PK – ආගමෙන් බෙදුණ ලෝකයට ප‍්‍රශ්නයක්

PKදහස් ගණනක් මිනිසුන් කුසට අහරක් නැතිව සුසුම්ලති. දහස් ගණනක් දරුවෝ කුසට අහරක් නැතිව දිනපතා මියැදෙති. දහස් ගණනක් මිනිසුන් බෙහෙත් නැතිව වේදනා විඳිති. දහස් ගණනක් මිනිසුන් හිසට සෙවණක් නැතිව අහස් කුස දෙස බලා වැලපෙති. කතා බහ කිරීමට, බැඳීම් ඇති කර ගැනීමට මිතුරකු නැතිව දහස් ගණනක් පීඩා විඳිති. ජීවිතයේ ප‍්‍රශ්න දරා ගත නොහැකිව දිවි නසා ගනිති. ඒ අප ජීවත් වන ලෝකයයි.

මේ පීඩාවට පත් මිනිස් සමූහයාට සරණක් ඇත්ද? නැත. ඔවුහු අසරණ වී සිටිති. ඔවුහු ජීවත් වීමට හේතුවක් සොයමින් සිටිති. ජීවිතය පවත්වාගෙන යාම සඳහා බලාපොරොත්තුවක් සොයමින් සැරිසරති. ඔවුන්ට බලාපොරොත්තු සාදන්නේ දෙවියන්ය. ආගමය. ජීවිතය ගැන අපේක්ෂා අතහැර පන්සලට, දේවාලයට, කෝවිලට, දේවස්ථානයට එන මිනිසුන්ගේ නලලේ තිලකයක් තබා, අතේ නූලක් ගැට ගසා, හිසට ඉහළින් පහන් දැල්ලක් අල්ලා තවත් දිනයක් දිවි ගෙවීමට බලාපොරොත්තුවක් ලබා දේ. විමලරත්න කුමාරගම කවියා කීවේ, නූගත් ගම්මුන් නාගරිකයන්ට වඩා වාසනාවන්ත බවයි. ඔවුහු දෙවියන්ට තමන්ගේ දුක බාර දී සැහැල්ලූවෙන් දිවි ගෙවන බව ඔහු කීවේය.

ආගම මිථ්‍යාවක් බව සැබෑය. ආගම ගොඩනැඟී ඇත්තේ මිථ්‍යාව මතයි. එය කිසි තැනක නැති දෙවියෙක්, සර්ව බලධාරී ආත්මයක් ඇතැයි කියා මිනිසුන් මුළා කරති. ඒ දෙවියන්, සර්ව බලධාරී ආත්මය කෙරෙහි විශ්වාසය තබන්නැයි කියා මුලා කරති. ඒ අතරම ඒ දෙවියන්, සර්ව බලධාරී ආත්මය කෙරෙහි විශ්වාසය තබන්නැයි කියා ධෛර්යය සපයති. විද්‍යාවේ ආලෝකය ක‍්‍රමයෙන් පුළුල් වෙමින් පවතී. ඒ ආලෝකයේ ඈත ඉමට එහා ඇති අන්ධකාරය තුළ මිථ්‍යාවත් ආගමත් ලැගුම් ගෙන සිටී.

ලෝකයේ ආහාර නිෂ්පාදනය ඉහළ නංවන නව තාක්ෂණය විද්‍යාව විසින් සොයා ගනු ලබයි. ඒ තාක්ෂණයෙන් වැඩිපුර ආහාර නිෂ්පාදනය වෙයි. ඒ ආහාර වෙළෙඳපොළේ වැඩි මිලට විකිණීමට තැබෙයි. මිල අඩු වන විට මිල පවත්වා ගෙන යාම සඳහා ආහාර නිෂ්පාදන ටොන් ලක්ෂ ගණනික් නැව්වලින් ගෙන ගොස් මහා සාගරයට හෙළයි. ඒ අතරේ කුසගින්නේ දිනකට 25,000 බැගින් මිය යන දරුවන්ට, ඔවුන්ගේ මව්පියන්ට හෙට දිනය වෙනුවෙන් ඇත්තේ කිසිදා නොලැබෙන දෙවියන්ගේ කරුණාව පමණි. එහෙත් ඒ ගැන විශ්වාසයෙන් ඔවුහු හෙට දිනය සඳහා ජීවත් වෙති.

ඉගෙන ගන්නට සල්ලි නැති නිසා කාලකණ්ණි වෙමින් තිබෙන තම දරුවාගේ ජීවිතය වෙනුවෙන් මව්පියන්ට ඇත්තේ දෙවියන්ගේ, ආගමික සරණ හැර අන් කුමන සරණක්ද? ආගම හා මිථ්‍යාව ලැගුම් ගන්නේ විද්‍යාවේ ආලෝකයට නොවැටුණු අන්ධකාරයේ පමණක් නොවේ. විද්‍යාවේ ආලෝකය තුළ ද ආගම ලැගුම් ගනී. විද්‍යාව විසින් මහා නිෂ්පාදන බිහි කරන විට ඒවා අත්පත් කරගැනීමට වත්කම් නැති ජනතාව විද්‍යාවේ රැස්වළලූ අතරේම ආගමේ හා මිථ්‍යාවේ පහස සොයා සැරිසරති.

”ඔබට අවශ්‍ය කුමක්දැයි මට තේරුම්ගත නොහැක. ඔබ පල්ලියෙත් නැත, දේවාලයේත් නැත. දෙවියනි, ඔබ සිටින්නේ කොහිදැ”යි පී කේ (අමීර් ඛාන්) ප‍්‍රශ්න කරන්නේ එවැනි ලෝකයක සිටය.

”එක්කෙනෙක් තමන්ගෙ දෙවියන් ආරක්ෂා කරන්න ගිහින් මට මගේ යාළුවාගේ ඉතිරි වුණේ මේ සපත්තුව විතරයි. හැමෝම තමන්ගේ දෙවියන් ආරක්ෂා කරන්න ගියොත් මේ ලෝකේ මිනිස්සු වෙනුවට සපත්තු විතරක් ඉතිරිවේවි” යැයි පී කේ පවසන්නේ එවැනි ලෝකයකටයි.

විශ්වය මැව්වා යැයි ඔවුන් විශ්වාස කරන දෙවියන් ආරක්ෂා කිරීමට ඔවුහු වෙහෙසෙති. එය කොතරම් විහිළුවක්ද? මේ දැවැන්ත විශ්වය මැවූ දෙවියන් ආරක්ෂා කිරීමට, ඒ විශ්වයේ ඉතා කුඩා ලෝකයක, ඉතා කුඩා වීදියක, කුඩා මැදුරක සිටින පුද්ගලයකු, පුද්ගලයන් කිහිප දෙනකු වෙහෙසේ. ඔවුන්ගෙන් දෙවියන්ට වැඩක් නැත. මුළුමහත් විශ්වයම මැව්වේ දෙවියන් නම්, තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට ඒ දෙවියන්ට නොහැකිද? එහෙත් ආගම් භක්තියෙන් ඔද වැඩුණු, ජීවිත අපේක්ෂා ගිලිහුණු මිනිස් සමාජයට හැකිද? අපේ දිනපතා අත්දැකීම් පෙන්නුම් කරන්නේ එසේ නොහැකි බවයි. ඒ සරල තර්කයට පිළිතුරක් ඔවුන් සතුව නැත. එක්කෝ ඒ සඳහා පිළිතුරක් ඔවුන් සොයන්නේ නැත.

ආගම, ජාතිය ආරක්ෂා කරන්නන් විසින් කරනු ලබන හානිය කොතරම් දැයි උදාහරණ ලංකාවෙන්ම සොයා ගත හැකිය. තමන්ගේ ආගම, ජාතිය ආරක්ෂා කරන්නන් සැබැවින්ම සිදුකර තිබෙන්නේ තමන්ගේ ආගම, ජාතිය අනාරක්ෂිත තත්වයට පත් කොට, හුදකලා කරනු ලැබීම නොවේද? මේ විකාරරූපී චක‍්‍රයේ හති වැටෙන තුරු දුවන මිනිසුන්ට වඩා එය දැකිය හැක්කේ ලෝකයට පිටින් සිට බලන්නෙකුටය. ජග්ගුගේ පියාට වඩා හොඳින්, සෆ්රාස්ට හෝ ජග්ගුට (අනුෂ්කා ෂර්මා) වඩා හොඳින් පීකේට ලොව ප‍්‍රශ්න කළ හැක්කේ ඒ නිසාය. දෙවියන් හා දෙවියන්ගේ නියෝජිතයන් කරමින් සිටින රඟපෑම හොඳින්ම තේරුම් ගත හැක්කේ ලෝකය දෙස, ලෝකයට පිටින් සිට බලන්නකුටය. ඒ අනෙකක් නිසා නොව, ආගමේ, මිථ්‍යාවේ සෙවණැල්ලෙන් මිදී ජීවත් විය නොහැකි තත්වයට මිනිසා පරාධීන කර ඇති නිසාය.

ඉතිහාසයේ ආගම් බිහි වූයේ මිනිසාට තේරුම් ගත නොහැකි ලෝකය අර්ථකථනය කිරීමටයි. එහෙත් දැන් මිනිසා ඒ අර්ථකථන වැරදි බව තේරුම් ගෙන තිබේ. එහෙත් මිථ්‍යාවත්, ආගමත් පරාජය වී නැත්තේ දැන් මිනිසාට අවශ්‍ය වන්නේ අර්ථකථන නොවන නිසාය. මිනිසාට දැන් අවශ්‍ය වන්නේ ජීවිතයයි. දෙවියන්ට ආරෝපණය කර ඇති උසස් මිනිස් ගුණ දහම් යළිත් මිනිසුන් වෙතට ගැනීමටයි. ඉන් මෙපිට පිළිතුරක් නැත. එය කළ හැක්කේ පී.කේ. කියන පරිදිම මිනිසුන් එකිනෙකාට උදව් කර ගැනීමෙන්ය. ආගම හා මිථ්‍යාව විසින් පුරවනු ලබන ජීවිතයේ හිස්තැන මිනිසුන් එකිනෙකා විසින්ම පුරවනු ලැබීමෙන්ය. එය සමාජ අරගලයක් නොවන්නේද?

2014 වසරේ දෙසැම්බර් මාසයේ ප‍්‍රදර්ශනය ආරම්භ කරන ලද රාජ්කුමාර් හිරාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද පී.කේ. චිත‍්‍රපටය ආගම විසින් මිනිසුන්ට කර ඇති හානිය ගැන යළි ප‍්‍රශ්න කරන්නට පොලඹවයි. පෘථිවියේ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පිටසක්වලින් පැමිණෙන ජීවියකු වටා කතාව ගෙතී ඇත. එම ජීවියාගේ චරිතයට පණ පොවන්නේ අමීර් ඛාන්ය. එම පිටසක්වල ජීවියා තමන්ගේ යානයට යළි පැමිණෙන ලෙස දැනුම් දෙන දුරස්ථ පාලක උපකරණය සොරකු විසින් පැහැර ගනු ලබයි. ඔහු එය ආගමික ශාස්තෘවරයකුට (ෂුරබ් ෂුක්ලා) විකුණයි. ඔහු එය දෙවියන්ගේ බෙරයෙන් වැටුණු මැණිකක් ලෙස හඳුන්වමින් මිනිසුන් මුළා කරමින් විශාල වශයෙන් මුදල් උපයා ගනී. මේ අතර පිටසක්වල ජීවියා එම උපකරණය සොයමින් දිල්ලියට පැමිණේ.

මිනිසුන් ඔහුට කියන්නේ කෝටි ගණනක් මිනිසුන් අතර ඔහුගේ දුරස්ථ පාලකය ගත් සොරා සෙවිය හැක්කේ දෙවියන්ට පමණක් බවයි. ඔහු ඉන්දියාවේ සිටින සියලූම දෙවිවරුන්ගේ බැතිමතුන් සමඟ දෙවියන්ට දුක කියමින් තමන්ගේ දුරස්ථ පාලකය සොයා දෙන ලෙස ඉල්ලයි. ඔහු එය සොයා යාම චිත‍්‍රපටයේ කතා පුවතයි. මෙම තව්සාගේ අනුගාමිකයකුගේ දුවක් වන ජග්ගු හා පාකිස්ථානු ජාතික තරුණයකු වන සෆ්රාස් (සුසන්ත් සිං රජ්පුට්) අතර බෙල්ජියමේ දී පේ‍්‍රමයක් ගොඩනැෙඟන අතර ඔවුන් දෙදෙනා වෙන්වීමට හේතු වන්නේ ඔවුන්ගේ සිත් තුළ පැලපදියම් වී ඇති ආගමික විශ්වාසයි. එහෙත් ඔවුන්ගේ පේ‍්‍රමය සියලූ ආගමික බෙදුම් රේඛා ප‍්‍රශ්න කරමින් මිනිස් බැඳීම් ගැන උදාහරණ සපයයි. ඔවුන් දෙදෙනාගේ යළි හමුවීම ඉතා සංවේදීය.

මිනිත්තු 153 ක් පුරා දිව යන මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 13 ක් වැය වී ඇති අතර බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 100 ඉක්මවා තිබේ. පී.කේ. චිත‍්‍රපයට කොතරම් පේ‍්‍රක්ෂක හදවත් බැඳ ගැනීමට සමත්වීද යන්නට එය එක් උදාහරණයකි.

ජනක තුෂාර

Advertisements