පළමු මහින්දගේ පුනරාගමනය සහ දෙවැනි මහින්ද

Nugegoda-rallyමේ දිනවල දේශපාලන කරළිය හොලිවුඞ් ක‍්‍රියාදාම චිත‍්‍රපටියක් මෙන් කැලඹිලිකාරීය. විවේකයෙන් තොරව එකක් පසුපස එකක් සිදුවීම් ගලා එයි. ඔබ මහින්දට ඡුන්දය දුන් ලක්ෂ 58 න් කෙනකු නම් 18 වැනිදා නුගේගොඩට එන්න කියා පෝස්ටරයක් අලවා තිබුණි. ඒ පෝස්ටරය ඇලවූ දිනයේම වාගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ ගණනාවක නායකයන් මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කළේ මහින්ද යළි දේශපාලන කරළියට කැඳවිය යුතු බවය. මාධ්‍ය හමුවට සහභාගී වී සිටියේ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල ඇතුළු පිරිසකි. මෙම මාධ්‍ය සාකච්ඡුාවේ දී අදහස් දක්වමින් ගම්මන්පිල ප‍්‍රකාශ කළේ ”වීරයා මැරුනේ නෑ, වීරයා තංගල්ලේ කාල්ටන් නිවසේ ඉන්නවා” යනුවෙනි. ඒ අනුව මහින්ද යළි කැඳවීමේ ව්‍යාපෘතියක් දියත් වන බව පෙනේ. මේ ව්‍යාපෘතියට දරදිය අදින්නන්ගේ පළමු අපේක්ෂාව වී ඇත්තේ මහින්ද එසවීම නොව තමන්ට ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතර පදනමක් ගොඩනඟා ගෙන ඉදිරි මහ මැතිවරණයේ දී මනාප ගොඩ වැඩිකර ගැනීමයි. එවැනි අරමුණකින් වුවද සුුළං ගොස් හැකිළී ඇති මහින්ද රාජපක්ෂ නම් දේශපාලන ප‍්‍රතිරූපය යළි සුළං ගසා පිම්බීමට ඔවුන් උත්සාහ දරමින් සිටී. 18 වැනිදා නුගේගොඩ දී පවත්වන බව කියන රැුස්වීම ද මේ ව්‍යාපෘතියේ කොටසකි. මේ අතර 10 වැනිදා තිත්ත ඇත්ත නායකයාගේ සුවදුක් විචාරණ පිණිස බන්ධනාගාර රෝහලට පැමිණි මහින්ද රාජපක්ෂ මේ රැුස්වීම ගැන බබාපාට් දැම්මේය. එවැනි රැුස්වීමක් තිබෙන බව හෝ තමන් නොදන්නා බවට ඇගයීමක් ලබා දුන්නේය. කෙසේ වෙතත් බබාපාට්, ගොංපාට්, චණ්ඩිපාට් ආදී විවිධ පාට් හරහා මහින්දගේ පුනරාගමනයක් පිළිබඳ කතා බහ වර්ධනය වෙමින් තිබේ. මහින්දගේ පුනරාගමනය වැළැක්විය හැක්කේ කෙසේද?

 ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ස්වයංවාරණය

පළමු මහින්දගේ (මහින්ද රාජපක්ෂගේ) පුනරාගමනයක් වැළැක්වීමෙහි අත්‍යවශ්‍ය පළමු කොන්දේසිය වන්නේ දෙවැනි මහින්ද කෙනකු බිහි වීම වැළැක්වීමයි. මෛත‍්‍රීපාල – රනිල් ආණ්ඩුව (වඩාත් නිවැරදිව කියන්නේ නම් ශ‍්‍රීලනිපයේ, හෙළ උරුමයේ, ජවිපයේ හා මුස්ලිම් ක්‍රොංගසයේ සහාය ලබන එජාප ආණ්ඩුව* මහින්ද රාජපක්ෂ පාලනයේ ලක්ෂණම අනුකරණය කරමින් දෙවැනි මහින්ද පාලනයන් බිහි කිරීම යනු පළමු මහින්දට යළි දේශපාලනයට පිවිසීමට සඳහා වන මාර්ගයක් සැකසීමකි. අනෙක් අතට සිටින්නේ දෙවැනි මහින්ද කෙනකු නම් පළමු මහින්දගේ පුනරාගමනයක් සිදු වුවත්, සිදු නොවුවත් එතරම් වෙනසක් නැත. මහින්ද රාජපක්ෂට අදාළව අපට තිබුණු ප‍්‍රධානතම විවේචනය වූයේ ඔහු ලංකාව තුළ නවලිබරල් ධනවාදයේ දෙවැනි ඉනිම සඳහා වන නායක කාර්යභාරය ඉටු කිරීමයි. ලංකාව වැනි පසුගාමී රටක එවැනි කාර්යයක් සඳහා ඉදිරිපත් වන කවරකුට වුවත් ඒකාධිපති ලක්ෂණ, පසුගාමීත්වයන් අවශ්‍ය වන අතර මහින්ද රාජපක්ෂ ගෙන ගිය පාලනය බොනපාට්වාදී ලක්ෂණ අත්පත් කර ගත්තේ ද ඒ නිසා බව අපට නම් පැහැදිලිය.

අප එසේ නවලිබරල් ධනවාදී ආර්ථික වැඩපිළිවෙළ කේන්ද්‍ර කරගෙන කතා බහ අරඹද්දී අපට ආර්ථික නියතවාදීන් යැයි චෝදනා කරමින් ඇතැම් අය කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය සමහර දේශපාලන සංවාදයේ කේන්ද්‍රයට ගෙන ඒමයි. එහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය ආර්ථික ක්ෂේත‍්‍රයෙන් හා දේශපාලන ක්ෂේත‍්‍රයෙන් ගලවා වෙන් කෙරිණි. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දුන් බහුතරයක් දෙනාගේ ප‍්‍රධාන අභිලාෂය වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. වෙන මොනවා නැතත් මෛත‍්‍රීපාලනයේ මහින්ද පාලනයට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවා නේද කියා හිත හදාගන්නේ ඒ නිසාය. නමුත් අද අපට සාකච්ඡුා කරන්නට සිදුවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඒ ආකාරයට හිතාගෙන සිටින අයගේ හිත රිදෙන කතාවකි. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දෘෂ්ටිකෝණයෙන් බැලූව හොත් දෙවැනි මහින්ද කෙනකු බිහි වී ඇති බවය. මේ දෙක අතර කිසිම වෙනසක් නැතිදැයි විමසන්නකුට අපට දිය හැකි පිළිතුර වන්නේ ද වෙනසක් ඇති අතර ඒ අවසානය දැකගත හැකි වන්නේ පියවි ඇසින් නොව අන්වීක්ෂ හෝ විශාලන කාච භාවිත කර බවය.

පසුගිය සතිය වැදගත් වන්නේ මේ පිළිබඳව පියවි ඇසට පෙනෙන උදාහරණ කිහිපයක් අපට දැකගත හැකි වූ හෙයිනි. පසුගිය පෙබරවාරි දෙවැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ද අත්සන් කළ මෙතෙක් කල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් තැබූ අති විශේෂ ගැසට් නිවේදනය ඒ උදාහරණ අතරින් එකකි. එම ගැසට් නිවේදනය ම`ගින් සිදු කෙරුණේ ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ 22 වැනි වගන්තියට අනුව පැවරී ඇති බලතල ම`ගින් ත‍්‍රිවිධ හමුදාවට පොලිස් බලතල ලබා දීමයි. මෙසේ හමුදාවට පොලිස් බලතල ලබාදීමේ නිවේදනය මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කොටස්වලට බරපතළ විවේචනයට හසුව තිබූ නීතියක් වන අතර මෛත‍්‍රීපාල සිරිසේන එයම කරන විට ඒ හැමදෙනාම මුනිවත රකිති. නිදසුනක් ලෙස කලින් මේ සම්බන්ධයෙන් ඉතා තියුණු අරගලයක නිරත වූයේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය වන අතර එහි සභාපතිවරයා අයෝජන මණ්ඩලයේ සභාපති ධුරය හිමිකර ගැනීමෙන් අනතුරුව ඒ විරෝධය යටපත් වී ඇත.

අනෙක් උදාහරණ වන්නේ මෙතෙක් කලක් මර්දන නීති අහෝසි කිරීමට ඒවාට එරෙහිව කතා කළ අය ස්වයං වාරණයක් පවත්වාගෙන සිටීමයි. පෙබරවාරි 04 වැනිදා පාක්‍යසෝති සරවනමුත්තු, නිමල්කා ප‍්‍රනාන්දු, සුදර්ශන ගුණවර්ධන ආදී රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් ගණනාවක් අත්සන් කළ නිවේදනයක් දක්නට ලැබිණි. වෙනදා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යැයි ඍජුව පෙනී සිටි මේ අය දැන් ලියන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප‍්‍රමිතියකට අනුව යළි සකස් කර සංශෝධනය කළ යුතු බවය. මේ ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් කළ අයම ඒ ඉල්ලීම් කප්පාදු කරගැනීම, එය ස්වයං වාරණයකට ලක්කර ගැනීම දැන් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය මුහුණ දී තිබෙන බලවත්ම ප‍්‍රශ්නයකි. මහින්ද සුදු වෑන් එවා කළදේම මෛත‍්‍රී යටතේ ස්වයං වාරණයකින් සිදුවන්නේ නම් බිහිවන්නේ දෙවැනි මහින්ද යුගයක් මිස වෙනෙකක් නොවේ.

ජාතිවාදය හිස එසවීම

King is Nakedමහින්දගේ පුනරාගමනයක හෝ දෙවැනි මහින්ද කෙනකු තහවුරු වීමේ අනෙක් වැදගත්ම සාධකය වනුයේ ජාතිවාදයයි. මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරයේ දී තමන් පරාජය වීම වැළැක්වීම පිණිස උපරිම ලෙස ජාතිවාදය භාවිත කළේය. නින්දිත ලෙස ජාතිවාදය භාවිත කළ පසුවත් ඔවුනට ජයගත නොහැකි විය. එහෙත් ග‍්‍රාමීය සිංහල බෞද්ධ බලවේගවල බහුතර බලයක් දිනා ගැනීමට මහින්ද රාජපක්ෂ සමත් වී ඇති බව ද අමතක නොකළ යුතුය. මහින්ද යළි නැ`ගී සිටීමට උත්සාහ කරන්නේ ද ජාතිවාදය භාවිත කරමිනි. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන ආදීන් පිටපොට ගහගෙන වෙහෙසෙන්නේ ඒ ව්‍යාපෘතිය වෙනුවෙනි. ජාතිවාදය හිස එසවිය හැක්කේත් තහවුරු විය හැක්කේත් මහින්දගේ පුනරාගමනයක් හරහා පමණක් නොවේ. මහින්ද ලක්ෂ 58 ක ඡුන්ද ගොඩ දෙස බලාගෙන දේශපාලනය කිරීමට ගොස් මෛත‍්‍රීපාල දෙවැනි මහින්ද කෙනෙක් වීම හරහා ද එයම සිදුවිය හැක. අප මේ පිළිබඳ උදාහරණ රාශියක් පළමු සති කිහිපය තුළ ආණ්ඩුවෙන් දුටුවෙමු. උතුරෙන් එක් හමුදා භටයකුවත් එක් හමුදා කඳවුරක්වත් ඉවත් නොකරන බවට ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධන පුරසාරම් දොඩවමින් යන අතර යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණයක් ඉල්ලා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර තිබිණි. මේ යෝජනාව දැන්ම ඉදිරිපත් කිරීම නුසුදුසු බවට ඉන්දියාවත් මනෝ ගනේෂන් වැනි රට තුළ සිටින දමිළ කණ්ඩායමුත් ඉදිරිපත් කළ විරෝධයන් 11 වැනිදා මාධ්‍යවලින් ඉදිරිපත් කෙරිණි.

යුද අපරාධ සඳහා සිදුවිය යුත්තේ ජාත්‍යන්තර විමර්ශනයක් ද එසේත් නැත්නම් ජාත්‍යන්තර ප‍්‍රමිතියේ දේශීය විමර්ශනයක් ද යන විවාදය ආරම්භ වී ඇත්තේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් වූවන්ගේ තොරතුරු හෙළිදරව් කිරීම, දේශපාලන ඝාතනවල වගකිව යුත්තන් හෙළිකිරීම, උතුරේ ජනතාවගෙන් පැහැරගත් ඉඩම් හා දේපොළ යළි ලබාදීම, අවතැන් වූවන් හා නැවත පදිංචි කරනු ලැබූවන්ගේ ප‍්‍රශ්න විසඳීම ඇතුළු හදිසි ප‍්‍රමුඛතා ගණනාවක් පිළිබඳ කිසිදු සංවාදයක් නොමැති තත්වයක් තුළය. දෙමළ ජාතික සන්ධානය ද ආණ්ඩුවෙන් ඉක්මනින් ලබාගත හැකි ප‍්‍රතිසංස්කරණවලට වඩා දේශපාලන විවාදයක් පිළිබඳව උනන්දුවක් දක්වන බව පෙනේ. කෙසේ වෙතත් මේ ආණ්ඩුව ද අවසානයේ දී ඡුන්ද ගොඩවල් හෝ වෙනත් කරුණක් නිසා ඇදී යන්නේ මහින්ද පාලනයේම කැඩපත් පිළිබිඹුවක් වන තත්වයකට නම් මහින්දගේම යළි පැමිණීමක් හෝ වෙනත් මුහුණක් යටතේ මහින්දගේ දේශපාලනය යළි පණ ලැබීමක් වැළැක්විය නොහැක.

එබැවින් බොහෝ දෙනා මහින්දගේ යළි ඉපදීම පිළිබඳව උනන්දු වෙමින් සිටින අතර අප උනන්දු වන්නේ මහින්දගේ දේශපාලනය යළි ඉපදීම පිළිබඳවය. පළමු මහින්දගේ පුනරාගමනයක් හරහා හෝ දෙවැනි මහින්ද කෙනකු නිර්මාණය වීම හරහා සිදුවිය හැක්කේ මහින්දගේ විනාශකාරී දේශපාලනය යළි ඉපදීමයි. වැළැක්විය යුත්තේ එයයි. එය කළ හැක්කේ තම තමන් විවිධ කඳවුරුවලට බෙදී එම කඳවුරු ගැන හැගීම්බරව ඇලීමෙන් නොව සිදු වන දේශපාලන බලයක් ගැන විචාරශීලි වීමෙනි.

Advertisements