අතුරු අයවැය සහන සහ අසහන

DSC_0945ජනවාරි 29 වැනිදා රවි කරුණානායක මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට අතුරු අයවැයක් ඉදිරිපත් කරන ලද අතර එය අතුරු අයවැයක් නොව හුදු ප‍්‍රකාශයක් විය. ඊට සතියකට පමණ පසු අයවැය ඇස්තමේන්තු හා විසර්ජන පනතේ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නිසා දැන් යම් පමණකින් හෝ ඒ ගැන විග‍්‍රහයක් කළ හැකිය. එහෙත් මෙවර අයවැය ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත්තේ ඉතා කෙටි ලියවිල්ලකින් නිසා එහි විස්තරාත්මක තොරතුරු අඩංගු නැත.

වෙනදා අයවැය ඇස්තමේන්තු විශාල ප‍්‍රමාණයේ වෙළුම් තුනක ග‍්‍රන්ථයක් ලෙස ඉදිරිපත් කරන අතර මෙවර ඒ සඳහා නිකුත්කර ඇත්තේ ඡුායා පිටපත් කරන ලද පිටු 150 ක් අමුණන ලද කුඩා පොත් පිංචකි. එනිසාම අමාත්‍යාංශවල වියදම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අයවැයෙහි නැත. ඒ දුෂ්කරතාව මධ්‍යයේ වුව ද මෙවර අයවැයෙහි ප‍්‍රතිපත්තිමය කරුණු පිළිබඳ විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි. මෙවර අයවැය දෙස මතුපිටින් බලන්නකුට පෙනී යන්නේ ජනතාවට ලබා දී ඇති සහන ගණනාවක් ඇති බවය. සීනි, කිරිපිටි, මුංඇට, උඳුපිටි, කොත්තමල්ලි, උම්බලකඩ, කහ කුඩු, මිරිස් කුඩු වැනි ආහාර ද්‍රව්‍ය ගණනාවක බදු අඩුකර ඇති නිසා ඒවායේ මිල පහළ යවා ඇත. ගෘහස්ථ ගෑස් සහ ඉන්ධන මිල අඩුකර ඇත. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකර ඇත. සුපිරි වාසි බද්ද හා මන්දිර බද්ද හරහා ධනවතුන් මත පනවා ඇති බදු වැඩිකර ඇත. ඇතැම් අය මෙය සරදියෙල් අයවැයක් ලෙස හඳුන්වන්නේ ද එනිසාය. උඩින් බලන විට සරදියෙල් ලෙස පෙනෙන මේ අයවැය තවදුරටත් හරයට ගොස් බලන විට පෙනෙන්නේ රොබට් මැක්නමාරා ලෙසය. (රොබට් මැක්නමාරා නවලිබරල් ධනවාදී ආර්ථික උපායමාර්ගය පිළිබඳ පළමු න්‍යායික ඉදිරිපත් කිරීම කළ හිටපු ලෝක බැංකු සභාපතිවරයෙකි*

මෙවර අයවැය ලංකාවේ ඉතිහාසයේ පළමුවරට විරුද්ධව එක් ඡුන්දයක් පමණක් ලැබී, විපක්ෂයේ ද අනුග‍්‍රහය සහිතව සම්මත වූ අයවැයකි. එයට එරෙහිව ඡුන්දය දුන් අජිත් කුමාර මන්ත‍්‍රීවරයා පවසා තිබුණේ තමන් තීරණය ගන්නේ සහන ගැන නොව අසහන ගැන සැලකීමෙන් බවය. අයවැය මඟින් ජනතාවට ඇතිකරන අසහනවලට එරෙහිව බවය. ඒ අසහනයේ මූලය නවලිබරල් උපායමාර්ගයයි. නවලිබරල් යන වචනය ලංකාවේ ජනතාවට ඒ තරම් හුරු නැති වුවත් බොහෝ දෙනා එය හඳුනන්නේ ජේ.ආර්. ජයවර්ධන එය හැඳින් වූ ‘විවෘත ආර්ථිකය’ යන වචනයෙනි. එහි මූලික ලක්ෂණ කිහිපයක් අපට මෙසේ ලයිස්තුගත කළ හැක.

  1. විදේශීය ප‍්‍රාග්ධනයට ඇති බාධා ඉවත් කර බහුජාතික සමාගම්වලට ආර්ථිකය විවෘත කිරීම.

 

  1. ආර්ථිකය සඳහා වන රාජ්‍ය මැදිහත් වීම ඉවත් කිරීම.

 

  1. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප‍්‍රවාහනය ආදී සමාජ ආරක්ෂණ සේවා අහෝසි කර එහි බර ජනතාව මත පැටවීම.
  2. නිෂ්පාදනයට වඩා සංචාරක ව්‍යාපාරය වැනි සේවාවන්ට හා මූල්‍ය සේවාවන්ට ප‍්‍රමුඛත්වය ලබාදීම.

 

  1. රජය නඩත්තු කිරීමේ බර ජනතාව මත පැටවීම.

තවත් බොහෝ ලක්ෂණ තිබුණත් මේවා මූලික ලක්ෂණ කිහිපයක් ලෙස දැක්විය හැක.

මෙවර අයවැය දෙස විමසිලිමත්ව බලන විට එය මේ සියලූ ලක්ෂණ අන්තර්ගත කරගත් නවලිබරල් අයවැයක් බව පෙනේ. සංකේතාත්මකව මෙය නිරූපණය වූයේ අයවැය ලේඛනය සකස් කිරීමට පෙර රවි කරුණානායක මුදල් ඇමැතිවරයා ලංකාවේ නවලිබරල් අයවැය සැකසීමේ ආදි මුතුන් මිත්තා වන ජේ.ආර්. ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයාව සිටි රොනී ද මෙල් හමුවී උපදෙස් ගැනීම හරහාය. රොනී ද මෙල්ගේ උපදෙස් හා ආශිර්වාදය ලැබෙන්නේ කවර වර්ගයේ අයවැයකට ද යන්න තවදුරටත් රහසක් නොවේ. අනෙක් අතට රවි කරුණානායක සහන ගැන කතා කරන අතර රනිල් වික‍්‍රමසිංහ හා එරාන් වික‍්‍රමරත්න ආර්ථිකයේ මූලික උපායමාර්ගය ගැන හෙවත් අසහනය උපදින තැන ගැන කතා කළහ. එරාන් වික‍්‍රමරත්න කීවේ ආර්ථිකය තවදුරටත් විවෘත කිරීම සිය උපායමාර්ගය බවයි. විදේශීය ප‍්‍රාග්ධනයට රට තුළට ඒමට ඇති බාධාවන් සලකා බැලීමෙන් අනතුරුව සකස් කරනු ලබන ‘ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයේ’ ලංකාව දැන් ඇත්තේ අනූ ගණන්වල බවත් එය ක‍්‍රමයෙන් හැත්තෑ ගණන්වල සිට තිස් ගණන් දක්වා එසවීම සිය ඉලක්කය බවත් එරාන් පැවැසීය. මේ දර්ශකයේ ඉහළින්ම සිටින්නේ සිංගප්පූරුව, හොංකොං, තායිලන්තය වැනි රටවල්ය. ඒ අනුව වත්මන් ආණ්ඩුවේ ආර්ථික ඉදිරි දර්ශනය ජේ.ආර්. ජයවර්ධන පැවැසූ ආකාරයේ සිංගප්පූරු පන්නයේ ආර්ථිකයක් බව පැහැදිලිය. සිංගප්පූරු ආදර්ශය යනු අන් කිසිවක් නොව නවලිබරල් ධනවාදයේ ම්ලේච්ඡුතම ආකාරයයි. මේ අයවැය එවැන්නක් කරා යන ප‍්‍රථම පියවරයි. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සිය ආර්ථික දැක්ම පැහැදිලි කරමින් පැවැසුවේ ආර්ථිකය සංවර්ධනය කිරීමේ මඟ ජනතාව කැපකිරීම් කිරීම බවය. මෙය ජේ.ආර්. ජයවර්ධන හෙවත් රනිල්ගේ මාමාගේ කාලයේ සිට පට්ටා ගැසූ සටන් පාඨයකි. වෙනස එදා මෙය මාමා විසින් ගැඹුරු ස්වරයෙන් පැවැසීම හා මෙවර එයම බෑනා විසින් ළපටි ස්වරයෙන් පැවසීම පමණි.

1රවි කරුණානායක ඉදිරිපත් කළ අයවැය හා මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ අයවැය අතර ඇති වෙනස ගැන මඳක් අවධානය යොමු කරමු.

මේ අනුව රවි කරුණානායක කර ඇත්තේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 67 කින් අඩු කර රජයේ වියදම් රුපියල් බිලියන 89 කින් කපා හැරීමයි. මෙය සිදුකර ඇත්තේ ආර්ථිකය පිළිබඳ ප‍්‍රතිපත්තිමය වෙනසක් හරහා නොව එකම ප‍්‍රතිපත්තියෙහි හුදු ඉලක්කම් මාරුවක් හරහාය. නිදසුනක් ලෙස අපි රජයේ බදු ප‍්‍රතිපත්තියෙහි කිසියම් වෙනසක් තිබේදැයි විමසා බලමු. ලංකාවේ මෙතෙක් පැවැති ප‍්‍රතිපත්තිය වූයේ රජයේ නඩත්තුව මුළුමනින්ම බදු හරහා ජනතාව මත පැටවීමේ ප‍්‍රතිපත්තියයි. එය මෙවර වෙනස් වී තිබේද? ඒ සඳහා 2 වගුවේ ප‍්‍රතිශත සසඳන්න.2

නවලිබරල් ධනවාදයට ලංකාව පිවිසි පසු සාමාන්‍යයෙන් බදු ආදායම මුළු ආදායමෙන් 80 – 85% ත් අතර ප‍්‍රතිශතයක ද බදු නොවන ආදායම 10 – 15% ත් අතර ප‍්‍රතිශතයක ද පැවැතී ඇති අතර මෙවර එහි විශේෂ වෙනසක් සිදු කර නැත. ආර්ථිකය යන්නේ එම උපායමාර්ගයේමය. බදු ආදායමේ සංයුතිය දැක්වෙන වගු අංක 3 බලන විට මෙය වඩාත් පැහැදිලි වේ. සාමාන්‍යයෙන් බදු බර දුප්පතුන්ට වැඩියෙන් පටවන අතර ධනවතුන්ට බදු සහන උරුම විය. මෙවර ද එම ප‍්‍රතිපත්තියේ වෙනසක් වී නැත.

3සරදියෙල් අයවැයේ සැබෑ තතු එසේය. පොහොසතුන් මත ආදායම අනුව පනවන ඍජු බදු හා භාණ්ඩ හා සේවා මත බදු, තීරු බදු ආදිය හරහා දුප්පතුන් මත පනවන වක‍්‍ර බදු අතර ඇති ප‍්‍රතිශතය දශමයකින්වත් වෙනස් වී නැත. පොහොසතුන්ගෙන් උදුරාගෙන දුප්පතුන්ට දෙන බව කීවත් පොහොසතුන්ගෙන් දශමයක්වත් උදුරාගෙන නැති අතර දුප්පතුන්ට දශමයක්වත් ලබා දී නැත. කර ඇත්තේ භාණ්ඩ කිහිපයක බදු අඩුකරන සංදර්ශනයක් පවත්වා එම බද්ද වෙනත් භාණ්ඩ හරහා වෙනම අය කරගැනීමයි. ආදායම් පාර්ශ්වය දෙස බලන විට මෙම අයවැය සාම්ප‍්‍රදායිකව පැවත ආ නවලිබරල් අයවැයම මිස අනෙකක් නොවන බව ඉතාම පැහැදිලිය.

වියදම් පාර්ශ්වය බැලූවත් ඊට වඩා වෙනසක් නැත. වියදම් පිළිබඳ ප‍්‍රතිපත්තිය වටහා ගැනීමට ඇති හොඳම පදනම මුලින් මහින්ද රාජපක්ෂගේ අයවැයෙහි ඇති වියදම් ප‍්‍රතිපත්තිය වටහා ගැනීමයි. එම අයවැයෙහි සාමාන්‍ය ජනතාවගෙන් භාණ්ඩ හා සේවා මිල දී ගන්නා විට අය කරගන්නා බදු ප‍්‍රමාණය රුපියල් බිලියන 1095 කි. එය දළ වශයෙන් බිලියන 1000 ක් යැයි කියමු. එයින් බිලියන 500 ක්ම වෙන්කර තිබුණේ නගර අලංකරණය, පාරවල් කාපට් කිරීම වැනි දෘෂ්ටිවාදීමය මෙහෙයුම් සඳහාත් ජනතාව මර්දනය කරන සන්නද්ධ මෙහෙයුම් සඳහාත්ය. ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට බිලියන 285 කි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට බිලියන 57 කි. මහාමාර්ග අමාත්‍යාංශයට බිලියන 200 කි. මෙසේ අපව ඇන්දීමට හා අපට පහර දීමට අපේම බදු මුදලින් අඩක් වෙන් කළ පසුව අධ්‍යාපනයට රුපියල් බිලියන 47 ක් ද උසස් අධ්‍යාපනයට රුපියල් බිලියන 41ක් ද සෞඛ්‍යයට රුපියල් බිලියන 139 ක් ද ප‍්‍රවාහනයට රුපියල් බිලියන 75 ක් ද ආදී ලෙස සමාජ ආරක්ෂණ සේවාවන්ට සොච්චම් මුදලක් වෙන් කර තිබිණි. මෙවර අයවැය තුළ ඒ ප‍්‍රතිපත්තිය වෙනස් වී නැත. සිදුකර ඇත්තේ අමාත්‍යාංශ මිශ‍්‍ර කිරීම හරහාත් සවිස්තරාත්මක ඇස්තමේන්තු ඉදිරිපත් නොකිරීම හරහාත් අමාත්‍යාංශවල සැබෑ වියදම වසන් කිරීමයි.

අපි රවි කරුණානායක ඉදිරිපත් කළ අයවැය තුළ මෙය වෙනස් වී ඇති දැයි විමසා බලමු. කලින් ආරක්ෂක හා නාගරික සංවර්ධන යන විෂයයන් දෙකටම වෙන් කළ රුපියල් බිලියන 285 වෙනුවට මෙවර ආරක්ෂක අමාත්‍යාංශයට පමණක් රුපියල් බිලියන 259 ක් වෙන්කර ඇත. ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් රුපියල් බිලියන 139 ක් නාවුක හමුදාව වෙනුවෙන් රුපියල් බිලියන 50 ක්, ගුවන් හමුදාව වෙනුවෙන් රුපියල් බිලියන 38 ක් පෙර පරිදිම වෙන්කර ඇත. ඒවායේ කාර්යනියුතු වූවන්ගේ වැටුප් ද ඇතුළු පුනරාවර්තන වියදම් කපාහළ නොහැකි බව පැහැදිලිය. එහෙත් ප‍්‍රාග්ධන වියදම් හෙවත් අලූතෙන් කරන ඉදිකිරීම් හා මිල දී ගැනීම් පිළිබඳ වියදම් ද සතයක්වත් අඩු කර නැත. මෙයින් පෙනී යන්නේ මර්දන යාන්ත‍්‍රණයන් පවත්වාගෙන යාම පමණක් නොව ඒවා පුළුල් කිරීම සඳහා ද මහජන මුදල් කාබාසිනියා කිරීම අලූත් ආණ්ඩුවේ ද ප‍්‍රතිපත්තිය බවය. ආරක්ෂක අමාත්‍යාංශයේ වියදම් අඩු වූවා යැයි පෙනෙන සේ කලින් ඒ අමාත්‍යාංශයට අයත්ව තිබූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට එකතු කර ඇත. පොලිසිය සඳහා වෙන් කළ රුපියල් බිලියන 50 ක මුදල සතයක්වත් අඩු නැතිව නව අයවැය තුළ ද එලෙසම පවතී.

අපි දැන් මහජන සේවාවන් වෙත අවධානය යොමු කරමු. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා කලින් වෙන් කරන ලද රුපියල් බිලියන 47 මෙවර රුපියල් බිලියන 55 දක්වා වැඩි වී ඇත. එහෙත් විභාග දෙපාර්තමේන්තුවට හෝ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවට සතයක්වත් වැඩිපුර වෙන් කර නැත. මුදල ඉහළ ගොස් ඇත්තේ රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ යාම නිසා පුනරාවර්තන වියදම් ඉහළ යාමෙනි. අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා ප‍්‍රාග්ධන වියදම් ඉහළ ගොස් ඇත්තේ රුපියල් මිලියන 363 කින් පමණි. එය යාන්තම් පාසල් ගොඩනැඟිලි තුන හතරක් ඉදිකිරීමට සෑහේ. මේ බොරුව තේරුම් ගැනීමට 4 වැනි වගුව නිරීක්ෂණය කරන්න.4

උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ද තත්වය මෙසේමය. කලින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 41 ක්, මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 200 ක්, ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 0.130 ක් වෙන් විය. මෙවර මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප‍්‍රවර්ධන නමින් ඒ තුනම එක්කොට එක් අමාත්‍යාංශයක් නිර්මාණය කර එයට රුපියල් බිලියන 234 ක් වෙන්කර ඇත. විශ්වවිiාල ප‍්‍රතිපාදන කොමිසම සඳහා වෙන්කර ඇත්තේ කලින් වෙන්කළ රුපියල් 30,732,000,000 මය. මෙසේ මුදල් අඩුකර ඇත්තේ කුමක් සඳහා ද යන්න සෙවීම පවා සවිස්තරාත්මක අයවැයක් ඉදිරිපත් කර නැති බැවින් ඉතාම දුෂ්කරය. සෞඛ්‍ය සේවය සඳහා කලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 139 ක් හා දේශීය වෛi අමාත්‍යාංශයට රුපියල් බිලියන 2 ක් ලෙස රුපියල් බිලියන 141 ක් වෙන් වෙන්ව 5වෙන්කර තිබිණි. මෙවර සෞඛ්‍ය හා දේශීය වෛi අමාත්‍යාංශය ලෙස එක් අමාත්‍යාංශයක් සකස් කර එයට රුපියල් බිලියන 141 ක් වෙන්කර සෞඛ්‍ය සේවයට මුදල් වැඩි කළා යැයි කෑ මොර දෙයි. නමුත් සෞඛ්‍ය සේවය සඳහා මහින්ද පාලනයට වඩා සතයක්වත් වැඩි වී නැත. සිදු වී ඇත්තේ වැටුප් වැඩි වීම නිසා පුනරාවර්තන වියදම් ඉහළ ගොස් සෞඛ්‍ය සේවය සඳහා වන ප‍්‍රාග්ධන වියදම රුපියල් බිලියන 38 සිට රුපියල් බිලියන 27 දක්වා කප්පාදු වීමයි. ප‍්‍රවාහනය සඳහා වෙන්කර ඇත්තේ කලින් වෙන් කළ මුදල වන රුපියල් බිලියන 75 මය. මේ ආකාරයට අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය වැනි සමාජ ආරක්ෂණ සේවාවන් සඳහා වන රාජ්‍ය වියදම වැඩි නොකර, ඇතැම් ක්ෂේත‍්‍රවල එය කපා හැර ඇත. රජයේ වියදම අඩුකර ඇත්තේ යටිතල පහසුකම් සඳහා වන වියදම් කපා හැරීමෙනි. එහෙත් එහි වාසිය යළි අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවන්ට හිමි වී නැත.

මෙම අයවැය සමාලෝචනයක් ලෙස ගත් කළ පෙනී යන්නේ එය විදේශීය

ප‍්‍රාග්ධනයට ආර්ථිකය විවෘත කිරීම, මහජන සේවා කප්පාදුව, ජනතාව මත බදු බර පැටවීම, ආර්ථිකය සේවා ක්ෂේත‍්‍රයට බර කිරීම, මර්දන යාන්ත‍්‍රණයන් සවිමත් කිරීම වැනි ගමනකට මුලපුරා ඇති බවයි. එය 1978 න් ඇරඹී මහින්ද රාජපක්ෂ විසින් නව මට්ටමකට ඔසවා තැබූ නවලිබරල් ධනවාදයම හැර අන් කිසිවක් නොවේ. මෙවර අයවැයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂව ඡුන්දය දීමට හේතු පැහැදිලි කරමින් එහි ලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා පැවැසුවේ මෙම අයවැය මහින්ද රාජපක්ෂගේ ආර්ථික ප‍්‍රතිපත්තියම ඉදිරියට ගෙනයන නිසා එයට සහාය දෙන බවය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එයට එකඟ වන හේතුවම වාමාංශිකයන්ට හා ප‍්‍රගතිශීලීන්ට මෙම අයවැයට එරෙහි වීමට හේතු සපයයි. එජාපය, ශ‍්‍රීලනිපය, දෙමළ ජාතික සන්ධානය, හෙළ උරුමය, මුස්ලිම් කොංග‍්‍රසය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටි දිනේෂ්ගේ, වාසුගේ, වීරවංශගේ, ඩිව්ගේ, තිස්ස විතාරණගේ පක්ෂ කොහොමත් සිටියේ නවලිබරල් ධනවාදයට පක්ෂපාතී ස්ථාවරයකය.

වෙනදා එයට එරෙහිව සිටි ජනතා විමුක්ති පෙරමුණ ද මෙවර නවලිබරල් අයවැයට පක්ෂ විය. ටිල්වින් සිල්වා මාධ්‍යවලට පැවැසුවේ තමන් මෙවර අයවැය ඡුන්ද විමසීම මඟහැර ගියේ එය අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කරන බව දන්නා නිසා බවය. එය පරාජය වන අනතුරක් තිබුණේ නම් ඔවුන් ඡුන්දය දෙන්නේ අයවැයට පක්ෂවය. මෙවර ජවිපෙ මධ්‍යම පුවත්වත පන නියමුවා පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය ලෙස සඳහන් කර ඇත්තේ ‘අතුරු අයවැය ජනතා ජයග‍්‍රහණයක්’ ලෙසිනි. ඒ අනුව ජවිපෙ නවලිබරල් ධනවාදය ජනතා ජයග‍්‍රහණයක් ලෙස හඳුන්වන ස්ථාවරයට ගොස් ඇත.

පාර්ලිමේන්තුව තුළ තවදුරටත් නවලිබරල් ධනවාදයට එරෙහි විපක්ෂයක් නැත. විපක්ෂවල බල අරගලයේ දී එකිනෙකා අතර වෙනස්කම්, විරසකකම් තිබුණ ද ප‍්‍රතිපත්තිමය වශයෙන් මන්ත‍්‍රීවරුන් 224 දෙනකුම සිටින්නේ එක් ස්ථාවරයකය. එයට එරෙහිව සිටින්නේ එක් මන්ත‍්‍රීවරයකු පමණි. නවලිබරල් ධනවාදයට එරෙහි සැබෑ විපක්ෂය පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතාව තුළ ගොඩනැඟිය යුතුය. බයියාගේ අයවැය හා සරදියෙල්ගේ අයවැය යන දෙකම මතුපිට සහන තවරා දිගුකාලීනව සමාජයට අසහනය කැන්දන ආර්ථික වැඩපිළිවෙළක් බව සමාජයට ඒත්තු ගැන්වීම එහි ප‍්‍රථම පියවරයි.

සුධීර ප‍්‍රභාෂ්වර

Advertisements