නීති හැංගීම

ආණ්ඩුවේ දින සියයේ වැඩසටහන තුළ අලූතෙන් සම්මත කරන අණ පනත් ගණනාවක් ගැන සඳහන් වෙනවා. පෙබරවාරි 6 වැනිදා ජාතික ඖෂධ පනතත් පෙබරවාරි 19 වැනිදා ජාතික විගණන පනතත් පෙබරවාරි 20 වැනිදා තොරතුරු දැනගැනීමේ පනතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම වැඩපිළිවෙළේ සඳහන් කර තිබෙනවා. ඉන් අනතුරුව ඉතාම කෙටි කාලයක් තුළ ඒ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිතයි. මේ වැඩපිළිවෙළේ තිබෙන ආකාරයට නම් පෙබරවාරි 18 ජාතික ඖෂධ පනතත් 19 ජාතික විගණන පනතත් 20 තොරතුරු දැනගැනීමේ පනතත් සම්මත කිරීමට නියමිතයි. මෙවැනි ජාතික වැදගත්කමකින් යුතු පනත් සම්මත කිරීමට පෙර ඒවායේ කෙටුම්පත් සමාජගත කර ඒවා ප‍්‍රමාණවත් තරමින් මහජන සංවාදයකට භාජනය කළ යුතුයි. නමුත් මේ පනත් කෙටුම්පත් කිසිවක් සමාජයට විවෘත කර නෑ. ඒ වගේම ඒවා ලබාගන්න ක‍්‍රමයකුත් නෑ. පෙබරවාරි 6 වැනිදා ඉදිරිපත් කරන බව කියූ ඖෂධ පනත් කෙටුම්පත මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ. එයට කැබිනට් අනුමැතිය ලැබුණු බව ප‍්‍රකාශ කළ පසුත් එය මේ ආකාරයට සඟවන්න තිබෙන හේතුව කුමක්ද?

මීට පෙර දැන් ආණ්ඩුවේ සිටින අයම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අණ පනත් විශාල ප‍්‍රශ්නවලට තුඩු දුන්නා. නිදසුන් කිහිපයක් ගෙන බලමු. ඖෂධ පනත වත්මන් ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියදී 2014 වසරේ මැද භාගයේ දී කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කෙරුණා. ඒ පනත් කෙටුම්පතට සියලූම පාර්ශ්වවලින් වෛද්‍යවරුන්ගෙන්, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින්, රෝගීන් උදෙසා වන සංවිධානවලින්, ද්‍ය ශිෂ්‍යයන්ගෙන් මේ ආදී බොහෝ පාර්ශ්වවලින් විවේචන එල්ල වුණා. පනත පිළිබඳ සංවාදයක් එවකට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි මෛත‍්‍රීපාල සිරිසේන ජාතික ලේ බැංකු ශ‍්‍රවණාගාරයේ දී කැඳ වූ අවස්ථාවේදී පැමිණ සිටි අය නැඟූ ප‍්‍රශ්නවලට ඔහුට පිළිතුරු දෙන්න බැරිව ගියා. ඒ පනත තාක්ෂණික වශයෙන් දෝෂ සහගතයි වගේම දේශපාලන වශයෙනුත් ඉතාම අයහපත් පනතක්. එය 1970 දශකයේ දී බිබිලේ-වික‍්‍රමසිංහ වාර්තාව මඟින් යෝජනා කළ ප‍්‍රගතිශීලි ප‍්‍රතිසංස්කරණ පවා ආපස්සට හරවන ආකාරයෙන් බහුජාතික සමාගම්වල උවමනාවන්ට අනුව සකස් වූ පනතක්. නැවත ගෙනෙන්නට උත්සාහ දරන්නේ ඒ පනතටම ද යන ප‍්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා. කොහොම වුණත් පනත සමාජයට ඉදිරිපත් කර ප‍්‍රමාණවත් සංවාදයකට බඳුන් නොකර එය පාර්ලිමේන්තුව තුළ සම්මුතියකින් සම්මත කර ගන්න ඉඩදීම ජනතාවගේ අයිතීන්ට විශාල හානියක්.

ජාතික විගණන පනත සම්බන්ධයෙන් තිබෙන්නේත් ඒ ප‍්‍රශ්නයමයි. මුලින්ම 2002-2004 රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාව සිටි ආණ්ඩුව තුළ ජාතික විගණන පනතක් සකස් වුණා. එය සම්මත කරගන්න බැරි වුණේ එයට ඉතා බරපතළ විවේචන හා විරෝධතා පැමිණි නිසා. එයට විරෝධතා එල්ල වුණේ එම පනත මඟින් විගණන සේවය පෞද්ගලිකකරණය කරන්නත් ජාතික විගණකාධිපති සේවය විනාශ කරන්නත් පිඹුරුපත් සකසලා තිබුණු නිසා. එවකට මේ පනත ඉදිරිපත් වුණේ රනිල් වික‍්‍රමසිංහගේ ‘රිගේනින් ශ‍්‍රී ලංකා’ වැඩසටහනේ කොටසක් විදියට. මෙවර එන්නේත් ඒ පනතම ද කියන එක පැහැදිලි නෑ. නම සමානයි. අන්තර්ගතය ඒකමද, ඊට වඩා හොඳ එකක්ද කියලා බලන්න වෙන්නේ පනත් කෙටුම්පත කියවලා. ඒත් ඒක තවමත් සමාජයට විවෘත කරලා නෑ. ඒකත් හංගලා. ඒක හංගලා තිබෙන්නේ ඇයි?

තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන පනත ගැනත් ඒ කතාවම කියන්න වෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය පනතක් මඟින් නීතියක් ලෙස තහවුරු කරන එක හොඳයි. ලෝකයේ බොහෝ රටවල එවැනි නීති පනවා තිබෙනවා. දැන් අපේ රටේ ගේන්න යන්නෙත් ඒ නීතියමද? එහෙම නැත්නම් ඒ නමින් තිබෙන වෙන උවමනාවක් සපුරන එකක්ද? ලෝකයේ ඇතැම් රටවල තොරතුරු දැනගැනීමේ අයිතිය කියන නමින් තිබෙන නීතිවලින් කරන්නේ ඒ තොරතුරු දැන ගැනීමේ අයිතිය කප්පාදු කරන එක. උදාහරණයක් විදියට සිම්බාබ්වේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත නම ඒක වුණාට ඇත්තටම කරන්නේ ඒ අයිතීන් අහෝසි කරන එක. ලංකාවේ ගේන පනත මොකක්ද කියලා තවමත් දන්නේ නෑ. පනතක් විතරක් ප‍්‍රමාණවත් නෑ. ඒ නීති ක‍්‍රියාත්මක කරන්න අවශ්‍ය ව්‍යුහයක් තිබිය යුතුයි. ජනතාවට තොරතුරු ඉල්ලන්න, ඒවා ලබා ගන්න, නොලැබුණොත් පැමිණිලි කරන්න ආයතන තිබිය යුතුයි. පනතේ ඒවා තිබෙනවාද කියලත් බලන්න වෙනවා. ඒ හැමදේටම කලින් පනත් කෙටුම්පත කියවන්න වෙනවා. ඒත් ඒක තවම නෑ.

පරණ කියමනක් තිබෙනවා. ”හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ” කියලා. ආණ්ඩුව හංගලා හදන පනත් ගැන අපි දන්නෙ නැති වුණත් ඒවා සම්මත කරන්න වෙන්නේ එළියට ගෙනත්. ඒ පනත් ගැන අපි එතකොට අපේ අදහස කියන්නම්. දැනට කියන්නේ එක සටන් පාඨයයි.

”ජනතාවගෙන් වසන් නොකර පනත් කෙටුම්පත් හෙළිදරව් කරනු!”

Advertisements