බයියාගේ අයවැය සහ සරදියෙල් අයවැය

ජනවාරි 29 වැනිදා මුදල් ඇමැතිවරයා වන රවි කරුණානායක අතුරු අයවැය ලෙස මාධ්‍ය මඟින් හඳුන්වනු ලැබූ ‘මුදල් අමාත්‍යතුමාගේ ප‍්‍රකාශය’ ලෙස නිල වශයෙන් හඳුන්වනු ලැබූ අයවැය ලේඛනයක් ඉදිරිපත් කළේය. එම අයවැය ලේඛනය එක්සත් ජාතික පක්ෂය විසින් හඳුන්වනු ලැබුවේ ‘සරදියෙල් අයවැය’ ලෙසිනි. මීට මාස තුනකට පෙර ඔක්තෝබර් 27 වැනිදා අයවැය කතාව ඉදිරිපත් කළ පසුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විමසුවේ ”කොහොමද බයියාගේ අයවැය” කියාය. බයියාගේ අයවැයත් සරදියෙල්ගේ අයවැයත් යන දෙකම ගැන යමක් කතා කළ යුතුය. බයියාගේ අයවැය වැඩිවශයෙන් සහන සැලසුවේ මැද පන්තියටය. මෙවර ඉදිරිපත් කළ සරදියෙල් අයවැය ද අවධානය යොමු කළේ ඒ පන්තියටය. ඒ අයවැය ලේඛන දෙකම මැතිවරණ ඉලක්ක කරගෙන ජනතාවට සහන යෝජනා කළ ඒවාය. බයියාගේ අයවැය ජනාධිපතිවරණය ඉලක්ක කළ අතර සරදියෙල් අයවැය ඉලක්ක කරන්නේ නුදුරේදීම පැමිණීමට නියමිත මහ මැතිවරණයයි.
මෙවර ඉදිරිපත් වූ අයවැය ලේඛනය දෙස බැලූ බැල්මට බලන විට පෙනී යන්නේ එය පොහොසතුන්ගෙන් මුදල් ලබාගෙන දුප්පතුන්ට මුදල් ලබාදෙන අයවැයක් බවය. සීනි, කිරිපිටි, සස්ටජන්, තිරිඟු පිටි, පාන්, මුං ඇට, හාල්මැස්සන්, ටින්මාළු, කොත්තමල්ලි, උඳු, උම්බලකඩ, කහ, මිරිස්කුඩු යන ආහාර ද්‍රව්‍යවල බදු අඩුකිරීම හරහා එහි මිල අඩුකර ඇති අතර ගෘහස්ත ගෑස් මිල ද සිලින්ඩරයක් රුපියල් 300 කින් අඩුකර ඇත. වර්ග අඩි 5000 කට වඩා විශාල නිවෙස්වලින් මන්දිර බද්දක්, රුපියල් මිලියන 2000 කට අධික ලාභ උපයන සමාගම්වලින්
25% ක සුපිරිවාසි බද්දක් ආදී වශයෙන් ඉහළ වත්කමක් සහිත අයගෙන් බදු අයකිරීමට යෝජනා කර ඇත. මෙය පොහොසතුන්ගෙන් උදුරාගෙන දුප්පතුන්ට ලබාදෙන සරදියෙල් පන්නයේ අයවැයක් ලෙස හඳුන්වන්නේ මේ බැලූ බැල්ම මත පදනම් වෙමිනි. නමුත් ගැඹුරෙන් විමසා බලන විට බැලූ බැල්මට හසු නොවන ප‍්‍රශ්න ගණනාවක් පෙනෙන්නට පටන් ගනී. මෙය මැතිවරණය ඉලක්ක කරගත් අයවැයකි. 2014 ඔක්තෝබරයේ දී මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළේ ද එවැනි අයවැයකි. එය ද විශාල සහන ප‍්‍රමාණයක් ලබාදුන්නේය. මේ සහන ගැන සතුටුවීම එක් දෙයකි. එහෙත් එම සතුට කෙතරම් කල් පවතින්නේද යන්න ද එය සැබෑ සහනයක් යන්න ද අවධානයට යොමු කළ යුතුය.
මේ මිල අඩුකිරීම් නිසා ජනතාවගේ ආහාර වේලේ වියදම දැනෙන ප‍්‍රමාණයකින් අඩු නොවේ. ලංකාවේ ජනතාවගේ ආහාර වේලේ අත්‍යවශ්‍ය කොටස් වන සහල්, එළවළු, පොල්, පරිප්පු, අල, ලූනු මිල තවමත් පෙර පරිදිමය. හාල්මැස්සන් මිල අඩු වී ඇත්තේ කිලෝග‍්‍රෑමයකට රුපියල් 15 කින් පමණි. සාමාන්‍යයෙන් නිවෙස්වලට හාල්මැස්සන් මිල දී ගනුයේ ග‍්‍රෑම් 100, 200, 250 ලෙසිනි. එවිට රුපියල් තුන හතරකට වඩා සහනයක් ලැබී නැත. කොත්තමල්ලි, කහ, මිරිස්කුඩු ආදිය භාවිත වන්නේ සුළු වශයෙනි. මෙය මහා සහනයක් ලෙස හුවා දැක්වුව ද මේ ‘සහනය’ නිසා ආහාර වේලක මිල අඩු වී ඇත්තේ කොපමණකින්ද? බස් ගාස්තුව නම් සාමාන්‍ය කෙටි දුර ගමන් බිමන් සඳහා රුපියලකින්, දෙකකින් අඩු වී ඇත. මෙය මගියාගේ අයවැයෙන් යෝගට් මිල අඩුකර මහා සහන දුන්නා යැයි කියූ කතාවට වඩා වෙනස් වන්නේ යන්තමිනි.
එයින් අදහස් වන්නේ කවර ආකාරයක හෝ සහනයක් ලැබී නැති බව නොවේ. අයවැය මඟින් එක්තරා ආකාරයක සහන ලැබී ඇත. එය සරදියෙල් අයවැයට මෙන්ම බයියාගේ අයවැයට ද අදාළව කිව හැකි පොදු කරුණකි. නමුත් ප‍්‍රශ්නය වන්නේ එකී සහන දිගුකාලීන කරගන්නා ආකාරයයි. මේ අයවැය දෙකම ඉදිරිපත් වූයේ මැතිවරණ මුවවිටේය. මැතිවරණ යනු පාලකයන් ජනතාව ගැන වැඩිපුර සිතන, ජනතාව ගැන බිය වන කාලයකි. ඒ බය පවතින කාලයට මෙලෙස සහන ලබාගත හැක. එහෙත් පාලකයන් ශක්තිමත් වන කාලයට ඒ සහන යළි උදුරා ගැනෙයි. පැවැති සහන හා ලබාගත් ජයග‍්‍රහණ පවා යළි උදුරා ගැනෙයි. රනිල් වික‍්‍රමසිංහගේ හා රවි කරුණානායකගේ සරදියෙල් ප‍්‍රතිපත්තිය ගැන හොඳින් දැකගත හැකි වනුයේ මහ මැතිවරණයක් ආසන්නයේ, ඔවුන් ජනමතයට බිය වී සිටින අවස්ථාවේ දී නොවේ. එය හොඳින් දැකගත හැකි වනුයේ මහ මැතිවරණයකින් බලය තහවුරු කරගෙන වසර 5 ක පමණ කාලයකට ස්ථාවර වී ශක්තිමත් වූ පසුවය. ජනතාව අවධානය යොමු කළ යුත්තේ මෙවැනි ‘පාලකයන් බිය වී සිටින’ කාලවල දී ලැබෙන සහන ගැන නොව ‘පාලකයන් ශක්තිමත් වූ පසු’ ඒ සහන රැුකගන්නා ආකාරය ගැනය. ඒ සඳහා එකම විකල්පය වන්නේ ජනතාව සංවිධානය වීම හා අරගල කිරීම හරහා ශක්තිමත් ජන බලයක් ගොඩනැඟීමයි.
මේ බදු සහන දුප්පත් ජනතාවට හා මැද පාන්තිකයන්ට හැමදාම ලැබෙන්නේ නැත. මේ මහ මැතිවරණය ඉලක්ක කරගත් ඇස්බැන්දුමකි. සහන දිගුකාලීන වීමට නම් ආර්ථිකයේ උපායමාර්ගික
වෙනසක් අත්‍යවශ්‍ය වේ. එවැනි උපායමාර්ගික වෙනසක් මේ ආණ්ඩුවට නැති අතර මෙය ද ගමන් කරන්නේ මහින්ද රාජපක්ෂ ගමන් කළ, ඊට පෙර ජේ.ආර්., පේ‍්‍රමදාස, චන්ද්‍රිකා, රනිල් ගමන් කළ මාර්ගයේමය. එය වටහාගත හැක්කේ ජනවාරි 29 වැනිදා පාර්ලිමේන්තුවේ දී රවි කරුණානායක කළ කතාවෙන් නොවේ. එය මැනවින් වැටහෙන්නේ එදින රනිල් වික‍්‍රමසිංහ හා එරාන් වික‍්‍රමරත්න කළ කතාවලිනි. රනිල් සිය ආර්ථික ප‍්‍රතිපත්තිය හකුළුවා දක්වමින් කීවේ ‘ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ජනතාව කැපකිරීම් කළ යුතු’ බවය. පටි තද කරගන්නට කියන්නේ, කැපකිරීම් කරන්නට කියන්නේ පහළ පාන්තික ජනතාවටය. හැමදාමත් ගායනා කළ මේ බයිලාව පාර්ලිමේන්තුවේ දී රනිල්ගෙන් නැවත ඇසීම අපට පසක් කරවන්නේ මේ නවලිබරල් ප‍්‍රතිපත්තියට බවය. එරාන් වික‍්‍රමරත්න කීවේ ලංකාව ‘ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයේ’ ඉහළට ගෙන ආ යුතු බවය. එනම් බහුජාතික ප‍්‍රාග්ධනයට ලංකාවේ ආර්ථිකය වැඩි වැඩියෙන් විවෘත කළ යුතු බවය. එය නවලිබරල් ප‍්‍රතිපත්තියයි. මහින්ද රාජපක්ෂ ගෙන ගිය ප‍්‍රතිපත්තියයි. ඒ ප‍්‍රතිපත්තියේ මූලික පදනම වන්නේ සමාජමය සුභසාධන උදුරා ගැනීමයි. ඉහළට වැඩිපුර ගොඩගැසීම සඳහා පහළ වැඩිපුර සූරාකෑමයි. එනිසා මේ සහන ඉතාම තාවකාලිකය. දිගුකාලීන නැත. මේවා රැුකගැනීම වෙනුවෙන් අරගල බිම ශක්තිමත් කළ යුතු බව නැවතත් ලියා තැබිය යුතුය.
අනෙක් අතට මෙය ‘අතුරු අයවැය’ ලෙස නම් කළ ද සැබැවින්ම මෙය අයවැය ලේඛනයක් නොවේ. එය මුදල් ඇමැතිවරයා භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීම හා වැටුප් වැඩි කිරීම ගැන කරන ලද ප‍්‍රකාශයක් පමණි. සාමාන්‍යයෙන් මුලින් පාර්ලිමේන්තුවට විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කෙරෙන අතර ඉන් අනතුරුව අයවැය කතාව හා අමාත්‍යාංශ අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කෙරේ. මෙවර සිදු වූයේ එහි අනෙක් පැත්තයි. ජනවාරි 29 වැනිදා අයවැය කතාව ඉදිරිපත් කරන ලදී. විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන සංශෝධනය හෝ අයවැය ඇස්තමේන්තු තවමත් ඉදිරිපත් කර නොමැත. එම තොරතුරු නැතිව ආර්ථිකය ගමන් ගන්නා මාර්ගය වටහාගත නොහැක. සිදු වී ඇත්තේ සතා වලිගය එළියට දැමීම පමණි. වලිගයෙන් හඳුනා ගත හැක්කේ මේ සතා නවලිබරල් සතකු බව පමණි. සතාගේ සැබෑ මුහුණුවර දැකගැනීමට නම් හිස එළියට දැමිය යුතුය. අයවැය ගැන පුළුල් විශ්ලේෂණයක් කළ හැක්කේ සතාගේ ඔලූව හෙවත් විසර්ජන පනත් කෙටුම්පතේ සංශෝධනය හා අයවැය ඇස්තමේන්තු එළියට දැමූ පසුය.
මේ සහන දිගුකාලීන වීමට නම් සංදර්ශනාත්මක ලෙස ආහාර ද්‍රව්‍ය කිහිපයක හා ඉන්ධනවල බදු අඩු කිරීම ප‍්‍රමාණවත් නැත. ප‍්‍රශ්නය ඇත්තේ රාජ්‍ය ආදායම් හා වියදම් පිළිබඳ සමස්ත ප‍්‍රතිපත්තියේමය. වඩාත් පුළුල් ලෙස ගත් කළ ආර්ථික ප‍්‍රතිපත්තියේමය. පසුගිය වසර අගදී නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව 2015 දී රජයේ ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 1594 කි. එයින් බදු නොවන ආදායම් ඇත්තේ බිලියන 194 ක් පමණි. බිලියන 1400 ක් හෙවත් 88% ක්ම බදු ආදායම්ය. නවලිබරල් ප‍්‍රතිපත්තිය යටතේ රජයේ නඩත්තුව මුළුමනින්ම ජනතාව මත පටවා රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලිකකරණය කිරීම හරහා රජයේ වෙනත් ආදායම් අහිමි කර ඇත. එකී බදු ආදායමින් ද ඉහළ ආදායම් ලබන්නන් මත බදු බිලියන 317 ක් වන අතර සමස්ත බදු ආදායමෙන් 75% කටත් වඩා, එනම් බිලියන 1073 ක්ම තීරු බදු, භාණ්ඩ හා සේවා මත පනවන බදු ආදී සාමාන්‍ය ජනතාවගේ කරපිට පටවන බදු බරය. වෙනස් කළ යුත්තේ මේ ප‍්‍රතිපත්තියයි. එමෙන්ම වියදම් කිරීමේ දී ඇති ප‍්‍රමුඛතාවයි. දැන් තිබෙන තත්වයට අනුව ජනතාවගෙන් එකතු කරන බදු මුදලින් අඩක්ම වෙන්කරන්නේ මර්දනයට හා ඇන්දිල්ලටය. නව ආණ්ඩුව මේ ප‍්‍රතිපත්තිය වෙනස් කරන්නේ නම් විසර්ජන පනත් කෙටුම්පත හා අමාත්‍යාංශ ඇස්තමේන්තු හරහා එය ජනතාවට විවෘත කළ යුතුය. එසේ නොමැතිව ඒ සියල්ල හංගා බඩු මිල අඩුකරන සංදර්ශන පැවැත්වීමෙන් සිදුවන වෙනසක් නැත. මෙවර බදු අඩුකිරීම් ගැන කියන විට ඇතැම් ඒවායේ දී ඒ සඳහා යන අමතර වියදමවත් මුදල් ඇමැතිවරයා ප‍්‍රකාශ කළේ නැත. ඒ වියදම හොයන ආදායම් මාර්ග ගැන කීවේ ද නැත. වංචා දූෂණවලින් පමණක් මේ වියදම් පියවිය නොහැක. මන්දයත් දූෂිත මුදල් යළි අය කරගැනීම හා නාස්තිය වැළැක්වීම එක්වරකින් අවසන් වන අතර මේ වියදම් අඛණ්ඩ ප‍්‍රවාහයක් වන බැවිනි.
එබැවින් මේ සංදර්ශනවලට අප රැුවටිය යුතු නැත. සරදියල්ගේ නම භාවිත කළාට රැුවටිය යුතු නැත. සරදියෙල් මාදිලියෙන් දුප්පත්කම තුරන් කළ නොහැකි අතර මේ ආණ්ඩුවලට අඩුම ගානේ සරදියෙල් අනුගමනය කිරීමවත් කළ නොහැක. මේ කරන්නේ සමාජ විරෝධී, අසාධාරණ ආර්ථික ප‍්‍රතිපත්තියක් වසන් කිරීම සඳහා බොරු සංදර්ශන පැවැත්වීම පමණි. එයින් සිදුවන්නේ සමාජය තව තවත් වළේ වැටීම පමණි.

මනෝජ් ප‍්‍රසන්න

Advertisements