ආර්.කේ. ලක්ෂ්මන් – අසහාය ඉන්දීය කාටූන් ශිල්පියා නිහඩ වෙයි

R_K_LAXMANඉන්දියානු දේශපාලනයේ අගතීන්, කුහකකම් සහ අයුක්තිය නිරූපණය කරමින් ඇඳි ‘පොදු මිනිසා’  (common man)  සමාජ ආකර්ෂණය ලැබූ ඔහුගේ කාටූන් චරිතය විය.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ලෝකයේ වැඩි වශයෙන් බෙදා හරින ඉංග‍්‍රීසි මාධ්‍ය පුවත්පත ලෙස සැලකෙන අතර එහි ප‍්‍රධාන කාටූන් ශිල්පියා වශයෙන් දශක හයක් ආර්.කේ. ලක්ෂ්මන් ඇඳි කාටූන් පළ විය. 1947 ඉන්දියාව බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස ලැබූ වසරේ ටයිමස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට එක් වූ මේ කාටූන් ශිල්පියා, සුප‍්‍රකට ලේඛක ආර්.කේ. නාරායන්ගේ බාල සොහොයුරා ය. නිදහස ලබා කාලයක් ගෙවී යන විට ඉන්දීය පාලනය තුළ වංචාව,දූෂණය, නිලධාරිවාදය රජකරන විට සිය පින්සලයෙන් ඊට පහරදීමේ කාර්යය ලෙස පොදු මිනිසා කාටූනය අඳින්නට පටන් ගත් බව ලක්ෂ්මන් පවසා තිබිණි.

බාල කාලයේ ඉඳලා මම කැමති දෙයක් හැටියට මතක තියෙන්නෙ වෙන දේවල්වලට වඩා අඳින්න උනන්දුවක් තිබුණු බවයි. තිත්ත උපහාසය මුසු කාටූන් ගැන විමසා සිටි අවස්ථාවක ඔහු කීවේ ඒ තදබල කාටූන් ප‍්‍රහාර අදාළ දේශපාලකයන්ම උපයා ගන්නා දේ මිස ඒ ගැන තමන්ට කිසිවක් කළ නොහැකි බවය. ”දේශපාලකයන් අද ඉන්න මට්ටමෙන් පවතින තාක් මට කරන්න වෙන්නෙ  ඕකම තමයි. හැබැයි අපේ දේශපාලන නායකයන්ගෙ ගුණාත්මක බව වර්ධනය වූ දවසක මම විශ‍්‍රාම ගන්නවා” යනුවෙනි.

කලාකරුවකු ලෙස ලක්ෂ්මන් සිය අදීන බව කොතරම් සුරැකිව පවත්වාගෙන ගියේද යත් නිදහස් ඉන්දියාවේ පුරෝගාමියකු ලෙස ජවහල්ලාල් නේරු මහත් ජනාදරයට පත්ව සිටි කාලයක පවා හාස්‍යට ලක් කරමින් කාටූන් නිර්මාණය කළේය. ඉන්දිරා ගාන්ධි 75-77සමයේ බිහි කළ හදිසි නීතිය යටතේ පාලනය ලක්ෂ්මන්ගේ නිර්දය විවේචනයට හසු විය.

මුල් කාලයේ දේශපාලකයන් උපහාසයට ලක් කරන්නට තරම් පෞරුෂත්වයක් තිබුණු පිරිසක් බව පැවසූ ලක්ෂ්මන් වර්තමානයේ එකෙක් අනෙකාට කොතරම් සමානද කිවහොත් ඔවුන්ගෙන් කෙනකු ගැන හාස්‍යයක් උපදවන්නට බැරිතරම් සියල්ල සාමාන්‍යකරණය වී ඇතැයි කීය.

”ජයලලිතා සහ ලාලූ ප‍්‍රසාද් හැර අන් සියල්ලගේම වෙනස්කමක් නැති තරම්. ඒත් නේරු, මොරාජි දේසායි, ඉන්දිරා ගාන්ධි වගේ අයට තමන්ට හිමි පෞරුෂයක්වත් තිබුණා. අද දේශපාලන චරිතවලට අනන්‍ය පෞරුෂයක්වත් නෑ”

සිය බාල කාලයේ ඔහු යමක් අඳින්නට යොමු වූයේ සිය කාමරයේ ජනේලයෙන් පිටත බලමින්ය. වියළි කෝටු කැබලි, ගසක පත‍්‍ර, උරගයන් වැනි කුඩා සතුන් ඔහුගේ අවධානයට පාත‍්‍ර විය. වරෙක දර පළන ගැහැනු, කපුටන් හෝ නිවස ඉදිරිපස බිත්තියේ විවිධ හැඩතල හා වර්ණ පදාස ලක්ෂ්මන්ගේ චිත‍්‍ර ඇඳීමේ හැකියාව වර්ධනය කරවන්නට පාදක විය.

1921 මයිසූරයේ උපන් සොයුරන් හය දෙනකුගේ ළාබාලතමයා වූ ලක්ෂ්මන් පළමුවෙන්ම කාටූනයක් ලෙස ඇන්දේ සිය පියා හාන්සි පුටුවක සිටින ආකාරයයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව විවිධ පුවත්පත්වල කාටූන් ශිල්පියකු ලෙස රැකියාව කළ ලක්ෂ්මන් 1947 ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ආයතනයේ රැකියාවක් ලබා ගත්තේ ළමුන් සඳහා අඳින තීරු චිත‍්‍රකතා අඳින්නටය. වසර පනස් ගණනක් එහි සේවය කරමින් පොදු ජනයා වෙත තමන් ජීවත්වන පරිසරයේ ස්වභාවය හෙළිදරව් කරන්නට ඔහු නොකඩවා ඇන්දේය.

කාටූනයක් බලා සිනාසෙනවාට අමතරව තමන්ගේ ජීවිතය ගැන නැවත සිතන්නට පෙළඹුමක් ඇති කිරීම කාටූන් ශිල්පියකු වශයෙන් ආර්.කේ. ලක්ෂ්මන් දැක්වූ කුසලතාවයක් විය. 93 වියේ දී නිහඩ වූ ඔහුගේ කාටූනයේ තදබල හාස්‍යය ඉන්දීය දේශපාලනයේ මෙන්ම ලෝකයේ කාටූන් රසිකයන් අතර තවත් කාලයක් රැුඳී පවතිනු ඇත.

අජන්තා එම්. ජයසේකර

Advertisements