ආණ්ඩුව ගැන අපැහැදීමක් මෝදු වෙමින් තියෙනවා – ‘රාවය’ ප‍්‍රධාන කර්තෘ කේ. ඩබ්ලිව්. ජනරංජන

janaranjanaජනාධිපතිවරණය කැඳවන්නට පෙර සිටම රාජපක්ෂ රෙජීමයට එරෙහි සටන් පාඨ ඔසවමින් විවිධ දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි ප‍්‍රධාන උද්ඝෝෂකයකු ලෙස ‘රාවය’ පුවත්පත සැලකිය හැකිය. ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ‘පුරවැසි බලය’ වැනි සංවිධානයක් රාවය ආශි‍්‍රතව බිහි කෙරුණේ එකී අරමුණ මුදුන් පමුණුවා ගැනීමේ පියවරක් ලෙසය. ජනාධිපතිවරණයෙන් පසු තත්වය ගැන සමාලෝචනයකට අදහස් එකතුකර ගැනීමට අපි රාවය ප‍්‍රධාන කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජන සමඟ කළ සංවාදයයි මේ.
x ජනාධිපතිවරණයෙන් සිදු වුණු පාලන වෙනස්කම ගැන මූලික අදහසක් ප‍්‍රකාශ කරන්න පුළුවන්ද?
ඔව්, අපි වෙනසක් කළා. ඒ වෙනස කරන්නෙ නැතිව අඩුගානෙ සංවාදයක ඉඩකඩක්වත් තිබුණෙ නෑ. ජනවාරි 8න් පස්සේ යම් සංවාදයක්, යෝජනාවක් කරන්න ඉඩකඩක් අපි විවර කරගෙන තිබෙනවා. දැන් අපට තියෙන්නෙ ඒ වෙනස්කම් තවදුරටත් ඉදිරියට ගෙනයන්නෙ කොහොමද කියන සාකච්ඡුාව.
අපේ අරමුණු අතර එකක් හැටියට තිබෙනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම. අපේ උවමනාව වුණේ නැවත වරක් මුළුමනින්ම පාර්ලිමේන්තු ක‍්‍රමයකට යාමයි. නමුත් දැන් සිදුවන ක‍්‍රියාවලිය තුළ විධායක ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි වෙලා ඒ බලතල පාර්ලිමේන්තුවටම යනවද කියලා සැක සහිත තත්වයක්  තිබෙනවා. ඒක කරන්නෙ අප නොවන නිසා, මේ වගේ ප‍්‍රායෝගික ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න අපට සිදු වෙනවා. දෙවනුව ස්වාධීන කොමිෂන් සභා සහිතව 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහිත ව්‍යුහය නැවත ක‍්‍රියාත්මක මට්ටමට ගැනීම. දින 100 ඇතුළත ඒක  සිදුවිය යුතුයි. තුන්වැනි එක තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ නීතිය සම්මත කිරීමයි. වරින්වර විවිධ කෙටුම්පත් ඉදිරිපත් වෙවී හැලහැප්පීම් මැද තිබුණ ඒ පනත දින 100 ඇතුළත සම්මත කරන්න පුළුවන්. අවම වශයෙන් ඒකවත් කෙරුණොත් සෑහීමකට පත් වෙන්න පුළුවන්.
හතර වැනි කරුණ ලෙස ජනවාර්ගික ප‍්‍රශ්නය සම්බන්ධව යම් විසඳුමක් ළඟා කරගැනීම පිළිබඳ අපට උවමනාවක් තිබෙනවා. 2009 යුද්ධය අවසන් වන විටත් ඊට පෙරත් යුද්ධය වෙනුවෙන් නෙවෙයි අප පෙනී සිටියෙ. යුද්ධය ආරම්භ වූ අවස්ථාවෙ සිට අද දක්වා එය වැරදියි කියන මතයේ අපි හිටියෙ. අපි ඒ ගැන කතා කළා. නමුත් ඒ කරුණ අවධාරණය කරන්න ගියොත් මූලික උවමනාවන්ට බාධාවන ප‍්‍රතිවිරෝධතා ඉස්මතු වීමක් වියහැකි බව අපට තේරුම් ගියා. ඒ එක්කම දෙමළ ජාතික සන්ධානය, මේ වෙලාවෙ අපි විසඳුමක් සම්බන්ධ කාරණය පැත්තක තියනවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන ප‍්‍රමුඛ අවශ්‍යතාව වෙනුවෙන් කියලා වැදගත් ප‍්‍රකාශයක් කළා.
නමුත් අපි දැන් ඒ පැත්තක තියපු කාරණා ඉදිරියට ගන්න සිදු වෙනවා. සරලව කිව්වොත් 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමේ කාර්ය පටන් ගන්න පුළුවන්. දැන් අපි බර තැබිය යුතුයි. පුරවැසියන් ලෙස එකතුවෙලා ඉන්න කවවල න්‍යාය පත‍්‍රයටත් ජාතික ප‍්‍රශ්නය කියන කරුණ ඇතුළත් කරගෙන තිබෙනවා.

x විධායක ජනාධිපතිවරණය ආරම්භයේ දී ඒකරාශිවීමක් තිබුණේ විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහි වීම පදනම් කරගෙනයි. නමුත් පසුව මැතිවරණ ව්‍යාපාරය තුළ සිදුවුණු වෙනස්කම් නිසා දැන් ඒ සම්බන්ධ තීරණ ගැනීමේ දුෂ්කරතා තිබෙනවා නේද?
මේ ආණ්ඩුව තුළ ඉන්නවා විධායක ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි කියන අය. ඒ එක්කම විධායක ක‍්‍රමය පවත්වාගෙන යා යුතුයි කියන පිරිසකුත් ඉන්නවා. ඒ අතරම විධායක බලතල යම් ප‍්‍රමාණයකින් අඩු කරලා පවත්වාගෙන යා යුතුයි කියන පිරිසකුත් ආණ්ඩුවේ ඉන්නවා.
නමුත් ආණ්ඩුවේ විවිධ පාර්ශ්වවල වෙනස්කම් නිසා යම් යම් අය ඒ බලය අහෝසි කිරීම ගැන දරන අදහස්වල හැලහැප්පීම් තිබෙනවා. ආණ්ඩුව තුළ සිදුවන සියල්ල දන්නෙ නැති නිසා හරියටම කිියන්න බෑ කොහොමද ඒක කරන්නෙ කියලා. නමුත් අපි එකඟ වෙලා තියෙන්නෙ කිසියම් නිශ්චිත කාලයකදි විධායක බලතල මුළුමනින්ම අහෝසිවන ක‍්‍රියාදාමයකට යන්නයි.
පහුගිය ජනාධිපතිවරණයේ දී කිව්වෙ ජනාධිපතිවරයා දරන්නෙ ආරක්ෂක ඇමැතිධුරය විතරයි කියලා. ඒක දැන් වෙනස් වෙලා මහවැලි ඇමැතිකම ඇතුළු ඇමැතිකම් කීපයක් දරනවා. ප‍්‍රායෝගික තත්වය තමයි මේ ජනාධිපතිවරයාට විධායක බලයේ යම් කොටසක් දරන්න අවස්ථාව දෙන සංක‍්‍රමණික කාලයක් ලබාදීම. නමුත් ඊට පසුව ඒ විධායක ජනාධිපති ක‍්‍රමයෙන් තොර මුළුමනින්ම පාර්ලිමේන්තුවට බලතල සියල්ල පැවරෙන තත්වයක් ඇති කරන්න පුළුවන්. ඒක තමයි ප‍්‍රායෝගික එකඟතාව.

x ජනාධිපතිවරණ ක‍්‍රියාවලියේ දී පුරවැසි බලය නමින් සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයක් බිහිවුණා. ‘රාවය’ පුවත්පතෙන් පුරවැසි බලය බිහිවීමට මූලික වැඩ කොටසක් ඉටු කරනු ලැබුවා. නමුත් දැන් ජනාධිපතිවරණය අවසානයේ තවදුරටත් එම ඒකත්වය ගිලිහී නොයා පවත්වාගෙන යාම ගැන ඔබේ අදහස මොකක්ද?
මෙහිදී මුලින්ම ‘පුරවැසි බලය’ ආරම්භය ගැන කියන්න  ඕන. අපි දැක්කා මේ රටේ පුරවැසියන් ප‍්‍රමාණයක් ඉන්නවා කිසිදු දේශපාලන කුලකයකට අයත් නැති. නමුත් යම් වෙනසක් කරන්න උනන්දුවක් තිබෙන පිරිසක්. ඒ හඬක් නැති පිරිස වුණත් මූලිකව මේ මේ දේවල් වෙනස් විය යුතුයි කියන  යම් එකඟතාවක හිටියෙ. සුළු පිරිසක් ලෙස ඒ අය එකතු වුණාම තවත් පිරිසක් මේ සමඟ එක්ව කටයුතු කිරීමේ උනන්දුව ප‍්‍රකාශ කළා. අපි ඒ වෙලාවෙ උත්සාහ ගත්තේ ඒ සියලූ දෙනාම එකතු කරගන්නයි. වෙනස්කම් තිබියදී මූලික අරමුණුවලට ඒ අයගෙ දායකත්වය එක් කර ගැනීමයි අපේ අරමුණ ලෙස තිබුණෙ. පුරවැසි බලය සතු ශක්තිය හැටියට අපි කල්පනා කළෙත් මේ එකතුවේ ඇති ලිහිල් බවමයි.
ජනාධිපතිවරණයෙන් පස්සෙ මෙවැනි ලිහිල් සංවිධානයක වියයුතු පරිදිම ගිලිහීමේ ලක්ෂණ ඇති වුණා. කලින් තිබුණු ඒකත්වය බිඳෙන බව අපි දැක්කා. නමුත් අපි දැක්කා මුලින්ම යම් අරමුණක් ලෙස ඒකරාශි වූ පිරිස නොබිඳී එලෙසම ඉන්න බව. ඒ නිසා ඒ අය සමඟ නැවතත් ඉදිරියට යන්නට හැකියාවක් තිබෙන බව අපි හිතුවා.
දැන් අප කල්පනා කරන්නෙ මෙම සංවිධානය විසිරී යා යුතු නෑ කියලා. අපි කතා කළ අවස්ථාවලත් එකඟ වුණු දේ තමයි ජනවාරි 8 වැනිදායින් පස්සෙ තමයි අපට තවදුරටත් මේ වෙනුවෙන් යම් කාර්යයක් කරන්න තියෙන්නෙ. හැබැයි ආණ්ඩුව පත් වූ වහාම යම් යම් බලපෑම් කරන්න සූදානම් විය යුතු නෑ. ආණ්ඩුවටත් ඒ අයගෙ පාට පෙන්වන්න යම් කාලයක් දිය යුතුයි.
දැන් අපි විශ්වාස කරනවා ආණ්ඩුව කටයුතු කරන ආකාරය ගැන යම් අදහසක් ගන්න පුළුවන් කියලා. ඉතින් අපි දැන් පුරවැසි බලය නැවත සංවිධානය වෙනවා. ඊළඟ පියවරට යන්න දැන් පුළුවන්. ආණ්ඩුව ඇතුළෙන් බලපෑමක් කරන එක වගේම ජන බලයක් පෙන්වලා යම් බලපෑමක් කරන්නත් පුළුවන්.

x මැතිවරණයක් අවසානයේ දී සාමාන්‍යයෙන් වෙන්නෙ ජනතාව ඡුන්දය දීලා ආණ්ඩුව මොනවා හරි කරයි කියලා බලා ඉන්නවා. නමුත් පුරවැසි බලයට ඊට වඩා වගකීමක් තිබෙනවා. මේ ක‍්‍රියාවලිය සංවිධිතව මෙහෙයවා ගැනීමේ ක‍්‍රියාමාර්ගය මොන වගේ එකක්ද?
පුරවැසි බලයෙන් පිටත සහ ඇතුළත අදහස් හුවමාරු කරගත් කරුණු අනුව මේ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ යම් නොපැහැදීමක් තිබෙනවා. සමහර ක‍්‍රියාමාර්ග ගැන සහ පත්කිරීම් ගැන නොපැහැදීමක් ඇති වී තිබෙනවා. ඒ අය අපට බල කරනවා, මොනවද පුරවැසි බලය හැටියට මේ ගැන කරන්නෙ කියලා. ඉතින් අපි ආණ්ඩුවට අවම කාලයක් දිය යුතුයි. මාසෙකින් දෙකකින් ආණ්ඩුව කඩාගන්න අවශ්‍ය නෑ. නමුත් අපට වැඩක් කරන්න, මැදිහත් වෙන්න කියන, ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග ගැන අපැහැදීමක් මෝදුවෙමින් තිබෙන තත්වය තුළ මැදිහත් වෙන්න කැමැත්තෙන් ඉන්න අය බලමුළු ගන්වන්න අවශ්‍යයි. අපි ඒක කරන්න සූදානම්. ඒ සඳහා මහජන රැුස්වීම් කරන්න අවශ්‍ය නම් කොළඹ වගේම රට පුරා වුවත් යන්න සිදු වේවි. වාසනාවකට වගේ රාජ්‍ය මාධ්‍ය මේ වෙලාවෙ අවකාශයක් විවර කරමින් තිබෙනවා. වෙනත් අවස්ථාවල රාජ්‍ය මාධ්‍යවල වෙනස්කම්වලට ඉඩක් තිබුණෙ නෑ. නමුත් දැන් ජනමාධ්‍ය තුළ සංවාදයක් තිබෙනවා.
අපිත් මේ පුරවැසියන්ගෙ නායකයො නෙවෙයිනෙ, පුරවැසියන්ගෙ නියෝජිතයොනෙ යම් ආකාරයකට. ඒ නිසාම පුරවැසි අදහස් අනුව ඉදිරියට යාමටයි අප අරමුණු කරගෙන ඉන්නෙ.

x පුරවැසි බලය ගැන ඔබ කියන කාරණයත් සමඟ පුරවැසි බලය තුළ ඉන්නෙ යම් සමාජ ස්ථරයක කණ්ඩායමක් මිස ගොවියන්ගේ කම්කරුවන්ගේ වැනි කොටස්වල අදහස්වල නියෝජනයක් නෑ කියන විවේචනයකුත් තිබෙනවා. ඒ ගැන යමක් කියනවද?
පුරවැසි බලය සංවිධානය වුණේ ජනාධිපතිවරණය කැඳවූ කෙටි කාලයක් තුළයි. කළ යුතු වූ දේ නොකෙරුණා වගේම නොකළ යුතු දේත් වෙන්න ඇති. එතැන දී අප සමඟ සම්බන්ධ වූ අය අතර විද්වතුන්, වෘත්තිකයන්, කලාකරුවන් වගේම ගොවියන්, කම්කරුවනුත් හිටියා. වෘත්තිය සමිති නායකයන් හිටියා. ඒ අය හිටියෙ ඒ අනන්‍යතා තුළ නෙවෙයි, පොදු එකඟතාවක් ලෙසයි එකතු වුණේ. අපට ප‍්‍රශ්නයක් තිබුණා ඒ ඒ පුරවැසි කණ්ඩායම් ලෙස සංවිධානය කළ යුතුද කියලා. නමුත් ඒක කරන්න තරම් අපට වැඩි බරක් තියන්න අමාරුයි. කම්කරුවන්, ගොවියන් සංවිධානය කරන්න තරම් දේශපාලන පක්ෂයක මට්ටමට යන්න බලාපොරොත්තුවක් නෑ. පුරවැසි බලය පටන් ගත්තෙම ‘රාවය’පත්තරේ පළ කෙරුණු මූලික ප‍්‍රතිපත්තිමය ලියැවිල්ලක් සමඟ එකඟ වූ පිරිසක් ලෙසයි. ඒ ලියැවිල්ලට එකඟ  ඕනෑම කෙනෙකුට මේ සංවිධානය සමඟ වැඩකරන්න පුළුවන්.

x දින 100 තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නට නියමිතයි. ඒ සම්බන්ධව ඔබේ අදහස් ඉදිරිපත් කර තිබෙනවද?
දින 100 වැඩසටහනට අනුව පෙබරවාරි 20 පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එනවා. ඒ ගැන ජනමාධ්‍ය සංවිධාන කළ විමසීමක දී දැනුම් දී තිබුණේ ආණ්ඩුවෙන් පත් කරන කමිටුවකට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. නමුත් ඒක වුණේ නෑ. තවමත් කමිටුවක් පත් කරලා නෑ. ඊට පස්සෙ,  මේ වන විටත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට කෙටුම්පතක් යවා තිබෙන බව දැනගන්න ලැබුණා. හොයලා බලන කොට ඒක 2003 කර්තෘ සංසදය, පුවත්පත් ආයතනය සහ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සකස් කළ එකක්. තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පහුගිය
කාලෙ ඉදිරිපත් වූ කෙටුම්පත් කීපයක්ම තිබුණනෙ… කරූ ජයසූරිය විසින් ඉදිරිපත් කර තිබුණෙ ටිකක් දියාරු කෙටුම්පතක්. මේකට කවුරු හරි විරුද්ධ වෙයි කියලා සැර බාල කරපු කෙටුම්පතක් තමයි ජයසූරිය මහත්තයා ඉදිරිපත් කරලා තිබුණේ. නමුත් ඒකට වඩා හොඳ කෙටුම්පතක් තමයි දැන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවලා තියෙන්නෙ. නමුත් අපි ඉල්ලීමක් කළා පාර්ලිමේන්තුවට යවන්න කලින් මහජනයාට අදහස් දක්වන්න ඒ කෙටුම්පත දැනගන්න සලස්වන්න කියලා. නැත්නම් ආයෙම වෙන්නෙ කීප දෙනකුට අවශ්‍ය ආකාරයේ පනතක් සම්මත වෙන එකයි.

x ආරක්ෂාව පතා විදේශයන්ට පලාගිය ජනමාධ්‍යවේදීන්ට නැවත ලංකාවට එන්න කියලා ආණ්ඩුවෙන් ආරාධනාවක් කළා. එහෙම එන්න සුදුසු පරිසරයක් තිබෙනවා කියලා ඔබ හිතනවද?
විදේශගත වෙන්න ඔවුන්ට සිදු වුණේ ජීවිතාරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයට. මම හිතන්නෙ අපි ඔවුන්ට එන්න කියනවාට වඩා දැන් එන්න සුදුසු පරිසරයක් උදා වෙලාද කියන එක තීරණය කරන්න ඒ අයටම අවස්ථාව දිය යුතුයි. අපි කොච්චර කිව්වත් ඒ අයයි ආරක්ෂාව ගැන ප‍්‍රශ්නයට මුහුණ දෙන්නෙ. සමහරු කියන්න පුළුවන් ඒ ගිය සමහරු ආරක්ෂාවේ ප‍්‍රශ්නයක් නිසා නෙවෙයි ගියේ කියලා. නමුත් අපි කොහොමද ඒක තක්සේරු කරන්නෙ? ඒ අයටමයි තමන් මුහුණ දෙන ආරක්ෂාව පිළිබඳ තත්වයන්ට මුහුණ දෙන්න වෙන්නෙ.
මම හැම වෙලාවෙම කියපු දේ තමයි අපට අයිතියක් නෑ, ඒ තර්ජනය ගැන මනින්න. දැනට තියෙන වෙනස්කම් එක්ක දැන් ජනමාධ්‍යවේදීන්ට නිදහස් පරිසරයක් දැනෙනවනෙ. නමුත් ඒක සියට සීයක් හොඳයි කියන සහතිකය දෙන්න බෑ. මම දන්නෙ නෑ අභ්‍යන්තර බලවේග කොහොමද වැඩ කරන්නෙ කියලා. නමුත් අපි පරාජය කරපු බලවේග බලවත්ව ඉන්න තත්වයක් සමාජය තුළ පෙනෙනවා. ඒ නිසා ඒ අයමයි ඒ තක්සේරුව කළ යුතු.
මම දැක්කා භාෂණ කියලා තියෙනවා අපි එන්න කැමැතියි. නමුත් එන්න සුදුසුද කියලා පෙන්වන්න කියලා. මම දන්නෙ නෑ කොහොමද ඒක පෙන්වන්නෙ කියලා. නමුත් අපි පුරවැසියන් හැටියටත් මාධ්‍යවේඳීන් හැටියටත් ආණ්ඩුවට බලකරන්න අවශ්‍යයි, මාධ්‍යවේදීන්ට ඒ ආරක්ෂාව තහවුරු කරන්න කියලා.

x ඒ සමඟම උතුරේ අරගලය තුළ විදේශගත වූ තරුණයන්ට අයිතියක් තිබිය යුතුයි, නැවත ලංකාවට එන්න. නමුත් විවිධ මර්දන නීති තවමත් ක‍්‍රියාත්මකයි. මේ තත්වයේ වෙනසක් විය යුතුයි කියලා ඔබ හිතන්නෙ නැද්ද?
ඒ අයට චකිතයක් සැකයක් ඇති වන තත්වයන් අප ඉවත් කළ යුතුයි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ විධිවිධාන වගේ දේවල් තමයි ඔවුන්ට එරෙහිව යොදා ගනු ලබන්නෙ. මම හිතන්නෙ අපි ඒ දේවල් වෙනස් කරන්න පියවර ගන්න  ඕන. කාලයක් තිස්සෙ අපේ සමාජයේ මේ ගැන හඬක් තිබුණා. අපි ඒ වෙනුවෙන් පෙනී සිටියා. දැන් නැවත ඒ හඬ ඉදිරියට ගන්න  ඕන. ඒ හරහා විදේශගත වුණු දෙමළ ජනතාවට විශ්වාසයක් හදන්න වෙනවා නැවත ලංකාවට පැමිණීමට නිදහසක් ඇති වී තිබෙන බවට.

x යහපාලන ඇති කිරීම පිළිබඳ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ පැවැති සාකච්ඡුාවේ දී ස්වාධීන කොමිෂන් සභා ගෙන එන බවක් කියනු ලැබුවා. නමුත් ඒ හරහා නැවත වරක් රාජ්‍ය ව්‍යුහයේ නිලධාරිවාදය බලවත් වීමේ අනතුරකුත් තිබෙනවා නේද?
කොමිෂන් සභාවලින් සියල්ලටම පිළිතුරු ලැබෙනවා කියන අදහසක් අපට නෑ. නමුත් විධායක ජනාධිපතිවරයා වෙත කේන්ද්‍රගත වූ බලතල සියල්ල ඔහුගෙන් ඉවත් කිරීමේ දී කොමිෂන් සභාවලට කාර්යභාරයක් පැවරෙනවා. 17 වැනි ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී අරමුණ වුණේ ඒකයි. නමුත් පහුගිය කාලෙ බැලූවම ජනාධිපතිවරයා කොතරම් අත්තනෝමතික වුණාද කිව්වොත් පිටතින් එයාගෙ බලය සීමාකරන්න පිහිටුවන ආයතනවලට පවා පවතින්න ඉඩ දෙන්නෙ නෑ. ඒකනෙ පහුගිය කාලෙ සිදු වුණේ. ඒ වෙලාවෙ කොහොම හරි බලය සීමා කරන්න තමයි කොමිෂන් සභා ගෙනාවෙ. ඒක සාර්ථක වුණේ නෑ. චන්ද්‍රිකා ජනාධිපතිනිය අතිනුත් ඒක වුණේ නෑ. මහින්දගෙ කාලෙ ඒක සම්පූර්ණයෙන්ම විනාශ කළා.
විධායක ජනාධිපතිවරයා සතු බලතල සීමා වුණාම වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩකඩක් ලැබෙනවා. දැන් නිලධාරීන් බලවත්වීම කියන කාරණාව ගත්තොත් කලින් තිබුණේ ව්‍යවස්ථාදායක සභාවක් පත්කරලා ඒ අය සෙසු නිලධාරීන් පත්කරන ක‍්‍රමයක්. නමුත් දැන් සාකච්ඡුාවට අරගෙන තියෙන්නෙ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා විසින් පත්කරන ව්‍යවස්ථාදායක සභාවක් ගැනයි. එතැනදි අගමැති හා විපක්ෂ නායකවරයා පත්කරන පත්වීම් ගැන බලපෑමක් කරන්න අපට පුළුවන් නම් ඒක සාධනීයයි. ඒ වගේම එවැනි පත් කිරීම්වලට නිර්ණායක ඇති කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ලංකාවේ නිලධාරීන් ගෝත‍්‍රවාදී ලෙස කටයුතු කරයි කියලා බයක් සහ සැකයක් තිබෙනවා තමයි. නමුත් දැනට තිබෙන අත්තනෝමතිකභාවයට වඩා යහපත් දෙයක් ලෙස තමයි නිලධාරින් පිරිසකගේ සාමුහික අදහස් මත තීරණ ගැනීම සලකන්න වෙන්නෙ.

සංවාදය- චන්දන සිරිමල්වත්ත

සේයාරුව – රවින්ද්‍ර පුෂ්පකුමාර

Advertisements