ජවිපෙ විප්ලවවාදී දේශපාලනයෙන් ලොන්ඩරි දේශපාලනයට

awantha atigalaපසුගිය සතියේ දිනපතා පුවත්පතක පළවූ කාටූනයක නිරූපණය වී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මාක්ස්ගේ ලෙනින්ගේ පොත්වල මකුළු දැල් බැඳෙන්නට සලස්වා ‘හොරු අල්ලන හැටි’ නමින් වන පොතක් කියවන ආකාරයයි.

මේ ජවිපෙ භූමිකාව දෙස බලන විට පෙනීයන්නේ ඔවුන් හොරු ඇල්ලීමට රහස් පරීක්ෂක මෙහෙයුම්වල නිතර වන ආකාරය, පිරිසිදු පාර්ලිමේන්තුවක් සඳහා මතවාද සකසන ආකාරය, මන්ත‍්‍රීවරුන් සඳහා චර්යාධර්ම පද්ධතියක් හැදීම, කේ.පී.ට දඬුවම් දෙන ලෙස පැමිණිලි කිරීම, ලෙනින් පිළිබඳ පොත් එළිදැක්වීම ආදී විවිධ දේවල්ය. ජවිපෙ වත්මන් භූමිකාව අප තේරුම් ගන්නේ කෙසේද? ජවිපෙ මේ රඟදක්වන භූමිකාව කුමක්ද? අප අවධානය යොමු කරන්නේ ඒ සම්බන්ධවය. ජවිපෙට එය ආරම්භ කළ කාලයේ අරමුණු හා ඉලක්ක විය. එහි දේශපාලනය සකස් වූයේ එකී ඉලක්කවලට සාපේක්ෂවය. ඒ අනුව එහි දේශපාලනය විප්ලවවාදී දේශපාලනයක් විය. සමාජය තුළ ප‍්‍රචලිත කළ මතය විමුක්තිකාමී මතයක් විය. ක‍්‍රියාමාර්ග තේරීමේ දී ජවිපෙ වැඩිපුර සංවේදී වූයේ සමාජයේ පතුල සම්බන්ධයෙනි. පහළම පන්තීන් සම්බන්ධයෙනි. නමුත් දැන් ජවිපෙ සමාජයේ පහළම පන්තීන් හා ස්තරයන් ගැන වගකීම් සහගතභාවය අතහැර එය ක‍්‍රමයෙන් සුළු ධනේශ්වර කොටස් හා අතරමැදි පන්තීන් වෙත පිවිසෙමින් තිබේ. දැන් ඔවුන්ගේ අවධානය යොමුව ඇත්තේ පහළ පීඩිත ජනතා ස්තරයන් සඳහා විකල්පයක්, විසඳුමක් සැපයීම කෙරෙහි නොවේ. එය නියෝජනය කරන්නේ අප පෙර කී ග‍්‍රාමීය සම්භවයක් සහිත අතරමැදි පන්තීන්ගේ මතයයි.

ජවිපෙ මේ යන ගමන්මඟට බලපාන අභ්‍යන්තර සාධක මෙන්ම බාහිර සාධක ද ඇත. සාමාන්‍යයෙන් වාමාංශික දේශපාලන ව්‍යාපාරවල ගමන්මඟ තීරණය කරන අභ්‍යන්තර ගතිකයන් වන්නේ න්‍යාය සහ භාවිතයයි. ව්‍යාපාරයකට මාක්ස්වාදය මත පදනම් වූ න්‍යායක් පවතින අතරම එය

ප‍්‍රායෝගික සමාජ අරගලය සමඟ ද බද්ධ වේ. මේ දෙක අතර පරතරයක් හා ප‍්‍රතිවිරෝධයක් හටගන්නා අතර ව්‍යවහාරය වඩා නිවැරදි දිශානතියකට තල්ලූ කෙරෙන්නේත් න්‍යාය සංවර්ධනය වන්නේත් ඒ හරහාය. මේ මොහොතේ සෑම වමේ ව්‍යාපාරයක්ම පාහේ මාක්ස්වාදී න්‍යායන් මත පදනම්ව යම්කිසි විශ්වාස පද්ධතියක් මත සිය ගමන සකස්කර ගනිමින් සිටී. එම න්‍යාය හා විශ්වාස පද්ධතීන් වෙනස්වන තත්වයන්ට අනුකූලව යාවත්කාලීන වී නැති නම් එය වෙනම ප‍්‍රශ්නයකි. බොහෝ වමේ ව්‍යාපාර සම්බන්ධයෙන් කතා කිරීමට ඇත්තේ එවැන්නකි. එහෙත් ජවිපෙ දැන් වැටී ඇති තත්වය වනුයේ යාවත්කල් කිරීම වෙනුවට එය තමන්ගේ න්‍යාය හා ව්‍යවහාරය මුළුමනින්ම අතහැර දැමීමයි. දැන් ජවිපෙ ගමන්මඟ තීරණය කරන්නේ න්‍යාය හා ව්‍යවහාරය නොව වෙනත් සාධක දෙකකි. ඒ ජනප‍්‍රිය ජනමතය හා නායකයන්ගේ පැවැත්ම සඳහා වන අභිලාෂයන් හා පුරුදුය. වර්තමානයේ දී හැමවිටම හුවාදැක්වෙන්නේ, මාධ්‍ය මඟින් තොරොම්බල් කෙරෙන්නේ සුළු ධනපති ඊනියා මධ්‍යම පන්ති මතයයි. පිරිසිදු පාර්ලිමේන්තුව, යහපාලනය වැනි සංකල්ප මහජන මතය ලෙස ඉදිරිපත් කෙරෙන්නේ ඒ අනුවය. ජනමතය යනු සිරිපාලලා හෝ රන්මැණිකලා (සමාජයේ පහළම පන්තීන්) උදෑසන නින්දෙන් පිබිදෙන විට ඉබේම හිතට එන අදහස් සමූහයක් නොවේ. ඒවා මුළුමනින්ම පාහේ ගොඩනැංවීම්ය. පවතින මහජන මතයක් මාධ්‍ය මඟින් නිරූපණය කෙරෙනවාටත් වඩා සිදුවන්නේ එමඟින් ජනප‍්‍රිය ජනමතයක් ගොඩනැඟීමයි. ජවිපෙ එක් පැත්තකින් සලකන්නේ මේ ඊනියා ජනප‍්‍රිය ජනමතයයි. අනෙක් පැත්තෙන් ඇත්තේ විප්ලවවාදී ජීව ගුණය මුළුමනින්ම සිඳී ගිය නායකයන් එකිනෙකා සිය පැවැත්ම වෙනුවෙන් නිර්මාණය කරගෙන ඇති වැඩසටහන්ය. ජවිපෙ දේශපාලන ගමන්මඟ තීරණය වන්නේ මෙකී සාධක දෙකේ අන්තර් කි‍්‍රයාකාරීත්වය තුළිනි. එසේ නොමැතිව එය තීරණය වන්නේ න්‍යාය හා ව්‍යවහාරය අතර අන්තර් ක‍්‍රියාවෙන් නොවේ.

ජවිපෙට මෙම දේශපාලන ගමන් මෙඟ්ම ඉදිරියට යාම සඳහා බලපාන බාහිර සාධකයක් ද තිබේ. ඒ සඳහා වන තත්වය නිර්මාණය වී ඇත්තේ දක්ෂිණාංශික දේශපාලනය මුළුමනින්ම පාදඩකරණය වූ තත්වයක් තුළය. මුල් ධනපති දේශපාලන පක්ෂවල නායකයන් හා මහජන නියෝජිතයන් ධනපති පන්තියෙන්ම පැමිණි පිරිස් විය. ඔවුන් මුලින් විශාල ලෙස මුදල් ඉපැයූ ධන කුවේරයන් වූ අතර දේශපාලනයට පිවිසීමේ දී ඔවුන්ගේ අරමුණ වූයේ තමන් විසින් උපයන ලද ධනයට අනුරූප බලයක් ගොඩනඟා ගැනීමයි. එනිසාම දේශපාලනය ඔවුන්ට ධනෝපායන මාර්ගයක් නොවූ අතර අවධානය වැඩිපුර යොමුවී තිබුණේ බලය පිළිබඳවය. නමුත් පසුව දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසෙන ඇස ඒ තුළ ධනය හා බලය යන දෙකම සෙවූ අතර එහි ප‍්‍රතිඵලය වූයේ එම දක්ෂිණාංශික පක්ෂවල දේශපාලනය පාදඩකරණය වීමයි. ඒ අනුව දේශපාලනය සඳහා සේනානායක – බණ්ඩාරනායක ප‍්‍රතිරූපය වෙනුවට මර්වින් සිල්වා – මුතුහෙට්ටිගම – තෙවරප්පෙරුම ප‍්‍රතිරූපයක් තහවුරු විය. දැන් මැද පන්තියෙන් ඊට වඩා වෙනස් ‘සම්භාව්‍ය ධනපති දේශපාලනයක්’ සඳහා ඉල්ලූමක් මතුවී තිබේ. ජවිපෙ විසින් පුරවාලමින් තිබෙන්නේ ඒ ඉඩයි. (එසේ නැතිව ඔවුන් පුරවන්නේ වාමාංශික විකල්ප අවකාශය නොවේ* හොරු ඇල්ලීම, දක්ෂිණාංශික දේශපාලකයන් සඳහා චර්යාධර්ම සැකසීම, සාධාරණ මැතිවරණ – පිරිසිදු පාර්ලිමේන්තු – දූෂිත නැති නිලධාරීන් ඉල්ලා සිටීම ආදී ධනවාදයේ කුණු හෝදන දේශපාලනය හෙවත් ලොන්ඩරි දේශපාලනය සඳහා ජවිපෙ පෙලඹෙන්නේ ඒ නිසාය. දේශපාලකයන්ගේ චර්යාධර්ම පද්ධතීන් නිර්මාණය කිරීම විප්ලවවාදී ව්‍යාපාරයකට භාරදීමට රනිල් පෙලඹෙන්නේ නැත. රනිල් ජවිපෙට ඒ සඳහා ආරාධනා කරන්නේ එකක්, ඔවුන් සිය විප්ලවවාදී දේශපාලනය අතහැර ඇති නිසාය. අනෙක ‘සම්භාව්‍ය ධනපති දේශපාලනය’ සඳහා මෙහෙයුමක් කිරීමට රනිල් කැමතිමුත් ඔහුට ඒ සඳහා අවශ්‍ය සොල්දාදුවන් නැත. එජාපයේ ද ඉන්නේ එවැනිම පාදඩයන්ය. එනිසා ඔහු ඒ කොන්ත‍්‍රාත්තුව ජවිපෙට පවරා ඇත. ජවිපෙ කුණු අපුල්ලා මෙය වඩාත් පිරිසිදු කරදෙන කොන්ත‍්‍රාත්තුව භාරගෙන ඇත.

කලක් තිස්සේ සිදු වූ පීලිපැනීම් හා බිඳවැටීම්වලින් වමේ ව්‍යාපාරය බිඳවැටී තිබීමත් දුර්වල වී තිබීමත් නිසා කුණු අපුල්ලන ලොන්ඩරි දේශපාලනයට සමාජය තුළ ද ඉඩක් නිර්මාණය වී ඇත. වත්මන් සමාජ ක‍්‍රමයෙන් එල්ල වන විශාල පීඩනය නිසා ජනතාව වෙනසක් අපේක්ෂා කරයි. එහෙත් ඒ වෙනස කුමක්දැයි පැහැදිලි චිත‍්‍රයක් ඔවුන් සතුව නැත. වෙනස ලෙස සිතාගෙන ඇත්තේ එක්කෝ මූණුමාරුවකි. නැතිනම් ව්‍යවස්ථාවේ අකුරු – වචන මාරුවකි. එසේත් නැතිනම් දේශපාලකයන් සිල් අරගන්නා තත්වයක්, ‘බෝසත් ළමා ළපැටියෝ ළමා සමාජය’ වැනි පාර්ලිමේන්තුවක් ගැන සිහින මවති. වම සමාජවාදී විකල්පයක් ඉදිරිපත් කළත් එය යථාර්ථයක් කරගන්නේ කෙසේද, සමාජවාදය වත්මන් ලෝක යථාර්ථය තුළ පවත්වාගෙන යන්නේ කෙසේද යන ප‍්‍රශ්නවලට තියුණු හා පැහැදිලි පිළිතුරු සපයා නැත. එනිසා සමාජයේ සිටින හිතන මතන මිනිසාට පවා විකල්පය ලෙස පෙනීයන්නේ ප‍්‍රතිසංස්කරණ මොනවා හෝ අත්පත් කරගැනීමයි. ජවිපෙ වැනි ලොන්ඩරි දේශපාලනයට මඟ විවර වන්නේ එතැනිනි. ‘පවතින යථාර්ථය තුළ විප්ලවය සාර්ථක කරගත නොහැක. දැන් ලංකාවට යාමට සිදුවන්නේ මෙවැනි ප‍්‍රතිසංස්කරණවාදී මාර්ගයකිනි. එනිසා අපි විප්ලවවාදී වැඩපිළිවෙළ අතහැර සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩපිළිවෙළකට මාරු වෙන්නෙමු’ කියා ජවිපෙ විවෘතව කියන්නේ නැත. ඔවුන්ට එසේ කිව නොහැකිය. 1971, 1989 අරගලවල අත්දැකීම් හා උරුමය සහිත සාමාජිකත්වයක් සිටින අතර එය ද රැුකගත යුතුය. ඒ වෙනුවෙන් මාක්ස් ලෙනින්වාදී වාග්පාඨ ද උච්චාරණය කළ යුතුය. අනුර සහෝදරයා ධනපති ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවට ගොස් ‘යහපාලනය’ ගොඩනැඟීමට වෙහෙසෙන අතර ටිල්වින් සහෝදරයා ලෙනින් ගැන දේශනා කරන්නේ ඒ නිසාය. ජවිපෙ තුළ සිටින ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල් ගෙඩි තිබේ. මීට වසර 50 කට පෙර 1964 දී ඉල්ලීම් 21 ව්‍යාපාරය පාවා දී දක්ෂිණාංශික සභාවලට එක් වූ ඉපැරණි වම ප‍්‍රකට කළ ඒ ලක්ෂණයම අද ජවිපෙ ප‍්‍රකට කරමින් සිටී. එය විප්ලවවාදී දේශපාලනය අතහැර ලොන්ඩරි දේශපාලනය තෝරාගන්නා කාටත් අත්වන ඉරණමයි.

සුධීර ප‍්‍රභාෂ්වර

Advertisements