කොම්පඤ්ඤවීදියේ මිනිස්සු කබලෙන් ලිපට…

kidsකොම්පඤ්ඤවීදිය නම ලියන්න උත්සාහ කරපු අය ගැන රසකතා අසා තිබුණත් එහි ජීවත්වන මිනිසුන්ගේ ජීවිතයේ රසවත් බවනම් පැහැරගෙන ගොස් ඇති සෙයකි. ජීවත්වීමේ අනාගත අපේක්ෂාව මුදා හළ හිස් දෑසින් යුතු 700කට ආසන්න පවුල් සංඛ්‍යාවක් අද කොම්පඤ්ඤවීදියේ ශේෂ වී තිබේ. ඔවුන් මහපාරට ඇද දැමීමේ ඛේදවාචකය ඇරඹුනේ මහින්ද රාජපක්ෂ පාලනය තුළිනි.

ලංකාවේ ඕලන්ද පාලන සමය කොම්පඤ්ඤවීදිය ජනාවාස වීම ආරම්භ වූ කාලයයි. වහල් සේවය සඳහා ගෙන ආ විදේශිකයන් පදිංචි කිරීම නිසා ලෙස නම් විය. පසුකාලීනව මුස්ලිම්, මැලේ, තමිල්, මලයාලි සහ සිංහල ආදී වශයෙන් විවිධ ජාතික ප‍්‍රජාවන් මෙහි පදිංචි වූ අතර වත්මන් කොම්පඤ්ඤවීදියේ මේ වන විට පරම්පරා 6-7 ක් පමණ ගතකර හමාරය.

2010 අවසානයේ නාගරික සංවර්ධන නිලධාරීන් පැමිණ, කොම්පඤ්ඤවීදිය, මැලේ වීදිය, විනිසුරු අක්බාර් වීදිය, ජාවා පෙදෙස, මස්ජිදුල්ජම්යාලි මාවත පදිංචිකරුවන්ට පවසා ඇත්තේ කොම්පඤ්ඤවීදිය ප‍්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් යෝජනා වී ඇති බවත් ඒ වෙනුවෙන් ඔවුන් ජීවත්වන ගෙවල් හා ඉඩම්වලින් ඉවත්වී ඒ සඳහා ඉඩදිය යුතු බවත්ය. මෙය එකවර කි‍්‍රයාත්මක වූවක් නොව ක‍්‍රමක‍්‍රමයෙන් නගරවාසීන් වසා පැතිරෙන්නට විය. කොම්පඤ්ඤවීදියේ නිවාස ඉදිකර ඇති කාලය අනුව පැරණිසේම නූතන යුගයට නොගැලපෙන බවත් ඒ වෙනුවට නවීන පහසුකම් සහිත නිවාස ඉදිවෙන බවට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සිහින ඔපමට්ටම් කළහ.

2010 12 27 දාතම යෙදූ ලිපියක් මඟින් නාගරික සංවර්ධන අධිකාරියේ ශ‍්‍රවණාගාරයට කැඳවූ ඉහත ජානපදිකයන්ට පවසා තිබුණේ සිය අයිතිය තහවුරු කිරීම සඳහා වන ලියකියවිලි හෝ ඔප්පු යානාදිය සකස්කර ඒවා නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දිය යුතු බවයි. 2012 අපේ‍්‍රල් 20 ගුණවර්ධනාරාම විහාරස්ථානයට නැවත කැඳවූ ඔවුන්ට මහල් නිවාස සංකීර්ණ, නවීන පහසුකම් සහිත කාමර, නාන කාමර, වැසිකිලි ආදී වශයෙන් වූ ඔවුන්ට ලැබීමට නියමිත සිහින මන්දිර ප‍්‍රක්ෂේපන යන්ත‍්‍රානුසාරයෙන් පෙන්වන ලදී. කොම්පඤ්ඤවීදියෙන් ජනයා ඉවත් නොකරන අතර ඉහත ආකාරයේ නවීන පහසුකම් සහිත නිවාස සංකීණයක් ජාවා ලේන් හි ඉදිකරන බවටත් නිලධාරීහු සපථ කළහ.

2012 අපේ‍්‍රල් 27 කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ විසින් ඔවුන්ට පවසන ලද්දේ මහල් නිවාස ඉදිකිරීමට අමතරව ඒවාට අකමැති අය වෙනුවෙන් වන්දි ප‍්‍රදානය කරනු ලබන බවයි. මේ අවස්ථාවට හිටපු නගරාධිපති මොහොමඞ් මුසම්මිල් ද සහභාගී විය. 2014 ජනවාරි 12 වැනි දින නාගරික සංවර්ධන අධිකාරිය සිය අවසන් නිවේදනයේ කියා තිබුණේ ගෙවල් හිස්කර භුක්තිය භාරදී නිවෙස්වලින් පිටවන ලෙසය.

මෙලෙස ක‍්‍රියාත්මක වූ කොම්පඤ්ඤවීදියේ ඉඩම් නැවත අත්පත්කර ගැනීමේ ආණ්ඩුවේ ක‍්‍රියාවලිය 2014/9/15 වැනි දින අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශයට පත්කර තිබුණි. ඒ අනුව 2014/02/23 දිනැති මූලික පිඹුරු අංක කො. 9396 හි හෙක්ටයාර 2.9720ක් විශාල ඉඩමබෙදීගොස් ඇති බිම් කැබලි 590ක් නැවත පවරාගන්නා බව කියැවිණි. කොළඹ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොට්ටාශ අංක 25 යටතේ කොම්පඤ්ඤවීදිය ගම මෙලෙස රජයට පවරාගැනීම සිදුවිය.

බිම් කොටස් 590ක ජීවත් වූ පවුල් ගණන 650 කට අධිකය. නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු ආරක්ෂක ලේකම්වරයා විසින් වැසියන්ගේ හිතේ සිත්තම් කළ සිහිනය මිරිඟුවක් පමණක් විය. ඉන්දියාවේ ටාටා සමාගම පැමිණ සුපිරි නිවාස සංකීර්ණයක් සඳහා කොම්පඤ්ඤවීදිය ලබාගන්නා බවත් එහි වාසය කරන අය වෙනත් නිවාස යෝජනා ක‍්‍රමයක් ඉදිකර ඒ තුළ පදිංචි කරන බවත් ප‍්‍රකාශ කළේය.

එහෙත් ටාටා සමාගම නැවත පැමිණියේ නැති අතර ඉහත බිම් කැබලි 590 ක ජනගහනය මේ වන විට සී සී කඩ විසිරී ඇත. එයින් පවුල් 22 ක්ම තමන්ට නිසි පරිදි වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇත. ඔවුන් වසර 70 ක් 80 ක් පමණ මෙහි පදිංචිව සිටියා පමණක් නොව රජයේ සේවකයන්ය. නීත්‍යනුකූල ඔප්පු ඔවුන් සතුව ඇති අතර ඉතිරි බිම් කැබලි 568 ක ජනයා ආණ්ඩුව පොරොන්දු වූ පරිදි නිවාසයක් ඉදිකරගැනීම උදෙසා වූ දැවැන්ත සිහිනයක සිරවී සිටිති.

ඔවූහු පසුගිය දිනෙක තමන්ට සිදුවූ අසාධාරණය, යහපාලනය ගැන පුරසාරම් දෙසන මෛත‍්‍රී පාලනය ඉදිරියේ හ`ඩ ගෑමට ධෛර්යමත්් විය. එය කොතෙක් දුරට මෛත‍්‍රී පාලනයේ සවන් ඇරී ඔවුන්ගේ ජීවිත යථා තත්වයට පත්කිරීමට පියවර ගනීදැයි නිශ්චිත නැත. මහින්ද චින්තනයේ ආසියාවේ ආශ්චර්ය කරා ගිය ගම, රටේ සාමාන්‍ය ජනතාව නොසලකා හැරිය බවට හොඳම උදාහණය කොම්පඤ්ඤවීදිය හැර අන් කවරක්ද?

මෙහි ජීවත්වූ පරම්පරා 6-7ක් පමණ ඉතිහාසයක් ඇති රජයේ සේවකයන්, කම්කරුවන්, ව්‍යාපාරිකයන්, ආදී විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කළ විවිධ ජාතික ප‍්‍රජාවන් අද මහපාරට වැටී සාධාරණය ලැබෙන තෙක් බලා හිඳිති. නවීන සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ඉදිකිරීම සඳහාත් දැවැන්ත හෝටල් සමාගම සඳහාත් වරාය නගර, මූල්‍යායතන, සුපිරි වෙළෙඳ නගර, සංචාරක වෙළෙඳසැල් පාරාදීසයක් සඳහා වූ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන විට දශක ගණනාවක් මිහිපිට ජීවත් වූ මිනිසුන්ගේ ජීවිත පිසදා හැරිය හැකිද?

ධනය ඉපයීම සඳහා පමණක් වූ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙද්දී මිනිස් ජීවිතයේ වටිනාකම අවම ලංසුවකටවත් තක්සේරු වී නැත. කොම්පඤ්ඤවීදිය මිනිසුන් අද අසන ප‍්‍රශ්නය එයයි. නගර සභාවෙන් වරිපනම්, වතුර බිල්, විදුලිබිල් අයකරගෙන ඡුන්දයත් අරගෙන බලයට ආ විට ඔප්පු නැති ඔබ මෙතනින් ඉවත්විය යුතු යැයි නිවේදනය කරන්නේ කවර ම්ලේච්ඡුත්වයක් හිස දරාගෙන දැයි ඔවූහු අසති. ඔවුන්ගේ ජීවිතය එතැනය. දරුවන්ගේ පාසල්, පරම්පරා ගාණක අසල්වැසි සබඳතා ආදී සියල්ල අද සුනුු විසුනු වී ඇත. පොරොන්දු වූ පරිදි නිවාස හෝ වන්දි මුදල් ලබාදෙන තෙක් කුලී නිවාසවල හෝ වෙනයම් තැනක හිඳ දිනෙන් දින ඉහි දැල්වෙන බලාපොරොත්තු සහිත බිම් කොටස් 590 ක ජනයා තාමත් මහපාරට දෑස් අයා සිටිති.

ප‍්‍රියන්ත වර්ණකුලසූරිය.

Advertisements