වී.වේල්නායගම් – අතුරුදන් වූ තවත් මිනිසෙක්

DSC_9549රාජපක්ෂ ආණ්ඩුව සමයේ අතුරුදන් වුණු හා මරා දැමුණු පිරිස් පිළිබඳව යුක්තිය ඉල්ලා ඔවුන්ගේ ඥාතීන්, විවිධ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන බොහොමයක් හ`ඩ අවදිකර ඇති මොහොතක එසේ අතුරුදන් වී ඇති පිරිස් හා ඔවුන්ගේ ඥාතීන්ගේ තොරතුරු සමාජගත කිරීමට අපි උත්සාහ කරමින් සිටිනවා. ඒ සඳහා අපි සමාජයේ අස්සක් මුල්ලක් නෑර සැරිසරමින් සිටිනවා. අතුරුදන් වූ සිය පියාට යුක්තිය ඉල්ලා මහ පාරේ සටන් වදින දියණියක් අපට හමුවෙන්නේ මේ අතර. ඇයගේ නම විමෝෂණී. විමෝෂණී දමිළ යුවතියක්. එහෙත් ඇය හොඳින් සිංහල භාෂාවත් කතා කරනවා. මේ භාෂා හැකියාව ඇගේ කතාව ඔබට ගෙනෙන්නට අපිට පහසුවක් වුණා. මා පෙර කියූ පරිදිම අපිට විමෝෂණී මුණ ගැසුණේ මහ පාරෙදි. කොළඹ කොටුවේ පැවැති සත්‍යග‍්‍රහයක දී. තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා පසු අවස්ථාවක අපි ඇගේ මවත් සම්බන්ධ කරගත්තා.

ඇගේ පියා රැුකියාව කර ඇත්තේ යුද හමුදාවේ කොළඹ මූලස්ථාන කඳවුරේ. ඔහුගේ නම වී. වේල්නායගම්. තනතුරින් භාෂා පරිවර්තකවරයෙක්. 2006 5 වැනි මාසේ 2 වැනිදා සිට ඔහු ආගිය අතක් නැහැ. ඒ කියන්නේ අතුරුදන් වෙලා. මේ දියණියයි ඇගේ මවයි බාල මලණුවනුයි, වැඩිමල් සහෝදරයයි තවමත් මඟ බලා හිඳින්නේ ඔහු කෙදිනක හෝ එතැයි කියමින්. ඔහුව සොයන්න, ඔවුන් නොකරපු දෙයක් නැහැ. දැනට වසර 9කට පෙර මහ පාරේ සටනට එන්නට ඔවුන්ට බලකෙරී ඇත්තේ ඒ මඟ බලා ඉඳීම පලක් නැති බැවින්.

”මැයි මාසේ දෙවෙනිදා අපේ මල්ලිගේ උපන් දිනේ. තාත්ත වෙනදාට හතට දහයක් විතර වෙද්දි ගෙදරට එනවා. අපි එදත් බලන් හිටියා මල්ලිගේ උපන් දිනේට කේක් අරන් තාත්තා එනකං. ඒත් හත හමාර වෙද්දිත් තාත්තා ආවේ නැහැ. ඒ ගමන අපි ටිකක් කලබල වුණා. මොකද වෙනදට හැමදාම තාත්තා එකම වෙලාවට ගෙදරට එන නිසා. අපි ශාලාව හන්දියට ගිහින් හෙව්වා. නැති නිසා යුද හමුදා මූලස්ථානයට කතා කරල ඇහුවා. එහෙන් කිව්වා වෙනද වෙලාවටම ඕෆ් වෙලා ආවා කියලා. ඊට පස්සේ අපි දන්වන්න පුළුවන් හැම තැනටම දැන්නුවා. කොස්ගම පොලිසියට, ශාලාව කෑම්ප් එකට, පනාගොඩ කෑම්ප් එකට, කොළඹ මූලස්ථානයට හැම තැනටම දැන්නුවා. තාත්තා වැඩකරපු තැන හමුදා මාධ්‍ය අංශයේ ලොක්කා ප‍්‍රසාද් සමරසිංහ. එයා කිව්වා තාත්තා ඥාති ගෙදරක ගිහින් ඇති, තව ටිකක් බලන්න කියලා. නැත්තම් පහුවදාට පොලිසියට ගිහින් පැමිණිලි කරන්න කියලා. අම්මා උදේ 6ට විතර පොලිසියට ගියා. එදා ඉඳන් තාමත් පොලිසියෙන් පරීක්ෂණ කරනවා කියනවා. ඒත් තොරතුරක් නැහැ.”

වේල්නායගම් අතුරුදන් වන විට හමුදාවේ වසර 19 ක් සේවය කර තිබුණා. යාපනයේ, ත‍්‍රිකුණාමලයේ ආදී ප‍්‍රදේශවලත් ඔහු සේවය කර තිබුණා. මුලින් කෝප‍්‍රල් කෙනෙක් ලෙස සේවය කළ ඔහු විවිධ තනතුරු දරා 2005 වසරේ යුද හමුදා මූලස්ථානයේ භාෂා පරිවර්තකයෙක් ලෙස සේවයට එක්වෙනවා. විමෝෂණීගේ මව පවසන පරිදි යුද හමුදා මූලස්ථානයේ සේවයේ යෙදී සිටි කාලයේ ඔහු වැඩ ඇරී නිවසට පැමිණ ඇත්තේ හමුදා බස් රථයේ. එහි කොන්දොස්තර හා රියදුරු ඔවුන්ට පවසා ඇත්තේ ඔහු එදින බස් රියේ පැමිණ ශාලාව හන්දියෙන් බැස ඇති බවයි.

”දැන් කිහිපදෙනෙක් කියනවා තාත්තාව කළුපාට පැජරෝ එකක ගෙනියනවා දැක්ක කියලා. අපි ඇහුවා ඇයි කලින් කිව්වේ නැත්තේ කියලා. එයාල කියනවා එයාලටත් ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි කියලා බයට කිව්වේ නැහැ කියලා. දැන් උනත් ගොඩක් අය බයයි.”

මේ සිදුවීමෙන් ඉක්බිතිව වේල්නායගම්ගේ බිරිඳ සිය සැමියා අතුරුදන් වූ හෝ මියගිය සෙසු බිරින්දෑවරුන් මෙන්ම දරුවන් සමඟ ජීවිත ගැටගසා ගැනීමේ සටනට උර දුන්නාය. රජයේ සේවකයෙක් වූ සැමියාගේ විශ‍්‍රාම වැටුප හෝ වෙනත් කිසිදු දීමනාවක් නැතිව ඇය සිය දරුවන් උස් මහත් කරන්නී අප සමඟ මෙසේ දොඩමළු වූවාය.

”මහත්තයා අතුරුදන් වුණ දවසේ ඉඳන් පොලිසි ගානේ, කඳවුරු ගානේ හෙව්වා, කිව්වා. කවුරුත් පිහිටක් වුණේ නැහැ. දරුවො පොඩි නිසා මාත් රස්සාවක් කළා. මහත්තයාගේ විශ‍්‍රාම වැටුප හම්බවුණෙත් මේ ගිය මාසේ. මෙච්චර කල් එයාලා කිව්වේ මහත්තයාගේ පර්සනල් ෆයිල් එකේ ඇබ්සන් කියලා තියෙන්නේ. ඒ කියන්නේ නොදන්නවා සේවයට නොපැමිණි කෙනෙක් කියලා. ඒ නිසා අපිට දීමනා මුකුත් දෙන්න බැහැ කියලා. අපි හරිම අමාරුවෙන් තමා ජීවත් වෙන්නේ. දරුවන්ට උගන්වන්නේ.”

ඒ ගැන අපි විමෝෂණී සමඟත් කතා කළා.

”තාත්තා අතුරුදන් වුණේ 2006. ඒත් එයාලා පැන්ෂන් එක හදලා තියෙන්නේ 2010 සේවයෙන් ඉවත්වුණා කියලා. අපිට ගිය අවුරුදු 4 ඇරියස් එක දෙනවා කිව්වා. ඒකත් තාම දුන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැත්තේ 2006 අතුරුදන් වුණ තාත්තා 2010 රැුකියාවෙන් විශ‍්‍රාම ගත්තේ කොහොමද කියලා. ඒත් 2006 ඉඳල තාත්තාගේ පඩියක් වත් අපිට ලැබුණේ නැහැ.”

සිය සැමියා පිළිබඳ සෙවීමට මේ වේල්නායගම්ගේ බිරිඳ කඳවුරුවල සිටි සැමියාගේ මිතුරන් හමුවීමට උත්සාහ කර ඇතත් ඔවුන්ව හමුවීමට අවසර ලැබී නැහැ. එකල හමුදාපති සරත් ෆොන්සේකා හමුවීමටත් අවසර ලැබී නැහැ. මේ පිළිබඳ කතා කිරීමට අවසර ලැබී තිබුණේ මේජර්වරු කිහිපදෙනෙක් සමඟ පමණයි.

”අඩුම තරමේ පොලිසිය මේ සිද්ධිය උසාවි දැම්මේවත් නැහැ. අපි බලන් හිටියා පොලිසියෙන් මේක උසාවි දායි කියලත්. ජනාධිපතිගේ ඉඳන් හැමෝටම අපි දැන්නුවා. මානව හිමිකම් ගියා. ඒත් වැඩක් වුණේ නැහැ. පරීක්ෂණ කළා විතරයි.” විමෝෂණීගේ මව සිය අසරණකම වචන කළේ එලෙසයි.

යුද හමුදා නිලධාරියෙක් වූ සිය පියා අතුරුදන් වූ පසු හමුදාවේ ක‍්‍රියා කලාපය ගැන විමෝෂණී දැක්වූයේ මෙවන් අදහසක්.

”හමුදාවේ සේවය කළ කෙනෙක්ගේ දරුවන්ට බිරිඳට මොකද වුණේ කියලවත් හමුදාවෙන් බැලූවේ නැහැ. අඩුම තරමේ අපේ ගෙදරට එක දවසක් වත් ආවේ නැහැ. අනිත් එක තාත්තා අතුරුදන් වුණාට පස්සේ මැයි මාසේ 4 වැනිදා සහ 26 වැනිදා තාත්තාගේ කෑෂ් කාඞ් එකෙන් සල්ලි අරන් තියෙනවා. ඒක දැන ගත්තේ තාත්තාගේ මැයි මාසේ පඩි දාලද බලන්න අපි බැංකුවට ගියා මැයි 30 වැනිදා. එදා පොත අප්ඬේට් කරද්දි බැංකුවෙන් තමා කිව්වේ. තාත්තාගේ කාඞ් එකේම පින් නම්බර් එකත් ලියලා තිබ්බා අමතක වෙන හින්දා”

මේ සිදුවීම් පිටුපස සිටින්නේ කවුද? වේල්නායගම්ට කුමක් සිදුවීද? මේ දරුවන්ටත් බිරිඳටත් සමාජයටත් ඔහු පිළිබඳ සත්‍ය හෙළිදරව් විය යුතු නොවේද? මෙසේ කිසිදු හෝඩුවාවක් නැතිව සමාජයෙන් සැඟවගත් තවත් කී දෙනෙක් නම් සිටීද? ඔවුන් සියලූ දෙනාට යුක්තිය ඉටුවන තුරු මේ සටන් කරන අකුරු ඔවුන් සමඟ සෑම තැනකදීම සටන් වදිනු ඇත.

ශ්‍යාමලී ලියනආරච්චි

Advertisements