ඖෂධ ප‍්‍රතිපත්තියේ හදිසිය හා ප්‍රෝඩාව

dm950දේශපාලන බල පෙරළියේ ප‍්‍රකාශන වූ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගේ නික්ම යාම ඖෂධ ප‍්‍රතිපත්තිය හා බැඳුණු කඳුළක් ලෙස රූපවාහිනී කැමරාවේ සටහන් විය. ඉදින් ඒ නම් කවර බලාපොරොත්තුවක් ජනතා සිත් සතන් තුළ ජනිත කරන්නක්ද? ඖෂධ ප‍්‍රතිපත්තියක් හරහා සේනක බිබිලේ නැවත උපදවා ගන්නටත් බහුජාතික ඖෂධ සමාගම්වල කෲර සූරාකෑමෙන් සදාකල් නිදහස් වන්නටත් ජනතාව ඇඟිලි ගනිමින් සිටියහ. ඔවුහු ඒ වෙනුවෙන් ද තවත් එවැනිම වූ දහසක් බලාපොරොත්තු කර පින්නාගෙන මෛත‍්‍රී පාලනයක් වෙනුවෙන් කතිරය ගැසූහ. ජනවාරි 8 වැනිදා බලාපොරොත්තු සහගතව සිටි ජනතාවට තිබූ බලාපොරොත්තු එකිනෙක බිඳ දැමීම අලූත් ආණ්ඩුව අරඹා ඇත. ජනතා අභිලාෂයන් ඉටුකිරීම කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයක බලය තහවුරු කරගැනීම ගැන සිතා ඊට සුදුසු කාලයක් දක්වා මැතිවරණය කල් තැබීම ගැනත් ආණ්ඩුව කල් යල් බලමින් ඊට ගැලපෙන ලෙස ක‍්‍රියාකරමින් සිටී. ඒ අතර ජනතාවට එක්වරම නොදැනෙන ජනතා විරෝධී ක‍්‍රියාකාරීත්වයන් අකුරටම ඉටුකරමින් සිටී. සැකකරුවකු පැය 48 ක් රඳවාගැනීමේ පොලිස් බලතල ද හමුදාවට පොලිස් බලතල පැවැරීමේ නීති ද අනාගතයේ ජනතා ව්‍යාපාරයක් බවට පත්වීමේ හැකියාව අනුමාන කරන වාමාංශික ව්‍යාපාර මර්දනය කිරීමට ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මූලික අයිතීන් කුමාර ගුණරත්නම් වැනි වාමාංශික ක‍්‍රියාධරයන්ගෙන් උදුරාගැනීම ද ආණ්ඩුව හරියටම සිදුකරමින් සිටී.

ඒ අතර ජනතාවට ඍජුව දැනෙන අවශ්‍යතා වංචනික ලෙස ඉටුකරන බව පෙන්වීම ද ආණ්ඩුවේ කටයුත්ත වී ඇත. වැටුප් වැඩිකිරීම වෙනුවට දීමනාවක් ලබාදීම ඒ අතරින් ප‍්‍රමුඛ උදාහරණයකි. ඖෂධ ප‍්‍රතිපත්තිය ද එවැන්නකි. පෙබරවාරි මුල් සතියේ කැබිනෙට්ටුවෙන් අනුමත කරගෙන මාර්තු 3 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරපත් කර මාර්තු 4 වැනිදා සම්මත කරගන්නා හදිසි පනතක් ලෙස එය ඉදිරිපත් වී ඇත. ආණ්ඩුව ද ආණ්ඩුවට බොරුවට බැන වදින විපක්ෂය ද සමාජවාදය වෙනුවට හොරු ඇල්ලීම ප‍්‍රතිපත්තිය කරගත් වාමාංශිකයන් ද ඊට අත් ඔසවනු ඇත. ඔවුන් එසේ කරනුයේ ඉදිරිපත් වී ඇති පනත සේනක බිබිලේ පෙන්වා සමාගම්වලට ඉඟිමරා අත වනන පනතක් බව දැන දැනය. යෝජිත ඖෂධ පනත නංගි පෙන්වා අක්කා දීමට නොදෙවෙනි බව කිව යුතුය.

වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා ඇස්ප‍්‍රින් හා පැරසිටමෝල්වල වෙළෙඳ නාම පටලවා ගනිමින් (අමතක නොකරන්න. එතුමා වෛiවරයෙකි, දන්ත වෛiවරයෙකි.* ඖෂධ සඳහා වෙළෙඳනාම භාවිත කළ යුගය අවසන් කරන බවත් එසේම ඉදිරි අවුරුදු තුන ඇතුළත ලංකාවට අවශ්‍ය ඖෂධ සියල්ල ලංකාව තුළම නිපදවන බවත් ඒ අතරම ඖෂධවල ප‍්‍රමිතිය රකිමින් නිල පාලනයක් සිදුකරමින් සමාගම්වල ගසාකෑම නවතා දමන බවත් පවසයි. ඒ ප‍්‍රකාශ සියල්ලම ප්‍රෝඩාවක් බව නව පනත් කෙටුම්පත් අපට මනාව පසක් කර දෙයි.

බිබිලේ ප‍්‍රතිපත්තියේ මූලික අංගයක් වූ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් සකස් කිරීම පනත උවමනාවෙන්ම මඟහැර ඇත. වෙළෙඳනාම පාලනය මුළුමනින්ම වෛiවරයා මත ද ඖෂධ ශාලාවේ ඖෂධවේදීන් මත ද පටවා ඇත. පනතට අනුව වෛiවරුන් ඖෂධ නියම කළ යුත්තේ ඖෂධීය නාමයෙනි. එහෙත් වෛiවරයාට රිසි වෙළෙඳ නාමයක් වරහන් තුළ සඳහන් කළ හැකිය. සංයුක්ත ඖෂධයක් (ඖෂධ වර්ග කිහිපයක් මිශ‍්‍ර කර තනනු ලබන ඖෂධ) නම් වෙළෙඳ නාමය පමණක් ලිවිය හැකිය. වෛiවරයා ලියූ වෙළෙඳ නාමය ඖෂධශාලාවේ නැතිනම් සුදුසු වෙළඳ නාමයකින් අදාළ ඖෂධය සැපයීමට ඖෂධවේදියාට හැකිය. ඖෂධීය නාමය පමණක් වෛiවරයා ලියා ඇති විට ඖෂධශාලාවේ එම ඖෂධයට අදාළව ඇති සියලූම වෙළඳ නාම වර්ග පෙන්වා තමන් කැමැති එකක් තෝරා ගැනීමට රෝගියාට ඉඩ දිය යුතුය. මෙය නම් මහාචාර්ය සේනක බිබිලේගේ සිරුර ගොඩගෙන කනට දෙකක් ගසා එය සොහොන් පිටියක අතහැර දමා ඒමට නොදෙවැනි එකකි. සමාගම්වලට ආණ්ඩුවේ අනුමැතිය ගෙන තම තමන්ගේ වෙළෙඳ නාම මෙරටට ගෙන්වීමට කිසිදු සීමාවක් නොපනවා තමන් කැමැති වෙළෙඳ නාමයක් තෝරා දීමට වෛiවරයාට ද ඖෂධවේදියාට ද බෝලය පාස් කිරීමකි. රෝගියාට අවශ්‍ය ඖෂධයේ වෙළෙඳ නාමය කුමක්දැයි තීරණය කරන්නේ වෛiවරයා, ඖෂධවේදියා හෝ රෝගියා නම් ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය නොවේ. මෙය දැනටත් පනතක් නැතිව සිදු වන සාමාන්‍ය ක‍්‍රියාවලියකි. පනත සිදුකර ඇත්තේ නීතියක් නැතිව සිදු වූ මෙම අකටයුත්ත නීතිගත කිරීමකි. මෙය සමාන කළ හැක්කේ පාසලේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා යැයි කියමින් මුදල් අය කිරීමේ බලය නිල වශයෙන් විදුහල්පතිවරුන්ට පැවරීමේ අධ්‍යාපන ඇමැතිවරයාගේ තීරණයටය. වෙළෙඳ නාම ගණන සීමා කිරීමට හෝ නව වෙළෙඳ නාම ලියාපදිංචිය සීමා කිරීමට නව පනත යෝජනා නොකිරීම අපට නම් විමතිය ගෙන දෙන්නක් නොවේ. ඊට හේතුව මේ බිහි වී ඇත්තේ ජනතාවාදී සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ හැකි ජනතාවගේ පාලනයක් නොවන බවත් වෙළෙඳාම, වෙළෙඳපොළ ලාභය හා කොමිස් තම පැවැත්ම බවට පත්කර ගත් නවලිබරල් ආණ්ඩුවක් බවත් අප දන්නා බැවිනි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අකාර්යක්ෂම බව දුරලා එය විධිමත් කිරීමටද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වැඩි දියුණු කිරීමට ද කිසිදු නිර්දේශයක් හෝ යෝජනාවක් මේ පනතේ ප‍්‍රකාශ වී නැත. ඒ අනුව බිබිලේ ප‍්‍රතිපත්තියේ තවත් අභිලාෂයක් වූ රටට අවශ්‍ය ඖෂධ සියල්ල රජය මඟින්ම ආනයනය කිරීමට, සියලූ අත්‍යවශ්‍ය ඖෂධ රට තුළ නිපදවා ගැනීමට කළ යෝජනා මේ පනත හරහා ඉටු නොවන බව පැහැදිලිව පෙනේ.

ඖෂධ මිල පාලනයට අදාළව පනත ඉදිරිපත් කරන්නේ වගන්ති හතරක් පමණි. මිල පාලන කමිටුවක් පත් කරන බව පැවසුවත් එහි සංයුක්තිය, බලතල හා ක‍්‍රියාකාරීත්වය සිදු වන ආකාරය පනතෙන් ඉදිරිපත් කොට නැත. මිල තෝරා ගැනීමට හා සීමා කිරීමට බලපාන කරුණු හා කොන්දේසි හඳුනා ගැනීමට පවා පනත අපොහොසත් වී ඇත. ඉදිරිපත් වී ඇති වගන්තිවලින් කියැවෙන්නේ ඖෂධ මිල පාලනයේ වැඩි වගකීමක් භාණ්ඩ මිල නියම කිරීමේ කුප‍්‍රකට ඉතිහාසයක් ඇති පාරිභෝගික සේවා අධිකාරියට පැවරෙන බවයි. එනිසා මෙය සාධාරණ මිලකට ඖෂධ මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් පෙළුණු ජනයා උස්සා පොළොවේ ගැසීමකි. මින් කියවෙන්නේ ඖෂධ මිල පාලනය කළ හැකි ආකාරය ගැන පනත සෑදූ අයටවත් ඊට උපදෙස් දුන් අයටවත් කිසිවක් නොවැටහෙන බවයි. නැතිනම් වැටහීමක් තිබුණත් ඒ සඳහා උවමනාවක් නොතිබූ බවයි.

පනත මඟින් හඳුන්වා දෙන ‘ජාතික ඖෂධ පාලන අධිකාරිය’ සෞඛ්‍ය ඇමැතිවරයාගේ රූකඩයක් වනු ඇත. ඊට හේතුව අධිකාරියේ සාමාජිකයන් 13 දෙනාගෙන් 10 දෙනකුම පත් කිරීමේ බලය ඇමැතිවරයා සතු වන බැවිනි. මෙය කිසිසේත්ම ස්වාධීන අධිකාරියක් නොවන බව නම් පැහැදිලිය. ඖෂධ සමාගම්වල සූරාකෑම වෙළෙඳ නියෝජිතයන්, වෛiවරුන් හරහා පමණක් නොව අමාත්‍යාංශ බලධාරීන් හා ඇමැතිවරුන් හරහා ක‍්‍රියාත්මක වන වටපිටාවක ඇමැතිවරයාගේ රූකඩයක් බඳු කමිටුවකට කුමක් කළ හැකිද? මෙය වඩාත් තහවුරු වන්නේ අධිකාරියට පත් කළ ඕනෑම අයකු ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය ද පනත මඟින් ඇමැතිවරයාටම පවරා ඇති බැවිනි.

ජනතා බලාපොරොත්තු සුන් කරන්නක් බවට පත්ව ඇති ක‍්‍රියාවලිය ජනතාව ගොනාට ඇන්දවීමේ ක‍්‍රියාවලියක් බවට පත්කර ගත් මෙම පනතේ එක් සාධනීය කරුණක් ඇත. ඒ ඖෂධ, වෛද්‍ය උපකරණ හා විලවුන් වර්ගවලට හසු නොවී වෙළෙඳපොළ රිසි සේ ආක‍්‍රමණය කර තිබූ අතරමැදි ද්‍රව්‍ය පාලනයට කොන්දේසි පනවා තිබීමයි. ඒ හැරුණු විට ජාවාරම්කාර සමාගම්වල ග‍්‍රහණයෙන් රෝගීන් මුදාගැනීම සඳහා කිසිදු පියවරක් මේ පනතෙන් ගෙන නොමැත. ඉන් සිදු කෙරී ඇත්තේ සේනක බිබිලේගේ ප‍්‍රතිරූපය පෙන්වා ඔහුට එරෙහි ගමන් මෙඟ් වේගයෙන් ඉදිරියට යාම පමණි. එමෙන්ම පාලකයන් ගමන් ගන්නේ සේනක බිබිලේ ගමන් කළ මාර්ගයට ප‍්‍රතිවිරුද්ධ මාර්ගයේ බව තහවුරු කිරීම පමණි.

සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද්‍ය ගිශාන්ත දසනායක

Advertisements