ජීවිත වනසන උමාඔය ව්‍යාපෘතිය නවතනු!

DSCN0881උමාඔය ව්‍යාපෘතියට එරෙහිව ජනතාවවීදි බසිති

ජනවාරි 25 වෙනි දා උදේ නවය වීමටත් පෙර ඔවුහු බණ්ඩාරවෙල නගරයට රැුස්වූහ. ඒ අන් කිසිවක් නිසා නොව තමාට සිදුව ඇති අසාධාරණය රටටම හෙළි කිරීමටය. තදාසන්න ප‍්‍රදේශවාසීන් 12500 කගේ අත්සන් සහිත පෙත්සමක් ද ඔවුන් සතුව තිබුණි. ඔවුන් එවැනි ක‍්‍රියාවකට පෙලඹුණේ අසාර්ථක උමාඔය ව්‍යපෘතියෙන් පීඩාවට පත් වූ නිසාය.

සිරිපොද වැහි බිඳු වැටි වැටී සීතල වු පරිසරය, බණ්ඩාරවෙල බදුල්ලට ආවේණික කාලගුණික වටපිටාව වුව, අපහට නොදැණුන තරම්ය. සටනකට වීදි බසින්නට තීන්දු ගත් ඔවුහු මීමැසි පොදියක් සේ එක්රොක් වුයේ බණ්ඩාරවෙල නගරයේ පිහිටි විහාරස්ථානය අසලටය. එගොඩගම, පල්ලේපේරුව, මැදපේරුව, හීල්ඔය, වෙහෙරගලතැන්න, කුරුඳුගොල්ල, මකුල්ඇල්ල ආදී ගම්මානවල ජීවත් වූ 3000 ක් පමණ පිරිස එදා  එකවරම එකම වෙලාවට බණ්ඩාරවෙලට පැමිණ සිටියහ.

සාමකාමීව ඇරඹි උද්ඝෝෂණයේ අරමුණ වූයේ ‘උමාඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමය’‍නවතාලීමයි. උමාඔය, බදුලූ‍ ජනතාවගේ සා පිපාසාව නිවන දෛනික ජීවිතයේ අවශ්‍යතා සපුරන සොඳුරු නදියයි. වැලිමඩ, බණ්ඩාරවෙල, බදුල්ල, වියලූ‍ව, මහියංගනය, කන්දකැටිය, ගෝඩුන්න, මාළිගාතැන්න, බොලගන්දාවෙල තෙක් වියළි පොළොව තෙමා ගලන සුන්දර දිය දහරයි. ගංතෙර ජීවත් වන ශාක හා සත්ව සමූහයාගේ පවස නිවන, උමාඔයෙන් ජීවත් වන්නෝ ඔවුන් පමණද? උමාඔය ආශ‍්‍රිත සියලූ‍ වගා බිම්, සත්ව පාලන කටයුතුවලින් නිම නොවූ දෛනික ජීවිතයේ සියලූ‍ පීඩා නිවන ජීවිතය බඳු සම්පත උමාඔයයි. ඒ ඌවේ මහඔයයි.    ඌවේ මහඔය ඔවුනට සිය රුධිරය තරම් අගනේය.

ඒත් එදා ඔවුහු උමාඔය ගැන විරෝධය පළ කළහ.

”එපා එපා – අපිට එපා

උමාඔයක් – අපිට එපා”

යැයි හඬ නැඟු‍වේ උමාඔයට ඇති අනාදරයක් නිසා නොව උමාඔයේ ජලය හම්බන්තොටට ගෙනයාමේ උමං ජල ව්‍යාපෘතිය ඔවුන්ට නොදන්වාම තම ගම්බිම් යටින් යාම තමාට අනතුරුදායක බව කීමටයි. උමාඔයේ ස්වභාවික පැවැත්මට බරපතළ අසාධාරණයක් මේ නිසා සිදුව ඇති බව එයට ආදරය කරන ඔවුන්ගේ හැ`ගීම වී තිබුණි. සත්‍ය කතාව එයම වේ.

විහාරස්ථානයේ අබියසින් ඇරඹි උද්ඝෝෂණය මුළු‍මහත් මාර්ගය පිරී ඉතිරී ඉදිරියට ඇදුණි. පැය භාගයක් ගත වීමටත් පෙර බණ්ඩාරවෙල ඇටම්පිටිය මාර්ගය, දියතලාව කොළඹ, බදුලූ‍ බණ්ඩාරවෙල ආදී ප‍්‍රධාන මාර්ග සහ සියලූ‍ අතුරු මාර්ගවල වාහන ගමනාගමනය නතර වී තිබුණි. පුරා පැය දෙකකට වැඩි වෙලාවක් හඬ නැඟූ ජනතාව සටන් කරන්නේ කෙසේදැයි දැන නොසිටියා විය හැක. කෝඩුකාර  කාන්තා, පිරිමි, තරුණ, තරුණියන් සටනට පිවිසි මුහුණුවර මඳ වේලාවකින් වෙනස් විය. ඔවුන්ට නිතැතින්ම සිදුව ඇති අසාධාරණය අතිශයින්ම බරපතළ වූවකි.

”ලංකාවෙම – ලස්සන එක

බණ්ඩරවෙල – නේද ඒක

මරුකතරක් – වෙනව නේද

වියළි ගියොත් –  මේ ගස් ටික”

ඒ ඔවුන්ගේ උස් හඬ හා මුසු සටන්කාමී හැ`ගීමයි. තමාට වූ අසාධාරණය උරුමයට, කරුමයට බාර නොදී ඒ වෙනුවෙන් යුක්ති සහගත විය යුතු බව පැවැති හා පවතින පාලකයන්ට දැනවීමට ඔවුන් සමත් වූහ. ‘ඔබට වූ අසාධාරණයට ඔබ නිහඬ නොවිය යුතුය. කළ යුත්තේ එයට එරෙහිව නැ`ගිටීමයි. තනිව නොව සාමූහිකව නැ`ගිටීමයි.’ ඒ පණිවිඩයට රොද බැඳගත් ජනතාව වීදියේ සටන් පාඨ කියමින් මඟ දෙපස අවුරමින් ඉදිරියට යාමට පටන්් ගත්හ. මීට නායකත්වය සපයන ලද්දේ ‘අසාර්ථක උමාඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතා එකමුතුව’ යි. එහි සභාපති  බෝධිපාල හෙට්ටිආරච්චි මෙසේ සිය අදහස් ප‍්‍රකාශ කළේ සැමගේ සටනට ශක්තිය එක් කරමිනි.

”‍මේක අපේ පළවෙනි වෙඩි මුරය පමණයි. ඊළඟට අපි එන්නේ හට්ටි මුට්ටි අරගෙන, අපේ සියලූ‍ ජනතාවත් එක්ක. උමං මාර්ගය පුහුල්පලිනුත් වහනවා, මාතැටිල්ලෙනුත් වහනවා, කරඳගොල්ලෙනුත් වහනවා. අපි මෙතනින් නවතින්නේ නැහැ. මේ ඇවිල්ලා ඉන්නේ ග‍්‍රාම සේවා වසම් 5ක කට්ටිය විතරයි. අපි සංවිධානය කරනවා පුහුල්පල ඉඳලා කරඳගොල්ල දක්වා තියන සියලූ‍ ගම්. මහ ඇමති, අගමැති, ජනාධිපති පත්කලේ අපි. අපි තමයි ඡුන්දේ දුන්නේ. ඒ නිසා ඒ ගොල්ලන්ට අපේ ප‍්‍රශ්නවලින් පැනල යන්න බෑ. අපිට උත්තර  ඕන.”‍

තවද විහාරාධිපති හිමිවරු කිහිප නමක්ම ජනතාව සම`ග එක් වී සිටියහ. මකුල්ඇල්ල, කුරුඳුගොල්ල, එගොඩගම විහාරස්ථානවල නායකත්්වය දරන නන්දසිරි හිමි, වනසිරිගම සිරිරතන හිමි, කහත්තේවෙල ධම්මසිරි හිමි මෙහි අනුශාසකත්වය දරමින් සිටියි. එමෙන්ම වැලිමඩ පුහුල්පල විහාරාධිපති හිමි ද මෙයට එක් විය. සැබැවින්ම පුද්ගල නාමයකට  ලඝුකළ නොහැකි ජනතා සහභාගීත්වය කිසිවකට දෙවැනි නොවිණි. මෙහිදී අදහස් දැක්වු වනසිරිගම සිරිරතන හිමි මෙසේ පවසා සිටියහ.

”අපි හාමුදුරුවරු. අපි කාටවත් කඬේ යන්නේ නෑ. අපි ආවේ මෙහෙම ප‍්‍රශ්නයක් තියනවා, ඒකට විසඳුමක් හොයන්න. මේක අපිට උනේ දෙසැම්බර් 26 වෙනිදා. දෙසැම්බර් මාසේ 28 වෙනිදා නිලධාරීන් දැනුවත් කළා, මෙහෙම විපතක් වෙලා තියනවා කියලා. ඒකට විසඳුම් දෙන්න කියලා.  නමුත් අද වෙනකම්  විසඳුම් හම්බ උනේ නෑ. ඒ හින්දයි අපි මේ ආවේ. අපි මොකුත් ඉල්ලන්න ආවේ නෑ. අපි කියන්නේ පරිසර වාර්තා ම`ග හැරලා කරගෙන යන උමාඔය ව්‍යාපෘතිය නවත්වන්න කියලා. ජනවාරි 15 ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබුණු රැුස්වීමෙදි එයාලා කියනවා කොස් ගහටත් වන්දි දෙන්නම් කියලා. හැබැයි පුහුල්පොලින් ඉවත් කරපු කාටවත් නිසි වන්දියක් දීල නෑ. වැල්ලවායේ කට්ටිය උද්ඝෝෂණය කරනවා. ඒත් වන්දි දීල නෑ. අපිට විතරක් වන්දි හම්බවෙයිද? අපිට හම්බවෙන්නෙත් නෑ. මේ නිසා අපි කියන්නේ උමාඔය නතර කරන්න කියලා.”‍

සැබැවින්ම සංවර්ධන ව්‍යාපෘතියක දී ආණ්ඩුව විසින් ගතයුතු පූර්ව ක‍්‍රියාමාර්ග ගණනාවකි. පළමුව ව්‍යාපෘති භූමියට අදාළ ජනතාව දැනුවත් කළ යුතුය. ප‍්‍රතික්ෂේප නොවූ පරිසර වාර්තා තිබිය යුතුය. සිදුවන පරිසර හානිය කල් තබා තක්සේරු කර තිබිය යුතුය. මේ පිළිබඳ ජනතා අදහස, ඔවුනගේ කැමැත්ත, අකමැත්ත, යෝජනා, චෝදනා පිළිබඳ පුර්ව අවබෝධයක් ලබා ගත යුතුය. මෙහිදී සිදුකර ඇත්තේ ඒ කිසිවකින් තොර අත්තනෝමතික ක‍්‍රියාදාමයකි. අද බණ්ඩාරවෙල, වැලිමඩ, ඇටම්පිටිය පෙදෙස්වල ජනතාව අපහසුතාවට පත්ව ඇත්තේ ඉහත වූ බරපතළ නොසලකා හැරීම හේතුවෙනි. මේ නිසා බලයේ සිටි මෙන්ම, බලයට පත්ව ඇති  පාලකයන් මීට වගකිව යුතුය.

මේ වන විට ඉහත ප‍්‍රශ්න කිසිවකට පිළිතුරු දිය නොහැකි අර්බුදයකට ඔවුන් මුහුණ දී සිටී.

”අපෙ උල්පත් – සිඳී ගියා

බීපු ළිඳේ – දිය සිඳුනා

අපේ කුඹුරු – ඉරිතැළු‍නා

අපේ ගෙවල් – ඉරිතැළු‍නා

අපේ ජීවිත – බිලිගත්තා”

ඒ ජනතාවගේ හඬ තුළ වූයේ ඔවුන්ට මෙවන් ව්‍යාපෘතියක් පිළිබඳ ඉල්ලීමක් කිසිදිනෙකත් නොතිබූ බවයි. එසේ ඉල්ලා නොසිටි ව්‍යාපෘතියක් නිසා දුක් කරදර රැුසකට මුහුණ දෙන ජනතාවට මේ සටන මෙයින් නතර කළ නොහැක. අප මේ බිම්වලින් යා යුතුද ? අප යන්නේ කොහේටද ? මුළු රටටම එළවළු‍ නිෂ්පාදනය කරන ගොවියන්ගේ ජීවිතය රැුකගත් දිය උල්පත්  සිඳී ගිය කල තවදුරටත් ඉවසා සිටිය හැක්කේ කා හටද ?

ඒ නිසාම තවදුරටත් අදහස් දැක්වූ බෝධිපාල හෙට්ටිආරච්චි කියා සිටියේ ඒ අවනඩුවය.

”ජලය කියන්නේ අපේ ජීවය. ජලය නැතුව කිසිම මනුස්සයෙකුට ජීවත් වෙන්න බෑ. කිසිම සතෙකුට ඉන්නත් බෑ. කිසිම ගහක් කොළක් පවතින්නෙත් නැහැ. ඒ නිසා අපට ජලය නැතිව ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි මේ නිරතවෙලා ඉන්නේ අපේ ජීවිත පිළිබඳ අරගලයක. අපි අපේ ගම්බිම් දාලා වෙන කොහෙවත් යනවද? අපි බලධාරීන්ගෙන් කියනවා අපිට කෑලෑවල ඉඩම් එපා කියලා. අපි යන්නේ නෑ. අපිට ඉඩම් බෙදන්නත් එපා. අපි යන්නෙත් නෑ. උමාඔය ගෙනියන්න  ඕනි අපේ ලේ මැදින්, අපේ මළකඳන් මැදින්. උමාඔය යන්නම  ඕන නම් මේක පොළොව යටින් නෙවෙයි, පොළොව උඩින් අපි ඔක්කොම පතුරු ගහගෙන පලයල්ලා කියලා අපි කියනවා. එතෙක් අපේ සටන නවත්තන්නේ නෑ.”‍

මෙසේ කීමට ශක්තිය ඇත්තේ ජනතාවට පමණි. ම`ද වේලාවකට හෝ ජනතාවගේ බලය, ඔවුන්ගේ හඬ ඔවුන්ට හිමිවිය යුතු පරමාධිපත්‍ය පිළිබඳ පුළුල්  අත්දැකීම කොතෙක්ද යන්න ජනතාවට ද තහවුරු වන්නට ඇත. පීඩාවට පත් ඔවුහු විශ්වාසය තැබිය යුත්තේ ජනතා බලය කෙරෙහි පමණක්මය. ජනතාව ජනතාවගේ බලය පිළිබඳ අත්දැකීම් ලද යුතුය. රතුපස්වල දීත්  කටුනායක කම්කරු නැ`ගී සිටීමේදීත් තුන්නානේ දීත්  මීගමුවේ ධීවර සටනේ දීත් ජනතාව ලැබුවේ ඒ අත්දැකීමයි.

මේ සටන ද නුදුරු දිනක දී අතරමඟ නතර නොවන, පොරොන්දුවලට අත් නොහරින, ජයග‍්‍රහණයෙන් කෙළවර වන සටනක්ම විය යුතුය. ඉන් මෙහා පිළිතුරු තාවකාලික මෙන්ම පරාජයන්ගෙන් පිරි දුර්වලත්වය ප‍්‍රකට කරන මාවත්ය. ඒ තැන්වල නොනැවතී අරගල කිරීමට සාමූහික වීම හැර වෙනත් විකල්පයක් ජනතාවට නොමැත.

සටහන – ඉන්දුමතී විද්‍යාරත්න

සේයා රූ – චමින්ද ක‍්‍රිස්ටින්

Advertisements