ආචාරධර්ම (හිප් හිප් හුරා….!)

දේශපාලකයන් සඳහා ආචාර්ධර්ම පද්ධතිය හැදීමට නව ආණ්ඩුව කටයුතු කරන බවට පොරොන්දු වුණා. ඒක හදන එක භාරදුන්නෙත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට. ඒක ගැන වැඩිය කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ජවිපෙ දැන් භාරගෙන තිබෙන්නේ මේ සමාජ ක‍්‍රමයේ කුණු සුද්ද කරලා, ඒකෙ කැත වහන ව්‍යාපෘතිය නිසා. ලංකාවේ දක්ෂිණාංශික දේශපාලනය මොන තරම් අර්බුදයකට ගිහින් ද කියනවා නම් දේශපාලනය ව්‍යාපාරයක් වෙලා දේශපාලන පක්ෂ විශාල සමාගම් බවට පත්වෙලා, මන්ත‍්‍රීවරු මුදලට විකිණෙන භාණ්ඩ බවට පත්වෙලා. කෙටියෙන් කියනවා නම් දේශපාලනය පාදඩකරණය වෙලා. දැන් සම්භාව්‍ය ධනේශ්වර චර්යාවන් සහිත දේශපාලනයකට හිස් තැනක් නිර්මාණය වෙලා. ජවිපෙ උත්සාහ කරන්නේ වාමාංශික ව්‍යාපාරයකට ඇති හිස්තැන වෙනුවට මේ හිස්තැන පුරවන්න හදපු ආචාරධර්ම පද්ධතියේ එක් අරමුණක් සටහන් කර තිබෙන්නේ ‘මහා පරිමාණ දූෂණ හා ඒවා තේරුම් ගැනීම මහත් බලපෑමකට ලක්ව ඇති නිසා මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමය පිළිබඳව මහජනතාව තුළත් විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළත් ඔවුන්ගේ සාමාජිකයන් තුළත් විශ්වාසය වර්ධනය කිරීම’ ලෙස. මෙහි අරමුණම මේ දේශපාලන ක‍්‍රමය ගැන ජනතාව තුළ බිඳවැටුණු විශ්වාසය යළි තහවුරු කිරීම බව ලේඛනයේම ලියා තිබෙනවා. 1965 දී ජවිපෙ ආරම්භක අභිලාෂයන් සියල්ල වසර 50 කට පසු අතහැර දමා තිබෙන බව පැහැදිලියි.

කොහොම වුණත් ආචාරධර්ම පද්ධතිය හදපු අය ගැන නොව ඒ හදා තිබෙන ආචාරධර්ම පද්ධතිය ගැන කතා කිරීම පටන් ගනිමු. දේශපාලන ක‍්‍රියාකාරීන්ගේ ආචාරධර්ම ගොඩනැඟීම හුදු ලේඛනයක් හෝ ව්‍යුහයක් මඟින් කරන්න බෑ. එය සමස්ත සමාජයේම ආචාරධර්ම ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සමඟ බැඳී තිබෙනවා. දේශපාලන ලෝකය තුළ ඇති වී තිබෙන පිරිහීමේ ලක්ෂණ මොනවාද? මුදල් වෙනුවෙන් තමන්ගේ දේශපාලන ප‍්‍රතිපත්තීන්, හෘදය සාක්ෂිය පවා විකිණීමට ඇති සූදානම, සමාජමය වගකීමක් නැතිව තමන්ගේ ගොඩ වැඩි කරගැනීම ගැන පමණක් සිතීම, උමතු ලෙස පරිභෝජන සිහිනයක ගිලීම, බලය වෙනුවෙන් – එය රැුකගැනීම වෙනුවෙන් ඕනෑම සමාජ සදාචාරයක් කැඞීමට පෙළඹීම, මතවාදී විපාක්ෂිකයන් මතවාදීව නොව කායික බලහත්කාරය මඟින් මැඬලීමට සිතීම….. මේ වගේ දිග ලයිස්තුවක් හදන්න පුළුවන්. මේ හැම එකක් දෙසම අවධානයෙන් බැලූවොත් ඒවා සමාජමය අගතීන් සමඟ සම්බන්ධ වී තිබෙන ආකාරය අපට නිරීක්ෂණය කරන්න පුළුවන්. අධි පරිභෝජනය ඉලක්ක කරගෙන සල්ලි ගොඩගැසීමේ සිට බලය අයුතු ලෙස භාවිතය දක්වා සියලූ ප‍්‍රශ්න දේශපාලකයන්ට විතරක් විශේෂ ඒවා නෙවෙයි. ඒවා වෙනස් ගුණාත්මක මට්ටම් සහිතව සමාජය තුළත් තිබෙනවා. ඒ නිසා දේශපාලන ක්ෂේත‍්‍රය ද ඇතුළු අනෙකුත් හැම ක්ෂේත‍්‍රයකම ආචාරධර්ම ගොඩනැංවීමේ මාර්ගය වෙන්නේ සමස්ත සමාජයේම ආචාරධර්මීය ප‍්‍රමිතීන් ඉහළ දැමීම.

මේ කරුණු ගැන සමාජයේම සිතීම තිබෙන්නේ ඉහළ ප‍්‍රමිතියක නම් දේශපාලකයාට සිය මහජන පදනම් රැුකගන්න, බලය රැුකගන්න, සිය ජනප‍්‍රියතාව රැුකගන්න ඒ ආචාරධර්ම ආරක්ෂා කරන්න වෙනවා. නමුත් දැන් මෙවැනි කරුණු ගැන සමස්ත සමාජයේම ප‍්‍රමිතිය තිබෙන්නේත් පහළ තැනක. ජනතාව සිය ඡුන්දය හරහා හොරුන්, සල්ලාලයන්, මැරයන්, තක්කඩියන්, වංචනිකයන් බලයට පත් කරනවා පමණක් නෙවෙයි, ඒ දුර්ගුණාංග හෙළිදරව් වූ පසුවත් දිගින් දිගටම ඔවුන්ව ජයග‍්‍රහණය කරවනවා. කැලණියේ ජනතාව, කොළොන්නාවේ ජනතාව, ගාල්ලේ ජනතාව තම නියෝජිතයන් ලෙස මැරයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, හොරුන්, සල්ලාලයන් තෝරා පත්කර ගෙන තිබෙන්නේ ඔවුන් ගැන නොදන්නා නිසාද? නැතිනම් එය යම් වටිනාකමක්, බලය පිළිබඳ සංඥාවක් ලෙස ගන්නා නිසාද? මේ ගැන ඉතා ගැඹුරින් සංවාදයක් අවශ්‍යයි. සමස්ත සමාජය තුළම මේ පිළිබඳ චින්තනමය හා චර්යාමය පුනරුදයකින් තොරව හුදු ආචාරධර්ම ලේඛනයකින් මේ ප‍්‍රශ්නයට පිළිතුරු හොයන්න බෑ.

අනෙක් අතට දේශපාලකයන් සමාජයේම සාමාජිකයන් නිසා ඔවුන් තුළ සමාජයේ පවතින ලක්ෂණ තිබෙනවා. අනෙක් බොහෝ දෙනෙකුටත් අධි පරිභෝජන සිහිනයත් තමන්ව වැඩිම මිලකට විකුණා ගැනීමේ අපේක්ෂාවත් බලය අයුතු ලෙස භාවිත කිරීමේ ලක්ෂණත් තිබෙනවා. නමුත් ප‍්‍රශ්නය වැඩිදෙනකුට ඒවා ක‍්‍රියාවේ යොදන්න අවස්ථා නිර්මාණය වෙන්නේ නෑ. උදාහරණයක් විදියට රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා සපත්තු දෙකක් පරිහරණය කිරීමේ අභිලාෂය බොහෝ දෙනකුට තිබෙනවා. එය තිබෙන්නේ නාමල් තුළ පමණක් නෙවෙයි. ප‍්‍රශ්නය නාමල්ට ලැබෙන අවස්ථාව ඒ සිහින දකින බොහෝ දෙනකුට හිමි නොවීම. පරිභෝජනය සම්බන්ධයෙන් නවලිබරල් ධනවාදය විසින් නිර්මාණය කර ඇති ජනප‍්‍රිය සමාජ මතවලට බලපෑම් නොකර මැති ඇමැතිවරුන් හා ඔවුන්ගේ දූ පුතුන් ආචාරධාර්මිකව හික්මවන්න පුළුවන් කියා ඔබ හිතනවාද?

මේ සියලූ කරුණු ගැන බරපතළ සමාජ කතිකාවක් අවශ්‍යයි. ආචාරධර්මවල අයිතිකාරයෝ පිරිසක් ඉන්නවා, ඔවුන් හදන ආචාරධර්ම අපි භාර ගත යුතුයි කියලා හිතන්නේ නැතිව සමස්ත සමාජයම මේ ගැන සංවාදයක් කළ යුතුයි. ආචාරධර්ම පද්ධතියක් නිර්මාණය කළ යුත්තේ ඉන් අනතුරුව. දේශපාලකයන්ට ආචාරධර්ම පද්ධතියක් හැදීම ගැන ප‍්‍රශ්නයක් නැති වුණත් ආචාරධර්මවල නාමයෙන් කරන විහිළුවලට නම් අප එකඟ නෑ. ක්ෂණික ආප්ප බානවා වගේ ආචාරධර්ම හැදීම කියන්නේත් සමාජමය සංවාදයකින් තොරව ආචාරධර්ම හදනවා කියන්නේත් මේ සමාජ වියවුලේම පරාවර්තනයක්. හැම එකකම ගැඹුරට නොයා ෂෝට්කට් හොයන සමාජයක ආචාරධර්ම කියන්නේත් ක්ෂණික කෑම වර්ගයක්.

Advertisements