මෛත‍්‍රී පාලනයෙන් බැටකන පොළොන්නරුව වැලිමංකඩ පීඩිතයෝ

karu-protest-pix-03

උද්ඝෝෂකයන්ට පොලිසියේ සැලකිළි

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවීමේ සටනේ ආරම්භක වෙඩි මුරය තැබුවේ පොළොන්නරුවේ 28 කණුව ප‍්‍රදේශයේ පිහිටි ඩඞ්ලි සිරිසේන මලයණ්ඩිට අයත් වාහන සේල් පොළේ දී පැවැත්වූ මංගල රැළියෙනි. හරියටම ඊට මාස 2 1/2 කට පසු, එනම් පසුගිය පෙබරවාරි 23 වැනි දින එම ප‍්‍රදේශයේ දීම පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වැලි ගොඩ දමන ජනයා හා එක් වූ මහවැලි එක්සත් ටි‍්‍රපර් ලොරි රථ සංගමය ‘යහපාලනය මේකද?’ යනුවෙන් ලියූ සටන් පාඨ පුවරු ද ගෙන විශාල උද්ඝෝෂණයක් පවත්වන ලදී.

මෙම විරෝධතාවයේ ප‍්‍රමුඛතම හේතුව වූයේ ඊට දෙසතියකට පෙර ජනාධිපතිවරයාගේ නියෝගයකින් වැලි ගොඩදැමීම හා ප‍්‍රවාහනය සම්පූර්ණයෙන් නතර කර දැමීම නිසා පවුල් දහස් ගණනක් අනාථ භාවයට ඇදවැටීම පිළිබඳ ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ වගකිව යුත්තන්ගෙන් සාධාරණයක් ඉල්ලා සිටීමය.
ඔවුන් රැුගෙන ගිය බැනරයේ වූයේ ‘ජනාධිපතිතුමනි, වෛරයෙන් නොව මෛත‍්‍රියෙන් අප දෙස බලනු මැනවි’ යන්නය.

එහෙත් ජනාධිපතිවරයා සිටියේ මෛත‍්‍රිය උනා දමාය. ඊට පෙර දින, එනම් පෙබරවාරි 22 වැනිදා නවනගරයේ ජනාධිපතිවරයාගේ නිවසට කිහිපදෙනකු කැඳවා තිබුණි. මහවැලි එක්සත් ටිපර් ලොරි රථ සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙක් හා වැලිමංකඩ අයිතිකරුවන් කිහිප දෙනෙක් එසේ කැඳවා තිබුණේ පසුදින පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය කෙසේ හෝ නතර කරගැනීමේ අටියෙනි.
”මේ ටිපර්වලට ආදායමකුත් එන විදියට මොන මොනවා හරි ආයතනවලට මේ වාහන යොදවන්න බැරිද?”
ඔහු සිය අරමුණට ප‍්‍රවේශ වී තිබුණේ එලෙසිනි.
”සල්ලි වෙලාවට ලැබෙන්නෙ නෑ. මේවට අපි මාසෙට ලොකු ලීසිං එකක් ගෙවනවා. ඒ වාරිකය නොගෙව්වොත් මාස 2-3 න් වාහන සීස් කරනවා”
එහිදී එසේ තම ගැටලූව ඉදිරිපත් කර තිබුණේ දිනපතා මුළු ජීවිතයම, වැලි ගොඩදැමීමට කැප කළ පිරිසකි.
”අනේ ජනාධිපතිතුමනි, අපිට කුඹුරු කෑල්ලක්වත් නෑ. මේ දවස්වල අපිට වේල් දෙකක් කන්නවත් පිච්චියක් නෑ. එළවළු ගිනි ගණන්. හාල් ගිනි ගණන්. පොල් ගෙඩිය ගිනි ගණන්. ඒ මොකවත් ගන්න සල්ලි නෑ. දළුකාන, දිඹුලාගල කැළේට වැදිලා හුඟාක් අය කටු අල හාරලා කන්න පුරුදු වෙලයි ඉන්නෙ”
”ගිය අවුරුද්දෙ ගලපු ගංවතුර නිසා මාස 2 ක් අපිට වැලි ඇටයක් ගොඩදාගන්න බැරිවුණා.”
”මිනිස්සු මේ දවස්වල ටී.වී., කැසට්, මෝට සයිකල් පාර අයිනෙ තියාගෙන ඉන්නවා ඒවා විකුණලා, ගෙදරට ඕන කලමනා ගෙනියන්න. ලීසිං කරලා ගත්තු මෝටර් සයිකල් හැමෝම හංගලා. සීස් කරනවට බයේ.”
”මේ අයට ජීවත් වෙන්න වෙන මොකක් හරි ආදායම් එන ක‍්‍රමයක් හදාගන්න බැරිද?”
ඒ අවසානයේ ජනාධිපතිවරයාට ඇසීමට තිබූ ප‍්‍රශ්නයයි. තම ප‍්‍රශ්නයට විසඳුම් නොලද එම පිරිස යොදාගත් පරිදිම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළේ කදුරුවෙල නගරයෙනි. එම ස්ථානයට ආව පොලිසිය උද්ඝෝෂණයක් නොපවත්වන ලෙස පවසා ඇත. උද්ඝෝෂණය නතර කිරීමට උසාවි නියෝගයක් ගෙන එන බවද පොලිසිය ඔවුන්ට දන්වා තිබේ. විරෝධතාකරුවන් එයින් පසුබට නොවී පොළොන්නරුව මහ රෝහල දක්වා පෙළපාලියකින් පැමිණියහ.

karu-protest-px-04පොලිසිය විසින් කඩිමුඩියේ අධිකරණ නියෝගයක් ලබා ගෙන එහි සිටි කිහිප දෙනකුට කියවන්නට දී තිබේ. නමුත් ඒ වන විටත් විරෝධතා ව්‍යාපාරයේ නිරත වූ බොහෝ දෙනෙක් එවැනි උසාවි නියෝගයක් ගෙන ආ බව දැන සිටියේ නැත.
අධිකරණ නියෝගය ගෙන එන විටද එහි කැඳවා තිබුණු කැරලි මර්දන භටයන් තම රාජකාරිය ඉටු කිරීමට සූදානම් විය. ඈතින් විශේෂ කාර්ය බලකාය ද සූදානමින් සිටි බව දක්නට ලැබිණි. දිවි දෙවැනි කොට මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්නේ මැයි වේදිකා පුරා සපථ කළ වුන් එදින යහපාලනය සඳහා පියවර ගෙන තිබිණි.
ජනතාව සාමකාමීව විසිර ගියද මර්දනය ක‍්‍රියාත්මක වූයේ පසු දිනය. ඊළඟ දිනයේ මහ ? උද්ඝෝෂණයට සම්බන්ධ වූවන් කුදලා ගෙන යාමේ ‘මහා මෙහෙයුම’ පොලිසිය විසින් ආරම්භ කොට තිබුණි. යහපාලනය යටතේ සාමකාමීව උද්ඝෝෂණය කළ ජනයා භීතියට පත්ව සැඟවුණහ. NC-LC 8640, NC-LH 0773 හා NC-LI 9994යන ටිපර් රථ පොලිසියට රැුගෙන ගොස් නඩු භාණ්ඩ ලෙස උසාවියට භාර කෙරිණි. එම ටිපර් රථවල රියැදුරන් බදාදා උදේ පොලිසියට ඉදිරිපත් කළ යුතු බවට නියෝග නිකුත් කර තිබුණි. ඒ අනුව පොලිසියට ගිය තිදෙනකු අල්ලා උසාවියට පමුණුවා මාර්තු 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. එයින් සමහරුන් පොළොන්නරුවේ පදිංචිකරුවන් ද නොවේ.
NC – 8640  දරන ටිපර් රථයේ රියැදුරු අයි.ආර්. තුෂාර දරුවන් තුන් දෙනකු සිටින පියෙකි. ඔහු කුලියට ගත් නිවසක පදිංචිව සිටින්නෙකි. ඔහුත් සමඟ අනුර, කේ.පී.කේ. දර්ශන රෝයල් යන අය ද බන්ධනාගාර ගත කර ඇත.

ඔවුන්ට එරෙහිව නඟා ඇති චෝදනා වන්නේ උසාවි නියෝග කඩකර උද්ඝෝෂණයක් සංවිධානය කිරීම හා මාර්ගය අවහිර කර මහජනතාවට බාධා පැමිණ වීමය. කොතරම් සාධාරණද? යහපාලනයක වේදිකා කතා ඇස් ඉදිරිපිටම ක‍්‍රියාත්මක වන බව මීටත් වඩා සාක්ෂි අවශ්‍ය නැත. මහින්ද රාජපක්ෂගේ අත්තනෝමතික බලය පලවා හැර දිනාගත් ජය කොතරම් අනර්ඝ ද යත් අමිල ශ‍්‍රී ලාල්ගේ LJ-2950 දරන ටිපර් රථයේ දොර කඩා දමා වෙනත් යතුරක් දමා රථය පොලිසියට රැුගෙනවිත් ඇත. මේ වන විටත් එම රථය ඇත්තේ පොලිසිය භාරයේය. මේ මෛත‍්‍රී පාලනයයි. උද්ඝෝෂණය කිරීමේ වරදට තවත් ටිපර් රථ 13 ක් අත්අඩංගුවට ගැනීමට නියමිතය. රථවල රියැදුරන්ට භාර වන ලෙස නිවෙස්වලට පැමිණ නියෝග භාරදී ඇත. එසේ අත්අඩංගුවට ගැනීමට නියමිත ටිපර් රථවල අංක මෙසේය.
NCLJ – 0435
NCLI – 0305
NCLI – 1564
NCLG – 3823
NCLB – 9620
226-0614
NCLD – 1865
226-3710
NCLC – 5704
NCLJ – 7612
NCLC – 5478
NCLJ – 2950
මීට අමතරව මෙම උද්ඝෝෂණය සැළසුම් කළ බවට චෝදනා කොට තවත් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පුළුල් මෙහෙයුමක් ද ආරම්භ කර ඇත.

මෙම චූදිතයන් අතරට ටිපර් රථ සංගමයේ ලේකම්වරයාත් සභාපතිවරයාත් මහවැලි වම් ඉවුර හා දකුණු ඉවුරේ වැලි ගොඩ දමන්නන්ගේ සමිති දෙකේ සභාපතිවරු දෙදෙනා සහ ලේකම්වරු දෙදෙනා ද වෙති.
අද වන විට උද්ඝෝෂණයට සහභාගී වූ සියල්ලන් ඇත්තේ මහත් භීතියකිනි. නිවෙස්වල කිසිවකුත් නැත. මේ සියලූ දෙනා අත්අඩංගුවට නොගතහොත් පොලිස් නිලධාරීන් ද මාරු කර යවන බවට තර්ජන එල්ල වී ඇත.
වැලි ගොඩදැමීම වහා නතර කර දැමීමට මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවේ පරිසරය ආරක්ෂා කිරීමට බව බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් අපට ඇත්තේ මහත්ම ගැටලූවකි. ඉවක් බවක් නැතුව වැලි ගැරීමට බලපත‍්‍ර පිරිනමනු ලැබුවේ ඔහුගේ ඇමැති බලය යටතේ මිස වෙනකකු විසින් නොවේ. කෙසේ වෙතත් ඔහු අතින් වැලි ගොඩදැමීමේ බලපත‍්‍ර ලබාගත් බොහෝ දෙනා පසුගිය ජනාධිපතිවරණයේ දී සහාය දෙනු ලැබුවේ මහින්ද රාජපක්ෂට බවට සැකයක් තිබේ. දැන් ක‍්‍රියාත්මක වන මර්දනය එහි ප‍්‍රතිඵලයක් බවට ප‍්‍රදේශවාසී වැලිගොඩ දමන්නන් චෝදනා කරති. කෙටි කාලයකට හෝ එම බලපත‍්‍ර අවලංගු කර දමා වර්තමාන පාලකයන්ගේ හෙංචයියන් අතළොස්සකට නැවත බලපත‍්‍ර ප‍්‍රදානය කිරීම සිදුවනු ඇත. වැලිගොඩ දැමීම නිසා ජීවිත රැසක් ජීවිකාව කරගන්නා නමුත් එහි විනාශය ද අධිකය. දේශපාලන බලවතුන් නිසා අද වන විට ප‍්‍රශ්නය ඉතා සංකීර්ණ වී ඇත. මනම්පිටියේ පමණක් නීත්‍යනුකූල වැලි මංකඩ 189 ක් ක‍්‍රියාත්මක වේ. එක් මංකඩක වැලි ගොඩ දමන්නන් 10 ක් පමණ සේවයේ නිරත වෙති. ඒ අනුව එහිම 2000 ක් පමණ සේවය කරති. ඊට අමතරව මහවැලිතැන්න, නාමල්ගම, වැලිකන්ද, සෙවනපිටිය, බෝවත්ත, කටුවන්විල මැණිකෙ ඇල, (පැලෑටියාව) වඩුවුනේ ආදී බොහෝ තැන්වල නීත්‍යනුකූල වැලිමංකඩ පවත්වාගෙන යනු ලැබේ.
දිනකට වැලි ටිපර් 400 ක් පමණ දිස්ති‍්‍රක්කයෙන් පිටවන අතර, වැලි ප‍්‍රවාහනය කොට හිස් ලොරි 200 ක් පමණ ද නැවත දිස්ත‍්‍රික්කයට ඇතුල් වේ. හබරණ සිට කුඩා හෝටල් හා බත් කඩ විශාල ප‍්‍රමාණයකට ද මේ තහනම අහිතකර ලෙස බලපා ඇත. ගැරේජ් හිමියන් ද අර්බුදයකට ගමන් කර ඇත. ටයර් කඩ, වාහන අමතර කොටස් වෙළෙඳසැල්වල සිට බුලත් විට කඩ ලෑල්ල දක්වා මෙම ප‍්‍රශ්නය විසින් අර්බුදයට ඇද දමා ඇත.
පොළොන්නරුව මාර්ගය වැලි ප‍්‍රවාහනයට තහනම් කිරීම නිසා කන්තලේ හබරණ මාර්ගයෙන් වැලි ප‍්‍රවාහනය කිරීමට නොහැකි නිසා ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ද මේ වන විට අර්බුදකාරී තත්වයක් පැන නැඟී ඇත. ඔවුන්ට අනුරාධපුරයට ගොස්, ඒ හරහා කොළඹට වැලි ප‍්‍රවාහනය කිරීමට සිදුව ඇත. මඩකලපුවේ චෙන්කලාඩි, එරාවුර්, වාලච්චේන, වාකරේ වැනි ස්ථානවල නීත්‍යනුකූල වැලි මංකඩවලින් වැලි ප‍්‍රවාහනය කෙරුණේ පොළොන්නරුව මඩකලපුව මාර්ගය හරහාය. ඔවුන්ට ද අද මේ ප‍්‍රශ්නය දැඩිව බලපා ඇත. සහමුලින්ම වැලි ප‍්‍රවාහනය ඇන හිට ඇත.

වැලි යනු මහවැලි ගඟ දිගේ ගලා එන ස්වාභාවික සම්පතකි. ඉදිකිරීම් කර්මාන්තයට අත්‍යාවශ්‍ය සාධකයකි. වැලි ප‍්‍රවාහනය බරපතළ පරිසර ප‍්‍රශ්නයක් බවට පත් කරනු ලැබුවේ ද දේශපාලකයන්ගේ මැදිහත් වීමෙනි. ශ්‍රේෂ්ඨාධිකරණය වරෙක නියෝග කළේ රජය මැදිහත් වී මෙය නිසි කළමනාකරණයකට පත් කළ යුතු බවය. එවකට පරිසර ඇමැති වූයේ චම්පික රණවකය. ඔහු කළේ තමන්ගේ හෙංචයියන් පිරිසක් හරහා අලූත්
සමාගමක් අටවා ගොඩදාන හැම වැලි ඇටයක්ම එම සමාගමට දිය යුතු ලෙස ක‍්‍රමෝපායක් සකස් කිරීමය. (එවැනි සමාගමක් අධිකරණ තීන්දුව ලබාදුන් දිනය වන විටත් සමාගම් රෙජිස්ටාර් යටතේ ලියාපදිංචි කර නොතිබුණි.)
මේ ප‍්‍රශ්නයට සැබෑ විසඳුමක් සෙවීමට ආණ්ඩුවට උවමනා නම් ඒ සඳහා කළ යුත්තේ පරිසරවේදීන් ද අමාත්‍යාංශය ද වැලි ගොඩදැමීමෙන් ජීවත් වන්නන් ද ඒකාබද්ධව විසඳුමක් සෙවීමට ක‍්‍රමවේදයක් සකස් කර ගැනීමට ක‍්‍රියා කිරීමය.
නමුත් මෛත‍්‍රී පාලනය මේ සැරසෙන්නේ එයට නොවේ. ජනරළ මේ ඇත්ත ලිවීමට පැකිළෙන්නේ නැත. ඒ ජනරළේ අපි, මහින්දගේ හෝ මෛත‍්‍රීගේ හෝ ඉවත ලන දේශපාලන ඉඳුල් ලෙව කා නැති බැවිනි. බොහෝ මාධ්‍ය මේ මිනිසුන්ගේ පීඩාවේ ඇත්ත කතාව සඟවද්දී අප ඒ සත්‍යය මතුකර ලීමට වෙර දරන්නේ ඊයේත් අදත් හෙටත් ජනරළ පීඩිතයන්ගේ පුවත්පත නිසාය.

ඉන්ද්‍රානන්ද සිල්වා

Advertisements