මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ප‍්‍රගීත්ට යුක්තිය ඉටු කරන්න කියලා – සන්ධ්‍යා එක්නැළිගොඩ

  • Sandya Eknaligodaනව රජය පත්වීමත් සමඟ පසුගිය රජයෙන් කළ අතුරුදන් කිරීම්, ඝාතනවලට අදාළව යුක්තිය ඉල්ලා ඔවුන්ගේ ඥාති හිතමිත‍්‍රාදීන් නැවතත් හඬ අවදි කළා. නමුත් අලූතින් හඬ අවදි කිරීමට ඇවැසි නැති, සිය අතුරුදන් වූ මාධ්‍යවේදී සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සෑම අරගල බිමකදීම අපට හමුවන ගැහැනියක් සමඟ කතාබහ කරන්නට ජනරළ අපි තීරණය කළා. ඇය නමින් සන්ධ්‍යා එක්නැළිගොඩ. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩගේ
    බිරිඳ. බොහෝ දෙනා ඇයව හඳුනන්නේ එලෙස. ඒ අනුව ඒ සටන්කාමී ගැහැනිය හමුවීමේ අරමුණින් මම ඇගේ නිවෙසට ගියා. මා යනවිටත් ඇය පපුව දැවිල්ලට බෙහෙත් බොමින් සිටියා. ආගිය තොරතුරු අතර මම ඇගෙන් ඇගේ සැමියා පිළිබඳවත් ගෙදර තොරතුරුත් විමසුවා.
  •  ඉතිං අක්කේ කොහොමද?
    (ඇය සිනාසුණා. නෑ සිනාවෙන්නට උත්සාහ කරමින් ලොකු සුසුමක් පිට කළා).
  • කොහොමද ගෙදර වියදම් එහෙම  පියවගන්නේ?
    බත් පැකට් විකුණනවා. යාළුවෙක් පොප්කෝන් මැෂින් එකකුත් ගෙනත් දුන්නා. මගේ මල්ලිලාත් උදව් කරනවා. ලොකු පුතත් රුපියල් 7000ක පොඩි රස්සාවක් කරනවා. එයා ඉගෙන ගත්තු ටීච ගාව උගන්නවා. පොඩි පුතත් උසස් පෙළ කරනවා. මොහාන් ලාල් ගේ‍්‍රරු මහත්තයා දරුවො දෙන්නව ලයිසියම් එකට දාලා දුන්නා.
    (සිහින් හඬින් වචන කඩමින් නවතමින් එලෙස ඇය කතාබහ ආරම්භ කළා.)
  •  ප‍්‍රගීත් අතුරුදන් වෙලා කියලා මුලින්ම දැනගත්තේ කොහොමද?
    2010 ජනවාරි 24 වැනිදා ප‍්‍රගීත් උදේ 10.00 ට විතර මට කියලා ඉන්සියුලින් එකත් විඳගෙන හවස ගෙදර එනවා කියලා ගෙදරින් ගියා. ? නවයටත් ආවේ නැහැ. මං කතා කළා. ඒත් ෆෝන් එක  ඕෆ්. ? දිගටම ගත්තා. පස්සේ එයාගේ යාළුවන්ටත් ගත්තා. පහුවදා එයාගේ හොඳ යාළුවෙක් වන ගාමිණී පෙරේරාට කතා කරලා කිව්වා. පස්සේ පොලිසි ගිහින් පැමිණිල්ලක් දැම්මා.
  •  ප‍්‍රගීත්ව පැහැරගෙන යද්දි කෝල් කළා කියලා කතාවක් තියෙනවා නේද?
    ගාමිණී පෙරේරාට ප‍්‍රගීත් 24 වැනිදා දවල් කෝල් කරලා හොඳ යාළුවෙක් එනව, එක්කන් එන්න ත‍්‍රීවීල් එකක්  ඕන කියලා අඳුනන ත‍්‍රීවිල් එකක් ගැන ඇහුවාලූ. ඒක එවෙලෙ තිබිලා නැහැ. පස්සේ ඒක ආවම එයා ප‍්‍රගීත්ට කතා කරලා කියලා වීල් එක ආවා කියලා. එවෙලෙ ප‍්‍රගීත් කියලා තියෙනවා. දැන් යාළුව එක්ක යන ගමන් වෑන් එකක. කොස්වත්ත හරියේ කියලා. අපි හිතනවා ඒ ප‍්‍රගීත්ව හමුවෙන්න ආපු යාළුවයි, මේ ගමනයි, අතුරුදන්වීමයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා.
  • අතුරුදන් වීමෙන් පස්සේ හොයාගන්න මොනවගේ දේවල්ද කළේ?
    පොලිසි ගියා, මානව හිමිකම් ගියා, උසාවි ගියා, ආණ්ඩුවේ හැමෝටම ලිව්වා, විපක්ෂයේ හැමෝටම ලිව්වා, විදේශ සංවිධානවලට ලිව්වා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කළා. කරන්න පුළුවන් හැමදේම කළා.
  • මොහාන් පීරිස් එක්සත් ජාතීන්ගේ සමුළුවක දී ප‍්‍රගීත් ගැන ප‍්‍රකාශයක් කළා නේද?
    ඔව්. 2011 දී මොහාන් පීරිස් එක්සත් ජාතීන්ගේ සමුළුවක දී කියලා තිබුණා ප‍්‍රගීත් වෙන රටක සරණාගතයෙක් විදිහට ඉන්නවා කියලා. මං බොහොම අමාරුවෙන් මොහාන් පීරිස්ව උසාවියට ගෙන්නුවා. උසාවියේ දී එයා කිව්වා ”ප‍්‍රගීත් ඉන්න තැන දෙයියො දනී මං නොදනී” කියලා. මේ ප‍්‍රකාශය කොතරම් බරපතළද? නමුත් උසාවිය මුකුත් කිව්වේ නැහැ. අපි කිව්ව නම් ඔය වගේ කතාවක් උසාවියේ දී, බලන්න තිබුණා.
  • අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ප‍්‍රංශයේ දී ප‍්‍රගීත්ව දැක්ක කිව්ව නේද?
    ඔව්. එයාව උසාවි ගෙනාවහම එයා කිව්වේ මංජුල වෙඩිවර්ධන කෙනෙක් පෙන්නලා කිව්වා අර ඉන්නේ ප‍්‍රගීත් එක්නැළිගොඩ
    කියලා. එයා මීට කළින් ප‍්‍රගීත්ව දැකලත් නැහැලූ. අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීතුමාට මංජුල වෙඩිවර්ධනව විශ්වාසයිලූ. ඒ නිසා ඒ ප‍්‍රගීත්ලූ.
  • පාඨලී චම්පික රණවක මේ අතුරුදන් වීමට සම්බන්ධයි කියලා කතාවක් තියෙනවා. ඒ ගැන හිතන්නේ මොනවද?
    පාඨලී චම්පික ගැන ආටිකල් එක ප‍්‍රගීත් ලිව්වා කියලා මං හිතන්නේ නැහැ. අනික මේ අතුරුදන් කිරීම පාඨලී කරා කියලත් මං හිතන්නේ නැහැ. ඒකට හේතු තියෙනවා. ප‍්‍රගීත් අතුරුදන් වෙන එක තනි හුදකලා සිද්ධියක් නෙමෙයි. මේක වෙන්න කලින් සිද්ද වෙච්චි ගොඩක් සිදුවීම් තියෙනවා සැක කටයුතු. ඒව කළේ කවුද? කියන ප‍්‍රශ්නේ මතුවෙනවා. 2009 අගෝස්තුවල ප‍්‍රගීත්ව පැහැරගත්තා. ඒ අය කවුද? ප‍්‍රගීත්ගේ පස්සෙන් නිතරම පන්නපු අය කවුද? ප‍්‍රගීත්ගේ ෆෝන් ටැප් කරපු අය කවුද? ඒ වගේම ප‍්‍රගීත් නැතිවෙන්න දවස් කිහිපෙකට කලින් ප‍්‍රගීත්ගේ යාළුවෙක් වුණ සාලින්ද දිසානායකගේ ලේකම්වරයෙක් ප‍්‍රගීත්ට කියලා තිබුණා මහින්දගේ මරණ ලිස්ට් එකේ උඩින්ම ප‍්‍රගීත් ඉන්නවා. ඒ නිසා පරිස්සම් වෙන්න කියලා. මේ අතුරුදන් වීමට පාඨලීව සැක නොහිතෙන්නේ මේ නිසා. මට සැක මහින්ද රාජපක්ෂවයි, ගෝඨාභය රාජපක්ෂවයි. ප‍්‍රගීත් ජෙනරාල්ගේ ඡුන්ද කැම්පේන් එකේ හිටියා. ”මහින්ද රාජපක්ෂට සේවා දිගුවක් නොදිය යුත්තේ ඇයි” කියන ලිපිය ලිවුවේ ප‍්‍රගීත්. මේව හේතු වෙන්න ඇති කියලා මං හිතනවා.
  • ප‍්‍රගීත්ට කරදර තිබුණා කියලා දැනන් හිටියානේ. ආරක්ෂක වැඩපිළිවෙළක්
    අනුගමනය කළේ නැද්ද?
    88/89 කාලෙදිත් ප‍්‍රගීත් දේශපාලනය කළා. ඒ කාලෙ ඉඳන් අවදානම් දරමින් එයා ආරක්ෂා වුණා. මේ කාලෙත් එහෙම ආරක්ෂා වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් එයාට තිබුණා. එයා කලින් ගෙදර එනවා. ගොඩක් ? වෙනවනම් එන්නේ නැහැ. එයාව ෆලෝ කරන අය ගැනත් ගොඩක් සෙවිල්ලෙන් හිටියා. එයාගේ යාළුවෙක් ඉන්නවා කොම්පඤ්ඤවීදියේ. අතුරුදන් වෙන්න කලින් දවසක ප‍්‍රගීත්ව දැකලා කතා කරාලූ. ප‍්‍රගීත් බලන්නේවත් නැතිව ගිහින්. පස්සේ දවසක ඇවිත් කියලා තියෙනවා එදා මාව කෙනෙක් ෆලෝ කළා. ඔයාලවත් අමාරුවේ දාන්න  ඕන නැති නිසා කතා නොකළේ කියලා. ඒ නිසා ප‍්‍රගීත් එයාගේ ආරක්ෂාව ගැනත් අනිත් අය ගැනත් ගොඩක් හිතුව කෙනෙක්.
  • දැන් ආණ්ඩුව අලූත් වෙලා. ඒත් තවමත් ආණ්ඩුව ප‍්‍රගීත් ගැන කතාබහක් නැහැ නේද?
    මං දැක්කා රූපවාහිනී වැඩසටහනක ජවිපෙ අනුර කුමාර මන්ත‍්‍රීවරයා කියනවා ප‍්‍රගීත් ගැන හොයනවා කියලා. මට ඒ අය විශ්වාසයි. මොනවහරි උත්තරයක් හම්බවේවි කියලා බලාගෙන ඉන්නවා. මං මේ රජයෙන් ඉල්ලන්නේ ප‍්‍රගීත්ට යුක්තිය ඉටු කරන්න කියලා තමයි. මං හිතනවා ප‍්‍රගීත් ජීවතුන් අතර ඇති කියලා. මං බලන් ඉන්නවා ප‍්‍රගීත් එයි කියලා. ඒ බලාපොරොත්තුවෙන් තමයි මං මේ හැමදේම කරන්නේ. මටත් දරුවන්ටත් කලින් ප‍්‍රගීත්ට යුක්තිය ඉටුවෙන්න  ඕන. මේ දරුවන්ට තාත්ත  ඕනම කාලේ. කොච්චර කාලේ ගියත් දරුවන්ගේ ප‍්‍රාර්ථනා එහෙම්මමයි. මටයි මගේ දරුවන්ටයි විතරක් නෙමෙයි මේ රටේ අතුරුදන් වුණ හැමෝටම යුක්තිය ඉටුවෙන්න  ඕන.
    ගිය ආණ්ඩුවෙන් තමයි ප‍්‍රගීත්ව අතුරුදන් කලේ. ඒ දවස්වල මං නඩු කියද්දි උසාවියේ රෙජිස්ටාර් මගෙන් ඇහුවා අපරාදේ නඩු කියන්නේ ඇයි කියලා. මං කිව්වා මට මගේ සැමියා  ඕන නිසා කියලා. ඇත්ත එළිවෙයිද කියලා ඇහුවා. මං කිව්වා කවදහරි මේ ආණ්ඩුව වෙනස් වෙච්චි කාලයක හරි ඇත්ත එළිවෙයි කියලා. ඒ නිසා දැන්වත් ඇත්ත එළිවෙයි කියලා මං හිතනවා. ඒ නිසා ඇත්ත එළිවෙනකම් මං සටන් කරනවා. ප‍්‍රගීත්ව මටත් දරුවන්ටත් ලැබෙන්නේ නැත්නම්, ජීවතුන් අතර නැත්නම් ඒක උනේ කොහොමද කියන සියලූ විස්තර මට දැනගන්න  ඕන. එදාට මං ප‍්‍රගීත්ගේ යුක්තිය වෙනුවෙනුත් මේ සමාජය වෙනුවෙනුත් ඉල්ලන දෙයක් මේ රජය මට දෙන්න  ඕන.

ශ්‍යාමලී ලියනආරච්චි

Advertisements