‘පුරවැසි බලය’ විසිරීමේ අභියෝගය

Wangeesa2015 ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ දී එම රාජපක්ෂ විරෝධී බලවේග පක්ෂපාත වූයේ විපක්ෂ අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කිරීමේ අරමුණ වෙතය. මේ කෙටි කාලසීමාවේ දී සිදු වූ වෙනස පිළිබඳ කෙරෙන සමාලෝචනයට අදහස් දක්වන මෙන් අප කළ ඇරයුමට ප‍්‍රතිචාර දක්වමින් ‘වංගීස සුමනසේකර’ පළ කළ අදහස් ඇසුරින් සැකසූ ලිපියක් මෙවර වමේ සංවාදයේ සටහන් වේ.

මහින්ද රාජපක්ෂ මූලික වූ පාලනය අවසන් කරපු වකවානුවකය අප මේ සාකච්ඡුාව කරන්නෙ. මොකක්ද සිදුවූ වෙනස කියලා කතා කරන්න නම් තිබුණු තත්වය ගැන අදහසකට එන්න වෙනවා.

ඉතාම පුළුල් අර්ථයෙන් ගත්තම මහින්ද රාජපක්ෂ, රනිල්, චන්ද්‍රිකා යන මේ සියලූ දෙනා නියෝජනය කරන්නෙ ධනේශ්වර පාර්ලිමේන්තුවාදය. 20 වැනි සියවසේ කොමියුනිස්ට් ව්‍යාපාරය බිඳවැටීමත් සමඟ ලෝක දේශපාලනය තුළ නිහඩ එකඟතාවක් ආවා වෙළෙඳපොළ ධනවාදය පිළිබඳව. ඒ කියන්නෙ බලය හිමි පුද්ගලයා නියෝජනය කරන මැතිවරණ, පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් ආකෘතිය. ඒ අර්ථයෙන් ගත්තොත් මහින්ද රාජපක්ෂ පාලනය සම්බන්ධව තියෙන පළවැනි ගැටලූව ඒකයි.

ආචාර්ය නලීන් ද සිල්වා කියන ආකාරයට 1956න් පස්සෙ ජාතිකත්වය, සිංහල බෞද්ධකම කේන්ද්‍ර කරගත් පළමුවැනි ජයග‍්‍රහණය 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීම. එහි වටිනාකම ගැන එකඟ නැති වුණත් මම ඒ අදහසට එකඟයි. 1956න් පස්සෙ සිංහල බෞද්ධ ජාතිකවාදය කේන්ද්‍රීය දෘෂ්ටිවාදය ලෙස පිළිගන්න රාජ්‍ය නායකයෙක් බලයට පත් වුණා. එයා එක්ක හමුදාව මෙහෙයවන සහෝදරයෙක් හිටියා. ඒ එක්කම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සිංහල බෞද්ධ ජාතිකවාදය ලංකාවෙ රාජ්‍ය බලය අත්පත් කරගන්න ව්‍යාපෘතියට එකඟ බලවේග ඒ වටා එක් වුණා. ඒ පාලන බලය පිහිටුවනු ලැබුවෙ දෙමළ ජාතිකවාදයට එරෙහිව. නිදහසෙන් පස්සෙ ලංකාවෙ නොවිසඳුනු ප‍්‍රශ්නය ඕකයි. රාජ්‍යයේ ලෙස ලංකාවෙ විතරක් නෙවෙයි, යුරෝපය හැර අනෙක් බොහෝ රටවල ඉතිරිව ඇති ප‍්‍රශ්නය ඕකයි. කිසියම් විදියක ජනවාර්ගික කේන්ද්‍රයක් සහිත ගැටලූවක්.

 යුධ යාන්ත‍්‍රණයක් පිහිටුවීම

ජාතික රාජ්‍ය නැඟීමත් එක්ක ඔය ජනවාර්ගික පක්ෂපාති පාලනය කියන එක ආවා. අදටත් ඕක අමෙරිකාවෙත්, එංගලන්තයෙත් තියෙන දෙයක්. ලංකාවෙත් තියෙන ප‍්‍රශ්නය අතිශය සංකීර්ණ තත්වයකට පත්ව තිබෙනවා. ජනවාර්ගික අනන්‍යතාව මත සංවිධානය වුණු දේශපාලන ව්‍යාපාරයක් දෙමළ සමාජය තුළ තිබුණා. ඒ වගේම ඒ ව්‍යාපාරය 1970න් පස්සෙ සන්නද්ධ ව්‍යාපාරයක් බවට පත් වුණා. 1980 දශකයේ දී එය ලංකාවෙ රාජ්‍ය පැවැත්ම තීරණාත්මක ලෙස අභියෝගයට ලක් කළ හැකි සන්නද්ධ ව්‍යාපාරයක් බවට පත් වුණා. මේ සන්දර්භය තුළ තමයි රාජපක්ෂ රෙජීමය බලයට පත් වුණේ. ඉතින් ඒ අයට තිබුණු ජනවරම වෙන්නෙ දෙමළ ජාතිකවාදය මර්දනය කරන්න සිංහල ලැබුණු ජනවරමක් ලෙසයි අර්ථ දක්වා තිබුණෙ. මතක තියාගන්න ඕන වැදගත් කාරණය තමයි 2005දි එල්.ටී.ටී.ඊ.ය දෙමළ ඡුන්ද ප‍්‍රකාශවීම වැළැක්වුවා. ඒ නිසා දෙමළ සමාජය මැතිවරණයට සහභාගි වුණේ නෑ. ජනාධිපතිවරණයෙන් සිංහල සමාජයේ ඡුන්දයෙන් මහින්ද රාජපක්ෂ ජයගත්තා. ඉන්පසුව ඔහු දක්ෂ ලෙස යුද යාන්ත‍්‍රණයක් නිර්මාණය කළා. හමුදාව, පරිපාලන තන්ත‍්‍රය, ජනමාධ්‍ය, දේශපාලන තන්ත‍්‍රය, රාජ්‍ය තාන්ත‍්‍රික සමාජය යන සියල්ල සක‍්‍රීය කරවන යුද යාන්ත‍්‍රණයක් බිහි කළා.

දෙමළ ජාතික අරගලය මර්දනය කිරීමත් සමඟම ඒ යුද යාන්ත‍්‍රණය සහ පාලනයට සුජාතභාවයක් ලැබුණා. ඒ එක්කම මතවාදී ආධිපත්‍යයක් මහින්ද රාජපක්ෂ රෙජීමයට හිමි වුණා. මිලිටරිමය ආධිපත්‍යයත් එක්ක ඒ අය කල්පනා කළා අපි තමයි මේ රටේ අයිතිකාරයෝ කියන එක. ඒ නිසාම බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු ක‍්‍රමය තිබුණ අපේ සමාජයේ ජනතාවට පාලකයන් පත් කරන්න පුළුවන්, පාලකයන් ගෙදර යවන්න පුළුවන් කියලා තිබුන විශ්වාසය පවා අප අතරින් අතුරුදන් වුණා. එකම කණ්ඩායමක් රට පාලනය කරන කිසිදු විකල්ප අදහසකට ඉඩ නොදෙන තත්වයක් තිබුණෙ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ලිබරල් නියාම ධර්ම අදාළ නැති තත්වයක් ඇති වෙන්න පටන් ගත්තා. ඕක තමයි රාජපක්ෂ රෙජීම් එක ගැන තියෙන අදහස. පස්සෙ ඉතින් අපි දන්නවා නාමල් රාජපක්ෂට දළදා මාලිගය අසල කාර් රේස් තියන එක, අශ්වයන් පදින එක එය සියල්ලම එකතු වුණා.

ප‍්‍රධාන දේ සිංහල ජාතිවාදී ආණ්ඩුවක් තිබුණා. ඒක පරාජය වුණා. සිංහල බෞද්ධ ජාතිකවාදී බලයට විකල්පයක් නිර්මාණය කරන්න පුළුවන් කියන අදහස තහවුරු වුණා. ඉතින් මහින්ද රාජපක්ෂ කිව්වනෙ ‘ඊළමේ ඡුන්දවලින් මම පැරදුණේ’ කියලා. එක්තරා දුරකට ඒක හරි, සිංහල ඡුන්ද විතරක් නෙවෙයි. දෙමළ හා මුස්ලිම් ඡුන්දවල එකතුවකින් එයා පරාජය වුණේ. ජනවාර්ගික නොවන විකල්ප සන්ධානයක් ලංකාවෙ බලයට පත් වුණා.

දැන් දින 100 න් ඔක්කොම වෙන්නෙ නෑ කියන එක පැහැදිලියි. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ඔහුගෙ සන්ධානය විසින් පැහැදිලිව ඉදිරිපත් කළ යහපත් ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන් ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම විධායක බලතල අඩු කිරීම ආදිය තියෙනවා. ඒවා ක‍්‍රියාත්මක කිරීම සඳහා මහන්සි වීම එක පැත්තක්. අනෙක් කාරණය තමයි දැන් අපට අවස්ථාව ලැබිලා තියෙනව දෙමළ ජනයාගෙ ප‍්‍රශ්නය පිළිබඳ අලූතෙන් හිතන්න.

දෙමළ ජනයාගෙ ප‍්‍රශ්නය කතා කරන්න ජනවරමක් ලැබී තිබෙන බවයි මට කියන්න වෙන්නෙ. දෙමළ ජනයා ගැන කියනකොට මට මතක් වෙන්නෙ, යුද්දෙ ඉවර වෙලා කාලයක් ගතවෙලා මම යාපනේ ගිය වෙලාවක අත්දැකපු දෙයක්. හවස හයෙන් පස්සෙ යාපනේ මළ නගරයක්. කවුරුවත් නගරෙ නෑ, දුම්වැටියක් ගන්න කඩයක් නෑ. ඒ වගේ වෙනව නම් අපි මේ සාමය අනං මනං කියලා උදම් අනලා වැඩක් නෑනෙ. එහෙම තත්වයකට ඒ යාපනේ ජනයාගෙ ඉරණම ඇද වැටිලා තිබුණේ. මේ ගම්බද නෙවෙයි, යාපනේ නගරයේ ගැටලූවක්.

 දෙමළාගේ ප‍්‍රශ්නය

උතුර නැෙඟනහිර ආණ්ඩුකාරවරයා ඉවත් කිරීම ගැන මහා හ`ඩක් නැඟුවා. නමුත් ඒක ගැන කිසිදු අවධානයක් සමාජයෙන් ලැබුණෙ නෑ. ඒ වගේම සංහිඳියා කොමිසමේ සාමාජිකයෙක් ආණ්ඩුකාරවරයා හැටියට පත් කෙරුණා. දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය ගැන වඩා සංවේදී පුද්ගලයෙක් කොමිසමට ආවා. ඒකටත් ලොකු විරෝධයක් සමාජයෙන් ඇති වුණේ නෑ. මට නම් හිතෙන්නෙ මේක සංහිඳියාව පැත්තෙන් වැඩ කරන්න ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්. අපේ රටේ ඇතිව තිබෙන වියවුල අවසන් කිරීමේ අවස්ථාවක් අපට ලැබිලා තියෙනවා. බොහෝ දෙනා කියනවා මේක ගැන වෙනස් අදහසක්. අපට මතකයි අපේ මිත‍්‍රයෝ සුමිත් චාමින්ද වගේ අය 2009 දි සියල්ල අවසන් වුණා කියලා හිතුවා කිව්වා. ඒ අය ගෙනාවෙ පශ්චාත් නන්දිකඩාල් මොහොත සහ පශ්චාත් නිව්ටෝනියානු සමතුලිතය වගේ අදහස්. මම හිතන්නෙ කිසිදු ආකාරයක පශ්චාත් නිව්ටෝනියානු අවස්ථාවක් නෙවෙයි. තවමත් අපි නිව්ටෝනියානු අවස්ථාවක ඉන්නෙ. ලංකාවෙ ජාතික ප‍්‍රශ්නය නිසා තමයි ලංකාවට අමෙරිකාව සම්බන්ධ වෙන්නෙ. ඒ වගේම ඉන්දියාව, චීනය, යුරෝපය සම්බන්ධ වෙන්නෙත් ඔය ප‍්‍රශ්නය නිසා.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ උතුරේ ජනතාව කිව්වා හමුදා නිලධාරියෙක් ආණ්ඩුකාරයා කරන්න එපා, සිවිල් නිලධාරියෙක් දෙන්න කියලා. රාජපක්ෂ පාලනය ඒකවත් කරන්න කැමැති වුණේ නෑ. එහෙම වුණාම ප‍්‍රශ්නය වර්ධනය වෙලා පුපුරා යන තත්වයකට එන්න නියමිතව තිබුණේ. ඇත්තටම විදේශ අත පෙවීමක අනතුරක් තිබුණා. විදුලි පුටුව කෙසේවෙතත් විදේශ ආක‍්‍රමණයක අනතුර වර්ධනය වෙමින් තිබුණා. ඒ හොඳ දෙයක් නෙවෙයි, වළක්වා ගන්න ඕන දෙයක්. නමුත් රාජපක්ෂ පාලනය ගමන් කළේ ඒ දෙසටයි. සමාජයක් ලෙස සාමූහිකත්වයක් නිර්මාණය කරගන්න ඕන. දැන් තියෙන්නෙ ඒක. දැන් දෙමළාගේ ප‍්‍රශ්නය අපේ කතාවට ගන්න ඕන.

උතුරේ ජනතා අරගලයක් තිබුණා, ඒක මර්දනය කළා. සමහර කණ්ඩායම්වල එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන අවිචාරවත් ඇගයීමක් තිබුණා. නමුත් ඔවුන් දරුවන් ඝාතනය කිරීම. නිරායුධ සාමාන්‍ය වැසියන් කපා කොටා දැමීම වැනි හේතු යුක්ති පිළිගත නොහැකි මට්ටමෙන් අපරාධවල යෙදුණා. ඒ වුණත් ඒ පසුපස සාධනීය අරගලයක් තිබුණා. ඒ අරගලය මර්දනය කළාට පස්සෙ ඒ ජනතාවගෙ අයිතිවාසිකම් අහිමි කර පාලනය කිරීම ගැන අප කියන්නෙ මොකක්ද?

දැන් ලෝකයේ රාජ්‍ය පාලන ප‍්‍රතිපත්ති සකස් කරන්නන් විසින් හඳුන්වන්නෙ දඩබ්බර රාජ්‍යයන් :ඍදටමැ ීඒඑැ* වශයෙන්. ඉතින් ඒ දඩබ්බර රටවලට යම් ආකාරයෙන් තරවටු කිරීම් කරනවා. හමුදා එවනවා වගේ දේවලට එතරම් මහන්සි වෙන්නෙ නෑ. නමුත් යම් බලපෑමක් කිරීමට පවතින යාන්ත‍්‍රණයන් භාවිත කරනවා. ඒකට වැඩිය පාවිච්චි කරන්නෙ මානව හිමිකම් වැනි යුක්ති සහගත දේවල්. ඒ නිසා ලංකා ආණ්ඩුව කරපු වැරදි ඉදිරිපත් කරන නිසා ඒ ප‍්‍රශ්නවලට උත්තර දෙන්න අමාරුයි. ඒ නිසා රාජපක්ෂ ආණ්ඩුවට මේ අයට උත්තර දීගන්න බැරි වෙනවා. ඒ අයගෙ ගැටලූවලට අපි පිළිතුරු දුන්නා වෙන්නෙ සත්‍යවාදීව යමක් පෙන්වන්න අවශ්‍ය සමාජ වටපිටාවක් හැදුවමයි. එහෙම දෙයක් ඔවුන් හැදුවෙ නැති නිසා හිරවීමක් තිබුණා. අනෙක් පැත්තෙන් සිංහල ජාතිකවාදය තුළ හිරවෙලා හිටිය නිසාම ඔවුන්ට ඒ සඳහා යමක් කරන්න බැරි වුණා.

පසුගිය ජනාධිපතිවරණය තුළ සිදුවුණු තවත් වෙනස්කමක් ගැන මට කියන්න තියෙනවා. මේ දක්වා සමාජයීය වශයෙන් හෝ දේශපාලන සවිඥානකත්වය සහිතව නොසිටි පිරිසක් ඒ කාලසීමාවෙදි ඉදිරියට පැමිණියා. දේශපාලන ක‍්‍රියාකාරිකයන් ලෙස සිට දුර්මුඛව සිටි අයත් නැවත සක‍්‍රීය වුණා. සක‍්‍රීයව දේශපාලනයට සමීප නොවුණු සමනලී ෆොන්සේකා වැනි අයගෙ සිට බොහෝ දෙනා ජනාධිපතිවරණය තුළ සක‍්‍රීය ලෙස සමාජ කාර්යයකට අත ගැසීමට එකතු වුණා. මහින්ද රාජපක්ෂට එරෙහිව තිබුණෙ එතරම් ආකර්ෂණීය කතාවක් නෙවෙයි. ¥ෂණයට එරෙහි වෙනවා කියන එක ඇත්ත. අදහසක් හැටියට ලස්සනයි තමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍ය වගේ වචන එදිනෙදා ජීවිතයට සමීප දේවල් නෙවෙයිනෙ. ටිකක් දේශපාලනිකව පරිණත තැනක ඉඳලයි මේ විවේචන පැන නැඟුනෙ.

 පුරවැසි බලයේ භූමිකාව

සෞම්‍ය ලියනගේ වගේ කලාකරුවන් දේශපාලන ක‍්‍රියාකාරීත්වයකට ඍජුව සම්බන්ධ වූ අය නෙවෙයිනෙ. (ඒ දක්වා ඔවුන් බොහෝ දෙනා දේශපාලනික යමක් කළේ නිර්මාණකරුවන් හැටියට* ඉතින් ඔවුන් මැදිහත්වීමක් කරන්න ඕන කියන දේශපාලනික අවදිවීමක් තුළට ආවා. ඉතින් මම දන්නෙ නෑ පුරවැසි බලය වගේ සංවිධානයක් කොතරම් දුරට ඉදිරියට යයිද කියලා. මොකද බොහෝ වෙලාවට ඔවැනි සංවිධාන මැතිවරණයක් තුළ සක‍්‍රීය වෙලා ඉන් පසුව නිශ්ක‍්‍රීය වෙන අත්දැකීම් අපට තියෙන්නෙ. මැතිවරණය කියන හුය ලිහිලා ගියාම විසිරිලා යන සංවිධානයක්. ඒ එක පැත්තක්.

අනෙක් අතට සන්ධ්‍යා එක්නැලිගොඩ වගේ කෙනෙක් ගනිමු. ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වුණාට පස්සෙ තමයි එයාට යම් සක‍්‍රිය කාර්යයකට එන්න සිදු වුණේ. ඒක තමයි එයාට දේශපාලනිකව කලින් හිටියට වඩා යම් ක‍්‍රියාකාරීත්වයකට එන්න පොලඹවන සාධකය. මම හිතන විදියට ඇය කවදාවත් කලින් හිටිය සන්ධ්‍යා වෙන්නෙ නෑ. එයා එතැනින් ඔබ්බට ඇවිත් ඉවරයි. ඒ වගේ ‘පුරවැසි බලය’, ‘අලූත් පරපුර’ ‘සාධාරණ සමාජයක් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු’ වගේ සංවිධාන ක‍්‍රියාකාරී වෙන්නෙ ඒ සක‍්‍රීය පිරිසක් ඉදිරියට පැමිණීමත් සමඟයි.

මහින්ද රාජපක්ෂ බලයෙන් ඉවත් කළාම වෙනසක් වෙනවද කියන ගැටලූව තිබෙනවා. රාජපක්ෂ පාලනයෙ සංයුතිය වෙනස් වෙන්නෙ නැතිව සිදුවන වෙනස්කම මොකක්ද කියලා බලන්න වෙනවා. මෛත‍්‍රීපාල, සුසිල් පේ‍්‍රමජයන්ත, රෝහිත අබේගුණවර්ධන වැනි අයට මතවාදීමය දේශපාලනයක් නෑ. ඒ අය කරන්නෙ දෘෂ්ටිවාදාත්මකව මැදිහත්වීමක් හෝ අදහස් දේශපාලනයක් නෙවෙයි. ඒ අය ජාතිකවාදීන් විය හැකියි. නමුත් යම්කිසි පෙරළියක් වුනොත් ෆෙඩරල්වාදීන් වෙන්නත් පුළුවන්. ඔවුන් හදවතින් දේශපාලනය කරනවා නෙවෙයි. ඒ වෘත්තීය වශයෙන් දේශපාලනය කිරීමේ හැකියාවයි. ඔවුන් යම් කාලයක හොඳ ෆෙඩරල්වාදීන් වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් අදහස් සමඟ දේශපාලනය කරන පිරිසක් ඉන්නවා. නලින් ද සිල්වා, වාමාංශික ව්‍යාපාරය, චම්පික රණවක වගේ චරිත.

දැන් මේ රාජපක්ෂ එක්ක හිටිය කට්ටියමයි ආපහු මෙතැනට එන්නෙ කියලා ප‍්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නමුත් අධික ලෙස ¥ෂිත දේශපාලකයන් ඉන්නවා නම්, මම පිළිගන්නවා අධික ¥ෂිත තත්වයන් ඇති කළ අය ඉන්නවා නම්, ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වෙන්නෙ නැත්නම්, ඒක වැරදියි කියලා මට ඒකට උත්තරයක් නෑ. දැන් එක මතවාදී කඳවුරක් ජයග‍්‍රහණය කරලා. විකල්ප මතවාදී කඳවුරක් තමයි ජයග‍්‍රහණය කරලා තියෙන්නෙ. ඉතින් එන කට්ටිය මෙතැනට එනවා නම්, ඒ මතවාදය

පිළිගන්න වෙනවා. සියලූ දෙනාම සමාන, සියලූ ජනවාර්ගිකයන්ට සමාන අයිතිවාසිකම් දෙන, අපේ සාමූහික පැවැත්ම කිසියම් නීතිමය ආකෘතියක් යටතේ පවත්වාගෙන යන්න පුළුවන් කියලා විශ්වාස කරන අයගෙ කඳවුරක්. ඒකට එකඟවයි එන්න වෙන්නෙ. ඔය තත්වය තුළ ආවයි කියලා ලොකු ප‍්‍රශ්නයක් වෙන එකක් නෑ.

මෙහිදී අවධාරණය කරන්න කැමැති කාරණයක් තමයි මාක්ස්වාදී අර්ථයෙන් ඉතිහාසය විවරවීමක් මෙහිදී සිදුවෙන්නෙ නෑ. ඉතිහාසය විවර කිරීමේ සාකච්ඡුාව ආරම්භ කරන්න පුළුවන් අවස්ථාවක් හැටියටයි මම මේක සලකන්නෙ. එහෙම සාකච්ඡුාවක් කරන්න පුළුවන් සමාජයක් තමයි නිර්මාණය කරගන්න වෙන්නෙ. එහෙම එකක්වත් නෙවෙයි ඉස්සෙල්ලම තිබුණෙ.

දැන් පුරවැසි බලය හෝ එවැනි සමාජ ක‍්‍රියාකාරිකයන් සක‍්‍රීය ලෙස මැදිහත් වූ මෙම සංවිධාන විසිර යා නොදී එහි අරමුණු වෙනුවෙන් පවත්වාගෙන යාමේ ගැටලූවක් තිබෙනවා. ඒක නම් ඉතින් විසඳුමක් නැතිව තියෙන ගැටලූවක්. ‘අප ගතයුතු සංවිධාන ආකෘතිය කුමක්ද?’ කියන ප‍්‍රශ්නෙ තමයි තියෙන්නෙ. ඒක පුළුල් ප‍්‍රශ්නයක්. ඒ වගේම යම් අරමුණක් වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන අවංක පිරිසක් ඉන්න ඕන. එහෙම පිරිසක් පුරවැසි බලයට එහෙම පුළුවන්ද කියන ප‍්‍රශ්නෙ තියෙනවා. දැන් ගාමිණී වියන්ගොඩ වගේ අය ඉන්නවා. කැපවීමක් කරනවා. නමුත් අර සංවිධාන ආකෘතියෙ ප‍්‍රශ්නෙත් එනවා. අපි උත්සාහ කරන්න ඕන කාටවත් පවරා නොදී අපේ මැදිහත්වීමකින් යමක් කරන්න. දැනටමත් යම් විසිරුණු ස්වභාවයක් තිබෙනවා. ඉක්මනින් මේ තත්වය යළි පණගැන්වීමට අවශ්‍යතාවයක් තියෙනවා.

 ගුණරත්නම් විරෝධය

ඒ එක්කම කුමාර් ගුණරත්නම් ලංකාවට ආව එක සම්බන්ධයෙන් ‘රාවය’ පත්තරේ කරපු මැදිහත්වීම ගැන මට විවේචනයක් තියෙනවා. මුලින්ම මම එකඟ වුණේ නෑ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය තනිව තරග කරන එක ගැන. මට ඒ ගැන සාහසික විවේචනයක් තියෙනවා. නමුත් මම හිතන්නෙ නෑ පෙරටුගාමී පක්ෂය රාජපක්ෂලා එක්ක එකඟතා ඇතිකරගෙන තියෙනවා කියලා. ඒ වගේම මම හිතන්නෙ නෑ ‘රාවය’ පත්තරේ හෝ ඊට මතවාදී නායකත්වය දෙන කණ්ඩායම හෝ එහෙම හිතනවා කියලා. නමුත් එහෙම තත්වයක් තුළ මට හිතෙන හැටියට බොහොම පටු අදහසක් පළ කරලා තිබුණා. ජනාධිපතිවරණය සඳහා යන කෙටි කාලය තුළ මේ පැමිණීම තුළ යම් හානියක් පැමිණේදෝ කියන තක්සේරුව මත කරපු අවලාදාත්මක ප‍්‍රවෘත්තියක් රාවයෙන් පළ කළා. ‘රාවය’ මං ගරු කරන පුවත්පතක්. ඉතින් මම රාවයෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. කුමාර් ගුණරත්නම් කියන්නෙ අසාධාරණයට ලක් වුණු පුද්ගලයෙක්. ඔහුට ලංකාවේ දේශපාලනය කිරීමේ අයිතියක් තිබෙනවා. තිබෙන බලතුලනය මත ඒ සඳහා ලැබෙන අවස්ථාවක් භාවිතයට ගැනීම කියන එක ප‍්‍රශ්නයක් නෑ. කොහොම නමුත් මම මැතිවරණය ඉවර වුණාට පස්සෙ ඒ මතවාදී ප‍්‍රතිරෝධය අවසන් කරමු කියන යෝජනාව තියෙනවා. ප‍්‍රතිවිරෝධතා අවම වූ කණ්ඩායම් අතරෙනෙ මේ දෙපිලක් ඇතිවුණේ. නමුත් ඒ ප‍්‍රතිවිරෝධය දැන් අවසන් කරමු කියලා මම කියන්නෙ.

ජනාධිපතිවරණයෙ උණුසුම අවසන් වෙනකොටම ‘සෝමරත්න දිසානායක’ පත් කරලා කියන ආරංචිය ආවාම මටත් නිකං කෙළ හිඳිලා වගේ දැණුනා. ඇඳුමක් ඇඳගෙන සමාජය ඉදිරියට යන්න පුළුවන්ද කියන ප‍්‍රශ්නෙ ආවා. කාටත් ඒ ක‍්‍රියාදාමය තුළ හානි වුණා. නමුත් දැන් ඒ කාලෙ අවසන් වෙලා අපට එක අරමුණක සිට සංවාදය ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාවක් තියෙනවා.

Advertisements