යෝජිත ඖෂධ ප‍්‍රතිපත්තිය හරියන බෙහෙතක්ද?

dm950ජනාධිපතිවරණයකින් පසු ජනපතිවරයාද, ආණ්ඩුවද මාරු වී ඇත. සුළුතර ආණ්ඩුවෙන් ඉටු කිරීමට දින සියයක් තුළ යොදාගත් වැඩ කටයුතු අතරට ජනතාවාදී ඖෂධ ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමද ඇතුළත්ය. එය එළඹෙන පෙබරවාරි 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිතය. එම ඖෂධ පනත කවරාකාරදැයි ප‍්‍රසිද්ධ නැතත් නීතිගත කරන ලද ජනතාවාදී ඖෂධ ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව පිළිබඳ අපගේ අදහස් සමාජගත කිරීම අවශ්‍ය වනු ඇත. එපමණක් නොව, එය ජනතාවාදී ඖෂධ ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව වෙනුවෙන් අරගල කළ ඉතිහාසයක් සහිත අප සංගමයට පැවරෙන වගකීමක් වේ.
පළමුවෙන්ම  ඖෂධ ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ ඇයිද යන්න නිරවුල් කරගතයුතුව ඇත. ඉන්පසුව ඖෂධ පනතකින් අපේක්ෂිත අරමුණු කවරේද යන්නත් යෝජිත ප‍්‍රතිපත්තිය එම අවශ්‍යතා සපුරාලන්නේද සොයාබැලිය යුතුව තිබේ. එම කරුණුවලට අමතරව නිතරම කියැවෙන මහාචාර්ය සේනක බිබිලේගේ කාර්යභාරය සහ එහි අද දවසේ වැදගත්කම ගැනත් යනාදී කරුණු සටහන් කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

ඖෂධ ප‍්‍රතිපත්තිය කුමක් සඳහාද?
නවලිබරල් ආර්ථිකය තුළ අඩු සේවක වැටුප් ගෙවා අඩු පිරිවැයකින් භාණ්ඩ නිපදවීමක් එහි ඇති තත්වය අතිශයෝක්තියෙන් මවා පෙන්වන වෙළෙඳ දැන්වීම් හා ප‍්‍රචාරණය හරහා පාරිභෝගිකයන් රවටා ඉතා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීමත් පවතින යථාර්ථයයි. එහිදී අධික ලාභයෙන් සොච්චමක් වැය කර සමාජ සුභසාධන කටයුතු ඉටු කිරීමත් විවිධ තරග පවත්වා සුළු ත්‍යාග කිහිපයක් පිරිනැමීමත් ඊට එකතු වී ඇත. එ් සියල්ල තමන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට
යොදාගන්නා උපක‍්‍රම වේ. ඖෂධ පිළිබඳ සැලකූ විට ඍජු ප‍්‍රචාරණ නීති විරෝධී බැවින් ඊට අදාළව පවත්වාගෙන යන්නේ අනියම් ප‍්‍රචාරණයයි. එහිදී සේවාලාභී පාරිභෝගිකයන් වෙනුවට සේවා සපයන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඔවුන්ගේ ඉලක්කයයි. බහුජාතික ඖෂධ සමාගම් මෙන්ම   නියෝජිත සමාගම් ද වෛද්‍යවරුන් හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම වෙළෙඳාමේ අනියම් නියෝජිතයන් ලෙස පවත්වාගෙන යමින් අධික මිලට ඖෂධ අලෙවි කරමින් සිටී. මේ සඳහා වෛද්‍යවරුන්ට හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලැබෙන්නේ විවිධ තුටු ප`ඩුරු හා සෞඛ්‍යය වැඩමුළු සඳහා අනුග‍්‍රහය ලබා දීමත්ය. එ් හරහා අනියම් ඥාතීත්වයකින් සමාගම්වලට බැඳෙන ඇතැම් වෛද්‍යවරුන් හා අනෙක් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් එකී සමාගම්වල මිල අධික ඖෂධ හා අනෙකුත් සෞඛ්‍යමය මෙවලම් ප‍්‍රවර්ධනය කිරීමේ නියැළී සිටිති.
සමාගමකින් ලැබෙන පුංචි අල්ලසක් පදනම් කරගෙන එම සමාගමේ වැඩි මිල ඖෂධ
රෝගියාට නියම කිරීම වංචනික ක‍්‍රියාවක් බව පුනපුනා කිව යුත්තක් නොවේ. වර්තමානයේ ඖෂධ සමාගම් ඉහත කී සීමාවෙන් ඔබ්බට ගොස් කල් ඉකුත් වූ ඖෂධ මෙරටට ගෙනැවිත් ලේබල් වෙනස් කර අලෙවි කිරීමත්, බාල ඖෂධ අල්ලස් මඟින් යටත් කරගත් නිලධාරීන් හරහා වෙළෙඳපොළට හා රජයේ රෝහල්වලට යොමු කිරීමත්, ඇතැම් ඖෂධ වර්ග
”ආහාර අතිරේක සැපයුම්” ලෙස ලේබල් කර ඉතා වැඩි මිලට අලෙවි කිරීමටත්, බෝ නොවන රෝගවලින් ආරක්ෂා කිරීම නිවැරදි සෞඛ්‍ය පුරුදු ප‍්‍රචලිත කිරීම වෙනුවට ව්‍යාජ ඖෂධ වර්ග හඳුන්වා දීමත් ආදී අංග කීපයක් හරහා රෝගීවන අසරණ ජනයා සූරාකෑමට අතපොවා ඇත. ඖෂධ ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ මෙකී විවිධාකාර ලාභ ලබන ක‍්‍රියාවලිය පාලනය කිරීමට මෙන්ම බහුජාතික ඖෂධ සමාගම් සතුව ඇති එ්කාධිකාරය බිඳ දමා ඖෂධ ගෙන්වීමට, බෙදා හැරීමට, අලෙවි කිරීමට හා නිෂ්පාදනයට රාජ්‍ය අංශය මැදිහත්කර ගැනීම සඳහාය. මෙම තත්වය කල්තියාම දුටු නැසීගිය මහාචාර්ය සේනක බිබිලේ වෛද්‍ය එස්. එ්. වික‍්‍රමසිංහ හා එකතුව සැකසූ ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නොනැඟී සැඟව ගියේ එවකට පැවැති සමගි පෙරමුණු ආණ්ඩුව බහු ජාතික ඖෂධ සමාගම්වල ග‍්‍රහණයට නතුවීම නිසාය.

බිබිලේ ප‍්‍රතිපත්තිය අදට ගැළපේද?
අදවන විට මහාචාර්ය බිබිලේ ජීවත්වූ සමයටත් වඩා සමාගම්වල සූරාකෑම් විවිධ මානයන්ගෙන් තීව‍්‍ර වී ඇති නිසා බිබිලේ ප‍්‍රතිපත්තියට වඩා තද නීති රීති සහිත ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වී ඇත.
එහෙත් ඖෂධ පනත් තනන්නන්ගේ ප‍්‍රවේශය වී ඇත්තේ වෙනත් දෙයකි. බිබිලේ ප‍්‍රතිපත්තියට බොහෝ ඖෂධ සමාගම් අකමැති නිසාත්, නව ලෝක ආර්ථික රටාව තුළ බිබිලේ ප‍්‍රතිපත්තිය යථාර්ථයක් කර ගැනීම දුෂ්කර නිසාත් බිබිලේ පිළිවෙත එලෙසින්ම පිළිගන්නට ඔවුන් සූදානම් නැත. ඒ නිසා ඔවුන් නිතරම කැමතිවන්නේ බිබිලේ ප‍්‍රතිපත්තියට වඩා ලිහිල් ඖෂධ සමාගම් ද සතුටු වන ප‍්‍රතිපත්තියක් සකස් කිරීමටයි. එම නිසාම යෝජිත ප‍්‍රතිපත්තියේ පාලන කමිටුවලට ඖෂධ සමාගම්වල නියෝජිතයන් ද ඇතුළත් කිරීමට එකී මහත්වරුන් ‘නිහතමානී’ වී ඇත. පැහැදිලිවම කිව යුත්තේ රටට අවශ්‍ය වන්නේ ප‍්‍රතිපත්තියක් නැති තැන රිසි පරිදි අපිළිවෙළට සිදුකෙරෙන සූරාකෑම වෙනුවට සූරාකෑම පිළිවෙළකට කරගෙන යා හැකි ප‍්‍රතිපත්තියක් නොව සූරාකෑම නතර කළ හැකි ප‍්‍රතිපත්තියකි. එ් අර්ථයෙන් ගත්විට දින සියයේ ආණ්ඩුවේ යෝජිත ඖෂධ ප‍්‍රතිපත්තිය, බිබිලේ ප‍්‍රතිපත්තියේ අහලකින්වත් තැබිය නොහැක්කක් බව කිව යුතුය.
කෙසේවෙතත් යෝජිත ප‍්‍රතිපත්තිය තවමත් නිල වශයෙන් ඉදිරිපත් කර නැති නිසා රටට ගැළපෙන, බහුජාතික සමාගම්වල
අසීමිත සූරාකෑමට වැටබඳින ප‍්‍රතිපත්තියක් සැකසීමට කවරෙකුට හෝ අවශ්‍ය නම් එහිදී අත්‍යවශයෙන්ම ඉලක්ක විය යුතු කරුණු කීපයක් ජනතාව හමුවේ තැබීම අපගේ වගකීම බව කල්පනා කළෙමු. එකී අංග මේ සමඟ ඇති සටහනෙහි සඳහන් කෙරේ.
මෙහි අප දක්වා ඇත්තේ ඖෂධ ප‍්‍රතිපත්තියක් නෛතික වශයෙන් ස්ථාපනය කිරීමේදී සලකා බැලීමට අත්‍යවශ්‍ය කරුණු කිහිපයකි. එ්වා පිළිබඳ උනන්දුවක් නොදක්වා ඉදිරිපත් කරන ඖෂධ ප‍්‍රතිපත්තයක් පුස් ලියවිල්ලක් බවට පත් වනු ඇත. නැතහොත් සූරාකෑමට නීතිමය ආවරණයක් ලබාදෙන ප‍්‍රතිපත්තියක් වනු ඇත. එසේ නොවී පොදුජන අයිතිය (රෝගී අයිතිය) සුරකින ඖෂධ ප‍්‍රතිපත්තියක් ස්ථාපිත කර ගැනීම අප කාගේත් බලාපොරොත්තුවයි.
Depoproveraඅවසන් වශයෙන් කිවයුතු තවත් කරුණක් ඇත. විධිමත් ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් නොමැතිව ජනතාවාදී ඖෂධ ප‍්‍රතිපත්තියක් තහවුරු කරගත නොහැකිය. රට හා ජනතාව
නඟාසිටුවන විධිමත් යාන්ත‍්‍රණයක් ස්ථාපිත නොකර හුදෙකලා සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් පවත්වා ගැනීමද කළ නොහැකිය. එය කළ හැකි වන්නේ රටේ සමස්තය හසුරුවන ක‍්‍රියාවලිය වෙනස් කරන ක‍්‍රම වෙනසකින් පසුව පමණි.

වෛද්‍ය ගිෂාන්ත දසනායක (සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය)

ඖෂධ ප‍්‍රතිපත්තියකට අත්‍යවශ්‍ය ඉලක්ක

01.ඖෂධ සඳහා ඖෂධීය නාමය පමණක් භාවිත කිරීම.
එ් අනුව ඖෂධ ආනයනයද, හඳුන්වාදීම ද, වෙළෙඳාම ද කළ හැකි වන්නේ ඖෂධීය නාමයෙන් පමණි. එසේ නොමැතිව විවිධ වෙළෙඳ නාමවලින් එකම ඖෂධය වෙළෙඳ පොළේ තිබියදී ඖෂධීය නාමයෙන්ම ඖෂධ නිර්දේශ කළ යුතු යැයි වෛද්‍යවරුන්ට කොන්දේසි දැමීම විහිළුවකි.

02.ප‍්‍රමිති පරීක්ෂණයකින් තොරව ඖෂධ ලියාපදිංචි නොකිරීම.
ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වන සියලූ ඖෂධ ජාතික ඖෂධ තත්ව පාලන අධිකාරියේ ඇති රසායනාගාරයෙන් හෝ විධිමත් ලෙස හඳුනාගත් ජාත්‍යන්තර රසායනාගාරයක පරීක්ෂා කර ප‍්‍රමිතිය තහවුරු කර ගන්නා තෙක් අනුමැතිය ලබා නොදිය යුතුය.

03.නියමින් හා අනියමින් කෙරෙන ඖෂධ ප‍්‍රචාරණය තහනම් කිරීම.
රෝග හඳුනා ගැනීමත් එ්වාට ගැළපෙන ඖෂධ තෝරා ගැනීමටත් ශ‍්‍රී ලාංක්ය වෛද්‍යවරුන් සමත් නිසා ඖෂධ පිළිබඳ කිසිදු ආකාරයක ප‍්‍රචාරණයක් අවශ්‍ය නොවේ. එම නිසා ඖෂධ පිළිබඳ ප‍්‍රචාරණය (ඍජු හෝ වක‍්‍ර) දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීම.

04. එක් ඖෂධීය නාමයකට අදාළව භාවිත කළ හැකි ඖෂධ සංඛ්‍යාව සීමා කිරීම.
උදාහරණයක් ලෙස පැරසිටමෝල් නම් ඖෂධය වෙළෙඳ පොළට සැපයිය හැකි උපරිම සමාගම් ගණන 05 ක් විය යුතුය. එම තෝරා ගන්නා 05 ඉහළම ගුණාත්මකභාවය සැපිරූ අඩුම මිලට ලබාගත හැකි එ්වා විය යුතුය. එක් එක් ඖෂධයට අදාළ අනුමත ලැයිස්තුව වාර්ෂිකව වෙනස් කළ යුතුය.
දැනට විවිධ වෙළෙඳ නාමයන්ගෙන් පැරසිටමෝල් වර්ග 39ක් වෙළෙඳ පොළේ ඇත.

05.ඖෂධ ආනයනය සඳහා රාජ්‍ය ආයතනවල ඍජු මැදිහත් වීම.
රජයේ රෝහල්වලට අවශ්‍ය සියලූම ඖෂධ ආනයන කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් පමණි. වෙළෙඳ පොළට නිකුත්කරන ඖෂධ ආනයනය සඳහාද ක‍්‍රමානුකූලව රජය මැදිහත්වීමක් කළ යුතුය.

06.ඖෂධ නිෂ්පාදනය රට තුළම සිදු කිරීම.
දැනට අගාධයට යමින් තිබෙන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තුළ ඖෂධ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම හා එහි වෙළෙඳපොළ පංගුව වැඩි කිරීම කළ යුතුය.

07.ඖෂධ මිල පාලනයට විධිමත් යාන්ත‍්‍රණයක් සැකසීම.
සෑම ඖෂධයකම ආනයනික වියදම, ප‍්‍රවාහන වියදම, ගබඩා කිරීමේ වියදම හා අලෙවියේදී ගත හැකි ලාභ ප‍්‍රතිශතය ආදී සියල්ල සලකා විනිවිද පෙනෙන මිල පාලන යාන්ත‍්‍රණයක් ඇති කිරීම.
එමඟින් ඖෂධයක මිල තීරණය කිරීම අදාළ සමාගම සතු කාර්යයක් නොව රජය මඟින් පත් කළ බලධාරියකුගේ කාර්යයක් බවට පත් කිරීම.

08.ඖෂධ සමාගම්වල අනුග‍්‍රහය ලබාගෙන ප‍්‍රිය සම්භාෂණ, සෞඛ්‍ය වැඩමුළු හෝ වෙනත් එවැනි කටයුතු සිදු කිරීම නීත්‍යනුකූලව තහනම් කිරීම.

09.ඖෂධ පිළිබඳ ව්‍යාජ තොරතුරු සපයන සමාගම්, කල් ඉකුත් වූ හා තත්වයෙන් බාල ඖෂධ සපයන සමාගම් හා වංචනික ලෙස ඖෂධ වෙළෙඳාම සිදුකරන සමාගම් තහනම් කිරීම හා ඔවුන්ගෙන් දඩ අය කිරීම.

10.ඖෂධ ප‍්‍රතිපත්තිය සකස් කරන්නන්, එහි කාලීන වෙනස්කම් සිදු කරන්නන්, නම් වශයෙන් හෙළිදරව් කිරීම හා ඖෂධ හා බැඳෙන සමාගම් පිළිබඳ තොරතුරු හා මිල  පාලන ක‍්‍රමය පිළිබඳ තොරතුරු දැන ගැනීමට මහජනයාට ඇති අයිතිය මූලික  අයිතියක් ලෙස පිළිගැනීම.

(සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප‍්‍රකාශනයකින්)

Advertisements