නීතිය අදාළ නෑ, දේශපාලන අයිතිය දිය යුතුයි – කුමාර් ගුණරත්නම්

kumar-gunaratnamදේශපාලන හේතූන් මත ජීවිතාරක්ෂාව පතා රටින් බැහැරවීමට සිදු වූ බොහෝ දෙනකු සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙක් පවතින නීතියට අනුව විදේශගත වී ඇති අතර ඇතමුන්ට ඒ අවස්ථාව පවා හිමි වී නැත. පසුගිය දෙසැම්බර් මාසයේ ප්‍රේමකුමාර් ගුණරත්නම් දිවයිනට පැමිණීමත් සමඟ මෙලෙස විදේශගත වූවන්ගේ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ යළිත් සංවාදයක් ඇති විය. පසුගිය 28 වැනිදා ඔහු ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවේ ප‍්‍රකාශයක් ලබා දුන්නේය. මේ පිළිබඳව විමසීමට ජනරළ තීරණය කළේය.

මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ප්‍රේමකුමාර් ගුණරත්නම් සමඟ කරන ලද සාකච්ඡාවේ සටහනයි.

  • ඔබ පසුගිය දා ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවේ ප‍්‍රකාශයක් ලබා දුන්නා නේද?

මම පසුගිය දෙසැම්බර් මාසයේ ලංකාවට ආවාට පස්සේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක සමයේ දේශපාලන ක‍්‍රියාකාරකම්වල නිරත වුණා, මාධ්‍ය සාකච්ඡුා සහ පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡුා ලබාදුන්නා කියලා පැමිණිල්ලක් ලැබිලා තිබෙනවා කියලා ඔවුන් කිව්වා. ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගන්න අවශ්‍යයි කිව්වා. මම ඔවුන්ට පොදුවේ පැහැදිලි කළේ මම ලංකාවේ පුරවැසියෙක්, ලංකාවේ දේශපාලන කටයුතු කළේ, ඒක මගේ අයිතියක්, ඒ ගැන ගැටලූවක් නැහැ කියලා.

  • නමුත් ඔබ සංචාරක වීසා මඟින් නේද ලංකාවට ආවේ?

මේක දේශපාලන ප‍්‍රශ්නයක්. රාජ්‍ය ත‍්‍රස්තවාදයත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්වයත් නිසා තමයි විදේශගත වෙන්න සිද්ධ වුණේ. විශේෂයෙන්ම 2008 දී ජනතා විමුක්ති පෙරමුණෙන් කැඞී ගිය, දුර්වල වුණු පුද්ගලයන් ගෙන ගිය වැරදි ප‍්‍රචාර හා පාවාදීම් ඊට බලපෑවා. ඒ වෙලාවේ මගේ විදේශගත වීම පක්ෂය ගත් දේශපාලන තීරණයක්. දිගු කාලීනව දේශපාලනය කිරීමේ අවශ්‍යතාවට ඒ මොහොතේ ගන්න සිදුවුණු තීරණයක්.

නමුත් විදේශගත වූ මොහොතේ සිටම මට අවශ්‍ය වුණේ රට තුළ දේශපාලනය කරන්න. විදේශගතව සිටිමින් පවා මම ලංකාවේ දේශපාලනයට සක‍්‍රීයව දායක වුණා. 2012 අපේ‍්‍රල් 9 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුව තිබුණා. ඊට දින කිහිපයකට පෙර මාව පැහැරගෙන ගිහින් ඝාතනය කරන්න උත්සාහ කළා. ඒකෙන් පැහැදිලියි තිබුණු තර්ජයේ ස්වභාවය.

මම නැවත ලංකාවට එන්න කලින් ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කළා. ඒකේ සඳහන් කළේත් ලංකාවේ දේශපාලනය කළ ආකාරය සහ ඉදිරියේ දී දේශපාලනය කිරීමේ අවශ්‍යතාව ගැන. ඒ නිසා ලංකාවට පැමිණියේ සංචාරක වීසා මතද වෙනත් ආකාරයකටද කියන එක අදාළ නැහැ. මම ලංකාවේ පුරවැසියෙක් ලෙස දේශපාලනයේ නිරත වුණා.

  • ඔබට විරුද්ධව නීතිමය බාධාක් තිබෙනවා නේද?

ඔබ ඔය ප‍්‍රශ්නය මතු කරන්නේ නීතිමය පදනමකින්. නමුත් මට පිළිතුරු තිබෙන්නේ දේශපාලන පදනමක සිටයි. මම ලංකාවෙන් යන්න අවශ්‍ය වූ කෙනෙක් නෙවෙයි. මම හැමදාම උත්සාහ කළේ ලංකාවේ සිටිමින් ලංකාවේ දේශපාලනය කරන්නයි. මම කලිනුත් පැහැදිලි කළා, මට ලංකාවෙන් යන්න සිද්ධ වුණේ විශේෂ තත්වයක් නිසා. නමුත් මම ලංකාවේ පුරවැසියෙක්. ඒ නිසා මට ලංකාවේ දේශපාලනය කරන්න අයිතියක් තිබෙනවා. මේක මට විතරක් අදාළ ප‍්‍රශ්නයක් නෙවෙයි. විශාල පිරිසක් මේ ප‍්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මෙතැන දී නීතිමය පදනමට වඩා දේශපාලනය කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙනුයි අවධානය යොමු කළ යුත්තේ.

  • ඔබට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබෙනවා නේද?

ඔව්. විවිධ පුද්ගලයන්ට, කණ්ඩායම්වලට ඒ අයගේ දේශපාලන න්‍යාය පත‍්‍ර තිබෙනවා. ඒ න්‍යාය පත‍්‍ර අනුව ඔවුන් කටයුතු කරනවා. විවිධ රටවල්වල නීති හදලා තිබෙන්නේ ඒ ඒ රටවල තිබෙන දේශපාලන තන්ත‍්‍රයේ ඕනෑඑපාකම් මත. මේ නීති ධනේශ්වර පාලනයේ අවශ්‍යතාවන් අනුව වෙනස් වෙනවා. කොහොමත් නීතිය තිබෙන්නේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්න නෙවෙයි, ජනතාව මර්දනය කරන්න. ලංකාවේ ඉතිහාසය ගත්තත් මර්දන නීති වර්ධනය වෙලා තිබෙනවා.

දේශපාලන හේතූන් මත විදේශගත වෙන්න, අන්වර්ථනාමවලින් පෙනී ඉන්න බොහෝ දෙනකුට සිදුව තිබෙනවා. ලංකාවේ වගේම ලෝකයේ ඉතිහාසයේත් එවැනි අත්දැකීම් රැුසක් තිබෙනවා. වාමාංශික දේශපාලනයේ යෙදෙන, පීඩිතයන්්ගේ පැත්තෙන් දේශපාලනය කරන බොහෝ දෙනකුට මෙවැනි ප‍්‍රශ්නවලට ඉතිහාසය පුරා මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. ධනේශ්වර නීතිය එහෙම තමයි. මේ ප‍්‍රශ්නයට පිළිතුරු තිබෙන්නේ නීතිමය තත්වයන් ඉක්මවා ගිය දේශපාලන ප‍්‍රවේශයකින්.

  • දැන් මොකක්ද කරන්න උත්සාහ කරන්නේ?

රට තුළ ප‍්‍රගතිශීලි ජන කොටස් අතර, වාමාංශිකයන් අතර, පොදු ජනතාව අතර දේශපාලන කතිකාවක් ඇති කරගන්න ඕන. ඒ සඳහා මෙවැනි අත්දැකීම් ඇති සියලූදෙනා එකතු වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. විවිධ කාලවකවානුවල දී දේශපාලන හේතූන් මත රට හැරයාමට සිදු වූ සියලූදෙනා එහි කොටස්කරුවන් විය යුතුයි. එවැනි කතිකාවක් හරහා ගොඩනැෙඟන සමාජ බලයකින් විතරයි මේ ප‍්‍රශ්නයට විසඳුමක් ගොඩනඟන්න පුළුවන් වෙන්නේ. සියලූම ප‍්‍රගතිශීලි බලවේගවලට ඒ සඳහා වගකීමක් තිබෙනවා.

  • ආණ්ඩුව වෙනස් වුණා. මේ ආණ්ඩුව යටතේ යහපාලනය ගැන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසයක් ගොඩනැඟිලා තිබෙනවා. දේශපාලන හේතු නිසා විදේශගත වෙන්න සිදු වූ අයගේ ගැටලූවලට විසඳුමක් ලැබේවිද?

මැතිවරණය තුළත් ඉන් පෙරත් පසුවත් අපි දිගටම අවධාරණය කළ දෙයක් තමයි, මූණු මාරුවක් නෙවෙයි ක‍්‍රම මාරුවක් අවශ්‍යයි කියන ස්ථාවරය. ඒ ගැන දෙගිඩියාවක් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් සැලකුවොත් කලින්ට වඩා වෙනස් තත්වයක් නව පාලනය යටතේ බලාපොරොත්තු වෙන්න අමාරුයි. මොකද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිතරම පවතින සමාජ ආර්ථික ක‍්‍රමයත් එක්ක බැඳුණු දෙයක්. සමාජ ආර්ථික තත්වයන්ගේ වෙනසකින් තොරව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ.

මහින්ද රාජපක්ෂ පරාජය කරන්න මැදිහත් වූ සමාජ බලවේග තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන යම් බලාපොරොත්තු තබාගෙන සිටින පිරිසක් ඉන්නවා. ඔවුන් අතර රාජපක්ෂ පාලනයේ මර්දනය නිසා විදේශගත වෙන්න සිද්ධ වුණු අයත් ඉන්නවා. ඔවුන්ට නැවත ලංකාවට පැමිණීමට අවස්ථාවක් ලැබේවි කියන අපේක්ෂාව ඔවුන්ට තිබෙනවා. නමුත් අපි හිතනවා ඒ අපේක්ෂාව තුළ තිබෙන ශක්තිය දේශපාලන අරගලයක්, උද්ඝෝෂණයක් බවට පත් කරන්න ඕන කියලා.

  • ඔබ නැවත ලංකාවට පැමිණීම සිදු වුණේ රාජපක්ෂ පාලනයේ අනුග‍්‍රහයෙන් බවට චෝදනාවක් නැඟුණා…

එකිනෙකට වෙනස් දේශපාලන න්‍යාය පත‍්‍ර එක්ක වැඩ කරන කොටස් ඒ න්‍යාය පත‍්‍රවලට අනුව විග‍්‍රහ කරනවා. මගේ පැමිණීමට අදාළව ඔවුන් අදහස් දැක්වූයේ ඒ මොහොතේ ඔවුන් සිටි දේශපාලන න්‍යාය පත‍්‍රයට අනුවයි. මේ චෝදනාව අපි මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරනවා. අපට එහෙම කා එක්කවත් ඞීල් නැහැ. මම ලංකාවට එද්දී මට විරුද්ධව යම් ක‍්‍රියාමාර්ගයක් ගත්තොත් පැහැදිලිවම ඒකෙන් විපක්ෂය වාසි ගන්නවා. ඒ නිසා එවැනි ක‍්‍රියාමාර්ගයක් ගත නොහැකි ලෙස ඔවුන් දුර්වලව සිටි මොහොතක්, ඒක. අපි ඒ අවස්ථාව භාවිත කළා. මහින්දගේ විතරක් නෙවෙයි මෛත‍්‍රීගේ හා ඒ සියලූ පාර්ශ්වවල අර්බුදයක් නිර්මාණය වෙලා තිබුණේ. එවැනි අවස්ථා දිගුකාලීන දේශපාලන උවමනාවන්ට උපක‍්‍රමික ලෙස භාවිත කිරීම වාමාංශික ව්‍යාපාරවල වගකීමක්. එවැනි අත්දැකීම් ලෝකයේ වගේම ලංකාවේ ඉතිහාසයේත් තිබෙනවා. ඒ නිසා මැතිවරණයෙන් කවුද දිනන්නේ, කවුද පරදින්නේ, කාටද වාසි, කාටද අවාසි කියන ප‍්‍රශ්න අපට අදාළ නැහැ. ජනතාවට ජයග‍්‍රහණ ලැබෙන්නේ කවර ආකාරයකටද කියන එක විතරයි අපට වැදගත්.

  • පැවැති ජනාධිපතිවරණයේ දී වමේ පොදු අපේක්ෂකයාට ගන්න පුළුවන් වුණේ ඡුන්ද දස දහසකට ආසන්න ප‍්‍රමාණයක්…

ඇත්තටම අපි කළේ ඡන්ද ව්‍යාපාරයකට වඩා රටේ පැවැති දේශපාලන තත්වයට මැදිහත්වීමක්. ඒක සාම්ප‍්‍රදායික මැතිවරණ ව්‍යාපාරයක් නොවෙයි. අපේ මතය සමාජගත කරන්න අපි කටයුතු කළා. අනෙක කොහොමටත් අපි මේ මොහොතේ විශාල ඡුන්ද ප‍්‍රමාණයක් බලාපොරොත්තු වුණේ නැහැ. අපේ මැතිවරණ ව්‍යාපාරයේදීත් ඒ බව කිව්වා. මේ මැතිවරණයේ දී අපි ශක්තිමත් ස්ථාවර දේශපාලන ගමනකට පියවර තැබුවා. ඒක කියන්නේ මැතිවරණ ප‍්‍රතිඵලයෙන් නෙවෙයි, මැතිවරණ සමයේ කළ මැදිහත්වීමෙන් අප ලැබූ අත්දැකීමෙන්.

  • ජනාධිපතිවරණය අවසානයි. මහ මැතිවරණයක් ගැන සාකච්ඡුාවක් තිබෙනවා. මොකක්ද පෙරටුගාමීසමාජවාදී පක්ෂයේ ස්ථාවරය…?

මැතිවරණ සම්බන්ධයෙන් වන අපේ ස්ථාවරය අපි රටට කියා තිබෙනවා. අපි මැතිවරණ වර්ජනය කරන පක්ෂයක් නෙවෙයි. ඒ වගේම මැතිවරණවාදී පක්ෂයකුත් නෙවෙයි. දේශපාලනය කරන්න තිබෙන එකම මාවත මැතිවරණ කියා අපි හිතන්නේ නැහැ. සමාජවාදය පිළිබඳ මතය සමාජගත කරන්න, ජනතාව සංවිධානය කරන්න අපි කටයුතු කරනවා. ඒක තමයි අපේ අරමුණ. මහ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කළොත් ඒ මොහොතේ තිබෙන දේශපාලන තත්වයට අනුව ඒ සම්බන්ධයෙන් වන තීරණය අපි ගන්නවා.

  • පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ මොකක්ද?

මූලික වශයෙන් සමාජවාදය ඉලක්ක කරගත් වාමාංශික වැඩපිළිවෙළක් තමයි අපේ අරමුණ. ප‍්‍රධාන පක්ෂ දෙක විතරක් නොවෙයි, සුළු ධනේශ්වර, ජාතිකවාදී, වාමාංශික යැයි කියාගන්නා සුළු ධනේශ්වර පක්ෂ එකම කතිකාවක ගිලිලා ඉන්නේ. ඔවුන් උත්සාහ කරමින් ඉන්නේ ධනේශ්වර ක‍්‍රමය පිරිපහදු කරගෙන ඉදිරියට ගෙන යාමටයි. ඒ වගේම එහෙම කරන්න පුළුවන් කියන විශ්වාසය ජනතාව තුළ ඇති කරන්න උත්සාහ කරනවා. වංචා දූෂණ මුළුමනින්ම අහෝසි කරලා ධනේශ්වර ක‍්‍රමය තිරිහන් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් හදන්න උත්සාහ කරනවා. නමුත් අපි දන්නවා එහෙම ධනේශ්වර ක‍්‍රමය තිරිහන් කරන්න බැහැ. ඒක තාර්කිකවත්,

ප‍්‍රායෝගිකවත් අපි අත්විඳලා තිබෙනවා. ඒ නිසා මේකට තිබෙන එකම උත්තරය සමාජවාදී විකල්පයක්. ජනතාවගේ මූලික ප‍්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් තිබෙන්නේ සමාජවාදයේ පමණයි. ඒ වෙනුවෙන් ජනතාව සංවිධානය කිරීම, අරගල කිරීම තමයි අපේ වැඩපිළිවෙළ.

Advertisements