මාර්ග සංවර්ධනයේ ඇත්ත සහ මිථ්‍යාව-2

new methodලංකාවේ මහාමාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීම පිළිබඳ පසුගිය කාලයේ ජනප‍්‍රසාදයක් ඇතිවිය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් මෙම ව්‍යාපෘතිවල මූලිකයා බවට මතයකුත් ප‍්‍රචාරය විය. එහෙත් ඇත්ත වශයෙන්ම මෙවැනි ව්‍යාපෘති ක‍්‍රියාවට නැංවුණු ආකාර කීපයක් තිබේ. එයින් එකක් ‘අධිවේගී මාර්ග ව්‍යාපෘති’ ලෙස හඳුන්වන රටපුරාම අධිවේගී මාර්ග තැනීමේ ක‍්‍රියාදාමයයි. එසේම ප‍්‍රධාන මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ වගකීම ඇත්තේ මහාමාර්ග අමාත්‍යාංශයටයි. එය ක‍්‍රියාවට නැඟුවේ මාර්ග සංවර්ධන අධිකාරිය හරහාය. එසේම පළාත් සභා මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ කටයුතු ක‍්‍රියාත්මක කෙරුණේ ප‍්‍රාදේශීය දේශපාලකයන් හරහාය. පළාත් සභා ඇමැතිවරුන්ට මෙම ව්‍යාපෘති හරහා කොමිස් ලැබුණු බවට සැකයක් තිබේ. ප‍්‍රාදේශීය සභා යටතේ නඩත්තුවන පටු මාර්ග පවා කාපට් ඇතිරිමට, කොන්කී‍්‍රිට් දැමීමට හෝ සිමෙන්ති ගල් ඇතිරීමට කටයුතු කෙරිණි. මෙය ජනතාවගේ ප‍්‍රසාදයට හේතු වුණත් මේවා සඳහා වැය කෙරුණේ ජනතාවගෙන්

අයකරගන්නා බදු මුදල් බව අවධානයට ලක් විය යුතුය. ඒ නිසාම මෙවැනි මාර්ග සංවර්ධන කටයුතු කල්පැවැත්මක් සහිතව නිසි ඉංජිනේරු විiාත්මක ක‍්‍රමයකට සිදුවනවාද යන්නත් මුල්‍ය අක‍්‍රමිකතා සිදුවනවාද යන්නත් ජනතාව විසින් අවධානයට ගත යුතුය. එහෙත් විනිවිදභාවයකින් තොරව එක් එක් ප‍්‍රාදේශීය දේශපාලකයන්ගේ කැමැත්තට අනුව මාර්ග සංවර්ධන කටයුතු සිදුවූ බව අපගේ නිරීක්ෂණයයි. හුදු මුදල් ව්‍යාපෘති ලෙස මේවා අනුමත කරවාගෙන ක‍්‍රියාත්මක කෙරෙන ආකාරය අපගේ පසුගිය ලිපියෙන් විස්තර කෙරිණි. එවැනි මාර්ග තනා කෙටි කලකින් විනාශ වන ආකාරයත් ජනතාව විසින් පැමිණිලි කර තිබිණි. ඇතැම් මාර්ගවල පාලම් සාදා නැත. ඇතැම් මාර්ගවල බෝක්කු සහ කානු පද්ධති සකස් කර නැත. මේ නිසා අධික වියදමක් දරමින් සංවර්ධනය කළ මාර්ග ඉක්මනින් පෙර තිබුණු තත්වයට දුර්වලවන බව අපගේ නිරීක්ෂණයයි. බොහෝ අවස්ථාවල මෙවැනි ව්‍යාපෘති ක‍්‍රියාවට නඟා ඇත්තේ නිසි සැලැස්මකින් තොරවය. පසුගිය

ලිපියෙන් අවධාරණය කළ ආකාරයටම ලංකාවේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ එක් මූලික සැලැස්මකට අනුව ප‍්‍රමුඛතා පදනමින් මේවා සිදු කෙරෙනවා නම් අඩුපාඩු අවම කරගැනීමට හැකියාව තිබිණි. මාර්ගයක් සංවර්ධනය කිරීම යනු පාරට තාර යොදන එකවත් කොන්ක‍්‍රීට් හෝ කාපට් මිශ‍්‍රණය අතුරා දැමීමවත් නොවේ. පසුගිය කාලයේ සිදුවූ තවත් වරදක් නම් මැතිවරණ ඉදිරියේ ජනතාව රැුවටීමට

මාර්ග ඉදිකිරීමය. පළාත් සභා මැතිවරණ කාලයේ එක් එක් පළාත් සභාවල මාර්ග සංවර්ධන කටයුතු කඩිමුඩියේ කළ ආකාරය මැතිවරණ අවසන් වූ පසුව ජනතාවටත් මතක නැත. එකී මාර්ග ඇත්ත වශයෙන්ම භාවිතයට සුදුසු ආකාරයෙන් සම්පූර්ණයෙන් වැඩ අවසන් කර ඇතිද යන්න ගැටලූවකි. ඇතැම් අවස්ථාවල එවැනි මාර්ග ඉදිකිරීම් අඩක් අවසන් කර කොන්ත‍්‍රාත්කරුවන් නික්ම යනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් කඩිමුඩියේ අවසන් කළ මාර්ග ගණනාවක කානු පද්ධති සකස්කර නැත. කිලෝමීටර් කණු ඇතුළු අත්‍යවශ්‍ය මාර්ග සංඥා නැවත ස්ථාපනය කර නොමැත. මේ ගැන කරන සොයාබැලීම්වලදී වැඩිපුරම දැනගන්නට ලැබෙන්නේ කොන්ත‍්‍රාත්කරුවන්ගේ ගෙවීම් පැහැර හැර ඇති බවයි. නැතිනම් කොන්ත‍්‍රාත්කරුට වියදම්කිරීමේ ගැටලූ ඇති නිසා වැඩ ප‍්‍රමාද කෙරෙන බවයි. එවිට කොන්ත‍්‍රාත්තුවේ කාලය අවසන් වීමෙන් වෙනත් අයකුට කොන්ත‍්‍රාත්තුව පැවරීමට සිදු වේ. නමුත් නැවත කොන්ත‍්‍රාත් පිරිනැමෙන්නේද වෙනත් නම්වලින් පෙනී සිටින එකම කොන්ත‍්‍රාත්කරුවන්ට බව ජනතාව චෝදනා කරති.

අධිවේගී මාර්ග ව්‍යාපෘති මහා සද්දයකින් පටන්ගන්නා විට විවිධ මායාකාරී සිහින මවනු ලැබිණි. කොතරම් ව්‍යාජ කතා කියනු ලැබුවාද කිවහොත් අධිවේගී මාර්ගයක් අසල බුලත්විට කඩයක් දාගත්තත් විශාල ආදායමක් හිමිකරගත හැකි බවට දේශපාලකයෝ පාරම්බෑහ. එහෙත් ඇත්ත තත්වය අද ජනතාවටම ප‍්‍රත්‍යක්ෂ වී ඇත. 2020 වසර වන විට සම්පූර්ණ කිරීමට නියමිත ජාතික භෞතික සැලැස්ම යටතේ මෙම අධිවේගී මාර්ග ජාලයක් රට පුරාම ඉදිකර එය ඉන්දියානු අධිවේගී මාර්ග පද්ධතියකට සම්බන්ධ කිරීමෙන් ආසියානු අධිවේගී මාර්ග ජාලයකට එක් කිරීමේ සැලැසුමක් තිබේ. එම සැලැසුම්වල මූලික අවස්ථාව 1977 බලයට පත් වූ ආණ්ඩුවටත් 1970 සමගි පෙරමුණු පාලනයටත් අයත් බව කියනු ලැබේ. කුමන ආකාරයෙන් හෝ දක්ෂිණ අධිවේගී මාර්ගය දැන් භාවිතයට පැමිණ තිබෙනවා. නමුත් දැන් අප දන්නා කාරණය නම්, මෙම ව්‍යාපෘතියේ වියදමට සාපේක්ෂව ආදායමක් නොලැබෙන බවයි. එහි ගැටලූව නම්, අවම වශයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය නඩත්තුවට මාසිකව වැය කරන මුදලවත් සොයන්නට නොහැකි වී තිබීමයි. මෙම ව්‍යාපෘතියට අයත් රුපියල් බිලියන ගණනින් වූ ණය මුදල ගෙවා අවසන් වන විට අවුරුදු තිහක් හතළිහක් ගතවන බවත් එවිට මෙම මාර්ග පද්ධතිය නැවත පිළිසකර නොකර නඩත්තු කළ නොහැකි මට්ටමේ පිරිහීම් ඇතිවන කාලය වනු ඇති බවත් ඉදිකිරීම් විශේෂඥයන් පෙන්වා දෙනු ලබයි.

අධිවේගී මාර්ග ව්‍යාපෘති ක‍්‍රියාත්මක කෙරුණේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයත් සම්බන්ධ කරගෙනය.

එම අමාත්‍යාංශයටත් වගකීම තිබුණේ ජනාධිපති මහින්දට සහ ඔහුගේ සොයුරු ගෝඨාභයට නිසා මේ සංවර්ධන කටයුතුවල   අව්‍යාජභාවය ප‍්‍රශ්න කෙරිණි. මෙවැනි ව්‍යාපෘතිවල විශාල මූල්‍ය ප‍්‍රතිපාදන පරිහරණය කිරීමෙන් අමතර වාසි ලබා ගන්නට කොන්ත‍්‍රාත්කරුවන් හරහා කොමිස් ගරාගන්නටත් වගකිවයුත්තන් සමත් වූ බව රහසක් නොවේ. නමුත් මේ ගැන නිසි විමර්ශනයක් නොකර හුදු අවලාද ගැසීමෙන් ප‍්‍රශ්නය කෙළවර කළ නොහැකිය.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ විශාල පරිමාණ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කෙරිණි. මාර්ග සංවර්ධන අධිකාරියේ විෂය අයත්ව තිබුණේ වරාය හා මහාමාර්ග ඇමැති ලෙස සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙතමය. ඒ නිසා බැසිල් රාජපක්ෂ එහිදී කළ වැඩ කොටසට එතරම් ප‍්‍රචාරයක් ලැබුණේ කෙසේදැයි ප‍්‍රශ්නයක් ඇත. ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කළ නිසා බැසිල් රාජපක්ෂ විසින් මූලික වී මුල්ගල් තැබීම හෝ විවෘත කිරීමෙන් ඔහු මාර්ග සංවර්ධන කටයුතුවලට සම්බන්ධ බවට ප‍්‍රචාරයක් ලැබෙන්න ඇත.

දැන් අප අවධානය යොමුකරන්නේ මේ දක්වා ලංකාවේ මාර්ග සංවර්ධනය කිරීමේ දී සිදුවන අක‍්‍රමිකතා පිළිබඳ නිදසුන් කිහිපයකටය. විවිධ කර්මාන්ත කිහිපයක් මාර්ග සංවර්ධන විෂයට අයත් වේ. ඉදිකිරීම් කර්මාන්තයක් ලෙසත් සේවා සැපයීමක් ලෙසත් මාර්ග සංවර්ධනය විශාල මිනිස් ශ‍්‍රමයක් මෙන්ම නවීන ඉංජිනේරු දැනුම හා තාක්ෂණික මෙවලම් යොදවන ක්ෂේත‍්‍රයකි. ඒ නිසාම එහි වියදම් ඉතා අධිකයි. ඒ නිසාම වැයකරන සියලූ මුදල් ජනතාවට වාසිදායක ලෙස වැයකිරීමට පාලකයන් විසින් සැලැසුම් කළ යුතුව තිබිණි. එහෙත් මාර්ග සංවර්ධනයට තබා වෙනත් කිසිවකටත් සැලැසුම් නැතිව අයාලේ යමින් සිටි මහින්ද රාජපක්ෂ පාලනය විසින් කටයුතු කළේ වගවිභාගයක් නැතිව මාර්ග සංවර්ධන කටයුතු ක‍්‍රිියාත්මක කරන ලදී. ඒවායේ පසුවිපරමක් තිබුණේ ද නැත. අවධානයෙන් බැලූ විට පෙනී යන්නේ මේවායෙන් වැඩි ප‍්‍රමාණයක් ඇත්තෙන්ම මහජන මුදල් භාවිත කර කොමිස් කුට්ටි ගසාකන්නට කළ ජාවාරම් බවයි. ඒ ගැන නිදසුන් සහිතව විස්තර කරන්නට අපට හැකියාව තිබෙනවා.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් සිරිපුර – මනම්පිටිය මාර්ගය එතරම් වාහන යන මාර්ගයක් නොවේ. තිබෙන තාර තට්ටුව මතම ඒබීසී මිශ‍්‍රණය අඩි දෙකහමාරක් පමණ යොදා විශාල වියදමකින් ඉදිකර තිබෙනවා.

මෑතක ඉදිකළ මාර්ග අතර පාදෙනිය-පුත්තලම මාර්ගයේ ද ගැටලූ රැුසක් තිබේ. එය ඉදිකර අවුරුදු 5ක් ගතවන්නට පෙර තැන්තැන්වල පිපිරීම් ඉරිතැළීම් දක්නට ඇත.

පාදෙනිය අනුරාධපුර මහත් පුරසාරමකින් උත්සවශී‍්‍රියෙන් විවෘත කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි. එහෙත් එය ගුණාත්මක බවින් අවමය. ඒ ශ්‍රේණියේ මහාමාර්ගයකට අත්‍යවශ්‍ය වන මාර්ග සලකුණු මැකී ගොසිනි. මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරියෙන් අධික වියදමක් දරා නැවත සලකුණු යොදමින් පවතී. සාමාන්‍යයෙන් මාර්ගයක් ඉදිකිරීමෙන් පසුව එය අවුරුදු 20 – 25කට පැවැතිය යුතු බව සම්මතයකි. මහජන මුදලින් හෝ මහජනතාව වසර ගණනකට ණයකරුවන් කර ඉදිකරන මහාමාර්ගයක් විවෘත කිරීමෙන් පසුව අවුරුදු 10ක්වත් යහපත් මට්ටමකින් තිබෙන්නේ නැත්නම් වියදම නිෂ්ඵලය. දැන් සිදුව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වගකිවයුතු එම මාර්ගයේ ඉදිකිරීම්වල අස්ථාවරභාවය වසාගන්නට මහජන මුදල් නැවත වැය කරමින් පැලැස්තර ගැසීමය.

මාර්ග සංවර්ධනයේ හොරකම්කරන තවත් ක‍්‍රමයක් නම් තාර ජාවාරමයි. බිටුමන් ලෙස හඳුන්වන ‘තාර’ ඛනිජ තෙල් පිරිපහදු කර්මාන්තයේ අතුරුඵලයකි. මෙරට තෙල් පිරිපහදු කර්මාන්තයෙන් ඒවා ලබා ගන්නට හැකියාව තිබේ. එහෙත් එය ජාවාරමක් කරගෙන ඇති දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් එක්ව බිටුමන් ආනයනය කරයි.

බිටුමික්ස් සමාගම මෙරට මාර්ග සංවර්ධනයේ දී විශාල ප‍්‍රමාණයක් සපයන සැපයුම්කරුයි. විදේශවලින් ආනයනය කිරීමෙන් මෙන්ම දේශීය තෙල් පිරිපහදු කර්මාන්තයෙන් ද මොවුන් තමන්ට අවශ්‍ය බිටුමන් සැපයුම් මිලයට ගනී. එම ව්‍යාපාරයෙන් ලබන ලාභය කොතරම්ද යන්න වටහා ගන්නට ඔවුන් මාර්ග සංවර්ධන අධිකාරියේ උත්සව අවස්ථාවලට සිය නොමසුරු අනුග‍්‍රාහකත්වයම සාක්ෂියකි. මාර්ග සංවර්ධන ක‍්‍රියාවලියට අඩු තත්වයේ තාර වර්ග අනුමත කරන නිලධාරීන්ට සහ මාර්ග සංවර්ධනයෙන් ගසාකන දේශපාලකයන්ට මෙය ගරාණාවකි. සපුගස්කන්ද පිරිපහදුවෙන් බිටුමන් ලබාගැනීමට මොවුන් විසින් ඉහළ නිලතලවල සියලූදෙනා මෙන්ම මාර්ග අමාත්‍යාංශයේත් ප‍්‍රාදේශීය දේශපාලකයනුත් මුදලට යටකරවා ඇත. මාර්ග සංවර්ධන ක්ෂේත‍්‍රයේ කතාබහට ලක් වී ඇති ආකාරයට දූෂිත ගනුදෙනුවලින් අල්ලාගෙන සිටින නිලධාරීන් හා දේශපාලකයන් මහජන මුදලින් බාල සංවර්ධන කටයුතු කරමින් කොමිස් කති. මාර්ග සංවර්ධනයේ බොහෝ රාජ්‍ය ව්‍යාපෘතිවල ඉදිකිරීම් සිදුකරන ‘මගනැඟුම’ සමාගම්වල සේවකයන් අතර පවා මෙම තත්වය ප‍්‍රසිද්ධ කරුණකි. ආරංචි මාර්ග හෙළි කළ ආකාරයට මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති නිලධාරීන් ලෙස චෝදනා ලබා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩබලන සභාපති ලෙස කටයුතු කළ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්, නියෝජ්‍ය ජ්‍යොෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂ වැනි ඉහළ නිලධාරීන්ය.

මාර්ග සංවර්ධන ක‍්‍රියාවලියේ දී ඉදිකිරීම් සඳහා යන වියදමට අමතරව වෙනත් ආදායම් මාර්ග ද හිමිවේ. කඳුකර ප‍්‍රදේශවල මාර්ග සංවර්ධන කටයුතුවල දී මාර්ගය අවට කළුගල් කැඞීම සිදුවේ. මාර්ග ඉදිකිරීමට ගල් සපයාගැනීම මෙහිදී සිදුවේ. ඒ නිසා මාර්ග ඉදිකිරීමට අවශ්‍ය ගල් සඳහා ඇස්තමේන්තුගත වියදම් විශාල වශයෙන් කපාහැරීමට පවා හැකියාවක් ලැබේ. කොන්ත‍්‍රාත්කරුගේ කොන්දේසි අනුව මාර්ගයේ හමුවන ගල් කැඞීමෙන් පසුව ඒවා මාර්ග සංවර්ධන අධිකාරියට භාර දියයුතුය. එහෙත් එය එසේම සිදුවන්නේ නැත. ඒ නිසා කොන්ත‍්‍රාත්කරුවන් මෙම ආදායම් උපයා ගනී. නිදසුනක් ලෙස මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ඇරඹී නුවරඑළිය දක්වා දිවෙන තැන්නකුඹුර – රාගල මාර්ගයේ ඉදිකිරීම් නිසා කොන්ත‍්‍රාත් සමාගමට එවැනි විශාල ලාභයක් හිමිකරගත හැකි විය.

RajaMawatha

රජ මාවත

එහෙත් එක් අවස්ථාවකදී මෙවැනි කඩන ගල් පාවිච්චි කිරීමෙන් සිදුවන අවාසිය පිරිමැසීම සඳහා 10% වට්ටමක් මාර්ග සංවර්ධන අධිකාරියට දියයුතු බවට කොන්ත‍්‍රාත්කරු එකඟ කරවා ගැනීමේ යෝජනාවක් තිබිණි. එහෙත් ඇතැම් නිලධාරීන් එයට එකඟ වූයේ නැත. ඊට හේතුව ගල් සැපයීමෙන් සිදුවන ලාභ පංගුවෙන් කොටසක් නිලධාරින්ට හිමිවීම වියහැකිය.

පසුගිය කාලයේ මාර්ග සංවර්ධනයේ විශාල ක‍්‍රියාදාමයක් සිදුවුවත් ලංකාවේ ශ‍්‍රමිකයන් විශාල පිරිසක් ඊට දායකත්වය දැක්වුවත් මාර්ග සංවර්ධනය කර්මාන්තයක් වශයෙන් තවමත් මෙරට තහවුරු වී නැත. ඒ වෙනුවට ස්ථාපිත වී ඇත්තේ කොන්ත‍්‍රාත්කරුවන් හා අතරමැදි තැරැුව්කරුවන් තරකරවන ¥ෂිත ක‍්‍රියාදාමයකි.

ඉංජිනේරුමය තාක්ෂණය ලබාගැනීමේදී මෙන්ම සංවර්ධනය කිරීමේදීත් කිසිදු වර්ධනයක් ජයග‍්‍රහණයක් අප රටේ දක්නට ලැබෙන්නේ නැහැ. දේශීය ඉංජිනේරුවන්, විද්වතුන් මෙම මාර්ග සංවර්ධන ක‍්‍රියාදාමයෙන් පිටස්තරව තබා තිබීමෙන් එය සිදු විය. ඔවුන් සම්බන්ධ කරගත්තා නම් එවැනි ¥ෂිත ගනුදෙනුවලට එකඟවන අයයි. ලාංකික විද්වතුන් මහජන මුදල් අයථා පරිහරණයට විරුද්ධ වූ විට ඔවුන්ට මෙරට රාජ්‍ය වෘපෘතිවල කටයුතු කිරීමේ අවස්ථා අහිමි වූ බව ඇතැම් අවස්ථාවල පෙනී ගිය කාරණයකි. තම අරමුණුවලට බාධාවක් වන නිසා දේශීය විද්වත් දායකත්වයක් ලබා නොගැනීමට දේශපාලක-නිලධාරී සහයෝගීතාවක් තිබේ.

චීන ණය යෝජනා ක‍්‍රම යටතේ සිදුව මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල දී සිදුවන අවාසි අතරට කර්මාන්තයක් ලෙස වර්ධනය වීමට බාධා පැමිණීිමත් දක්නට ලැබේ. චීන කොන්ත‍්‍රාත්කරුවන් තාක්ෂණය ගෙන එන නමුත් දේශීය ඉතිරියක් නැත. කම්කරුවන් ඉංජිනේරුවන් පවා චීනයෙන් ගෙන එන නිසා දේශීය ශ‍්‍රමය සංවර්ධනය කිරීමේ අවස්ථා අහිමි වේ. එපමණක් නොව, මෙම ක‍්‍රියාදාමයේදී ශ‍්‍රම සූරාකෑම අධික ලෙස සිදුකරයි. පුහුණු කම්කරුවන් වෙනුවට නුපුහුණු චීන සිරකරුවන් යොදවාගනු ලබයි. මේ නිසා චීන කොන්ත‍්‍රාත්කරුවන් ද අධික ලාභ උපයාගන්නවා. ව්‍යාපෘතිය අවසන්වන විට සිදුව ඇති සංවර්ධන කටයුත්ත කොතරම් ගුණාත්මකද යන්න ඇගයීමේ ක‍්‍රමයක් නැත. මෙම මාර්ග සංවර්ධන කටයුතුවල දී නුපුහුුණු ශ‍්‍රමිකයන් ලෙස සිරකරුවන් ලවා සිදුවන කටයුතු නිසා ගුණාත්මක අතින් සංවර්ධන කටයුතුවල ගුණාත්මක බාලවීමක් අපේක්ෂා කළ හැක. එහෙත් ඒ පිළිබඳ චීන සමාගම් වගකියන්නේ ද නැත.

මාර්ග සංවර්ධන කටයුතුවල දී අක‍්‍රමිකතා සිදුවන අනෙක් අංශය නම් සංවර්ධන කටයුතුවලදී ආපදාවට පත්වන්නවුන්ට වන්දි ලබාදීමයි. මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල දී ඉඩම් අත්පත් කරගනු ලබයි. එතරම් අවබෝධයක් නැති අසරණ ඉඩම් හිමියන්ට වංචා කරනු ලැබේ. නියමිත ඉඩම් තක්සේරුවට වඩා අඩු වන්දි ලබාදීම හෝ වන්දි ගෙවීම පැහැර හැරීම සිදු වේ. මේ පිළිබඳ හොඳින් අවබෝධයක් නැති පුද්ගලයන්ගේ ඉඩම් කුණුකොල්ලයට ලබාගනී.

ඇතැම් අවස්ථාවල දී මාර්ග සංවර්ධනය වෙනුවෙන් ඉඩම් කැපකළ ජනතාවට නියමිත ප‍්‍රතිලාභ හිමි නොවේ. රජයේ ඇස්තමේන්තු යනු සාමාන්‍ය ඉඩම් වෙළෙඳපොළේ මිල ගණනට ඉතා පහළ අගයකි. මෙම පාඩුව දරාගන්නවා හැර ඔවුන්ට විකල්පයක් නැත.

මාර්ග සංවර්ධන ක‍්‍රියාදාමයේ දී සිදුවන අනතුරුවලදී ගෙවන්නට වෙනම වැය ශීර්ෂ කොන්ත‍්‍රාත් ගිවිසුමට ඇතුළත් වුවද සැබැවින්ම ඒවා ගෙවන්නේ නැත. ව්‍යාපෘති කම්කරුවන්ට මෙන්ම බාහිර පාර්ශ්වයන්ට ද එවැනි අනතුරුවලින් සිදුවන්නේ මහත් අසාධාරණයකි. මාර්ග සංවර්ධන කටයුතු නිසා අනතුරුදායක තත්වයන් පැවැතියද නිසිලෙස අනතුරු ඇඟවුම් ප‍්‍රදර්ශනය නොවන ස්ථානවලදී මුහුණ දෙන අනතුරු නිසා මගී ජනතාව හා රථවාහන පීඩාවට පත් වේ. එවැනි අවස්ථාවල නිසි වන්දි ගෙවීමක් නොමැතිව සමථයකට පතවන අවස්ථා ඇත. එහෙත් එවැනි අනතුරු සඳහා ගිවිසුම් කොන්දේසිවලින්ම වෙන් කෙරෙන වන්දි මුදල් කොන්ත‍්‍රාත්කරුගේ ලාභ ලෙස ඉතිරි වේ.

නිදසුනක් ලෙස පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සිරිපුර මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේදී බස්රියක ගැටීමෙන් මාර්ග සංවර්ධන කම්කරුවකු අනතුරට පත් විය. ඔහුගේ පාදය ඉවත් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කළ නිසා කම්කරුවා පූර්ණ ආබාධිත තත්වයට පත් විය. එහෙත් ඒ වෙනුවෙන් ඔහුට වන්දි ලෙස හිමි වූයේ රුපියල් ලක්ෂ හතරක් පමණි. දෙදරු පියකු ලෙස ඔහුට අඹුදරුවන් නඩත්තු කරන්නට එම මුදල ප‍්‍රමණවත් නොවේ. නිරෝගී ලෙස සේවය කළ කම්කරුවකුට ජීවිත කාලයටම ආබාධිතයකු ලෙස දිවි ගෙවන්නට සිදු වන තත්වයකදී එය වඩාත් අසාධාරණයකි.

මෙවැනි දහසක් අක‍්‍රමිකතා හා දූෂිත ගනුදෙනු නිසා මෙරට මාර්ග සංවර්ධනය යනු පිටින් ඔපය සහිත යැයි කියන්නට පවා නොහැකි දූෂිත ක‍්‍රියාදාමයකි. මහජන මුදලින් සුළු පිරිසක් කෝටිපතියන් වන්නට ක‍්‍රියාත්මක වන මාර්ග සංවර්ධනයකින් රටක් දියුණු කළ හැකියැයි සිතීම මිථ්‍යාවකි. එවැනි අවිධිමත් ව්‍යාපෘති හරහා මහජන බදු මුදල් මෙන්ම ජනතාවගේ අනාගත පරම්පරාව ණයකරුවන් කරමින් ගෙන යන ව්‍යාජ සංවර්ධන කටයුතුවල ඇත්ත සංවර්ධනයක් ඇතිවූ බව කියන්නට නොහැකිය.

විශේෂ ලියුම්කරුවකු විසිනි.

Advertisements