මාතලේ සමූහ මිනීවළ – අධිකරණයට ගියේනිවැරදි වාර්තාවද?

DSC02760මාතලේ රෝහල් භූමියෙන් සොයා ගත් සමූහ මිනීවළ පිළිබඳ පරීක්ෂණ මේ වන විට පවතින්නේ යටපත්වය. ඊට හේතුවක් තිබිණි. ඒ, මෙම ඝාතනය සිදු වූ බවට සැක කරන වකවානුවේ, එනම් 1987-1990 කාලයේ මාතලේ දිස්ත‍්‍රික්කයේ හමුදා ප‍්‍රධානියා ලෙස කටයුතු කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වීමයි. එමෙන්ම, ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් ඇතුළු කිහිප දෙනකුගේ නම් ද ඒ අතර වේ. එහෙත්, ආණ්ඩු පෙරළියත් සමඟ මේ සම්බන්ධ පරීක්ෂණවලට ඉහළින් ක‍්‍රියාත්මක වූ අදිසි හස්තය ඉවත් වී ඇති බවට සැකයක් නැත. එසේ නම්, මාතලේ සමූහ මිනීවළ තුළ මිහිදන් වී සිටින මිනිසුන් වෙනුවෙන් සාධාරණත්වය ඉටු වනු ඇතැයි යන්න පිළිබඳව යම් විශ්වාසයක් ගොඩනැඟී තිබේ.

එහෙත්, තවත් ගැටලූවක් තිබේ. එනම් මෙම කාලය එක්සත් ජාතික පක්ෂය විසින් රට පාලනය කරන ලද කාලයයි. 87-89 මර්දනය පැහැදිලිවම එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දේශපාලන තීන්දුවකි. ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය උපදෙස් ගත්තේ ඊශ‍්‍රායලයේ යුද උපදේශකයන්ගෙන් බව කියැවිණි. එම උපදේශකයන්ගේ එක් මතයක් වූයේ රට පුරා තරුණ තරුණියන් ලක්ෂයක් පමණ ඝාතනය කර මුළු රටම හදිසි තැතිගැන්මකට ලක් කළ යුතු බවයි. එවැනි හදිසි තැතිගැන්මක් මඟින් යළිත් සැලකිය යුතු කාලයකට ජනතා විමුක්ති පෙරමුණට හිස එසවිය නොහැකි වන බවත් තවත් එවැනි තරුණ නැඟිටීමක් සඳහා ඉඩ ඇහිරෙන බවත් ඔවුන්ගේ මතය වී තිබිණි. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වුවත් නැතත් සෑම ගමකම තරුණ තරුණියන් කිහිප දෙනකු හෝ ඝාතනය කිරීමේ දැවැන්ත මර්දනයක් දියත් වූයේ මේ අනුවයි. ඒ කෙසේවෙතත් බැද්දට යට වෙමින් තිබෙන මාතලේ සමූහ මිනීවළේ පරීක්ෂණ යළි කඩිනම් කිරීම වත්මන් ආණ්ඩුවේ වගකීමකි.

මාතලේ සමූහ මිනීවළ හදිසියේ අනාවරණය කරගන්නා ලද්දේ 2012 වසරේ නොවැම්බර් 26 වැනිදාය. ඒ ජීව වායු ඒකකයක් ඉදිකිරීම සඳහා රෝහල් භූමියේ සිදුකරන ලද කැණීමකදීය. එම කැණීමේ දී පිටතට ගන්නා ලද පස් අතර මිනිස් අස්ථි කැබලි තිබූ අතර කණින ලද වළේ බිත්තියේ ද මිනිස් අස්ථි කොටස් තිබෙන බව නිරීක්ෂණය විය. එවකට මාතලේ මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළේ ක්ෂේත‍්‍රයේ මනා පළපුරුද්දක් ඇති වෛද්‍ය අජිත් ජයසේනය. ඔහු එම ස්ථානය නිරීක්ෂණය කළ සැණින්ම නිගමනය කළේ එය සුසාන භූමියක් විය නොහැකි බවයි. සුසාන භූමියක මළ සිරුරු තැන්පත් කිරීමේ දී අනුගමනය කරන චාරිත‍්‍ර විධික‍්‍රම එහි

අනුගමනය කළ බවට කිසිදු සාධකයක් නොවීය. ඒ වෙනුවට එහි තිබුණේ අහස, පොළොව නුහූලන මහා අපරාධයක් පිළිබඳ සටහන්ය.

මළ සිරුරු එක මත එක තබා තිබිණි. ඇතැම් මළ සිරුරු එක මත එක තබා තිබුණේ එක මළ සිරුරක දෙපා මතින් තවත් මළ සිරුරක හිස පිහිටන ආකාරයටයි. ඇතැම් මළ සිරුරුවල හිස කඳෙන් වෙන් කර තිබිණි. ඇතැම් හිස් කබල්වලට දරුණු ලෙස පහරදීම් සිදු වූ බවට නිගමනය කළ හැකි ලක්ෂණ හඳුනාගත හැකි වී ඇත. එක් පාද අස්ථියක් වටා ගලවමින්, සවි කරමින් යළි යළිත් භාවිතයට ගත හැකි සේ සකස් කරන ලද කම්බි වළල්ලක් තිබිණි. එය විදුලිසැර වැද්දීම සඳහා සකස් කරන ලද්දක් බවට සැක පළ කෙරිණි.

මෙම කරුණු දෙස බැලීමේ දී මෙම ස්ථානය පැහැදිලි ලෙසම අපරාධ ස්ථානයක් බව වෛද්‍ය අජිත් ජයසේනගේ නිගමනය විය. ඒ අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි. එහෙත්, පරීක්ෂණවලට රජයෙන් ලැබිය යුතු සහයෝගය ලැබුණේ නැත. ආරම්භයේ දී උත්සාහ ගත්තේ මුදල් සම්බන්ධ ගැටලූ පෙන්වා දෙමින් පරීක්ෂණ අඩපණ කිරීමටය. එහෙත් පරීක්ෂණ සිදුකළ කිසිවකුත් මුදල් පිළිබඳ කරුණු ප‍්‍රමුඛ කොට නොගනිමින්  සිදුව ඇතැයි සැක කෙරෙන මනුෂ්‍යත්වයට එරෙහි මහා අපරාධය අනාවරණය කරගැනීමේ සද්චේතනාවෙන් මැදිහත් වූහ. ඒ නිසා ‘මුදල් හිඟකම’ පරීක්ෂණවලට බාධාවක් වූයේ නැත.

මෙම පරීක්ෂණ හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හැසිරීම පිළිබඳව ද බොහෝ පාර්ශ්වවල විවේචන එල්ල විය. මුලින් උත්සාහ කළේ, මෙම ස්ථානය 1818 දී පමණ රෝහලේ පොදු සුසාන භූමියක්ව පැවැති බව පෙන්වීමටයි. එහෙත් වෛද්‍ය අජිත් ජයසේන එය එසේ විය නොහැකි බව අධිකරණයට දැනුම් දුන්නේය. ඉන් පසුව තවත් විවිධ කතා නිර්මාණය විය. වසූරිය නිසා මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු එම ස්ථානයේ ඇතැයි කියැවිණි. එහෙත් වසූරිය වැලඳී මිය ගිය අයගේ බෙල්ල කපා බඩ මත තබා වළලන බවක් ලෝක ඉතිහාසයේ කිසිම තැනක අප අසා නැත. නාය යාම් ගැන, වසංගත රෝග ගැන මෙකී, නොකී කතා රැුසක් ඒ දිනවල කියැවිණි. ඒ සියල්ලේම අරමුණ වූයේ පරීක්ෂණ යට ගැසීමයි.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මෙහි කාලනිර්ණය සිදු කළේය. මෙම ඝාතන 1986-1990 අතර කාලයේ දී සිදු වූ ඒවා විය යුතුය යන්න ඔහුගේ නිගමනය විය. එමෙන්ම, පරීක්ෂණ තවදුරටත් සිදුකිරීම සඳහා රේඩියෝ කාබන් බෝම්බ් ප්ලස් යනුවෙන් හඳුන්වන පරීක්ෂණ ක‍්‍රමවේදය භාවිත කිරීම සුදුසු බවත් එය අමෙරිකාවේ බීටා ඇනලිටික් ආයතනය මඟින් සිදුකර ගත හැකි බවත් ඔහු නිර්දේශ කළේය. එම ආයතනයේ සියලූම විස්තර ද ඔහු විසින් සපයනු ලැබීය.

එහෙත්, රජය උත්සාහ කළේ මෙම අස්ථි සාම්පල් අමෙරිකාවට නොයවා සිටීමටය. ඒ, අමෙරිකාවේ පරීක්ෂණාගාරයකට අත පෙවීමට ලංකාවේ දේශපාලකයන්ට හැකියාවක් නැති නිසාය. ඒ නිසා බොහෝ සේ වෙහෙස වී චීනයේ පරීක්ෂණාගාරයක් සම්බන්ධ කරගෙන ඇති අතර එහි ප‍්‍රධානත්වය දැරුවේ චීනයේ මහාචාර්යවරියකි. එහෙත් අවසානයේ දී ඇයට අස්ථි කොටස් යැවුවේ නැත. ඊට හේතුව ලෙස රහස් පොලිසියේ ඇතැමුන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සමඟ පවසා තිබුණේ එම පරීක්ෂණාගාරයේ යන්ත‍්‍ර ක‍්‍රියා විරහිත වී ඇති බවයි.

අස්ථි සාම්පල් අමෙරිකාවේ බීටා ඇනලිටික් ආයතනයට යොමු කරන්නේ ඔය අතරතුරදීය. කෙසේවෙතත් අවසානයේ එහි වාර්තාව ලැබිණි. මෙම අස්ථි කොටස් 1950 වකවානුවට අයත් ඒවා බව එහි සඳහන්ව තිබී ඇත. මෙම වාර්තාව තමන් වෙත ලබා දෙන ලෙස මහාචාර්ය රාජ් සෝමදේව හා වෛද්‍ය අජිත් ජයසේන අධිකරණයෙන් ඉල්ලා ඇතත් තවමත් එය ඔවුන් වෙත ලැබී නැත. මෙම කාලනිර්ණය පිළිගත නොහැකි බව පවසන මහාචාර්ය සෝමදේව මාධ්‍ය වෙත පවසා තිබුණේ මාතලේ සමූහ මිනීවළ සම්බන්ධව පරීක්ෂණ කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව තමන් වෙත, බීටා ඇනලිටික් ආයතනයේ වාර්තාව ලෙස පෙන්නුවේ පේළි හතරකින් යුතු කොළයක් බවයි. කිසියම් පිළිගත් ආයතනයක් පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් නිකුත් කරන විට පරීක්ෂණය සිදුකළ ක‍්‍රමවේදය, එහි නිරීක්ෂණ හා නිගමන ආදිය ඇතුළත් සවිස්තරාත්මක කරුණු ඊට ඇතුළත් කරයි. එහෙත් මහාචාර්ය රාජ් සෝමදේවට පෙන්වූ කොළයේ ලිපි ශීර්ෂයක් හෝ අත්සන් කරන ලද පුද්ගලයාගේ තනතුරක්වත් සඳහන්ව තිබී නැත.

මෙය බරපතළ සැක උපදවන්නකි. බීටා ඇනලිටික් ආයතනයට නිවැරදි අස්ථි සාම්පල් යවනවා වෙනුවට වෙනත් ඒවා යවා වැරදි වාර්තාවක් ගෙන්වා තිබේද? නැතිනම්, බීටා ඇනලිටික් ආයතනය විසින් එවන ලද සත්‍ය වාර්තාව සඟවා හිස් කොළයක් පරීක්ෂණ ආයතන වෙත ඉදිරිපත් කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබේද?

මළ සිරුරුවල දත් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට කොළඹ සිටින පළපුරුදු වෛද්‍යවරුන් දෙදෙනකු යොමු කරන ලෙස එවකට කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට අධිකරණය නියෝග කළේය. එහෙත් ඔහු එය ඉටු කළේ නැත. ඔහු මේ වන විට මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධව කටයුතු කරයි. ඔහු විශ‍්‍රාම ගැනීමෙන් පසුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලෙස පත්ව ආ අජිත් තෙන්නකෝන් අදාළ දන්ත වෛද්‍යවරුන් අවස්ථා ගණනාවකදීම පරීක්ෂණ සඳහා යොමු කළේය. එම පරීක්ෂණවලින් ද කරුණු රැුසක් අනාවරණය වූ බව පැවසේ. ඉතා  ඕනෑකමින් පරීක්ෂණ සිදු කළ මාතලේ මහෙස්ත‍්‍රාත්වරිය වූ චතුරිකා ද සිල්වා මාරුකර යැවීම ද ගැටලූකාරී තත්වයකි.

පරීක්ෂණ සිදු වූ ආකාරයත් රජය ඊට මැදිහත් වූ ආකාරයත් දෙස බැලීමේ දී මෙවැනි  ඕනෑම දෙයක් සිදුවීමට ඉඩ තිබේය යනුවෙන් සැක ඉපදීම වැළැක්විය හැකි නොවේ. දැන් ඒ ගැන පරීක්ෂණ සිදුකළ හැකිය.

ජනක තුෂාර

Advertisements