බල පොරය අබියස ජනතාව

casino-neonපසුගිය සතිය ද විවිධාකාර දේ සිදු වූ සතියකි. ඊට පෙර සතිය මෙන්ම ගෙවී ගිය සතියේ ද ආණ්ඩු පක්ෂය කළේ විවිධ හොර බඩු සොයාගැනීම, හොරකම් ගැන පැමිණිලි කිරීම, බඩුමිල අඩු කිරීම හා වැටුප් වැඩි කිරීම සහිත අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම, එය සරදියෙල් අයවැයක් ලෙස ප‍්‍රචාරාත්මකව හුවාදැක්වීම ආදියයි. ඒ අතර අගවිනිසුරුවරයා ඉවත් කිරීම, තිස්ස අත්තනායක අත්අඩංගුවට ගැනීම ආදී ත‍්‍රාසජනක ජවනිකා ද විය. ඒ අතර විපක්ෂය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය උපයෝගී කරගනිමින් සටන්කාමීත්වය ප‍්‍රදර්ශනය කිරීම අරඹා ඇත. මොහාන් පීරිස් ඉවත් කිරීමේ ප‍්‍රශ්නය පාදක කරගනිමින් විපක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටි අතර එයට අගමැතිවරයාගෙන් ලැබුණේ තරමක අත්තනෝමතික ආකාරයේ ප‍්‍රතිචාරයකි. මේ අතර විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සිරගත කරන ලද මන්තී‍්‍රවරුන්
මුණගැසීමට බන්ධනාගාරයට යාම ආරම්භ කර තිබේ. ඔහු පසුගිය අඟහරුවාදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිස්ස අත්තනායකගේ සුව දුක් විචාලේය. ඒ හැම තැනකදීම විපක්ෂය මතු කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නයයි. නීතිය හා සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංගට විශ්වාසභංගයක් ගෙන එන්නේ ද එවැනි ප‍්‍රශ්නයක් මූලික කරගෙනය. බැලූ බැල්මටම මහා විපරීතයක් ලෙස පෙනෙන ආකාරයට දෙපැත්ත මාරු වී ඇත. ජනාධිපතිවරණයට පෙර ඒකාධිපතීත්වය පිළිබඳ චෝදනා ලැබූ අය දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සටන් පාඨ ඔසවමින් සිටින අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සටන් පාඨ අතදැරුවත් ඒවා ඉටු නොකිරීම පිළිබඳ කටඋත්තර සැපයීමට සිදුවීමේ අපහසුතාවට ගොදුරු වී සිටී.

‘ඉන්ටවල් එක’

ජනවාරි පළමු වැනිදා පැවැත් වූ සාකච්ඡුාවේ දී කුමාර් ගුණරත්නම් පැවසුවේ ජනාධිපතිවරණ සමය යනු අපායේ ඉන්ටවල් එකක් බවය. මේ ගතවන්නේ ද අපායේ ඉන්ටවල් එකකි. එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් ගත් කළ මෙය ඔවුන්ට අභියෝග බහුල කාලයකි. එජාප ආණ්ඩුවක් පිහිටුවා තිබුණ ද එයට බහුතර ජනතා කැමැත්තක් නැත. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළේ එජාපයේ ඡුන්ද පදනමින්ම නොවේ. මීළඟ මහ මැතිවරණයක දී දෙමළ ජාතික සන්ධානය වෙනම නාමයෝජනා දෙන තත්වයක් තුළ එජාපයට හිමිවන ඡුන්ද සංඛ්‍යාව දිස්ත‍්‍රික් ගණනාවක බහුතරය සඳහා ප‍්‍රමාණවත් නැත. ඒ දැන් පවතින තත්වයයි. එජාපය උත්සාහ කරන්නේ මීළඟ මහ මැතිවරණයට පෙර එය වෙනස් කරගැනීමටය. සරදියෙල් පන්නයේ අයවැය ලෙස නාමකරණය කරමින් අයවැයක් ගෙන එන්නේ ද ඒ සඳහාය. අනෙක් අතට එජාපයට පාර්ලිමේන්තුවේ ඇත්තේ ද සුළුතර බලයකි. එය බහුතරයක් බවට පත් කරගැනීමට, පාර්ලිමේන්තුවේ ආසන 113 සීමාව ඉක්ම යන්නට බරපතළ සටනක් අවශ්‍ය වේ. ඒ සඳහා ද දකුණේ ඡුන්දවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ආපසු හැරවීම අවශ්‍ය වේ. මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ සමස්ත මෙහෙයුම ඒ සඳහාය. අයවැය සහන ලබාදීම, හොරු ඇල්ලීමේ මෙහෙයුම් පමණක් නොව විවිධ අණපනත් ද ගෙන එන්නේ ඒ ඉලක්කය සඳහාය. විහාර දේවාලගම් පනත පවා කඩිනම් කරන බව කරූ ජයසූරිය මාධ්‍යවලට පවසා තිබිණි. කෙසේ වෙතත් මේ තත්වයෙන් ජනතාවට යම් යම් කෙටිකාලීන වාසි අත්පත් කරගත හැක. එහෙත් ඒවා තාවකාලිකය. ඒ මේ අපායේ ඉන්ටවල් එකක් පමණක් වන හෙයිනි.
රනිල්ට තිබෙන අභියෝගයට සාපේක්ෂව ගත් කළ මෛත‍්‍රීපාලට ඇත්තේ සරල අභියෝගයකි. දැනටමත් ඔහු ජනාධිපති ධුරයට තේරීපත් වී ඇති අතර එය ඉදිරි වසර හතර පහ තුළ සුරැුකෙනු ඇත. ඔහුට ඇති ප‍්‍රශ්නය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වරක් ඉවත් වීම නිසා බිඳවැටී ඇති පාක්ෂිකයාගේ විශ්වාසය එහි වත්මන් සභාපතිවරයා ලෙස නැවත ගොඩනඟා ගන්නේ කෙසේද යන ප‍්‍රශ්නයයි. ඔහු එය කළ යුතු වන්නේ එක්සත් ජාතික පක්ෂය ද රිදවන්නේ නැතිවය. මෙය තරමක් ප‍්‍රශ්නකාරී විය හැක්කේ මේ ගෙවෙනවා වැනි සාමාන්‍ය කාලවකවානුවල දී නොව මහ මැතිවරණය ප‍්‍රකාශයට පත්වීමෙන් අනතුරුවය. එතෙක් ඔහුට කරන්නට ඇත්තේ පන්සල් යාම හා උපුල් ශාන්ත සන්නස්ගල සමඟ සංවාද වැඩසටහන්වලට සහභාගී වීම ආදිය පමණි. ජාතික රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ පැය ගණන් ප‍්‍රදර්ශනය කෙරෙන ‘මෛත‍්‍රී පිළිසඳර’ මහින්ද රාජපක්ෂ විසින් කළ ජනපති ජනහමුව වැනි වැඩසටහන්වලට වඩා එතරම් වෙනසක් නැත. මෙම වැඩසටහන්වල දී ප‍්‍රතිපත්තිමය කරුණු පිළිබඳ එකදු ප‍්‍රශ්නයක්වත් නොඇසෙන්නේ ප‍්‍රශ්න විචාරකයා වන සන්නස්ගලගේ ශෛලියේ ස්වභාවය නිසා ද නැතිනම් දේශපාලන තීරණයක් ලෙස ද යන්න ද විමසා බැලිය යුතුය.

විපක්ෂය හිස එසවීම

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ වාඩි වී සිටින නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත ආදීන්ගේ උත්සාහය වී තිබෙන්නේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර අපැහැදිලි වී ඇති බෙදුම් ඉර නැවත ඇඳීම බව පෙනේ. ඔවුන්ට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ ලෙස සිටි දිනේෂ් ගුණවර්ධනගේ, විමල් වීරවංශගේ, වාසුදේව නානායක්කාරගේ, ඩිව් ගුණසේකරගේ, තිස්ස විතාරණගේ පක්ෂ විපක්ෂයක් ලෙස වෙනම නැඟී සිටීමකට ද උත්සාහ දරයි. ඔවුන් වෙනම පෙරමුණක් ශක්තිමත් කර ඒ හරහා මහින්ද රාජපක්ෂව යළි බලයට ගෙන ඒමේ උත්සාහයක ද නිරතව සිටී. පසුගිය
කාලයේ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ ආදීන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතදීත් කළ කතා විමර්ශනය කරන්නකුට ඔවුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡුන්ද දායකයාට ආමන්ත‍්‍රණය කරන ආකාරය දැකගත හැකිය. ඔවුන් නිර්මාණය කරන්නට යන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් පාක්ෂිකයා අතරමං කළත් තමන් එසේ නොකරන්නේය යන ප‍්‍රතිරූපයයි. කෙසේ වෙතත් නිමල් සිරිපාල ද සිල්වා වැනි ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් මේ තත්වයට මුහුණ දෙන්නට යන්නේ යළි විපක්ෂ කාර්යභාරය තමන් අතට ගැනීමට උත්සාහ කරමිනි.
මේ බව හොඳින්ම කැපී පෙනුණේ අවස්ථා දෙකකදීය. එකක් අගවිනිසුරුවරයා ලෙස සිටි මොහාන් පීරිස් ඉන් ඉවත් කර ශිරාණි බණ්ඩාරනායක නැවත අගවිනිසුරු ධුරයේ පිහිට වූ අවස්ථාවය. විපක්ෂය මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලා සිටි අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මොන කතා කීවත් රනිල් වික‍්‍රමසිංහ එහි දී හැසිරුණේ අතිශය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආකාරයටය. විවාදයක් ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම, ඒ සඳහා පැයක් ප‍්‍රමාණවත් යැයි කීම මෙන්ම ”තමුන්නාන්සේලාගේ නායකයා අපේ ජනාධිපති. වැඩිය කෑ ගැහුවොත් ජනාධිපතිතුමාට කියලා ටොකු අන්නනවා” ”වාඩි වෙනවා අයිසෙ, විවාදයක් දෙන්නෙ නෑ” ආදී තර්ජනාත්මක දේ පැවසීම විසින් ප‍්‍රදර්ශනය කළේ තවත් ඒකාධිපතියකු මතුවීමේ අනතුරයි. ඒකාධිපති ලක්ෂණ සහිත පාලනයක් ගෙනගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී පවා විපක්ෂයෙන් විවාදයක් ඉල්ලා සිටිවිට එය ප‍්‍රතික්ෂේප කරන තත්වයක් තිබුණේ නැත. කෙසේවෙතත් අවසානයේ දී කථා නායකවරයා මැදිහත් වී පෙබරවාරි 2 වැනිදා විවාදයට ලබා දී තිබිණි. දෙවැනිදා පාර්ලිමේන්තුව රැුස්වීම හතර වැනිදා නිදහස් සමරුවට බාධාවක් බවට තර්ක ගොඩනඟමින් එය ද ව්‍යර්ථ කිරීමට එජාප මන්ත‍්‍රීවරුන් උත්සාහ කරනු දක්නට ලැබිණි. කෙසේවෙතත් මෙම සිදුවීම හරහා එතෙක් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර වැනෙමින්, ව්‍යාකූලව සිටි ශ‍්‍රීලනිපය යම් ආකාරයක වෙනත් භූමිකාවකට පිවිසෙනු දැකිය හැකි විය.
දෙවැනි සිදුවීම එන්නේ නීතිය හා සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංගට විශ්වාසභංගයක් ගෙන ඒමේ උත්සාහයකි. ඇමැතිවරයා සිය බලය අයුතු ලෙස භාවිත කළ බව කියමින් විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කරන අතර එය විපක්ෂයේ වාඩි වී සිටින සියලූ පක්ෂ, කණ්ඩායම් හා පුද්ගලයන් සියලූ දෙනා විපක්ෂයක් ලෙස තනි ඒකමිතියකට ගෙන ඒමේ උත්සාහයකි. තමන් බලයේ සිටිය දී බලය උපරිමයෙන් අයුතු ලෙස භාවිත කළ ඇමැතිවරු, දැන් ඒ පිළිබඳව අනෙක් අයට චෝදනා කරමින් සුදනන් වීමට තැත් කිරීම විහිළුවක් වුවත් මෙවැනි සාකච්ඡුාවක් ශක්තිමත් වීම සමාජයට වාසිදායක යැයි ඇතැම් අය තර්ක කරයි. කෙසේවෙතත් ආණ්ඩුව මෙන්ම විපක්ෂයත් හැසිරෙන ආකාරය දෙස බලන විට පෙනී යන්නේ ඉතා නුදුරේදීම පැමිණීමට නියමිත මහ මැතිවරණයක් ඉලක්ක කරගෙන බල පොරයක් දියත් වී ඇති බවය. මේ බල පොරය තුළ ආණ්ඩුව සහාය දීමට පෙලඹීම ද විපක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අරගලවලට පිවිසීම ද ජනතාවට තාවකාලිකව යහපත් තත්වයක් උදාකරවනු ඇත. එහෙත් අපායේ ඉන්ටවල් ඉතා ඉක්මනින් නිමාවට පත්වන අතර ඉන් අනතුරුව ආර්ථිකය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය ආදී සියලූ ක්ෂේත‍්‍රවල අයිතීන් රැුකගැනීම සඳහා කළ යුතුව ඇත්තේ ජනතාව, පහළ පන්තීන් සංවිධානය වීම, දේශපාලන වශයෙන් සක‍්‍රීය වීම හා සටන් කිරීමයි. තාවකාලිකව ලැබෙන සහන නිසා ආණ්ඩුවට හුරේ දැමීම, විපක්ෂය ජනතා අයිතීන් ගැන කෑ ගසනු දැක අතීත භාවිතය අමතක කර ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ පාර්ලිමේන්තු විපක්ෂයට හුරේ දැමීම වෙනුවට ජනතාව කළ යුත්තේ පාර්ලිමේන්තුවට පිටතින් සැබෑ ජනතා විපක්ෂයක් ගොඩනැඟීමයි. ඒ සඳහා දැනටමත් සංවිධානය වී සිටින කම්කරු, ගොවි, ධීවර, ශිෂ්‍ය බලවේගයන් පෙරට පැමිණිය යුතු අතර තවමත් අසංවිධානාත්මකව, විසිරී සිටින බලවේගයන් සංවිධානය විය යුතුය.

Advertisements