නොදැන ගියොත් අමාරුවේ

තොරතුරු දැනගැනීමේ අයිතිය යහපාලනයෙන් ලැබෙයිද?

උදයන් කාර්යාලය ගිනිතැබීම

උදයන් කාර්යාලය ගිනිතැබීම

”බලන්නකො මේ ගොල්ලා කරලා තියෙන දේවල්? ජනාධිපති වෙලා හිටිය කාලෙ මොන තරම් දේවල් කරල ද බලන්න?”

මෙවැනි ප‍්‍රකාශ දැන් දිනපතා අසන්නට ලැබේ.

එහෙත් මේ විස්මය පළ කෙරෙන්නේ පසුගිය කාලයේ මෙරට කතාබහට ලක් වූ තොරතුර නැවත පුවත්පත්වල හෝ විiුත් මාධ්‍යවල පළ කෙරෙන විටය. බොහෝ අවස්ථාවල සිදුවන්නේ එවැනි අක‍්‍රමිකතා ගැන දූෂමාන ආරංචි හෝ වාචිකව පැවැසෙන තොරතුරු ප‍්‍රකාශ වුව ද ඒවා සනාථ කිරීමට අවශ්‍ය සාධක ඉදිරිපත් නොවීමය. පවතින පාලන බලය යටතේ විවිධ දේශපාලන බලපුළුවන්කාරයන් හා ඔවුන්ගේ අතවැසියන් සහ ඇතැම් විට නිලධාරීන් විසින් සිදුකරන වංචා දූෂණවලට ආවරණය සැපයීම නිසා ඒවා වසංකර ගත හැකිය.

එහෙත් මෙවැනි වසං කිරීම් හැමදාම පවතින්නේ නැත. රාජ්‍ය බලය අහිමිවන පැයේ දී පාලකයන්ගේ සියලූ දෝෂ ජනතාව හමුවේ නිරුවත් වේ. මෙම තත්වය අදාළ වන්නේ ලංකාවට පමණක්ද? දූෂිත පාලකයන් සිටින ඕනෑම රටක මෙවැනි තත්වයන් නිතරම දක්නට ලැබෙන්නේ ඔවුන් බලයෙන් පහ කළ පසුවය. හිට්ලර්, ඉඩි අමීන්, මාකෝස්, ගඩාෆි යනාදී වශයෙන් කියැවෙන නම් අතර දැන් මහින්ද රාජපක්ෂගේ අත්තනෝමතික පාලනය යටතේ සිදු වූ දේ ගැන ඇත්ත තත්වය හෙළි වෙමින් තිබේ. නමුත් අපේ ප‍්‍රශ්නය වන්නේ පාලකයෙන් බලයෙන් නෙරපා හැරියාට පසුව ඔහුගේ තක්කඩිකම්, වංචා දූෂණ හෝ වැළඳු යස ඉසුරු කියමින් බලයෙන් ඇදවැටුණු පාලකයාට ඒවා සියල්ල අහිමි කිරීම ගැන ඔද වැඞීම නොවේ. බලය හා වරප‍්‍රසාද අහිමි වූ පාලකයා සම්බන්ධව කියැවෙන හා ඔසවා තබන මතය වන්නේ දුෂ්ටයා පලවා හැර වීරයා ජයගත් බවය. කෲර පාලකයා වෙනුවෙට මෛත‍්‍රිය බලයට පත් වූ බවය. එහෙත් ඇත්ත තත්වය එයමද? තවත් වසර ගණනාවකින් අපට නැවත වරක් දුෂ්ට පාලකයා පලවා හැරීමට වීදි බසින්නට සිදුවනු නොහැකිද? සිහිබුද්ධියෙන් කල්පනා කළ යුතු ප‍්‍රශ්නය එයයි.

පාලකයා බලයේ සිටින තුරු ඔහුගේ අත්තනෝමතිකභාවය ගැන හා වංචා දූෂණ ගැන නොදැන ජනතාව ඔහු විසින් කියන කරන දේ ගැනත් ඔහුගේ වන්දිභට්ටයන් ගෙන යන වර්ණනා ගැනත් වශීකෘතව සිටිති. ඔහු බලයෙන් ඇද දැමූ පසුව නව පාලකයා කියන කරන දේ ගැන මහත් වර්ණනා සිදුවන අතර නව වන්දිභට්ටයන් ප‍්‍රාදුර්භූත වෙති. සියල්ල වැරදියට කළ, සියලූ දහ මහ දෝෂවලට වගකිවයුතු පරාජිත පාලකයා වෙනුවට ධාර්මික, සුපේෂල ශික්ෂාකාමී නව පාලකයා යන්නේ පරණ පාලකයාගේ පාරේම දැයි අප දන්නේ නැත. එය අපට වැටහෙන විට අප ප‍්‍රමාද වැඩි වන්නට පුළුවන. එසේ නම් මෙවැනි යළි යළිත් වළේ වැටෙන, ? වැටුණු වළේ මහ දවල් වැටෙන තත්වය වෙනස් කරන්නේ කොහොමද?

”බලන්නකො මේ ගොල්ලා කරලා තියෙන දේවල්.!” කියමින් පසුතැවෙනු වෙනුවට පාලකයා ගැන වැටහීමකින් යුතුව ඉන්නට ජනතාවට නොහැකිද? පාලකයා කරන කියන දේවල් මෙන්ම වෙනත් බලධාරීන් හා නිලධාරීන් සිදුකරන කටයුතු දැනගෙන තමන් ජීවත් වන්නේ මෙවැනි පසුබිමක බව දැන ජීවත් වන්නට අපට හැකි විය යුතුය. එහෙත් එය කියන තරම් සරල නැත. රටේ තොටේ වෙන දේ ගැන දැන ගන්නට හැකි නම් ඒ වෙන දේ පිළිබඳ විනිශ්චයක් කරන්නට හා ඒවාට වගකිවයුත්තන් හඳුනා ගන්නට ජනතාවට අපහසු නැත. එසේ හඳුනා ගැනීමක දී පාලකයන් මෙන්ම බලධාරීන් පිළිබඳ විනිශ්චය කරන්නට හැකියාව ලැබෙනු ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිය ඉල්ලා සිටින්නේ ඒ සඳහාය. මෙම අයිතිය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අවධිය දක්වා දිවෙන අතීතයක් සහිත එකකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එවැනි විනාශයක් නැවත නොවනු පිණිස පියවර ගැනීමට රැුස්වුණු ලෝකයේ රටවල් සිය ගණනක් අතර තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අදහසක් සාකච්ඡුා විය. 1946 ලන්ඩනයේ පැවැති එක්සත් ජාතීන්ගේ පළමුවැනි සැසිවාරයේ දීම තීරණ අංක 59 (1) වශයෙන් ‘තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස’ තහවුරු කිරීමේ යෝජනාවක් සම්මත කෙරුණේ ඒ නිසාය. ඉන්පසුව, 1948 අත්සන් කෙරුණු මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ අංක 19 වැනි වගන්තිය තුළ පිළිගත් මනුෂ්‍ය හිමිකමක් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය අඩංගු වන්නේ මෙසේය.

”ස්වාධීන මතදැරීම හා ප‍්‍රකාශ කිරීමේ නිදහස සෑම පුද්ගලයකු සතු අයිතියකි. එකී මත බාධාවකින් තොරව දැරීමට ඇති නිදහසත් දේශසීමාවන් නොතකා ඕනෑම මාධ්‍යයකින් තොරතුරු සොයාගැනීම, ලබාගැනීම හා බෙදා හැරීමට ඇති නිදහසත් මේ අයිතියට ඇතුළත්ය.”

එපමණක් නොවේ, ලංකාව 1980 අත්සන් කළ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය තුළ ද තොරතුරු දැනගැනීම දේශපාලන අයිතියක් ලෙස පිළිගෙන ඇත.

”සියලූම දෙනාට අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස තිබිය යුතුය. එයට, වාචිකව, ලිඛිතව හෝ මුදිත ලෙස පවතින හෝ තමන්ට රුචි ලෙස වෙනත් මොනයම් ආකාරයෙන් පවතින සියලූම ආකාරයේ තොරතුරු සහ අදහස් සොයා යාමේ, ලබාගැනීමේ, හා බෙදාහැරීමේ නිදහස අයත්ය.”

දැන් මේ අයිතිය ලංකාවේ පුරවැසියන්ට ලබාදෙන්නට නම් එය මෙරට පවතින ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ද ඇතුළත් කළ යුතුව තිබේ. එහෙත් කාලාන්තරයක් තිස්සේ එය සිදු වී නැත. වරින්වර මෙම අයිතිය ලංකාවේ ජනයාට හිමිකර දීමේ උත්සාහයක් පැවතුණ ද සත්‍ය වශයෙන් එය හිමිව නැත.

දැන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ පවතින ‘යහපාලනය’ තූළ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමේ පනතක් හඳුන්වා දෙන්නට නියමිතය. ඒත් ඒ පනත කෙබඳු දැයි අප වෙත දක්වා නැත. අප‍්‍රකට ලෙස යම් යම් පුද්ගලයන් හරහා සංසරණය වන කෙටුම්පතක් තිබේ. එය ඇත්තටම ආණ්ඩුවේ පනත් කෙටුම්පත දැයි දන්නේ නැතිව ඒ ගැන අදහස් පළ කරන්නට ද නොහැකිය. පළමුවෙන්ම ආණ්ඩුව විසින් මෙම නව පනත පිළිබඳ ජනතාවට දැනුම්දිය යුතු බව අපගේ විශ්වාසයයි. නව නීතියක් සම්මත කරන්නට පෙර ජනතාව ඒ ගැන දැනගත යුතුය. තමන් නොදන්නා නීති ජනතාව මත පටවා පාලනය ගෙන යන්නට යහපාලන ආණ්ඩුව සූදානම් දැයි අප දන්නේ නැත.

එය එසේ නම් ජනවාරි 8 වැනිදා සිදු වූවා යැයි ඔවුන්ම කියන වෙනස කුමක්දැයි අප පුදුම විය යුතුය. රාත‍්‍රියේ නිදා සිට අවදි වන විට විවිධ නව නීති හා නිවේදන යටතේ ජිවත් වන්නට සිදු වුණේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේය. ඒ අමිහිරි හා බියකරු මතකය අවසන් කරමින් යහපාලන ආණ්ඩුවක් පත් කිරීමට ජනතාව ඡුන්දය දුන්හ. මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ගැනත් මානව නිදහස ගැනත් පෙනී සිටින කලාකරුවන්, බුද්ධිමතුන් ඇතුළු බොහෝ සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් මෛත‍්‍රීපාලනය වෙනුවෙන් සක‍්‍රීයව දායක වූයේ එවැන්නක් අපේක්ෂාවෙන් නොවේ. ධනපති දේශපාලනය යනු බොරු පොරොන්දු කප්පරක් දෙමින් නිර්ලජ්ජිත ලෙස ජනයා රවටන නාටකයක් බව රහසක් නොවේ. නමුත් දැන් මේ ආණ්ඩුව විසින් ගෙන එනවා යැයි කියන නීති පනත් ගැන ජනතාව දන්නේ නැත.

තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා ද එවැනි පනතක් ගෙන එන්නට ආණ්ඩුවට බල කරති. එහෙත් ඒ පනත ගෙන එන්නට පෙර එහි ඇති කරුණු ජනතාව විසින් දැනගත යුතු බව ද ජනතා අදහස් මත එවැනි පනතක් ඉදිරිපත් කළ යුතු බව ද සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ අදහසයි. මීට පෙර වරින්වර ගෙන එනු ලැබූ පනත් කොටුම්පත් ඇසුරින් මෙම ආණ්ඩුවේ පනත් කෙටුම්පත ගැන පේන කියන්නට නොහැකිය. ආණ්ඩුව විසින් නිල වශයෙන් කෙටුම්පතක් ජනතාව හමුවටත් ජනතා නියෝජිතයන් හමුවටත් ගෙන ආ යුතුව ඇත.

විධායක ක‍්‍රමය අහෝසි කිරීම ගැනත් වෙනත් යම් ප‍්‍රතිසංස්කරණ ගැනත් යහපාලන ආණ්ඩුවේ මූලිකයන් කියූ දේ සහ දැන් සිදුවන දේ අතර බරපතළ පරස්පරයක් ඇත. මාදුළුවාවේ සෝභිත හිමියන් ප‍්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය විසින් මූලිකව ගෙන එනු ලැබූ විධායක ජනාධිපතිගේ බලය අහෝසි කිරිමේ ඉල්ලීම වටා බොහෝ දේශපාලන බලවේග එක පෙළට සිටගත්හ. ජනතාව විශ්වාසය තැබුවේ ඒ ඒකමතිකභාවයයි. එදා විධායක ක‍්‍රමය පතුරු ගැසුවේ දැන් බලයට පත්ව සිටින යහපාලන ආණ්ඩුවේ නායකයන්ය. නමුත් දැන් ඔවුන් කියන්නේ විධායක බලය සංශෝධනය කරන්නට කැමැති බවයි. මේ ආකාරයට තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන කියන කතා සහ කරන්නට යන දේ ගැන සහතිකයක් නැත.

මාධ්‍ය සංවිධාන අතර සංවාදයන්හි දී වඩා සැලකිල්ලට භාජනය වූ කෙටුම්පතක් වූයේ 2003 වසරේ සකස් කළ කෙටුම්පතකි. එය ‘විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය’ නමැති රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කර්තෘ සංසදය හා පුවත්පත් ආයතනය සමඟ එක්ව සකස් කළ එකකි. එහෙත් දැන් අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් සාකච්ඡුාවට ගෙන ඇත්තේ 2013 කරු ජයසූරිය මන්ත‍්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ගෙන එන්නට උත්සාහ කළ දළ කෙටුම්පතකි. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ විරුද්ධ පක්ෂ මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරනු ලැබූ එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් නොවුණේ රාජපක්ෂ ආණ්ඩුව විසින් එවැනි පනතක් ගෙන එන බව පවසමිනි. එහෙත් කිසිදා එවැනි පනතක් රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රමුඛතා අතර නොවුණු බව අපට රහසක් නොවේ.

දැන් යහපාලන ආණ්ඩුව ගෙන එන්නෙ කරු ජයසූරියගේ පිළුණු වූ පනත නම් එහි රඟ බොහෝ දෙනා දනිති. නීති කෙටුම්පතක් වශයෙන් ඉදිරිපත් විය යුත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කරන ලියැවිල්ලකි. ඒ වෙනුවට දියාරු වචන හරඹයක් නීතිගත කිරීමේ උත්සාහයක යෙදෙන්නට යහපාලන ආණ්ඩුව සූදානම් වනවා නම් සමාජයක් ලෙස ඊට එරෙහි විය යුතුය.

මේ වන විටත් ලෝකයේ රටවල් සැලකිය යුතු සංඛ්‍යාවක තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කර තිබේ. අසල්වැසි ඉන්දියාවේ ඇත්තේ ඒ වර්ගයේ හොඳම පනතක් බවට නීති විශාරදයන් මෙන්ම සිවිල් අයිතිවාසිකම් ක‍්‍රියාකාරිකයෝ කියති. එහෙත් ඉන්දියාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු වී ඇතැයි කිවහොත් එය මුසාවකි. හුදු ලියැවිල්ලකින් නීතිමය පදනමක් ඇති කරනවා මිස එය බලාත්මක කිරීමට සක‍්‍රීය දේශපාලන ක‍්‍රියාකාරීත්වයක් හා අභිිිලාෂයක් තිබිය යුතුය.

ඔන්න අපි ඒ නිදහසත් දුන්නා යැයි කියන්නට නම් මොකක් හෝ ලියැවිල්ලක් පාර්ලිමේන්තුවට ගෙන වැඩි ඡුන්දයෙන් සම්මත කළ හැකිය. රොබට් මුගාබේ යටතේ සිම්බාබ්වේ රාජ්‍යයේ ද තොරතුරු දැන ගැනීමේ පනතක් සම්මත කර තිබේ. එහෙත් එය ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය ආරක්ෂා කරනු වෙනුවට ජනතාවගේ අයිතිය වළලා දමන නීතියක් ලෙස සක‍්‍රීය කරනු ලැබ තිබේ. මෙරට දී ගෙන එනු ලබන බව කියන පනත් කෙටුම්පතේ ඇත්තේ ද වියවුල් සහගත බවකි. එය නිශ්චිතවම ආණ්ඩුවේ කෙටුම්පත දැයි නොදන්නා නමුත් කිවයුතු කරුණක් ඇත.

මෙම ලියැවිල්ලේ වගන්තිවලින් ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වුවමනාවක් පෙන්නුම් නොකරයි. ඒ වෙනුවට මෙහි ඉස්මතු වන්නේ තවත් හුදු පනත් කෙටුම්පතක ස්වභාවයයි.

R2Noජනතා අයිතිවාසිකමක් ආරක්ෂා කිරීමේ අරමුණින් ලිඛිත ලියැවිල්ලක ස්වභාවය එහි බැලූ බැල්මට නැත. ඒ වෙනුවට පවතින සමාජ ආර්ථික ක‍්‍රමය තුළම ලිබරල් පුද්ගල නිදහස මත පදනම්ව සැකසුණු වාග් මාලාවක් එහි ඇත. නිදසුනක් ලෙස පුද්ගලයන් අත සංසරණය වන මෙම යෝජිත පනත් කෙටුම්පතේ දී තොරතුරු අනාවරණය නොකිරීමේ අවස්ථා දැක්විය හැකිය. අනාවරණය නොකෙරෙන තොරතුරු මෙහි වෙනම සටහන් වේ.

මෙවැනි පනතකින් පීඩිත ජනතාවගේ අයිතියක් සුරක්ෂිත කරන්නට හැකියාව නැත. හෙළි නොකරන නිසා සාමාන්‍ය ජනයා නොදන්නා තොරතුරු නිසා පවතින පාලනය තව කලක් යහතින් පවතින්නට නියමිතය. ජාතික ආණ්ඩු සිහිනය ඇත්ත වුණත් නැතත් මහමැතිවරණයක දී පුරසාරම් කියන්නට හේතුවක් උපදිනු ඇත. බලයේ ඉන්න පාලකයා පමණක් හිස් මුදුනින් පිළිගෙන ඉන්න ජනතාවට ඇත්ත හෙළිකරන පනත් නොව, කිවයුතු දේ තෝරාගෙන නොකිවයුතු දේ වසන් කරන නෛතික බලයක් මෙමඟින් ස්ථාපිත වනු ඇත. ඒ නිසා බලයේ පවතින පන්තිය පමණක් සියල්ල භූක්ති විඳින පාලනය ආරක්ෂා කෙරෙනු ඇත.

ඒ වෙනුවට කුමක් හෝ පැළැස්තර නීතියක් අටවා මීළඟ කෙටි කාලය තුළ පාරම්බාන්නට යහපාලන ආණ්ඩුවට හැකියාවක් ලැබෙනු ඇත. ආණ්ඩුවේ පිට කසන ජනමාධ්‍යකරුවන්ට වර්ණනා කරමින් ලියන්නටත් හෝද හෝදා මඬේ දාන්නටත් මාතෘකාවක් ලැබෙනු ඇත.

”මේ ගොල්ලා කරලා තියෙන දේවල්…. බලයේ හිටිය කාලෙ මොන තරම් දේවල් කරල ද බලන්න”

තවත් අනාගත දවසක පෙර පරිදිම තොරතුරු දැනගැනීමේ ප‍්‍රමාදය මෙසේ නින්නාද වන්නට නියමිත නම් අප ‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ වැනි නාමික නීතියක් සම්මත කිරිමේ ඇති ප‍්‍රයෝජනය කුමක්ද? කියවන ඔබත් ලියන මමත් සිතා බැලිය යුතු ප‍්‍රශ්නය එයයි.

චන්දන සිරිමල්වත්ත

Advertisements