පොලිසිය, හමුදාව හා අපි

soldier-3-hiහමුදාවට පොලිස් බලතල පැවරීම පිළිබඳ ප‍්‍රශ්නය නැවත සාකච්ඡුාවට බඳුන් වෙමින් තිබෙනවා. කලින් හමුදාවට පොලිස් බලතල පැවරුනේ හදිසි නීතිය යටතේ. ඒත් හදිසි නීතිය ඉවත් කළාට පසුවත් හදිසි නීතියේ ඇතැම් කොටස් පවත්වාගෙන යන්න එවකට සිටි රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කළා. හමුදාවට පොලිස් බලතල පැවරීමත් ඒ අතරින් එකක්. හදිසි නීතිය නොමැතිව, සාමාන්‍ය නීතිය යටතේ මෙය දිගින් දිගටම පවත්වාගෙන යන්න බෑ. හමුදාවට පොලිස් බලතල පවරන නියෝගය ජනාධිපතිවරයාට කළ හැක්කේ මාසයකට බලපාන පරිදි පමණයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුලින්ම 2011 සැප්තැම්බර් 6 වැනිදා අංක 1722/17 දරන ගැසට් නිවේදනය මඟින් මේ නියෝගය නිකුත් කළා. ඉන් අනතුරුව සෑම මසකටම වරක් එය අලූත්කර නැවත නිකුත් කළා. මේ ආකාරයට හමුදාවට පොලිස් බලතල දිගින් දිගටම හිමිවුණා. රතුපස්වල උද්ඝෝෂණයට වෙඩි තැබීම වැනි සිදුවීම්වල දී මේ ගැන සාකච්ඡුාවක් පෙරට ආවත් එය නැවත යටපත් වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අවසන් වරට මේ ගැසට් නිවේදනයට අත්සන් කළේ ජනවාරි 03 වැනිදා. ඒ අනුව මේ නීතිය 2015 පෙබරවාරි 3 වැනිදායින් කල් ඉකුත් වෙනවා.
අපේ කතාව පටන් ගන්නේ එතැනින්. මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ මේ නීතිය දිගින් දිගටම අලූත් කරමින් ක‍්‍රියාත්මක කිරීම ගැන විශාල විවේචනයක් තිබුණා. ඒ විවේචනයට වැඩිපුරම දායක වූ අය මේ නීතියත් ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ගවලට එරෙහිව පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දුන්නා. මේ සඳහා වන හොඳම නිදසුනක් ලෙස ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය දක්වන්න පුළුවන්. ඔවුන් හමුදාවට පොලිස් බලතල පැවරීමට එරෙහිව සම්මන්ත‍්‍රණ පවා පැවැත්වූවා. අද ආණ්ඩුවේ ඇමැතිවරුන් ලෙස සිටින අය ඒ සම්මන්ත‍්‍රණවලට සහභාගී වුණා. වත්මන් ජනාධිපතිවරයා වගේම වත්මන් අගමැතිවරයාත් මේ අත්තනෝමතික නීතියට එරෙහිව අදහස් පළ කළා. අලූත් ආණ්ඩුවට තිබුණු කාර්යය මර්දන නීති අහෝසි කිීරීම කීවාට මෙහි දී තත්වය වඩාත් සරලයි. මේ නීතියට අදාළව සිදුකරන්න තිබුණේ එය අඛණ්ඩව ඉදිරියට ගෙනයන එක නතර කරන එක. තිබෙන නීතියක් අවලංගු කරන්න අත්සන් කරන එක නෙවෙයි, මේ නීතිය තවත් මාසයකට බලාත්මක කිරීම සඳහා අත්සන් නොකර ඉන්න එක. නමුත් තමන්ට සහාය දුන් අයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන්ට පයින් ගසමින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පෙබරවාරි 2 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි හමුදාවට පොලිස් බලතල පැවරෙන ගැසට් නිවේදනයට අත්සන් කළා.
හමුදාවට පොලිස් බලතල පැවරීමේ ඇති ප‍්‍රශ්නය කුමක්දැයි කතුවැකිය වැනි කෙටි ඉඩක් තුළ සාකච්ඡුා කරන්න අමාරුයි. නමුත් සරලවම කියනවා නම් පොලිසිය හා හමුදාව අතර ව්‍යුහාත්මක වෙනසක් තිබෙනවා. පොලිසිය සිවිල් කටයුතු සඳහාත් හමුදාව යුදමය කටයුතු සඳහාත් සකස් කර තිබෙනවා. පොලිසිය මහජනයාට වගකියන තත්වයක් නිර්මාණය කරන්න පොලිස් කොමිෂන් වගේ ඒවා යෝජනා කළාට කවුරුවත් හමුදාවට එවැනි කොමිෂන් යෝජනා කරන්නේ නෑ. (පොලිසියේ ප‍්‍රශ්නය කොමිෂන්වලින් විසඳන්න පුළුවන්ද කියන එක වෙනම ප‍්‍රශ්නයක්* හමුදාවට පොලිස් බලතල පැවරීමට එරෙහි වෙන්නේ පොලිසිය ඒ පොලිස් බලතල භාවිත කිරීම හොඳ යැයි සිතන නිසාදැයි තවත් ප‍්‍රශ්නයක් හැෙඟන්න පුළුවන්. නමුත් පොලිසිය පමණක් පොලිස් බලතල හසුරුවනවාට වඩා හමුදාවත් පොලිස් බලතල පවරා ගත්තාම ඒ බලතල භාවිත කරන ප‍්‍රමාණය ඉහළ යනවා. එය ජනතාවට තවත් පීඩාකාරීයි. හමුදාවට පොලිස් බලතල පැවරීමේ ප‍්‍රතිවිපාක දරුණු ලෙස දැනුණේ උතුරේ ජනතාවට. මේ නීතිය උතුරේ ගෙනයන මිලිටරිකරණ ප‍්‍රතිපත්තිය සමඟ සම්බන්ධයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ පාලනය මෙන්ම මෛත‍්‍රීපාල පාලනයත් අඛණ්ඩව පවත්වාගෙන යන මේ නීතිය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සමාජයට අහිතකර නීතියක් බවට සැකයක් නැහැ.
මේ ආණ්ඩුවේ ප‍්‍රධාන සටන්පාඨ දෙක වුණේ යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. ඒත් ඒ මැතිවරණයට කලින්. බලය ගත්තාට පසුව සියලූ ක‍්‍රියාකාරීත්වයන් හොරු ඇල්ලීමට පටු වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පසෙකට තල්ලූ වී තිබෙනවා. මෙය ඉතාම අහිතකර තත්වයක්. ජනාධිපතිවරණයට පෙර බොහෝ දෙනෙක් මෛත‍්‍රීපාලට සහාය පළකළේ සරල හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ දිනාගත හැකියි යන ස්ථාවරයේ සිට. නමුත් දැන් ඉතා පහසුවෙන් කළ හැකි ප‍්‍රතිසංස්කරණයක් වන හමුදාවට පොලිස් බලතල පැවරීමේ නීතිය පවා ඉවත් කිරීමට ඔවුන් පැකිළෙනවා. මේ ආකාරයට අවම දෙයක්වත් දිනා නොගෙන දින 100 ඉක්ම ගියොත් මහ මැතිවරණයකින් වසර 5 කට බලය තහවුරු කරගත් ආණ්ඩුවකින් ඒ කිසිවක් දිනාගන්න බැරි වෙනවා. ලංකාවේ ජනතාව සිදු කළේ එක් ඒකාධිපතියෙක් වෙනුවට තවත් ඒකාධිපතියකු කැඳවා ගැනීම ද යන ප‍්‍රශ්නයට එවිට පිළිතුරු දෙන්න වෙයි. ඒ නිසා මේ මර්දන නීතිවලට එරෙහි සටනකට පණ පෙවීම මේ මොහොතේ දැවෙන අවශ්‍යතාවක්.

Advertisements