සිහින දහසක්,ගැසට් දෙකක් හා කඩවුණු පොරොන්දු

06-11නව ජනාධිපතිවරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන දිවුරුම් දුන්නේ ජනවාරි 9 වැනිදා. මාසයක් ගතවෙන්නත් කලින්, පෙබරවාරි 2 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදන දෙකක් මඟින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන බවට ඔහු මැතිවරණ වේදිකාවේ දී දුන් පොරොන්දු සියල්ල අමු අමුවේ කඩකළා. මහින්ද රාජපක්ෂ පාලනය විසින් ගෙනගිය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩපිළිවෙළ පරාජය කරන බවට දුන් පොරොන්දුව කැඞීමේ තීරණාත්මක මොහොත සනිටුහන් වුණේ ඔහුගේ දිවුරුම් දීමෙන් දින 24 කට පසුව. එදින නිකුත් කළ 1900/03 හා 1900/04 ගැසට් නිවේදන දෙක ගැන කතා කිරීම වැදගත් වන්නේ මහින්දගේ මර්දනීය නීති යහපාලන දවටනයක් සහිතව අලූත් කරමින්, යාවත්කල් කරමින් පවත්වාගෙන යන අයුරු පැහැදිලි කරන්න ඒ තරම් අගනා උදාහරණ තවත් නැති නිසා.

පැය 48 ක් කූඩුවේ!

අපි මුලින්ම 1900/03 අංකය දරන අතිවිශේෂ ගැසට් නිවේදනය පිළිබඳව කතා කරමු. එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ අධිකරණ හා කම්කරු සම්බන්ධතා ඇමැති විජේදාස රාජපක්ෂගේ අත්සනින් ‘2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහය (විශේෂ විධිවිධාන) පනත – 7 (2) වගන්තිය යටතේ වූ නියමය’ යන ශීර්ෂය යටතේ. ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයට එම පනතේ විධිවිධාන ක‍්‍රියාත්මක කිරීම 2015 පෙබරවාරි 02 වැනි දින සිට අවුරුදු දෙකක කාලයක් දක්වා දීර්ඝ කර තිබෙනවා. ‘අපරාධ නඩු විධාන සංග‍්‍රහය (විශේෂ විධිවිධාන) පනත’ යන බරසාර නමෙන් හඳුන්වන නීතිය සාමාන්‍ය ජනතාව අතර ජනප‍්‍රිය වුණේ ‘පැය 48 නීතිය’ නමින්. ඒ නීතියට වසර ගණනාවක ඉතිහාසයක් තිබෙනවා. අපරාධ නඩු විධාන සංග‍්‍රහය (විශේෂ විධිවිධාන) පනත මුලින්ම පාර්ලිමේන්තුවේ සම්මත වුණේ 2005 මැයි 31 වැනිදා, 2005 අංක 15 දරන පනත නමින්. එම පනතේ 7 වැනි වගන්තියට අනුව පනත වලංගු වන්නේ වසර දෙකකට පමණයි. ඒ වසර දෙක ඉක්ම යාමෙන් පසුව 2007 වසරේ ඔක්තෝබර් 9 වැනිදා පාර්ලිමේන්තුව 2007 අංක 42 දරන පනත ලෙස මෙය නැවත වසර දෙකකට නීතිගත කළා. එම පනතේත් 7 වැනි වගන්තියෙන් මෙහි කාලය වසර දෙකකට සීමා කළත් යළි පනත් සම්මත කිරීමෙන් තොරව අධිකරණ ඇමැතිවරයාගේ ගැසට් නිවේදනයකින් දීර්ඝ කිරීමේ අවස්ථාව සලසා දී තිබුණා. ඒ විතරක් නෙවෙයි, 2007 මැයි 31 සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා කාලයටත් එනම් අතීතයටත් බලපාන පරිදි මේ පනත සම්මත කර තිබුණා.

2007 අංක 42 දරන පනතේ 7 වගන්තියට අනුව ඇමැතිවරයාට ගැසට් නිවේදනයක් මඟින් නීතියේ කාලය වසර දෙකකට දිගු කළ හැකි වුවත් පසුව හෝ ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතුයි. 2009 මැයි 31 වැනිදා එවකට සිටි අධිකරණ හා නීති ප‍්‍රතිසංස්කරණ ඇමැතිවරයා මෙම නීතිය වසර දෙකකට දීර්ඝ කරන ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. නමුත් ඔවුන්ට මේ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමේ අවස්ථාව මඟහැරුණා. ඒ අනුව 2007 දී නීතිය සම්මත වී වසර දෙකකට පසුව, එනම් 2009 ඔක්තෝබර් 9 වැනිදා මේ නීතිය අවලංගු වුණා. ඉන්පසුව 2010 අපේ‍්‍රල් මාසයේ දී මහමැතිවරණයෙන් අලූත් පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනුණා. 2011 මැයි මස 30 වැනිදා අධිකරණ හා නීති ප‍්‍රතිසංස්කරණ ඇමැතිවරයා යළි ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ අතීතයටත් බලපාන ලෙස 2009 මැයි 31 සිට 2011 මැයි 31 දක්වා මේ නීතිය පැනවෙන ලෙස. ඒ ගැසට් නිවේදනය අනුමත කිරීම සඳහා වන යෝජනාව 2011 සැප්තැම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන ආවත් එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය එයට එරෙහිව විවාදයක් ඉල්ලා සිටියා. ඒ විවාදය ලැබුණේ නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීමක් තිබුණේත් නෑ. ඒ අනුව 2009 ඔක්තෝබර් 9න් පසු මේ නීතිය බලශූන්‍ය වී තිබුණා.

මේ අතර එක්වරම 2012 නොවැම්බර් මාසයේ දී මෙය පනතක් ලෙස පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කෙරුණා. මේ නව පනත කළින් පනත අවලංගු වූ 2009 මැයි 31 සිට පනත සම්මත වන දින දක්වා අතීතයටත් බලපාන පරිදි වලංගු වේ යැයි එහි 8 වැනි වගන්තියේ සඳහන් වුණා. ඒ වගේම කලින් පනත්වල හා ගැසට් නිවේදනවල මෙන් අධිකරණයට ඉදිරිපත් නොකර සැකකරුවකු පොලිසියේ තබාගත හැකි කාලය පැය 24 සිට 48 දක්වා වැඩිකර තිබුණා. මේ නව පනතට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් කුමාර හා තරුණ නීතීඥ සංගමයේ නීතීඥ නුවන් බෝපගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කළා. මීට අමතරව පනතට එරෙහිව වමේ පක්ෂවල උද්ඝෝෂණ මාලාවක්ම පැවැත් වුණා. අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය පනතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණි බව තීරණය කළා. ඒ අනුව නීතිය අතීතයට බලපාන පරිදි පැනවීම අවලංගු වුණා. ඒත් පනත සම්මත වූ 2013 ජනවාරි 22 වැනිදා සිට වසර දෙකකට පොලිසියට සැකකරුවන් පැය 48 ක් පොලිසියේ රඳවා තබාගැනීමේ අවකාශය හිමිවුණා. එම පනතේ 7 (2* වගන්තියට අනුව මෙම නීතිය අධිකරණ ඇමැතිවරයාගේ ගැසට් නිවේදනයක් මඟින් තවත් වසර දෙකකට දීර්ඝ කළ හැකියි. එම ගැසට් නිවේදනය නිකුත් කළ දින සිට මාස තුනක් ඇතුළත එය පාර්ලිමේන්තුවේ අනුමත කළ යුතු බව 7 (4* වගන්තියේ දැක්වෙනවා. අලූත් ආණ්ඩුව මේ නීතිය වසර දෙකකට දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ ඒ බලතලවලට අනුව.

මේ සම්බන්ධයෙන් පැවැත්වුණු පාර්ලිමේන්තු විවාදයේ දී වත්මන් නීතිය හා සාමය ඇමැති ජෝන් අමරතුංග, වත්මන් අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජිව සේනසිංහ වගේම වත්මන් ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවේ සිටින සුමන්දිරන් හා අනුර දිසානායක මේ පනත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි බවට තර්ක කළා. ඒ තර්ක බැලීමට අවශ්‍ය අයට පාර්ලිමේන්තු වෙබ් අඩවියට ගොස් 2013 ජනවාරි 22 වැනිදා හැන්සාඞ් වාර්තාව පරීක්ෂා කරන්න පුළුවන්. අපි ඒ තර්ක නැවත ලියන්නේ නෑ. ‘මහින්ද කරන කොට නරකයි, මෛත‍්‍රී කරන කොට හොඳයි’ ප‍්‍රතිපත්තිය ගැන තේරුම් ගන්න ඒවා කියවන ලෙස අපි පාඨකයන්ට ආරාධනා කරනවා. මොකද මේ ආණ්ඩුව වසර දෙකකට දීර්ඝ කළේ එදා ඔවුන්ම විරුද්ධ වූ නීතිය.

හමුදාවට පොලිස් බලතල

පෙබරවාරි 2 වැනිදා නිකුත් කරන ලද අනෙක් අතිවිශේෂ ගැසට් නිවේදනය 1900/04 දරන ගැසට් නිවේදනය. එයට අත්සන් කර තිබෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන. එහි මාතෘකාව යොදා ඇත්තේ ‘(40 වැනි අධිකාරය වූ* මහජන ආරක්ෂක පනත යටතේ වන නියමය’ ලෙසිනි. එය නිකුත් කර ඇත්තේ මර්දන නීතියක් ලෙස දෝෂ දර්ශනයට භාජනය වී ඇති මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව. මේ ගැසට් නිවේදනයට අනුව එහි පළමු උපලේඛනයේ දක්වා ඇති හමුදාවන්ට දෙවැනි උපලේඛනයේ දක්වා ඇති ප‍්‍රදේශ තුළ පොලිසිය සතු බලතල හිමිවෙනවා. පළමු උපලේඛනයේ යුද හමුදාව, නාවුක හමුදාව හා ගුවන් හමුදාව යන ත‍්‍රිවිධ හමුදාවම සඳහන් කර තිබෙනවා. දෙවැනි උප ලේඛනයේ ලංකාවේ පරිපාලන දිස්ත‍්‍රික්ක සියල්ලම හා යාපනය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත‍්‍රිකුණාමලය, පුත්තලම යන දිස්ත‍්‍රික්කවලට යාබද දේශීය ජලතීරයත් ඇතුළු කර තිබෙනවා. තේරුම් ගත හැකි ආකාරයට කියනවා නම් 1900/04 දරන ගැසට් නිවේදනය මඟින් සිදුකරන්නේ මුළු ලංකාවටම හා සාගරයේ විශාල කොටසකට බලපාන පරිදි හමුදාවට පොලිස් බලතල පවරනවා.

සාමාන්‍යයෙන් ඕනෑම රටක හමුදාව සහ පොලිසිය අතර ව්‍යුහාත්මක වෙනසක් තිබෙනවා. පොලිසිය සිවිල් කටයුතු සඳහාත් හමුදාව යුද්ධය සඳහාත් පුහුණු කෙරෙනවා. හමුදාවට සාමාන්‍ය සිවිල් කටයුතු, සාමය පවත්වාගෙන යාමේ වගකීම, පුරවැසියන් පරීක්ෂා කිරීමේ හා අත්අඩංගුවට ගැනීමේ බලය, වාහන හා නිවාස පරීක්ෂා කිරීමේ බලය ආදිය පැවරීම සාමාන්‍යයෙන් සැලකෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රියාවක් විදියට. මේ ගැන උතුරේ සිදුවූ සිද්ධි ගණනාවක දී වගේම රතුපස්වල ජනතා උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිද්ධියේ දීත් සාකච්ඡුාවක් ඇති වුණා. මේකෙන් අදහස් වෙන්නේ හමුදාව වෙනුවට පොලිසිය ගහන එක හොඳයි කියන එක නෙවෙයි. ඒත් හමුදාවේ හා පොලිසියේ මැදිහත්වීම් අතර වෙනසක් තිබෙනවා.

මේ නීතිය අදාළ වන්නේ සාමාන්‍ය නීතියට නෙවෙයි, හදිසි නීතියට. හදිසි නීතිය යටතේ හමුදාවට පොලිස් බලතල පවරන්න පුළුවන්. ඒත් මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියට අනුව රටේ යම් පාලනය කළ නොහැකි තත්වයක් පවතින විට එම ප‍්‍රදේශය සඳහා සීමිත කාලයකට හමුදාව කැඳවන්න ජනාධිපතිවරයාට බලය තිබෙනවා. නමුත් ඒ නියෝගය පැනවිය හැක්කේ උපරිම දින 30 ක කාලයකට පමණයි. හදිසි නීතිය යටතේ මේ නියමය අවසන් වරට නිකුත් වුණේ 2011 අගෝස්තු 06 වැනිදා. ඉන් පසුව සාමාන්‍ය නීතිය යටතේ එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2011 සැප්තැම්බර් 6 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මාසයක කාලයක් සඳහා හමුදාවට පොලිස් බලතල පැවරුවා. ඉන්පසුව මාසයක් පාසා මේ ගැසට් නිවේදනය අලූතින් නිකුත් කෙරුණා. මෙයට එරෙහිව අද ආණ්ඩුවේ සිටින, එදා විපක්ෂයේ සිටි පක්ෂ විරෝධය දැක්වූවා. අද මේ ආණ්ඩුවේ සමීපතමයන් ලෙස කටයුතු කරන ශී‍්‍ර ලංකා නීතීඥ සංගමයේ නායකයන් මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීතියට එරෙහිව රට පුරා සම්මන්ත‍්‍රණ හා දැනුවත් කිරීම් පැවැත්වූවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ සඳහා අවසන්වරට ගැසට් නිවේදනයක් නිකුත් කළේ 2015 ජනවාරි 3 වැනිදා. එසේ මාසයෙන් මාසය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති පැනවීම මඟින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පෙබරවාරි 2 වැනිදා අධිකරණයටත් ගියා. නමුත් ඒ විරෝධය තිබියදීම 2015 පෙබරවාරි 2 වැනිදා මෛත‍්‍රීපාල සිරිසේන මේ නීතිය තවත් දින 30 කට දීර්ඝ කර තිබෙනවා.

මේ තත්වය ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට බරපතළ තර්ජනයක් බවට විවාදයක් නෑ. දැන් මේ ඒකාධිපති නීති ක‍්‍රියාත්මක කරන්නේ ‘ඒකාධිපති රාජපක්ෂ පාලනය’ නෙවෙයි, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී – යහපාලන’ මෛත‍්‍රී පාලනය. බලය ගැනීම වෙනුවෙන් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන් පාවිච්චි කරන මේ අය බලය ගත් පසු ඒවාට පයින් ගසන ආකාරය ගැන තේරුම් ගන්න මේ ගැසට් නිවේදන දෙක පමණක්ම වුවත් ප‍්‍රමාණවත්. ඒ වගේ තව තවත් උදාහරණ දිනපතා එකතු වෙමින් තිබෙනවා.

සුධීර ප‍්‍රභාෂ්වර

Advertisements