කම්කරු ජීවිත උගසට තබන සාමුහික ගිවිසුම්

653.ht4විවිධ අය මාර්තු මාසය ගැන විවිධාකාරයෙන් කතා කරද්දී වතු කම්කරුවන්ට ද මාර්තු මාසය ගැන කතා කරන්නට මාතෘකාවක් තිබේ. ඒ වෘත්තිය සමිති හා හාම්පුතුන් අතර ඇතිකර ගනු ලබන සාමූහික ගිවිසුම හේතුවෙනි. දැනට බලපැවැත්වෙන්නේ 2013 වසරේ ඇතිකර ගන්නා ලද සාමූහික ගිවිසුමයි. එය ලබන මාර්තු 31 වැනිදායින් අවසන් වේ. ඒ නිසා එතැන් සිට ඉදිරි වසර දෙක සඳහා බලපැවැත්වෙන පරිදි සාමූහික ගිවිසුමත් අත්සන් කිරීමට දැන් කටයුතු සූදානම් වෙමින් තිබේ.

මෙම සාමූහික ගිවිසුම්වලින් කරන්නේ වසර දෙකක කාලයක් සඳහා බල පැවැත්වෙන පරිදි වතු හාම්පුතුන් හා වෘත්තිය සමිති යම් යම් එකඟතාවලට පැමිණීමයි. කම්කරුවන්ගේ දෛනික වැටුපේ සිට ඔවුන්ගේ සුභසාධන කටයුතු ඇතුළුව කම්කරුවන්ගේ ජීවිතයට බලපාන බොහෝ දෑ මෙම ගිවිසුම්වලට ඇතුළත්ය. එක් අතකින් මෙම ගිවිසුම් පෙනී සිටින්නේ කම්කරුවන්ගේ ජීවිතවලට යම් සුරක්ෂිතතාවක් ලබාදෙන ලියවිලි වශයෙනි. වතු කම්කරුවන්ගේ ඉතිහාසය සැලකීමේ දී එහි යම් සත්‍යතාවක් ද නැත්තේ නොවේ. මෙවැනි ගිවිසුම් අත්සන් කිරීම දක්වා පැමිණියේ ද වතු හාම්පුතුන් විසින් රිසි රිසි සේ කම්කරුවන් සූරාකමින්, තළා පෙළා වධ දෙමින් වැඩගැනීමේ ම්ලේච්ඡු අත්දැකීම් හේතුවෙනි. එහෙත් මේ වන විට මෙම ගිවිසුම් විසින්ම කම්කරුවන්ගේ ජීවිතවලට බාධා එල්ල කරමින් තිබෙන බව පැවසිය යුතුව තිබේ.

සාමූහික ගිවිසුම් ගැන කතා කිරීමට පෙර මෙම ගිවිසුම් අත්සන් කරන පාර්ශ්ව ගැන කතා කිරීම වටී. මෙහි එක් පාර්ශ්වයක් වන්නේ වතු හාම්පුතුන්ගේ සම්මේලනයයි. ඔවුන් තමන්ගේ ලාභය වැඩි කරගැනීමේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බව පැහැදිලිය. අනෙක් පාර්ශ්වය වන්නේ වෘත්තිය සමිති නියෝජිතයන්ය. වෘත්තිය සමිති යන්නෙන් අදහස් වන්නේ වතු කම්කරුවන් නියෝජනය කරන සියලූම වෘත්තිය සමිති නොවේ. මෙම ගිවිසුම්වලට අත්සන් තැබීමේ බලය හිමිවන්නේ තොණ්ඩමන්ගේ ප‍්‍රධානත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග‍්‍රසය, වී. රාධක‍්‍රිෂ්ණන්ගේ නායකත්වයෙන් යුතු උඩරට ජනතා පෙරමුණ, දිගම්බරන්ගේ නායකත්වයෙන් යුතු කම්කරුවන්ගේ ජාතික වෘත්තිය සමිතිය වැනි විශාල සංවිධානයි. මොවුන් තිදෙනාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමැති ධුරය දැරූහ. රාධක‍්‍රිෂ්ණන් හා දිගම්බරන් වත්මන් යහපාලන ආණ්ඩුවේ ද ඇමැති ධුර දරති.

sri-lanka-tea-plantation-workersමුළුමහත් ඉතිහාසය පුරාම පැහැදිලි වී ඇති එකම සත්‍යය වන්නේ මොවුන් කම්කරුවන්ගේ වැටුපෙන් සාමාජික මුදල් කපා ගනිමින් හාම්පුතුන් වෙනුවෙන් පෙනී සිටින බවයි. අවම වශයෙන් වතු කම්කරුවන් වෙනුවෙන් දෛනික වැටුපක් වෙනුවට මාසික වැටුපක් දිනා ගැනීමට ඔවුන් මැදිහත් වී නැත. බොහෝ කම්කරුවන්ට ස්ථිර ලිපිනයක් නැත. ඔවුන්ට ලිපි ලැබෙන්නේ වතු කළමනාකරු භාරයේය. එම ලිපි කම්කරුවන් අතට ලැබෙන්නේ වතු කළමනාකරුවන් කියවා ඒවා කම්කරුවන් අතට දීමට සුදුසු යැයි ඔවුන් තීරණය කරන්නේ නම් පමණි. එකම ලයින් කාමරයේ පවුල් කිහිපයක් වාසය කරන අතර අවම වශයෙන් එක් පවුලකට එක් නිවසක් ලබා දීමටවත් මේ වෘත්තිය සමිති මැදිහත් වන්නේ නැත. ඔවුන් දරන ඇමැති ධුර භාවිත වී තිබෙන්නේ තවදුරටත් කම්කරුවන් තළා පෙළා දැමීමට පමණි. මෙම වෘත්තිය සමිතිවල ප‍්‍රාදේශීය නියෝජිතයෝ ද කම්කරුවන් මත පීඩිත හස්තය හෙළීමට වරම් ලද්දෝය. මේ තත්වය හමුවේ මෙම වෘත්තිය සමිති පෙනී සිටින්නේ කම්කරුවන් වෙනුවෙන් නොවන බවට අමුතු පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ. එහෙත් සෑම සාමුහික ගිවිසුමකින්ම ඔවුහු කම්කරුවන්ට ‘සහනයක්’ ලබා දෙති. ඒ ‘සහන’ ලැබෙන්නේ මෙම වෘත්තිය සමිති හාම්පුතුන්ගේ හා වතු හාම්පුතුන්ගේ එකඟතාවෙනි. එහෙත් ඒවා සැබැවින්ම කම්කරුවන්ට අවශ්‍යව තිබූ සහන ද යන්න ගැන විමසුවොත් කිසිදු කම්කරුවකු යහපත් පිළිතුරක් නොදෙනු ඇත.

ජනතා කම්කරු සංගමය විසින් කම්කරු කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් මාර්තු මාසයේ දී අත්සන් කිරීමට නියමිත සාමූහික ගිවිසුමට යෝජනා ගණනාවක් ඉදිරිපත් කර ඇත. එම යෝජනා මඟින් ද කම්කරුවන්ගේ ජීවිතවල පැහැදිලි වෙනසක් සිදු වෙතැයි අපේක්ෂා කළ නොහැකි නමුත් එවැනි සරල යෝජනාවක්වත් මෙම ගිවිසුම් අත්සන් කිරීමේ දී සැලකිල්ලට ගනීද යන්න ගැන ඇත්තේ සැකයකි. ඔවුන් පෙන්වා දෙන ප‍්‍රධානම කරුණ වන්නේ ලංකාවේ පවතින කම්කරු නීතිවලට පටහැණිව වතු හාම්පුතුන් කම්කරුවන් සූරාකමින් සිටින බවයි. මහා පරිමාණයෙන් සිදු වන මෙම නීති උල්ලංඝනය කිරීම් ගැන රජයේ කිසිදු ආයතනයක් අවධානය යොමු කර නැති අතර ඒ ගැන සිහිපත් කර වෘත්තිය සමිති යවන ලිපියකට හෝ පිළිතුරු නොලැබෙන තත්වයක් තිබේ. ඒ රජය පවා වතු කම්කරුවන් ගැන සිතා සිටින්නේ ඔවුන් ‘යහමින් සූරාකෑමට ලක් කළ යුතු වහලූන් පිරිසක්’ ලෙසින් වන බැවිනි.

නිවාඩු දිනයක වැඩ කිරීම වෙනුවෙන් දින එක හමාරක වැටුප් ගෙවිය යුතු නමුත් එසේ ගෙවන්නේ නැත. එපමණක් නොව නිවාඩු දිනවල වැඩ කරන්නට කළමනාකරුවෝ කම්කරුවන්ට බල කරති. කළමනාකරුවන් විසින් නියම කරන ප‍්‍රමාණය ඉක්මවා වැඩ නොකරන සෑම අවස්ථාවක දීම කම්කරුවන්ට ලැබෙන්නේ දෛනික වැටුපෙන් අඩකි. හදිසි අසනීපයක් නිසා දින දෙකකට වඩා නිවාඩු ගත හොත් සේවයෙන් ඉවත් කරනු ලබයි. ප‍්‍රමාද වී වෛද්‍ය සහතික ඉදිරිපත් කළද යළි සේවය ලබා දෙන්නේ අලූතින් සේවයට බැඳෙන අයකු සේ සලකාය. ගැබිණි මව්වරුන්ට අත්‍යවශ්‍ය නිවාඩු ලබා නොදෙයි. දරු ප‍්‍රසූතියෙන් පසු වැඩිපුර නිවාඩු ගතහොත් සේවයෙන් ඉවත් කරනු ලබයි. මේ ආදී වශයෙන් ඔවුන් මුහුණ දෙන ගැටලූ රැුසකි. සැබැවින්ම වතු කම්කරුවන්ට අවශ්‍ය වන්නේ වැටුපේ හෝ ජීවන තත්වයේ වර්ධනයක් නොව සංස්කෘතික වර්ධනයකි. එහෙත් අවම වශයෙන් ජීවන තත්වයේ වර්ධනයක් සඳහාවත් මැදිහත්වීමක් සිදු නොවේ.

m24-sri1-480වතු කම්කරුවකුගේ දිනක වැටුප සියලූම දීමනා ද සහිතව රුපියල් 620කි. එම මුදල ද ලැබෙන්නේ වැඩ ලැබෙන දින සඳහා පමණි. වැඩ හෝ වැටුප ස්ථිර නැත.

වතු කම්කරුවන්ගේ අධ්‍යාපන මට්ටම, සමාජ මට්ටම හා සංස්කෘතික මට්ටම සැලකූ විට හා ඔවුන් මුහුණ දී සිටින කොන්දේසි සැලකූ විට ජීවිතය දිනා ගැනීම සඳහා සටන් කිරීමට ඇති හැකියාව තිබෙන්නේ ඔවුන්ට බොහෝ ඈතිනි. ඒ හැකියාව ඔවුන්ට සමීප කළ හැක්කේ අරගලකාමී ප‍්‍රගතිශීලි බලවේගවල සහායෙන් පමණි. ලබන මාර්තු මාසයේ අත්සන් කරන ගිවිසුමේ කුමක් සඳහන්ව තිබේදැයි තවමත් අප නොදන්නා නමුත් ඒ ගැන එක් නිගමනයක් ඉදිරිපත් කිරීමට තවමත් කල් වැඩි නැත. එනම්, කම්කරුවන්ගේ පැත්තෙන් එහි කිසිවක්ම අඩංගු නොවනු ඇත.

ජනක තුෂාර

Advertisements