අලූත් අධ්‍යාපන චක‍්‍රලේඛයේ අයිසිං තට්ටුව ඉවත් කළ පසු,…

e4පසුගිය 29 වැනිදා නව තාවකාලික රජය මඟින් අතුරු අයවැයක් නිකුත් කළ දිනයේම සවස නිකුත් කරන ලද පාසල් සම්බන්ධ චක‍්‍රලේඛය පිළිබඳ ඔබේ අවධානය යොමු කිරීම උදෙසා මෙම සටහන තබන්නේ, කැලේ මාරු කළාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැති බව ඔබට යළි යළිත් මතක් කර දීමටයි. අංක 05/2015 යටතේ ජනවාරි 29 වැනි දින පාර්ලිමේන්තුවේ අයවැය සාකච්ඡුා කරන අතරතුර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක‍්‍රලේඛයක් නිකුත් කර තිබුණා. මෙම චක‍්‍රලේඛයේ මාතෘකාව ලෙස සඳහන් කර තිබුණේ ‘පාසල්වලින් අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරන්න’ යනුවෙන්. නව අධ්‍යාපන ඇමැතිවරයා පත්වුණ මොහොතේ සිට පාසල්වල මුදල් අය කිරීම නැවැත්විය යුතුයි, එය විශාල ගැටලූවක් බව විවිධ රූපවාහිනී, ගුවන්විදුලි නාලිකාවල පුවත්පත්වල පුන පුනා කිව්වා.

ඒ අතරේ පසුගිය දවසක මාධ්‍ය සාකච්ඡුාවක දී ඔහු කිව්වා පාසල්වලින් අනවශ්‍ය මුදල් අයකිරීම නැවැත්විය යුතු බව. නමුත් නිදහස් අධ්‍යාපනය කියන්නේ අවශ්‍ය හෝ අනවශ්‍ය කියලා මුදල් අයකරන දෙයක් නොවිය යුතුයි. අලූත් ආණ්ඩුවේ මේ ප‍්‍රකාශයම ප‍්‍රශ්නයක්. ඔවුන් මැතිවරණ සමයේ දී එළිදැක්වූ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුවත් ඔවුන්ගේ ප‍‍්‍රතිපත්තිය වුණේ අධ්‍යාපනය විකිණීම. ඒ අනුව ආණ්ඩුව එහි පළමු පියවර තබන්නේ මෙම චක‍්‍රලේඛය මඟින්. චක‍්‍රලේඛයේ දැක්වෙන පරිදි ‘පාසල්වලින් අවිධිමත් ලෙස මුදල් අයකිරීම තහනම් කරන්න’ යන ප‍්‍රකාශය බැලූ බැල්මට ඉතාම හොඳ යෝජනාවක් ලෙස කෙනෙක්ට සිතෙන්නට පුළුවන්. ඒ මෙහි යම්කිසි විදියකට මුදල් අයකිරීම තහනම් කර තිබෙන බැවින්. නමුත් මේ අයිසිං තට්ටුව යටින් ඇත්තේ වහ කේක් ගෙඩියක්.

පාසල්වලින් මුදල් අය කිරීමට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය, දෙමාපියෝ, ගුරුවරු, විදුහල්පතිවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු ආදී අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ බොහෝ දෙනා දීර්ඝ කාලයක් තිස්සේ අරගල කළා. 1947 මැයි 27 දින නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත‍‍්‍රණ සභාවේ සම්මත කළ දින සිට වසර 60 ට අධික කාලයක් තිස්සේ විටින් විට විවිධ රජයන් ගෙන ආ අධ්‍යාපනය සම්බන්ධ විවිධ චක‍්‍රලේඛ, ප‍්‍රතිපත්ති විසින් මුදල් අය කිරීමට උත්සාහ ගනු ලැබුවා සහ අයථා ක‍්‍රම මඟින් මුදල් අය කළා. නමුත් එය විළිලැජ්ජා නැතිව රජය විසින් සම්මත කරන තත්වයකට ගෙන ආවේ නැහැ. පැවැති සියලූ රජයන් එසේ නොකිරීමට හේතු වූයේ ඉහත සඳහන් කළ සමාජ අරගලයි.
1977 දී විවෘත ආර්ථිකය නැතහොත් එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද නවලිබරල් ධනවාදී ප‍‍්‍රතිසංස්කරණවලින් පසුව 1981 අධ්‍යාපන ධවල පත‍‍්‍රිකාවක් ගෙන ආවත් එහිදීත් එය සම්මත කරගන්න බැරි වුණා. 80 දශකයේ මුල් වසර 3 තුළ පාසල්වලින් මුදල් අයකිරීම සම්බන්ධව පළමු නීතිය සකස් කරමින් පාසල්වලින් පහසුකම් හා සේවා ගාස්තු ලෙස වසරකට රුපියල් 3ක් අය කිරීමට හැකි ලෙස නීතියක් ගෙන එනවා. මෙය තමයි ශිෂ්‍යයන්ගෙන් හා දෙමාපියන්ගෙන් මුදල් අය කිරීමට තැබූ පළමු පියවර. හැබැයි රුපියල් 3යි. එම නිසා එය වැඩිපුර කතා බහට ලක්වෙන්නෙ නෑ.

මෙය 2014 ජනවාරි මස නව චක‍්‍රලේඛයක් මඟින් සංශෝධනය කර රුපියල් 3ක ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 600 දක්වා වැඩි කරනව. මේ සියලූ අවස්ථාවල බොහෝ ව්‍යාපාර ඊට විරුද්ධව හ`ඩ නැඟුවා. නමුත් ඒකත් කි‍‍්‍රයාත්මක වුණා. මෙහි නිල ක‍්‍රියාවලිය මේ ආකාරයෙන් වෙද්දි නොනිල ක‍්‍රියාවලිය පාසල් දරුවකු ගෙදර ඉන්න   ඕනම දෙමාපියෙක්ගෙන් ඇහුවොත් කියාවි. පසුගිය සමයේ පාසලේ සෑම දෙයකටම මුදල් ගෙවන තත්වයක් ඇති වුණා. ඩෙස් එකට, බංකුවට, පළමු වසරට ඇතුළත් කරද්දි, එම පාසල වෙනස් කළත් නොකළත් 6 වසරට ඇතුළත් කරද්දි, උසස් පෙළට ඇතුළත් වෙද්දි, පාසලේ තීන්ත ගාන්න, ජල බිල් විදුලි බිල් ගෙවන්න වැනි සෑම දෙයකටම මුදල් අය කරා. නමුත් මේවා සිද්ධ වෙන්නෙ නොනිල වශයෙන්. පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය හරහා තමයි මේ මුදල් එකතු කිරීම් සිදුවුණේ.
මේ පිළිබඳ චෝදනා එද්දි පසුගිය ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී කිව්වා ”පාසල්වලින් මුදල් අය කරන්නෙ නැහැ. තියෙනව නම් කියන්න කියල” ඒ අනුව අපිට පෙනෙනවා රාජපක්ෂ ආණ්ඩුව පවා බය වුණා පාසල්වලින් මුදල් අයකිරීම වැනි සමාජයේ කතාබහක් ඇතිවන දෙයක් නීතිගත කරන්න. එනිසා ඔවුන් එය නීතිගත නොකර හොරෙන් කරගෙන ගියා. ඒ වැඬේම නව රජය වෙනස් හැඩයකින් නීතිමය රාමුවකුත් එක්ක පටන් අරන්. පාසල්වලින් අනවශ්‍ය ලෙස මුදල් අය කිරීම් විධිමත් කරන්න තමයි මේ චක‍්‍රලේඛය ගෙනත් තියෙන්නේ.
මෙහි මාතෘකාව ලෙස සඳහන් වෙන්නෙ ‘පාසල්වලින් අවිධිමත් ලෙස මුදල් අයකිරීම තහනම් කිරීම’ යන්නයි. සියලූ අධ්‍යක්ෂවරු, ලේකම්වරු, කලාප අධ්‍යක්ෂවරු, විදුහල්පතිවරු වෙත මේ වන විට මෙය යවා අවසන්. මෙම චක‍්‍රලේඛයෙ මුල් කොටස කියවන විට ඔබට යම් බලාපොරොත්තුවක් ඇති වෙනව. නමුත් එළිවෙන ජාමෙට තමයි හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ. එහි සඳහන් පරිදි,

  1. රජයේ පාසල්වල විවිධ කටයුතු හොවා දක්වමින් සිසුන්ගෙන් දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම බහුලව සිදුවන බවට පසුගිය කාලය පුරාවටම නිරීක්ෂණය විය. එමෙන්ම එම මුදල් එකතු කිරීමේ කි‍‍්‍රයාවලියේ විධිමත් බවක් ප‍‍්‍රදර්ශනය කිරීම සඳහා පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම්වලට අමතරව පංතිකව, සුභසාධක සංගම් ආදී ව්‍යුහයන් නිර්මාණය කර ගනිමින් මුදල් අයකර ගැනීම ද සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත.
  2. වත්මන් රාජ්‍ය ප‍‍්‍රතිපත්ති අනුව වහාම කි‍‍්‍රයාත්මක වන පරිදි පාසල්වල සිසුන්ගෙන් හා දෙමාපියන්ගෙන් මුදල් අයකර ගැනීම සපුරා තහනම් කරමි. මෙය පැහැර හරිමින් කි‍්‍රයාකරන අවස්ථා වෙතොත් විදුහල්පති වගකිව යුතුයි.
    මෙසේ පටන්ගත් චක‍්‍රලේඛයේ පස්වැනි වගන්තියේ සිට ඇත්තේ වෙනත් කතාවක්.

5. පාසල් විදුහල්පතිවරයකුට නිසි පරිදි නිල කුවිතාන්සියක් නිකුත් කොට මුදල් අය කරගත හැකි අවස්ථා පහත පරිදි වේ.
5.1 අනුමත පහසුකම් හා සේවා ගාස්තු
5.2 පාසලේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට (විදුලි බිල්, දුරකථන බිල්, ආරක්ෂක කටයුතු වැනි මුල්‍ය අවශ්‍යතා)
6. අංක 5.2 යටතේ මුදල් අයකර ගැනීමට පෙර සෑම විදුහල්පතිවරයකුම පහත ක‍්‍රියාවලිය අනුමත කළ යුතු වේ.
අ. පාසලේ අත්‍යවශ්‍ය වියදම් ඇස්තමේන්තුවක් සකස් කිරීම
ආ. එම ඇස්තමේන්තුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ වෙනත් රාජ්‍ය ආයතන වලින් ලැබෙන මුදල් පුරෝකථනය කොට (අ) හා (ආ) අතර පරතරය ගණනය කිරීම
ඇ. එම පරතරය පාසලේ සිසුන් සංඛ්‍යාවෙන් බෙදා එක් සිසුවකුට අදාළ වන මුදල ගණනය කිරීම
ඈ. ඉහත පරිදි සකස් කළ වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශයට එවා එක් සිසුවකුගෙන් පාසලේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් අයකිරීම් සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම
මේ චක‍්‍රලේඛයේ පැහැදිලිවම දක්වල තියෙනවා මෙය පාසල්වලින් මුදල් අයකිරීම නවතන චක‍්‍රලේඛයක් නෙමෙයි කියලා. නිදහස් අධ්‍යාපනය ලංකාවට ලැබුණට පස්සෙ ලංකාවේ පළ වැනි වතාවට වසර 68 කට පමණ පසු පාසල්වල සිසුන්ගෙන් හා දෙමාපියන්ගෙන් මුදල් අයකර ගැනීම නීතිගත කරල තියෙනව. එයට නිල බවක් දීල, කළයුතු ක‍්‍රමයත් පෙන්නල දීල තියෙනව.
මාධ්‍යවලින් චක‍්‍රලේඛයේ මුල් වගන්ති දෙක කියවලා ජනතාව නැවතත් ගොනාට අන්දවල කියලා මේ චක‍්‍රලේඛය විශ්ලේෂණය කළාම අපිට පෙනෙනවා. මෙතෙක් කලක් කළ වියදම් වැඩිවීමක් මිසක අඩුවීමක් වෙන්නෙ නෑ. මෙතෙක් කල් ගැලවුණා නම් දැන් ගැලවෙන්න ලැබෙන්නෙ නෑ. මොකද දැන් මේක නීතියක්. දැන් හැමෝම මේවා ගෙවන්න බැදී ඉන්නව.
7.2 නීත්‍යනුකූල ගාස්තු ගෙවන්න අපහසු ශිෂ්‍යයන් ග‍‍්‍රාම නිලධාරිවරයාගෙන් සහතිකයක් රැුගෙන ආ යුතුයි.

7.3 ගාස්තු නොගෙවන සිසුන් කිසියම් ආකාරයකින් කායිකව හෝ මානසිකව පීඩාවට පත් නොකළ යුතුයි.
දැන් ගාස්තු අයකිරීම වාක්‍යයක් විදියටත් නීතිගත කරල තියෙනවා.
දැන් මේක ඇමැතිවරය කියන විදියට අනවශ්‍ය වියදම් අයින් කරල තියෙන්නෙ. කලිනුත් තිබුණෙ මේ වියදම්ම තමයි, කලිනුත් මුදල් අයකළේ ආරක්ෂාවට, ඩෙස් එකට, බංකුවට, විදුලි හා දුරකථන බිල් ගෙවීමට තමයි. නැතුව විදුහල්පතිගෙ ළමයින්ගේ කසාද වියදම්වලට නෙමෙයි. මේකෙන් කරන්නෙත් කලින් කරපු දේම තමයි. නමුත් වෙනස ඉස්සර හොරෙන් කරපු දේ නීතිගත කරල තියෙනව. කලින් සිදුවුණු දේට වඩා දැන් වෙනස් වෙන්නේ කලින් බිල් දැම්මෙ හාඞ්වෙයාර් එකට. දැන් විදුහල්පතිටම බිලක් දිය හැකියි. නමුත් මේ රටේ මව්පියන්ට හා සිසුන්ට තියෙන ප‍‍්‍රශ්නය කුවිතාන්සිය විදුහල්පතිගේ එකද හාඞ්වෙයාර් එකේ එකද යන්න නෙමෙයි. ජනතාවගේ ප‍‍්‍රශ්නය තමයි මුදල් ගෙවන්න වෙන එක.
මෛත‍‍්‍රීපාල සිරිසේන ජනාධිවතිවරයාගේ මැතිවරණ ප‍‍්‍රතිපත්තියේ සඳහන් කරල තිබුණ ‘නව අභියෝග ජයගන්නා නිදහස් අධ්‍යාපනයක්’ කියල. ඔවුන්ට ජයගන්න තිබුණු අභියෝගය පාසල්වලින් මුදල් අයකිරීම නීතිගත කර නොතිබීමද? පසුගිය ආණ්ඩුවේ කෙරුවාව මෙන්ම මේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අඳුන් දිවි හිනාවත් වියරු දත් විළිස්සීමක් බව දැන්වත් සමාජයක් ලෙස අප අවබෝධ කර ගත යුතුව ඇත.

ශ්‍යාමලී ලියනආච්චි

Advertisements