ලංකාවට න්‍යෂ්ටික බෝම්බය එයිද?

nuclear_explosionපසුගිය වසරේ ජුනි 8 වැනිදා ජනරළ පුවත්පතේ සිරස්තලය යොදා තිබුණේ ‘ලංකාවට න්‍යෂ්ටික බෝම්බයක්’ ලෙසිනි. එම වසරේම මැයි 11 වැනිදා පුවත්පතේ අනාවරණය කළ ඉන්දියාව හා ලංකාව අතර න්‍යෂ්ටික සහයෝගිතාවයක් ඇති කරගැනීම සඳහා පැවැත් වූ සාකච්ඡුාත් ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ ‘දිගුකාලීන ජාතික සැලැස්ම’ නම් ලේඛනයත් පදනම් කරගෙන එම පුවත පළකර තිබිණි. විදුලි බල මණ්ඩලයේ සැලැස්ම තුළ ලංකාවේ න්‍යෂ්ටික

බලාගාර ඇරඹීමේ සූදානමක් පිළිබඳවත් මුලින්ම මෙගාවොට් 600 ක කුඩා බලාගාරයක් ඇරඹීමේ සැලැස්ම පිළිබඳවත් කරුණු අඩංගු වී තිබිණි. ඒ අනුව ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක් ආරම්භ කිරීමට පාලකයන් සැලැසුම් කරන බව සැක රහිතව ඔප්පු වන බව ජනරළ ප‍්‍රකාශයට පත් කර තිබිණි. එදා පළ කළ අදහස, වර්ෂයක් ගත වීමටත් පෙර තහවුරු වෙමින් තිබේ.

ඒ පසුගිය පෙබරවාරි 16 වැනිදා නවදිල්ලි නුවර දී ඉන්දියාව හා ලංකාව අතර න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟිනි. ශී‍්‍ර ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිල වෙබ් අඩවියට අනුව ලංකාවත් ඉන්දියාවත් අතර මෙම ගිවිසුම පිළිබඳ කෙටුම්පත සකස් කිරීමේ සාකච්ඡුා ආරම්භ වී ඇත්තේ 2012 වසරේ දීය. ඒ සඳහා වන ද්වී පාර්ශවීය සාකච්ඡුා වට තුනක් 2012 ඔක්තෝබරයේ දී 2014 මැයි මාසයේ දී හා 2014 ඔක්තෝබරයේ දී පවත්වා තිබේ. මෙම සාකච්ඡුා මෙන්ම සකස් කරන ලද කෙටුම්පත ද මුළුමනින්ම ජනතාවගෙන් සඟවා තබාගෙන තිබිණි. 2014 මැයි මස 4, 5 දිනයන්හි සාකච්ඡුා පැවැත්වුණු බව හෙළිදරව් වූයේ කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීමත් සමඟය. නමුත් එම සාකච්ඡුාවල හුවමාරු වූ කරුණු මෙන්ම කෙටුම්පත ද රහසක්ව තිබිණි. දැනුදු ගිවිසුම සමාජගත කර නැත. එහෙත් රජය මඟින් නිකුත් කළ නිවේදනයකට අනුව මූලික ක්ෂේත‍්‍ර පහක් සඳහා දැනුම, විශේෂඥයන් හා සම්පත් හුවමාරු කරගැනීම මේ ගිවිසුමේ අරමුණයි.

  1. න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී යෙදීම් පිළිබඳ පර්යේෂණ
  2. කර්මාන්ත, කෘෂිකර්මය, ජල කළමනාකරණය යන ක්ෂේත‍්‍ර විකිරණශීලී සමස්ථානික භාවිතය
  3. න්‍යෂ්ටික වෛද්‍ය විදව ඇතුළු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විකිරණශීලී සමස්ථානික භාවිතය
  4. විකිරණ ආරක්ෂණය, න්‍යෂ්ටික ආරක්ෂණය ඇතැම් අනතුරු අවම කිරීම හා පරිසර ආරක්ෂාව
  5. න්‍යෂ්ටික, අපද්‍රව්‍ය කළමනාකරණය

ඍජුව සඳහන් නොකළත් මේ සැරසෙන්නේ න්‍යෂ්ටික බලාගාර සඳහා ඉන්දීය සහාය ලබාගැනීමට බව ඉතාම පැහැදිලිය. මෙහි දී සිදුවන්නේ යුරේනියම්, තෝරියම්, ප්ලූටෝනියම් වැනි විකිරණශීලී මූලද්‍රව්‍යයක පරමාණුවේ න්‍යෂ්ටියට නියුට්‍රෝනයකින් පහර දීමයි. එවිට නිමවන අස්ථාවර සමස්ථානිකය මූලද්‍රව්‍ය පරමාණු දෙකක් බවට පුපරා යන අතර ඒ හරහා විශාල ශක්තියක් උත්පාදනය වේ. එම පරමාණු ද යළි බිඳෙන අතර මෙය අඛණ්ඩව දාම ප‍්‍රතික‍්‍රියාවක් ලෙස ඉදිරියට යයි. මෙය නොනැවතී සිදු වන විට එය පරමාණු බෝම්බයක් නම් වේ. න්‍යෂ්ටික බලාගාරයක දී සිදුවන්නේ මෙම පද්ධතිය සිසිල් කිරීම හරහා දාම ප‍්‍රතික‍්‍රියාව අවශ්‍ය තැනින් නතර කිරීමයි. මේ සිසිලන ක‍්‍රියාවලිය අඩාල වුවහොත් න්‍යෂ්ටික බෝම්බයක හානියම සහිත අනතුරක් සිදුවේ. න්‍යෂ්ටික බලාගාරයක අවදානම ඇතිවන්නේ සිසිලන පද්ධතිය පාලනය කරගත නොහැකි වීමෙන් එය පුපුරායාම පමණක් නොවේ. බලාගාරයෙන් සිදුවන විකිරණ කාන්දුව මඟින් දැවැන්ත විනාශයක් සිදුවිය හැකිය. මෙම ක‍්‍රියාවලියේ දී ඉතිරි වන න්‍යෂ්ටික අපද්‍රව්‍ය විසින් ඇතිකරන පාරිසරික තර්ජනය ද විශාල එකකි.

සිසිලන පද්ධතිය බිඳවැටීම නිසා සිදුවූ න්‍යෂ්ටික අනතුරුවලින් ප‍්‍රකට අනතුරු දෙක වන්නේ 1986 අපේ‍්‍රල් 26 වැනිදා එවකට සෝවියට් දේශයට අයත්ව පැවැති යුකේ‍්‍රනයේ චර්නොබිල් බලාගාරය පුපුරා යාමත් 2011 මාර්තු 11 වැනි දින සුනාමි තත්වයක් නිසා ජපානයේ ෆුකුෂිමා

බලාගාරයේ සිදුවූ අනතුරත්ය. න්‍යෂ්ටික අපද්‍රව්‍ය පිළිබඳ ප‍්‍රශ්නය ලෝකයේ බරපතළම පාරිසරික ව්‍යසනයක් ලෙස සැලකේ. නිදසුන් ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ හැන්ෆෝර්ඞ් ප‍්‍රදේශයේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කරන ළිං 177 ක් තිබේ. මෙම ළිං තුළ මේ වන විට විකිරණශීලී අපද්‍රව්‍ය ලීටර මිලියන 200 ක් තිබෙන බව පැවැසේ. එම අපද්‍රව්‍ය හරහා භූතලයට විකිරණ කාන්දු වීම නිසා විශාල හානියක් පරිසරයට හා මිනිසාට සිදුවේ. සාමාන්‍යයෙන් අමෙරිකානු පොළොවට වසරකට විකිරණ අපද්‍රව්‍ය ලීටර් 570 සිට 1140 දක්වා ප‍්‍රමාණයක් කාන්දුවන බව සොයාගෙන ඇත. මෙමඟින් ජීවිත හානි මෙන්ම විවිධ රෝගාබාධ හා දීර්ඝකාලීන මියයාම් සිදුවිය හැක. නිදසුනක් ලෙස චර්නොබිල් බලාගාරය පුපුරන අවස්ථාවේ දී මියගියේ 30 දෙනකු වුවත් එතැන් සිට වසර 25 ක් තුළ මෙම අනතුරේ අතුරුපල නිසා මියගිය මුළු ගණන ලක්ෂ 2කට අධිකය.

මෙතරම් අවදානමක් ඇති නිසා ප‍්‍රංශය, ඉතාලිය, බි‍්‍රතාන්‍යය වැනි රටවල් ක‍්‍රමයෙන් සිය න්‍යෂ්ටික බලාගාර වසා දමමින් වෙනත් බලශක්ති විකල්ප කරා ප‍්‍රවේශ වෙමින් සිටී. ලංකාව න්‍යෂ්ටික බලාගාර ආරම්භ කිරීමට සැරසෙන්නේ ලොව දියුණු තාක්ෂණයක් සහිත රටවල් පවා එය අතහරිමින් සිටින මොහොතකය. 2013 ඔක්තෝබර් 22 වැනිදා එවකට තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිවරයාව සිටි වර්තමානයේ විදුලි බල හා බලශක්ති ඇමැති චම්පික රණවක පවසා ඇත්තේ 2025 සිට ලංකාව තුළ න්‍යෂ්ටික

බලාගාර ඉදිකරන බවය. මෙවර ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කර ඇත්තේ ඒ සඳහා වන එක් පියවරක් ලෙස බව ද පැහැදිලිය. න්‍යෂ්ටික බලාගාරයක් ලංකාව තුළ පිහිටුවීමට අදාළ ගැටලූ රාශියකි. එකක්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පරිචය ලංකාවට නැතිවීමය. ඒ සඳහා විශේෂඥ උපදෙස් ලබා ගන්නේ ද ඉන්දියාව වැනි ඉතා දුබල තාක්ෂණයක් සහිත රටකින් නම් අනතුරක් සඳහා වන සම්භාවිතාව ඉහළ යයි. අනෙක් අතට ලංකාව කුඩා රටක් නිසා ලංකාව තුළ න්‍යෂ්ටික අනතුරක් සිදු වුවහොත් එම අනතුර නිසා සමස්ත ලංකා ජනගහනයම ජීවිත අවදානමකට මුහුණ පායි. නිදසුනක් ලෙස 2011 ජපානයේ ෆුකුෂිමා අනතුරෙන් පසුව බලාගාරයේ සිට කිලෝමීටර් 1000 ක් ඈත පිහිටි ශාක තුළ ද විකිරණ අඩංගු බව සොයා ගැනිණි. ලංකාවේ වැඩිම දුර වන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට ඇත්තේ ද කිලෝමීටර් 440 ක් පමණි. එනිසා මෙය බලශක්තිය වෙනුවෙන් සමස්ත ලාංකේය ජනගහනයම අනතුරේ හෙළීමක් බව පැහැදිලිය.

අනෙක් ප‍්‍රශ්නය වන්නේ න්‍යෂ්ටික බලාගාරයකින් ඉවත දමන න්‍යෂ්ටික අපද්‍රව්‍ය පරිසරයට හානි නොවන සේ බැහැර කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නයයි. ලංකාවේ පාලකයන්ට නිවෙස්වල කුස්සියේ ඉතිරි වන කුණු ටික පවා පරිසරයටත් සමාජයටත් හානිකර නොවන සේ බැහැර කළ නොහැකි බවට නිදසුන් කොළොන්නාවේ මීතොටමුල්ලෙන්ම හමුවේ. කුස්සියේ අපද්‍රව්‍ය බැහැර කිරීමට වැඩපිළිවෙළක් නැති ලංකාවේ ආණ්ඩු න්‍යෂ්ටික අපද්‍රව්‍ය කෙසේ බැහැර කරනු ඇත්ද? න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම ලංකාව වැනි කුඩා රටකට කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ද න්‍යෂ්ටික බෝම්බයක් සවි කිරීමක් වැනිය. මෛත‍්‍රීපාලගේ පාලනය ද මේ ගෙන යන්නේ කෙටි කාලීන ආර්ථික වාසි වෙනුවෙන් ලංකාවේ ජනතාවගේ ජීවිත අවදානමේ හෙළන කොල්ලකාරී ප‍්‍රතිපත්තියමය. න්‍යෂ්ටික ගිවිසුම මහින්ද රාජපක්ෂ විසින් සකස් කළ අතර මෛත‍්‍රීපාල සිරිසේන එයට අත්සන් තැබීමට සිය ඇමැතිවරුන් යොමු කර ඇත. එදාත් අදත් න්‍යෂ්ටික බලාගාර සිහිනයේ ගිලී සිටින්නේ එදාත් ඇමැති, අදත් ඇමැති චම්පික රණවකමය. රියදුරා මාරු වී ඇත. එහෙත් දුම්රිය පරණ මාර්ගයේම ගමන් කරමින් සිටී. අප පුන පුනා පවසන්නේ දුම්රිය ගමන් කරන්නේ ප‍්‍රපාතය දෙසට බවය. පසුගිය දා අත්සන් කළ න්‍යෂ්ටික ගිවිසුම ද එය තහවුරු කරන අනතුරු ඇඟවීමේ සංඥා නාදයකි. කළ යුත්තේ රියදුරා මාරු කිරීම ද පීල්ල මාරු කිරීම ද යන තීරණය ගත යුත්තේ ජනතාවය.

මනෝජ් ප‍්‍රසන්න

Advertisements