අලූත් අතකින් ගුටිකෑම

එක මැතිවරණයක් මාස දෙකකට පෙර අවසන් වුණා. ඒ තමයි 2015 ජනාධිපතිවරණය. තවත් මැතිවරණයක් ඉදිරියේ දී එන්න නියමිතයි. ඒ තමයි පාර්ලිමේන්තු මැතිවරණය. ඒක 2015 දී එයිද, 2016 එයිද කියලා තවමත් නිශ්චිතව කියන්න අමාරුයි. මැතිවරණය ගැන විවිධ නිර්වචන තිබෙනවා. ඒ අතරින් සිත් ගන්නා සුළු අදහසක් දෙකක් මේ වෙලාවේ සිහිපත් වෙනවා. එකක් ඉදිරිපත් කළේ දාර්ශනිකයකු හා විප්ලවවාදියකු වන ෆෙඩි‍්‍රක් එංගල්ස්. අනෙක ඉදිරිපත් කළේ දාර්ශනිකයකු හා විප්ලවවාදියකු වන ඛලීල් ජිබ්රාන්. මැතිවරණය යනු තමන්ගේ පරිණත බව පිළිබඳ මිම්මක් ලෙසට මින් අන් කිසිදු අකාරයකින් වැදගත් නොවන බව එංගල්ස් පැවසුවා. ඒ අනුව අප පසුකර ආ ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය තුළ අපට ලංකාවේ සමාජයේ පරිණත බව පිළිබඳ දර්ශකයක් සකසා ගත හැකිය. ඛලීල් ජිබ්රාන් පවසා ඇති ආකාරයට මැතිවරණය යනු මීළඟ වසර කිහිපය තුළ අප පහර කෑ යුත්තේ කාගෙන්දැයි තීරණය කිරීමට අපට ලැබෙන අවස්ථාවයි. ඛලීල් ජිබ්රාන් ඉතාම විචිත‍්‍ර ලෙස පවසා තිබෙන දේ අපේ අත්දැකීමට ගළපනවා නම් අපි 2015 ජනවාරි 8 වැනිදා කළේ ගුටි කනවාද? ගුටි නොකා ඉන්නවාද? යන්න තීරණය කිරීම නොවේ. අපි ගුටි කන්නේ මහින්දගෙන් ද මෛත‍්‍රීගෙන් ද කියලා තීරණය කරන එක. අපේ රටේ ඡුන්දදායකයන්ගෙන්
බහුතරය එකතු වෙලා මෛත‍්‍රීගෙන් ගුටිකනවා කියලා තීරණය කළා.

මේ දවස්වල මෙහෙම දෙයක් කියන එක හරිම අවදානම්. මේවා අන්තවාදී අදහස් කියලා සමහර අය කියන්න පුළුවන්. මීට වඩා ධනාත්මකව හිතන්න බැරිද කියලා අහන අයත් ඉන්න පුළුවන්. තමන් ලිබරල් චින්තකයන් ලෙස හඳුනාගන්නා කෙනෙක් හමුවුනොත් මේ කියන එක මහින්දට වාසියි නේද කියලා අහයි. ඒ ලිබරල් චින්තකයා ලේඛකයෙක් නම් ජනරළට මෙහෙම ලියන්න මහින්ද සල්ලි දීලා කියලා ලිපියක් උනත් ලියන්න ඉඩ තිබෙනවා. ඒත් ඛලීල් ජිබ්රාන් කිව්ව දේ හරි කියලා අපි නැවතත් ලියනවා. අවදානම දරාගෙන උනත් ඒක කියන්න වෙනවා. ඒ අපි පසුගිය දින කිහිපයේදී දැකපු දේවල් ජනාධිපතිවරණයේ දී ඡුන්දදායකයන්ගෙන් බහුතරය ගත් තීරණය හා එම තීරණයේ පරිණතකමේ මාපකය ගැන අදහසක් ඇති කළා.

පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා, පෙබරවාරි 26 වැනිදා දඹුල්ල පැල්වෙහෙර බීජ ගොවිපළ විකුණාගෙන කෑමට එරෙහිව හ`ඩ නඟපු ප‍්‍රදේශවාසී ගොවියන්ට සිදුවූ දේ මීට හොඳම නිදසුනක්. ලංකාවේ වැදගත්ම බීජ ගොවිපළක් වුණු පැල්වෙහෙර බීජ ගොවිපළේ ඉඩම්වලින් අක්කර 35 ක් එයිට්කන් ස්පෙන්ස් සමාගමට කුණු කොල්ලයට බදු දෙන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළා. ඒ බදු ගිවිසුමට අත්සන් කර තිබුණේත් ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂමයි. එදා මේ බදු ගිවිසුමට අද ආණ්ඩුවේ සිටින නායකයන් හැමදෙනාම පාහේ විරුද්ධ වුණා. විරුද්ධ වෙලා ජනාධිපතිවරණයේ දී ගොවීන්ගේ ඡුන්දය කොල්ලකෑවා. දැන් ගොවීන් පෞද්ගලික සමාගම්වලට පවරාදුන් ඉඩම් යළි අත්පත් කරගන්න කියලා බලකරන කොට ආණ්ඩුව කරන්නේ ඔවුන්ට මර්දනය කැඳවන එක. පසුගිය සතියේ උද්ඝෝෂණයෙන් පසුව පොලිසිය නිවෙස්වලට පැමිණ ගොවීන් අත්අඩංගුවට ගත්තා. මාර්ග අවහිර කිරීම කියලා චෝදනාවක් ඉදිරිපත් කරලා දින තුනක් තිස්සේ ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඊට දින තුන හතරකට පසුව කොළඹ ඉදිකරන වරාය නගරයට එරෙහිව උද්ඝෝෂණය කළ පරිසරවේදීන්ටත් අත්වුණේ ඒ ඉරණමමයි. මාර්තු 5 වැනිදා කොළඹ පැවැති මේ උද්ඝෝෂණයට පරිසර සංවිධාන ගණනාවක් එක්ව සිටියා. ඔවුන් හ`ඩ නැඟුවේ චීන ආධාර මත ඉදිකරන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මඟින් විශාල පරිසර විනාශයක් සිදුවන නිසා එය වහාම අත්හිටුවන ලෙස. මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ විශාල විවේචන මධ්‍යයයේ. ඒ කාලයේ දී වත්මන් අගමැතිවරයා, එවකට විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ වරාය නගර ව්‍යාපෘතිය නතර කිරීම සිය ස්ථාවරය බව. එකී ව්‍යාපෘතිය නතර කරන්න ඔහු බලය ඉල්ලා සිටියා. ජනවාරි 8 වැනිදා වරාය නගරයට එරෙහිව බොහෝ අය රනිල් වික‍්‍රමසිංහගේ ඉල්ලීමට අනුව සිය ඡුන්දය භාවිත කළා. එදා වරාය නගරය පරිසරයට හානිකර බව කියූ රනිල් අද කියන්නේ එහි කිසිම හානියක් නැති බවයි. ඒ විතරක් නෙමෙයි ඊට එරෙහිව උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයන්ට පොලිසිය ලවා හිරිහැර කළා. පස්වැනිදා උද්ඝෝෂණයේ දී උසස් පොලිස් නිලධාරීන් හැසිරුණේ තර්ජනාත්මක ආකාරයෙන්. පොලිසිය කළ තල්ලූකිරීමක දී කන්‍යා සොයුරියක් බිම ඇඳ වැටුණු ආකාරය අපි මාධ්‍යවල දැක්කා. වරාය නගරයට එරෙහිව උද්ඝෝෂණය කළ පරිසරවේදීන්ට මෛත‍්‍රී පාලනයේ මෛත‍්‍රිය හිමිවුණේ ඒ ආකාරයට.

මේ සිදුවීම් දෙක හරහා පමණක් වුවත් ඛලීල් ජිබ්රාන් පැවසූ දේ නිවැරදි බව අපට ඒත්තු යනවා. ඇත්තටම ජනාධිපතිවරයේ දී ජනතාව කර ඇත්තේ තමන් මීළඟට ගුටි කෑ යුත්තේ මහින්දගෙන් නොව මෛත‍්‍රීගෙන් බව තීරණය කිරීම. මැතිවරණය අවසන් වී ඉතාම කෙටි කාලයකින් ඒ තීරණය ක‍්‍රියාවට නැෙඟමින් තියෙනවා. මීළඟට මහ මැතිවරණයේදීත් ගුටි කන්නේ කාගෙන්දැයි තීරණය කිරීම වෙනුවට වෙනත් තීරණයක් ගත්තා. අපේ රටේ ජනතාව නොහිතුවොත් අපට හැමදාම මෙහෙම කතුවැකි ලියන්න පුළුවන්. උද්ඝෝෂකයන්ට හැමදාම මෙහෙම ගුටිකන්න පුළුවන්. පහර දෙන අතේ හිමිකරුවා පමණක් වෙනස් වෙයි. ගුටි කෑමේ ඉරණම වෙනස් නොවේ.

Advertisements