පාසල් ක‍්‍රීඩාවේ අභියෝගය මරණයද?

පළමු පාසල් වාරයේ පාසල් ක‍්‍රීඩා ආරම්භ වී තිබේ. මේ පිළිබඳ සිතමින් හිතේ දෙගිඩියාවෙන් සලිතව සිටින විට මේ වාරයේ පාසල් නිවාසාන්තර ක‍්‍රීඩා තරග පිළිබඳ අවධානය යොමු කරමින් රාවය පුවත් පතට ලලිත් ගුණවර්ධන විසින් ලිපියක් සපයා තිබුණේ පාසල් ළමුන් මිය යාමට හැකි පාසල් ක‍්‍රීඩා ඇරඹෙන බව පවසමිනි. ලලිත්ගේ ලිපිය නෙතු ගැටුණි. පිටුව කියවා ලිපිය පසෙකින් තබන විටත් සිතේ වූයේ දෙගිඩියාවකි. ලලිත් ලියූ සත්‍ය ඇස් පනාපිට යථාර්තයක් වීමට ගියේ දින කිහිපයකි.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඉතා ආසන්න පාසල් දෙකක දරුවන් දෙදෙනකු ක‍්‍රීඩාව අතරතුරත් ක‍්‍රීඩාවේ පසු අවධිය තුළත් මේ වන විට මිය ගොසිනි. ඉදිරිය කුමකින් කෙලවර වේ දැයි කිව නොහැකිය. නමුත් මා දන්නා ආකාරයෙන් ලංකාවේ වැඩිම පාසල් ගණනාවක එනම් සියයට අනූවකට වඩා පාසල් ක‍්‍රීඩාවල දුර දිවීමේ තරග නවතා දමා තිබේ. එයට පාසල් ළමුන්ගේ දිගු දුර දිවීමේ ඉසව් සහ මීටර් 10000 සහ 5000 මෙන්ම 1500 යන ඉසව් ද ඇතුළත්ය. දැන් ගැටලූවට පිලිතුර ලැබෙන බවට බොහෝ දෙනා විශ්වාසයෙන් සිටී. අනාගතයේ ළමුන් මිය යන සියලූම ක‍්‍රීඩා නවතා දැමීමටත් පයින් ගමන් කිරීම නවතා දැමීමටත් සිදුවිය හැකිය. මේ අතීසාරයට අමුඩය ගැසීමේ ක‍්‍රමයන්ගෙන් ලංකාව මිදෙන්නේ හෝ මුදවා ගන්නේ කවදාද?

බොක්සිං ක‍්‍රීඩාවේ දී ළමුන් මිය යන විට බොක්සිං ද වුෂූ ක‍්‍රීඩාවෙන් ළමුන් මිය යන විට වුෂූ ක‍්‍රීඩාව ද ජිම්නාස්ටික් ක‍්‍රීඩාවෙන් සහ මලල ක‍්‍රීඩාවෙන් මිය යන විට එම ක‍්‍රීඩා ද නවතා දැමීමට පුලූවන. ගැටලූව පවතින්නේ ඵලය තුළ ද නොයෙසේ නම් හේතුව තුළ ද යන්න සොයා බැලීමට දරුවන්ගේ මව්පියන්, අධ්‍යාපනික බලධාරීන්, ගුරුවරුන් වහාම කටයුතු කළ යුතුය.

හම්බන්තොට අධ්‍යාපන කලාපයේ බෝලාන මධ්‍ය මහා විiාලයේ 10 වැනි ශ්‍රේණියේ චමෝද් සත්සර දරුවා මිය යන්නේ කි.මී. 4 ක දුරක් සහිතව නිම කිරීමට තිබූ තරගයක පළමු කි.මී. එක හමාරක දුරක් නිම කිරීමෙන් පසුව තරගය අතරතුරය. මේ තරගය අදාළ අනුමත ක‍්‍රමවේදයන් සහිතව දරුවන්ගේ වෛi පරීක්ෂණ සිදුකර අනතුරුව වෛi කණ්ඩායමක සහය ලබමින් සිටින අතරය. දරුවාගේ පියා ද මැරතන් තරග සඳහා ක‍්‍රීඩා කර ඇති අයකු මෙන්ම දරුවා ද මෙයට කලින් දුර දිවීම තරගවලට සහභාගිව සිට තිබේ. දෙවැනි මිය ගිය දරුවා ද හම්බන්තොට කලාපයේ බෝලාන පඤ්ඤාසීල මහා විiාලයේ දැරියකි. වයස අවුරුදු 15 ක් පසුකර ඇති ඇය විiාලයේ 10 වසර ඉගෙනුම ලබා තිබේ. ඇය බරපතළ ලෙස ක‍්‍රීඩා තරගයක නිරත වී නැති වුවත් කාලයකින් පැවැත්වෙන නිවාසාන්තර තරගවල නෙට්බෝල් තරගවලට හා යගුලිය විසි කිරීමට තෝරා ගැනීමේ පුහුණු කටයුත්තකට සම්බන්ධව සිට නිවසට ගොස් තිබේ. ඇය පසුදා තරග සඳහා යාමට තමන්ගේ ඇඳුම් ආයිත්තම් සූදානම් කර පාඩම් කරන අතරතුර හදිසියේ මිය ගොස් ඇති බව දැනගන්නට තිබේ. මේ සිදුවීම් දෙකටම අදාළ පස්චාත් මරණ පරීක්ෂණ රස පරීක්ෂක වාර්තාවල නිගමනයන් මේ ලියන මොහොත දක්වා එළිදැක්වී නැත. මරණ පරීක්ෂණය නිස්චිත නිගමනවලින් තොරව ශරීර කොටස් රස පරීක්ෂක වෙත යවා තිබේ.

දැන් මෙවැනි අවස්ථාවක මව්පියන් සහ ගුරුවරුන් ද අදාළ බලධාරීන් ද එළඹිය හැකි නිගමනයන් පහත දක්වා තිබේ.

  1. ළමුන් මිය යන නිසා අදාළ තරග අවදානම් ලෙස සලකා එම ක‍්‍රීඩා තරග නොපැවැත් වීම.
  2. ක‍්‍රීඩාවට ළමුන් යොදවා දරුවන් මිය යාමට ඉඩ නොදී දරුවන් ක‍්‍රීඩාවට ඇතුලූ වීම වැලැක්වීම.
  3. බලධාරීන්ගේ චක්ක‍්‍රලේක මඟින් නිවේදන නිකුත් කිරීම සහ අදාළ චූදිතයන්ට දඬුවම් පැමිණ වීම.

හේතුව පලක ලා ඵලයන්ගේ එල්ලී කරන මේ සියලූ දේ අතීසාරයට අමුඩය ගැසීමක් බව නැවතත් කිව යුතුය.

වර්ථමානයේ පවතින්නේ මනස මූලික කර ශාරීරිකව නිෂ්ක‍්‍රීයත්වයට පත් කළ දරුවකු බොයිලර් ගොඩනැංවීම් මඟින් සමාජ තරගයක් සඳහා සූදානම් කිරීමේ ක‍්‍රියාවලියකි. මේ ක‍්‍රියාවලිය අධ්‍යාපන ක‍්‍රමවේදයන්ගේ අර්බුදයක් විසින් ජනිත කර තිබේ. දරුවන්ට දරුවන්ගේ ළමා කාලය අහිමි කර තිබේ. මව්පියන් ද නොනිමි තරගයක් සඳහා දරුවන් උදේ සිට සවස දක්වා ටියුෂන් ගත කර ඇත. ස්වභාවික ආහාර පෝෂණ අවශ්‍යතාවන් වෙනුවට කිරි වීදුරුවක් බොන්න දී පැටිස් එකක් හෝ රෝල්ස් එකක් පාන් පෙති කිහිපයක් කන්න දී දරුවන්ගේ පෝෂණය විසදයි. දරුවන්ගේ ශාරීරික ක‍්‍රියාකාරකම් ආරක්ෂාව හෝ වෙනයම් හේතු ඉදිරිපත් කර වලකා දමයි. අවසානයේ ශාරීරික ක‍්‍රියාකාරකම් හෝ චලන වෙත යා යුතු දරුවා කොම්පියුටර් ගේම්වලට ඌනනය වී සිටී. සමාජයීයව ගොඩනැඟිය යුතු ඇලේ දොලේ වෙලේ පාරේ පිට්ටනිවල නිදහසේ දුව පැන ශාරීරික චලන සංවර්ධනයේ නිමග්නව සිටිය යුතු දරුවා නිවසේ බිත්ති අතර හෝ වැට මායිම් අතර සිරවී සිර මැදිරි ගතව සිටී. මව්පියන් ද තමන්ගේ ළමා කාලයේ අත්දැකීම් ගැන කයිය ගසා දරුවන් හිර කඳවුරු ගත කර තිබේ. පාසල් තුළ බහුතර ගුරුවරුන්ට දගලන දරුවන් පේනට බැරිය. ක‍්‍රීඩා පිටිවල සිටන දුවන පනින දරුවන් වහාම පන්ති කාමරයට දක්කා තමන්ගේ විශ්වාසයන්ට අනුව ක්ෂික්ෂණය කිරීමට වෙර දරයි. ක‍්‍රීඩාව වහ කදුරු ලෙස පෙනෙන ගුරුවරුන් තාමත් පාසල්වල බහුතරය වී තිබේ. අධ්‍යාපනයට ක‍්‍රීඩාවේ අදාළත්වයක් නැති     බවත් ක‍්‍රීඩාවේ හා ශාරීරික ක‍්‍රියාවලින්හි නිරත වීම අධ්‍යාපනයට බාධාවක් බවත් විශ්වාස කරයි. ශරීරය අක‍්‍රිය කර මනස සංකල්පීයව වර්ධනය කිරීම සඳහා ක‍්‍රම උපායන් යොදයි. අවසානයේ සමස්ත අනාගත පරපුරම වෙත ව්‍යසනය උරුමයක් ලෙස දාය ද කරනු ලබයි. අති සංකීර්ණව සංවාද කළ යුතු කාරනාවක් සරලව කිව හැක්කේ මෙසේය.

පාසල් තුළ නිෂ්ක‍්‍රීයත්වයට පත්කර සංකල්පීයව වර්ධනය කිරීමට උත්සාහ දරන දරුවන්ට නිදහස පැමිණෙන්නේ පළමු වාරයේ පාසල් ක‍්‍රීඩාවන් සමඟිනි. ජීවිත කාලයක දීර්ඝව නිශ්කී‍්‍රය කළ දරුවන් මේ නිදහසින් උද්දාමයට පත්වී තමන්ගේ නිදහසේ බුක්තිය ලැබීමට හැකි සෑම උත්සාහයක්ම දරන අතිශියින් පාසල්වල දරුවන්ගේ ජීවී තෘප්තිමත්ම කාලය මෙම පළමු වාරයේ ක‍්‍රීඩා වකවානුවයි. දරුවන් උපරිමයෙන් තමන්ට සිත්සේ දුව පැන ඇවිඳීමට තරග කිරීමට යොමුවෙනුයේ මේ අවධියේ පමණි. කිසිදු විiාත්මක ක‍්‍රමවේදයක් රහිත ශාරීරික නිෂ්ක‍්‍රීයත්වයක සිටි දරුවන් එක වර ශාරීරික චාලක ක‍්‍රියාවන්ට යොමුවීම ක‍්‍රමිකව හෝ නිසි පුහුණුවකින් සිදු නොවේ. මේය මේ දරුවන්ට ශාරීරිකව දරාගැනීමට

නොහැකි කාරනාවක් බවට පත් වන්නේ අදාළ හේතුවල පසුබිමේය. මේ නිෂ්ක‍්‍රියත්වයට ලක් කළ දරුවන්ට තමන්ගේ ළමා කාලය ද අධ්‍යාපනයට ශාරීරික චාලක විiාවේ භාවිතාවන් ද එක්කළ යුතුව තිබේ. ශාරීරික අධ්‍යාපනය පන්ති කාමරයට සීමා වූ තවත් විෂයක් වීම විසින් ඛේදවාචකය සාධාරණිකකරණය කර ගනී. හේතුව ශාරීරික අධ්‍යාපනය පාසල් විෂය ක්ෂේත‍්‍රයේ තිබෙන බව පවසමිනි. දරුවන් පාසල් ක‍්‍රීඩා තුළ මිය යනවාට වඩා බෝ නොවන රෝගවලට ලක්ව මිය යයි. අතිශ්‍යයින් අසනීප රෝග තත්වයන්ට ගොදුරුව සිටී. පෝෂණ රෝග මෙන්ම මානසික ආතතිය, අව චාලකත්වය නිසා ඇතිවන චලන ඌනතාවයන්වලින් සමාජය වැසී පවතී. හේතුව වෙනුවට බොහෝ දෙනා ඵලයේ එල්ලී සිටී. මාධ්‍ය ඇස්වලට කඳුළු ගෙනෙන සිද්ධි වාර්තා කරමින් තම ව්‍යාපාර කරගෙන යයි. සමාජයේ පොදු ව්‍යසනයක වගකීම දැරීමට තරම් කෙනකු හෝ ආයතන නැත. දැන් මේ අභියෝගය දැරීමට උඩුගම් බලා පිහිනීමට සූදානම් වන්න.

මහේන්ද්‍ර කුමාර

Advertisements