ අති බහුතරයක් වන පහළ පාන්තික ජනතාව මත බදු බර පැටවීම තුළින් බවයි.

ප‍්‍රාග්ධනයට සහන – ජනතාවට බදු බර

මේ අනුව ලංකාවේ රාජ්‍යය නඩත්තු කිරීම වෙනුවෙන් වැඩිපුර බදු ගෙවන්නේ සමාජයේ පහළ පාන්තික ජනයාය. බදු ව්‍යුහය සකස් වී තිබෙන්නේ එම පහළ පාන්තික ජනයා පීඩාවට පත්වන ආකාරයෙනි. ලංකාවේ බදු ප‍්‍රතිසංස්කරණ ද සිදු කෙරෙන්නේ මෙම ධූරාවලිමය බදු ව්‍යුහය ශක්තිමත් වන ලෙසය. 2011 දී ශ‍්‍රී ලංකා රජය සමාගම් මත අයකරන බද්ද 36% සිට 25% දක්වා පහත හෙළීය. සමාගම් මත වූ බද්ද මෙසේ පහත හෙළන ලද්දේ ‘ආයෝජන ධෛර්යයවත් කිරීම’ සඳහා යැයි කියමිනි. අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු පොදුජනයා පරිභෝජනය කරන භාණ්ඩ මත බදු අයකරන අතරේය මෙලෙස ව්‍යාපාරික සමාගම් සඳහා බදු සහන ලබා දෙන ලද්දේ. එසේම ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වන සමාගම් සඳහා බදු සහන ලබාදීම ද පසුගිය කාලය පුරා ආණ්ඩු විසින් අනුගමනය කළ ක‍්‍රියාමාර්ගයකි. ලාභ උපරිම කරගැනීමේ අදහස මත සිය ප‍්‍රාග්ධනය ආයෝජනය කිරීමට අපේක්ෂා කරන ප‍්‍රාග්ධන හිමියන්ව ඔවුන්ගේ ප‍්‍රාග්ධන අරමුදල් ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය පෙලඹවීම ඇති කිරීමය මෙවැනි බදු සහන ලබාදීමේ අරමුණ වන්නේ. මේ අනුව එක් අතෙකින් පොදු ජනයා මත බර පටවන රජයේ බදු ප‍්‍රතිපත්තිය ධනපතීන් හා ප‍්‍රාග්ධන හිමියන් වෙනුවෙන් ලාභ ලබාගැනීම වෙනුවෙන් බදු සහන ප‍්‍රදානය කරන්නේ එසේය.

මේ අනුව පෙනී යන්නේ ධනවතුන්ට හිතකර ලෙස සහ පොදු ජනයාට පීඩාකාරී වන ලෙස ලංකාවේ බදු ව්‍යුහය සකස් වී තිබෙන ආකාරයයි. මේ ප‍්‍රශ්නය එක් හෝ වෙනත් භාණ්ඩයක් මත බදු පනවා තිබීම පිළිබඳ ප‍්‍රශ්නයක් නොව බදු ක‍්‍රමයේ තර්කණය පිළිබඳ ව්‍යුහාත්මක ප‍්‍රශ්නයකි. ප‍්‍රාග්ධනයට නිදහසේ සංසරණය වීම සඳහා ඒ මත බදු පැනවීම අඩු කොට රජයට අවශ්‍ය වියදම් මෙම තර්කණය තුළ පොදු ජනයාගෙන් අය කර ගනු ලැබේ. කාලයෙන් කාලයට ජනප‍්‍රියවාදී ලෙස ඒ හෝ මේ භාණ්ඩයේ බදු එහා මෙහා කොට ජනතාවට ‘සහන දීම’ ගැන ආණ්ඩු පම්පෝරි ගසන විට අප විසින් මතු කළ යුත්තේ බදු ක‍්‍රමයේ සැකැස්ම පිළිබඳ මෙම ව්‍යුහාත්මක ප‍්‍රශ්නයයි. එළැඹෙන 30 වැනි දා භාණ්ඩ යම් ප‍්‍රමාණයක බදු ඉවත්කොට ජනතාවට විශාල සහනයක් ලබාදුන්නා යැයි පාලකයන් උදම් ඇනීමට ඉඩ තිබේ. කෙසේ වුවද සැබැවින්ම ජනතාවාදී බදු ව්‍යුහයක් සකස් කරගැනීමට නම් ගැලරියේ විසිල් සඳහා කෙරෙන මෙම ජනප‍්‍රියවාදී සංදර්ශනවලට නොරැුවටී බදු ප‍්‍රතිපත්තිය පිළිබඳ ප‍්‍රතිපත්තිමය සංවාදයක් සඳහා වූ මුල පිරීම ගත යුතුව තිබේ.

රමිදු පෙරේරා

Advertisements