සරසවි මරණ, නවකවදය හා සමාජය

rag-2නවකවදය නිසාවෙන් ගෙල වැළලාගෙන සියදිවි නසාගත් සරසවි සිසුවියකගේ පුවතක් මේ දිනවල සමාජ වෙබ් ජාලාවල හා මාධ්‍යවල ප‍්‍රමුඛ පුවතක් වී හමාරයිි. මෙහිදී සියලූ‍ම මාධ්‍ය ඒක පාර්ශ්වීය ලෙසින් අදාළ පුවත පළ කරන ආකාරය දකින විට මාධ්‍ය පිළිබද පැන නඟින්නේ බලවත් පිළිකුලක්.

මව්බිම පුවත්පතට අනුව පළමු වසර සිසු සිසුවියන් හැර අනෙක් සියලූ‍ සිසු සිසුවියෝ යක්ෂයෝ හා යක්ෂණියෝය. සෙසු මාධ්‍යයන්හි මෙකී පුවත පළ කිරීමේ ව්‍යංගාර්ථය මෙයින් ඔබ්බට ගොස් නැති බව පැහැදිලියි. සැබැවින්ම මෙහි ඇති ගැටලූව කුමක්ද යන්න ගැඹුරින් සොයා බැලිය යුතු කරුණක්.

උසස් පෙළින් පසු සරසවි වරම් ලැබූ සුන්දර මොහොත මට අදටත් සිහිපත් වෙනවා. ඒ සුන්දරත්වය අත් විඳීමට තරම් අප වාසනාවන්තයි. සරසවි බිමට පළමු වරට පා තබද්දී ඇති වූ තිගැස්ම ජීවිතයේ පළමුවරට ඇතිවන තිගැස්මක් නෙමෙයි. උසස් පෙළ පළමු ප‍්‍රශ්න පත‍්‍රය අතට ලැබෙදදීත් අප වින්දේ මෙවන් තිගැස්මක්.

නවක නම්නීකරණය නම් වූ සතියක පොදු වැඩසටහනට සම්බන්ධ වෙච්ච හැටි තාමත් මතකයි. මෙලෝ හසරක වැදගැම්මක් නැති, හිස් ප‍්‍රලාප රැුසක් සමඟ සතියක් ගත කළ පසු නවක නම්නීකරණය අවසන් විය. පරිපාලනය සිතා සිටියේ අප දැන් සරසවි බිමේ පරිණතයන් බවය.

නමුත් මුල් සතිය ගෙවී ගිය පසු එළඹියේ නවකවද කාලයයි. විඳින විට යම් තරමක අපහසුවක් වුවද, අප විඳි නවකවදය සිහිපත් වන විට අද ඇතිවන්නේ අති සුන්දර හැඟීමක්. සරසවි මතකයන්හි සුන්දරතාවන් එකින් එක පෙළ ගස්වද්දී මුලින්ම සිහියට එන්නේද නවකවද සමයයි.

මෙකී නවකවදය සුන්දර වදයක්. විටෙක අපට රූපවාහිනියේ වෙළෙඳ දැන්වීම් රඟපා පෙන්වීමට සිදු වුණා. එයින් නොනැවතී අපගේම නිර්මාණයක් කර පෙන්වීමට විතරක් නෙමෙයි, උදේ පාන්දරින් අවදි වී තමන්ගේ ආගම සිහි කරන්නට ද අපට සිදු වුණා. එකට ගුලි වී නිදන්නට, තමන්ගේ සැප අමතක කර දමා එක ඇඳක සිව් දෙනකු නිදන්නට, එක පිඟානේ සිව් දෙනකුට කන්නට, තවෙකකුගේ පිඟානකින් කන්නට, තවෙකකු විසින් අනන ලද බත් කන්නට, සිය දෙනකු එක් කෝප්පයකින් තේ වතුර බොන්නට…. මෙකී නොකී අත්දැකීම් අපට විඳින්නට සිදු වූයේ නවකවද කාලය තුළදීයි.

එකල ජ්‍යෙෂ්ඨ සිසුන් පිළිබඳ අපේ හිතේ තිබුණේ බලවත් කෝපයක්. අපි හතර දෙනෙක් එක් ඇඳක නිදද්දී ඔවුන් සැප පහසුවෙන් නිදනා බව අප සිතුවා. හතර දෙනෙක් එක් පිඟානත බත් කද්දී ඔවුන් තනි තනිව බත් කන බව හිතුවා. ඒ කාලේ අපගේ වෛරක්කාරයන් වූයේ ජ්‍යෙෂ්ඨ සිසුන්. මෙකී කාලසීමාව තුළ අපගේ දෙසවන් පිරී ගියේ කුණුහරුපවලින්. කොහොම උනත් අපගේ පහසුකම් පිළිබඳ සොයා බලන්නට ජ්‍යෙෂ්ඨ සිසුන් කිසිවිටෙක අමතක කළේ නැහැ. තුන්වේල කෑම, දෙවේල තේ ආදී සියලූ‍ කරුණු කාරණා මේ කාලය තුළ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් අපට නොඅඩුව සැපයීම විශේෂිත කරුණක්.

කෙසේ හෝ නවකවද සමය නිමා වී ජ්‍යෙෂ්ඨයන් විසින් නවක අප ඔවුන්ගේ සමාජයට පිළිගන්නා, සරසවි බසින් ”බකට් එක” දුන් දිනය මා හට ජීවිතයේ අමතක නොවන සිදුවීමක්. එදා විඳි සුන්දරත්වය මේ තාක් මා තවත් වරක් කිසිදු අයුරකින් විඳ නැහැ.

”අදින් පස්සේ ජීවිතේ සුන්දරයි…. කරදර ඔක්කොම ඉවරයි…….” අපි හිතුවේ එහෙමයි.

”දැන් ඉතින් ඔන්න උඹල නිදහස්… දැන් උඹල උඹලගේ දේවල් බලාගන්න ඕනේ…..” ජ්‍යෙෂ්ඨ සිසුන් එහෙම කියද්දි අප සිතුවේ අපේ රාජ්‍යය අපිට ලැබුණු බවයි. අපි ‘කැම්පස් ජීවිතේ’ ඇත්තටම පටන් ගත්තේ ඉන් පසුවයි.

ඊට පස්සේ කැන්ටිමට ගියාම සල්ලි තියෙන එකා කෑව. නැති එකා බලන් හිටිය….?

නෑ…. එහෙම උනේ නෑ. අර නවකවද කාලයේ දී අපි හැමෝම එකයි කියල අපිට පෙන්නපු සහෝදරත්වය එළියට ආවා. කට්ටිය කල්ලි ගැහුණා තමයි. හැබැයි ඒ කල්ලිය ඇතුළෙ තමන්ගෙ එකාව තමන්ගේ කල්ලිය එහෙම නැත්තම් ‘ටීම් එක’ බලා ගත්තා. තමන්ගේ රූමා ගැන රූම් එකේ අනික් එවුන් බලා ගත්තා. තමන්ගේ බැචා ගැන බැච් එකේ අනික් උන් බලා ගත්තා. උන්ගේ දුකට සැපට හිටියා. සල්ලි ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි. ඒක නිසා තමයි අපේ හිටපු සල්ලි තියෙන එවුනුයි, නැති එවුනුයි දෙගොල්ලොම උපාධිධාරීන් වෙලා සරසවියෙන් පිටවෙලා ගියේ.

සරසවි නේවාසිකාගාරය කියන්නේ පහසුකම් සහිත තැනක් නෙමෙයි කියල අපිට තේරුණේ බකට් එකෙන් පස්සෙයි. එතකොට තමයි අපි දැනගත්තේ එක කාමරයකට ඇඳන් හතරයි, හැබැයි කාමරේ සගයෝ හයයි හෝ අටයි කියල. අන්න එතනදි තමයි අපිට අර නවකවද කාලයේ දී එක ඇඳේ හතරදෙනා නිදා ගත්ත හැටි මතක් වුණේ.

කන්න කැන්ටිමට ගියාම පෝලිමේ ඉන්න වුණේ නවකවදයෙන් පස්සේ. ඇත්තටම අපි වද වින්දේ, දුක් වින්දේ නවකවදයෙන් පස්සේ. පෝලිමේ ඉඳලා කෑම එක අතට ගන්නකොට ඒ වෙලාවේ දේශනයට යන්න තියෙන මගේම බැචෙක් පෝලිමේ අන්තිමට ඉන්නව. කරන්න දෙයක් නෑ… ඌටත් අඬගහල මගේ පිඟානෙන්ම කෑම කාල, මදි පාඩුවට ‘අඩුවක්’ කාලා බඬේ හිඩැසට වතුර බීල දේශනවලට ගියේ. එතකොටයි නවකවද කාලයේ දී එක පිඟානේ හතරදෙනෙක් කාපු විදිය මතක් වුණේ.

ඇත්තටම අන්ත දුප්පත්, පොතක් පතක් ගන්න බැරි අනන්ත අප‍්‍රමාණ පිරිසක් අපි එක්ක හිටියා. ඒ දවස්වල සරසවියේ ‘ජිම්’ එකේ ෆොටෝ කොපි හරිම අඩු මුදලට තිබුණා. නමුත් ඒකවත් කරගන්න බැරි කී දාහක් අපිත් එක්ක හිටියද? මහපොළ කියල අපිට ලැබුණේ රු. 2000.00යි. බර්සරි එහෙමත් නැත්නම් ශිෂ්‍යාධාර ලැබුණේ රු. 1500.00යි. මහපොළෙන් රු. 1000.00ක් අතේ තියාගෙන අනිත් රු. 1000.00 ගෙදරට ඇරපු, ශිෂ්‍යාධාරයෙන් රු. 500.00ක් තියාගෙන ඉතිරි රු. 1000.00 ගෙදරට ඇරපු කොල්ලො, කෙල්ලො කීයක් නම් අපේ බැච් එකේ හිටියද?

හැබැයි රු. 1000.00ක් ඉතිරි කරගත්ත එකයි, රු. 500.00ක් ඉතිරි කරගත්ත එකයි කවදාවත් බඩගින්නේ හිටියේ නෑ. සල්ල නැති එකා බඩගින්නේ ඉන්දැද්දි, සල්ලි තියෙන එකා බඩ පැලෙන්න කෑවේ නෑ… ඒක තමයි අපි නවකවදයෙන් එකතු කරගත්ත දේ…කියනව නම් තව ගොඩාත් දේවල් තියෙනව කියන්න…

මේ අතරේ නොකියාම බැරි තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි යම් යම් හීනමානයෙන් යුත් පිරිස් ඕනෑම සමාජයක ජීවත් වෙනවා. මේ අය මේ කියන නවකවදයට සම්බන්ධ වුණාම නවකවදය අමානුෂික වෙන්න පුළුවන්. ඒ වගේ සිදුවීම් වෙනුවෙන් අපි ඍජුව අපේ විරෝධය දැක්විය යුතුයි. මොකද හීනමානයෙන් යුත් පිරිස්වලට අපේ භාෂාවෙන් කියනව නම් පිස්සු කෙළින්න දෙන්න බෑ. ඒ අය පිස්සු කෙළින නිසා තමයි සරසවි තුළ විවිධ අයහපත් සිදුවීම් සිදු වෙන්නේ.

දැන් ඊනියා සදාචාරවාදීන් කියාවී මම නවකවදය සාධාරණිකකරණය කරනවා කියල. ඔව්… මම විඳපු විදියේ නවකවදයක් නම් මම ඒ වෙනුවෙන් ඕනේ මොහොතක පෙනී සිටිනවා. මොකද ඒකේ සුන්දරත්වය, ඒකෙන් අපි ලබාගත්ත අත්දැකීම, ජීවිත අවබෝධය අප‍්‍රමාණ නිසා. හැබැයි අමානුෂික, ම්ලේච්ඡු, තුච්ඡු ක‍්‍රියාවලින් යුත් නවකවදයක් නම් මම එයට විරුද්ධව පෙනී සිටින්න දෙපාරක් හිතන්නේ නෑ. ඒ කියන්නේ අර මුලින් කියපු විදියේ හීනමානයෙන් යුත් මානසික රෝගීන්ට පිස්සු කෙළින්න දෙන්න බෑ.

මේ තමයි අපි විඳපු නවකවදය. මේ ගැන ලියන්න නිමිත්ත වෙච්ච සබරගමුව සරසවි සිසුවිය ගැනත් යමක් කියන්න ඕනේ. මුලින්ම කියන්න තියෙන්නේ මේ සිදුවීම ගැන අවංකවම මම කණගාටු වෙනවා. මේ වගේ සිදුවීම් මින් ඉදිරියට කවදාවත් වෙන්න එපා කියලත් මම ප‍්‍රාර්ථනා කරනවා.

මේ සිසුවිය විශ්වවිද්‍යාලයට ඇවිත් තියෙන්නේ මීට වසරකට කලින්. ඇය නවකවදයෙන් අමානුෂික ලෙස පීඩා වින්ද කියල ඇගේ දෙමාපියන් කියනවා. එහෙම වෙලා නම් එය විධිමත් ලෙස පරීක්ෂණයට බඳුන් කළ යුතු කාරණාවක්.

නමුත් මෙතෙන තියන ගැටලූව ඇය නවකවදයෙන් දැඩි මානසික පීඩාවට පත් වෙලා නිවසට ඇවිත් තියෙන්නේ ගිය අවුරුද්දේ ජූනි මාසයේදීයි. ඉන් පස්සේ ඇය විශ්වවිද්‍යාලයට ගිහින් නෑ. එහෙනම් ඇය ගිය අවුරුද්දේ ජූනි මාසයේ ඉඳන් මේ වෙනකම් විශ්වවිද්‍යාලයට නොගිය, ගෙදරම ඉඳපු තැනැත්තියක්. නමුත් ඇය සියදිවි නසාගන්නේ 2015 වසරේ පෙබරවාරි 16 වැනිදා. නමුත් ඇගේ ගෙල වැළලා ගැනීමට ආසන්න සිදුවීම වෙන්නේ (දෙමාපියන් කියන ලෙස හා ඇගේ ලිපියේ සඳහන් පරිදි* සරසවියේ දී ඇයට විඳින්න සිදුවූ නවකවද පීඩාවයි. කෙසේ වෙතත් ඇය 2015 පෙබරවාරි 16 වැනිදා කුමන හෝ අසනීපයකට ප‍්‍රතිකාර ගෙන තියෙනවා කියල පොලිසිය සඳහන් කරල තියෙනවා.

මේ සි¥වීම් එකිනෙකට පරස්පරයි. විශ්වවිද්‍යාලයේ දී ඇය මුහුණ දීපු නවකවදයෙන් ඇයට වූ බලපෑම මාස අටක් තිස්සේ ඇයගේ මව්පියන්ට දැනුනේ නැද්ද? ඇය නැවත විශ්වවිද්‍යාලයට නොයන්නේ ඇයි දැයි මව්පියන් සොයා බැලූ‍වේ නැද්ද? ඇයගේ මානසික පීඩනයේ ගැටලූව මාස අටක් තිස්සේ ගෙදර කිසිවෙකුට වැටහුනේ නැද්ද? නැත්නම් එතෙක් කලක් ඇය ඇයගේ පීඩාව සඟවාගෙන සිටියාද?

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදය රත්නායක මහතා මේ සම්බන්ධයෙන් පුවත්පතකට අදහස් පළ කරලා තිබුණා. එහිදී ඔහු කියල තිබුණෙ මේ ශිෂ්‍යාවට මානසික ආතතියක් තියෙනව කියල. ඇයට අවස්ථාවන් කිහිපයකදී අධ්‍යයන නිවාඩු ලබාදීලා ගෙදර යවල තියෙනවා ප‍්‍රතිකාර ලබාගන්න. ඒ විතරක් නෙමෙයි ඇය සරසවිය තුළ අවස්ථාවන් කිහිපයකදී විවිධ ගැටලූ මතු කරගෙන තියෙනවා. ඒ අවස්ථාවන් කිහිපයේ දී ඇය ප‍්‍රකාශ කරපු දේවල් එකිනෙකට පරස්පර බවයි පීඨාධිපතිවරයා පවසා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඇයගේ පවුලේ විවිධ ගැටලූ තිබුණු බව ඇයගේ සමීපතම ඥාතීන් පමණක් නෙමෙයි ඇයගේ මිතුරු මිතුරියන් පවා දැන සිටි කාරණාවක්. එහෙමනම් මේ මරණය නවකවදය නිසාම සිදු කරගත් සියදිවි නසා ගැනීමක්ද…?

මේ සියල්ලට පිළිතුරු සෙවිය යුතුයි. සොයා බලා විමර්ශනය කර නැතහොත් ගවේෂණාත්මක වාර්තා කිරීමක් මාධ්‍ය විසින් කළ යුතුයි. එසේ නොවන තාක් කල් සරසවිවල සියලූ‍ මරණයන්ගේ චෝදනාව නවකවදය පමණක්ම වනු ඇත. සමාජය එකී කඩතුරාව කිසි දිනක විවෘත නොකරනු ඇත.

සජිත් සාරංග සේනාරත්න

Advertisements