බිබිලේ පෙන්වා බිබිලේ මරණ නව ඖෂධ පනත

Image (22)මහාචාර්ය සේනක බිබිලේ සහ දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ විසින් 1970 දශකය මුලභාගයේ දී ඉදිරිපත් කරන ලද බිබිලේ – වික‍්‍රමසිංහ වාර්තාව ලංකාවේ රෝගීන්ව ඖෂධ සමාගම්වල ග‍්‍රහණයෙන් මුදාගැනීමට ගත් සාධනීය පියවරක් ලෙස සැලකිණි. ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ලේඛනයක් සකස් කිරීම, අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීමේ හා නිෂ්පාදනය කිරීමේ වගකීම රජය මඟින් දැරීම හරහා මිල පාලනය කිරීම, ඖෂධවල ගුණාත්මක ප‍්‍රමිතිය පිළිබඳව රජය වගකීම දැරීම, ඖෂධ නිර්දේශ කිරීම වෙළෙඳ නාමයෙන් නොව ඖෂධීය නාමයෙන් සිදුකිරීම වැනි පියවර ගණනාවක් හරහා රෝගීන් සූරාකෑම අවම කිරීමට යෝජනා එම වාර්තාවෙන් ඉදිරිපත් කෙරිණි. එය ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය ලෙස තහවුරු වුවත් මෙතෙක් කල් එය පැවතුනේ නීතියක් ලෙස නොවේ. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැතිවරයාව සිටිය දී ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය නීතියක් ලෙස සම්මත කරන බවට පොරොන්දු වූ අතර ජනාධිපතිවරණයේ දී එය ප‍්‍රමුඛ පොරොන්දුවක් ලෙස දින සියයේ වැඩසටහනට ද ඇතුළත් කෙරිණි. පෙබරවාරි 2 වැනිදා දිනය යටතේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ඖෂධ පනත් කෙටුම්පතකට පෙබරවාරි 6 වැනිදා කැබිනට් අනුමැතිය ලැබුණේ ඒ අනුවය. ඒ ඉදිරිපත් කරන ලද්දේ පොරොන්දු වූ පනතද නැතිනම් වෙනත් එකක්ද ඉදිරිපත් කර ඇති පනතේ හරය කුමක්ද වැනි ප‍්‍රශ්න ගණනාවකට පිළිතුරු සැපයීම මෙම ලිපියේ අරමුණයි.

සිංහයා සහ මීයා

ආණ්ඩුවේ දින සියයේ වැඩසටහනෙන් පොරොන්දු වී ඇත්තේ අපට සිංහයකු දීමටය. එම ලේඛනයට අනුව පෙබරවාරි 6 වැනිදා ‘ජාතික ඖෂධ ප‍්‍රතිපත්ති පනත් කෙටුම්පත’ එනම් ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය නීතියක් බවට පත්කරන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එය දින 35 ක් තිස්සේ මහජන සංවාදයට බඳුන් කිරීමෙන් අනතුරුව මාර්තු 18 වැනි දින පාර්ලිමේන්තුවේ දී සම්මත කරන බව සඳහන්ය. නමුත් ආණ්ඩුව දෙපැත්තකින් මේ පොරොන්දුව කඩ කර ඇත. එකක් මේ ඉදිරිපත් කර ඇත්තේ ජාතික ඖෂධ ප‍්‍රතිපත්ති පනත් කෙටුම්පත නොව ‘ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත් කෙටුම්පත’ නම් පනතකි. එහි ඇත්තේ ඖෂධවල ගුණාත්මක ප‍්‍රමිතිය නියාමනය කිරීම සඳහා අධිකාරියක් නිර්මාණය කිරීමට අදාළ ප‍්‍රතිපාදන මිස ඖෂධ ප‍්‍රතිපත්තියකට අදාළ සමස්තය නොවේ. එනම් ආණ්ඩුව සිංහයකු තෑගි දීමට පොරොන්දු වුවත් අපට දී ඇත්තේ මීයකුවත් නොව මී කුණකි. ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය යනු ඇමැතිවරයා විසින් නම් කරන අධිකාරියක් ගොඩනැඟීම නොවේ.

දෙවැන්න මේ පනත සම්මත කිරීමට සැරසෙන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආකාරයයි. පනත
ජනතාවගෙන් සඟවා තබා, ජනතාව අතර සංවාදයක් කෙසේ වෙතත් පනත කියවීමටවත් ජනතාවට ඉඩක් නොතබා හදිසි පනතක් ලෙස සම්මත කිරීමට කටයුතු යොදා ඇත. පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මාර්තු 3 වැනි දින වන අතර එය පසු දිනම, එනම් මාර්තු 4 වැනිදා සම්මත කරගැනීමට සැලැසුම් කර ඇත. ඒ අනුව ජනතාවට නොව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ටවත් සංවාදයක් කිරීමට කාලය නැත. කියවීමට ඇත්තේත් එක් දවසකි. පනත ගැසට් මඟින් හෝ සමාජගත කර නොමැති අතර එවැනි තත්වයක් තුුළ ජනාධිපතිවරයා සිය බලය භාවිත කර පනත ව්‍යවස්ථාවට පටහැණි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථකථනයක් ද ලබාගෙන ඇත. ඒ, පනතට එරෙහිව අදහස් දැක්වීමට කිසිවකුට ඉඩ නොතබමිණි.

නංගි පෙන්වා අක්කා දීම
ආණ්ඩුව සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය නීතිගත කිරීමට කටයුතු කර නැතිවා පමණක් නොවේ. මෙම පනත ජනතාවට හෙළිදරව් නොකර, කැබිනට් අනුමැතිය ලැබුණු පසුත් දින 25 ක් තිස්සේ පාර්ලිමේන්තුවෙන් පවා සඟවා තබාගෙන සිට, පොරොන්දු වූ දිනට දින 14 කට පෙර හදිසි පනතක් ලෙස සම්මත කිරීමට හේතුව කුමක්ද? මෙය මෙතරම් රහසිගත ලියවිල්ලක් වීමට හේතුව කුමක්ද? ඒ හේතුව වටහාගත හැක්කේ සකස් කර ඇති පනත් කෙටුම්පත කියවූ පසුවය. ආණ්ඩුව කර ඇත්තේ මහාචාර්ය සේනක බිබිලේ ගැන කියමින් සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය මරාදමා නීතියක් සකස් කිරීමකි. නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය යටතේ රෝගීන්ව රිසි පරිදි සූරාකෑමට සමාගම් මාෆියාවට ලබාදී තිබෙන ඉඩ නීතිගත කිරීමකි.
මේ පිළිබඳ එක් නිදසුනක් ගෙන බලමු. සේනක බිබිලේ ප‍්‍රතිපත්තියට අනුව වෛද්‍යවරුන් රෝගීන්ට ඖෂධ නිර්දේශ කළ යුත්තේ ඖෂධීය නාමයෙන් මිස වෙළෙඳ නාමයෙන් නොවේ. නමුත් මේ පනතේ 56 වැනි වගන්තියට අනුව වෛද්‍යවරුන්ට ඖෂධයේ වෙළෙඳනාමය ද ලිවිය හැක. මේ පනත දකින විට සිහිපත් වන්නේ පාසල්වලට සිසුන්ගෙන් මුදල් අය කිරීම ‘තහනම් කරන’ වත්මන් ආණ්ඩුවේ චක‍්‍රලේඛයකි. එහි මුලින් ඇත්තේ සිසුන්ගෙන් මුදල් අයකිරීම තහනම් බවයි. දෙවැනිව ඇත්තේ පාසලේ විදුලි බිල, දුරකථන බිල, ආරක්ෂක වියදම් ආදී ‘අත්‍යවශ්‍ය වියදම්’ අය කළ හැකි බවයි. හේතුව ඇත්තේ එසේ අයකරන මුදල් වෙනුවෙන් රිසිට් පතක් නිකුත් කළ යුතු අතර, අයවැය වාර්තා ඉදිරිපත් කළ යුතු බවයි. මුදල් අයකිරීම තහනම් බවට ලේබලයක් අලවමින් කර ඇත්තේ මෙතෙක් ප‍්‍රායෝගිකව සිදුවූ නීතිවිරෝධී මුදල් අයකිරීම් නීත්‍යනුකූල කිරීමයි. ඖෂධ පනත ද එසේමය. එහි ප‍්‍රකාශිත අරමුණ සේනක බිබිලේ ප‍්‍රතිපත්තියයි. එසේම 56 (1)වගන්තියේ ඇත්තේ වෛවරයා ඖෂධීය නාමය ලිවිය යුතු බවයි. එහෙත් 56 (2) වගන්තියේ තිබෙන ආකාරයට ‘අවශ්‍ය විට’ වෙළෙඳ නාමය ද ඒ සමඟ ලිවිය හැක. 56 (3) වගන්තියට අනුව ඖෂධ වර්ග කිහිපයක් සංයෝග කරන ලද ඖෂධ හෝ තමන්ට ඖෂධීය නාමය සොයාගත නොහැකි ඖෂධ සඳහා වෙළෙඳ නාමය පමණක් ලිපිය හැක. 56 (4) වගන්තියට අනුව ඖෂධීය නාමය පමණක් ලියා ඇති විටෙක ඖෂධවේදියා පාරිභෝගිකයාගේ ද අනුමැතිය සහිතව තිබෙන වෙළෙඳනාම අතරින් එකක් විකිණිය යුතුය. වෛiවරයා ලියා ඇති වෙළෙඳ නාමය නැතිනම් එම ඖෂධයේ අනෙකුත් සියලූ වෙළෙඳ නාම හා ඒවායේ මිල දැනුම් දී රෝගියාට කැමති ඖෂධය තෝරා ගැනීමට ඉඩ ලබාදිය යුතු බව 56 (5) වගන්තියේ සඳහන්ය. මෙතෙක් කල් නීතියට අනුව ලිවිය යුත්තේ ඖෂධීය නාමයයි. එහෙත් ප‍්‍රායෝගිකව සිදු වූයේ මේ ආකාරයට රෝගියා සූරාකෑමයි. පනත මඟින් කරන්නේ ඒ සිදු වූ දේ නීත්‍යනුකූල කිරීමයි. එනම් ඖෂධ ජාවාරම හා රෝගීන් සූරාකෑම නීතිගත කිරීමයි. අධ්‍යාපනය ගැන මෙන්ම සෞඛ්‍ය සේවය ගැන ද ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය කුමක්දැයි ඉතා පැහැදිලිය. ඒ සමාජ ආරක්ෂණ සේවාවන් වෙළෙඳ භාණ්ඩ බවට පත්කිරීම නීතියක් කරන ප‍්‍රතිපත්තියයි.

පනතේ නැති දේ

සාමාන්‍යයෙන් ඖෂධ ප‍්‍රතිපත්තියක වැදගත්ම ලක්ෂණ වන්නේ ඖෂධවල මිල පාලනය (Price Control) ඒවායේ ගුණාත්මක බව නියාමනය කිරීම (Quality Assurance) හා ඖෂධ සංස්කරණය හා සුලභත්වය (Availability) යන පදනම්ය. මෙම නව පනතේ ඖෂධවල මිල පාලනයට අදාළ විධිමත් පියවර කිසිවක් ගෙන නැත. සේනක බිබිලේ වාර්තාව මේ සඳහා යෝජනා කරනු ලැබුවේ ඖෂධ ආනයනයට හා නිෂ්පාදනයට රජයේ මැදිහත්වීමක් කිරීමයි. 2005 දී ඉදිරිපත් කරන ලද ඖෂධ ප‍්‍රතිපත්තියට අනුව යම් නිශ්චිත ඖෂධයක නිෂ්පාදිත මිල භාවිත කර මිල සූත‍්‍රයක් නිර්මාණය කරන බවත් ඒ අනුව එම ඖෂධයේ උපරිම සිල්ලර මිල තීරණය කරන බවත් එහි සඳහන්ව තිබිණි. නමුත් මෙවර පනතේ ඒ කිසිවක් නැත. මිල පාලනයට අදාළව ඇත්තේ වගන්ති 4 ක් පමණි. 118 වගන්තියේ මිල පාලන කමිටුවක් ගැන සඳහන් කළත් එහි බලතල පනතේ දක්වා නැත. එබැවින් කමිටුවේ උපරිම මිල නිර්දේශය කඩකළ හොත් ගත හැකි පියවර කුමක්දැයි පැහැදිලි නැත. මිල සූත‍්‍රයක් ගැන ද පනතේ සඳහනක් නැත. එහි ඇති ආකාරයට ඖෂධයක උපරිම මිල තීරණය කරනුයේ එහි ජාත්‍යන්තර මිල ඇසුරෙනි. මෙය ඉතාම අසාධාරණ වන්නේ රටින් රට ජනතාවගේ ආදායම් මට්ටම් අතර බරපතළ පරතරයක් ඇති බැවිනි. 118 (4) වගන්තියට අනුව මිල පාලනයේ නිර්ණායක සැකසෙන්නේ එදිනෙදා භාවිතයට ගන්නා ආහාර ද්‍රව්‍යවල මිල පාලනයේ දී පවා අසාර්ථක වී ඇති පාරිභෝගික කටයුතු අධිකාරියේ නිර්ණායකයන්ය. මේ අනුව ඖෂධ මිල පාලනය සඳහා පනත කිසිදු මැදිහත් වීමක් නොකරන බව පැහැදිලිය.

ඖෂධ වර්ගවල සංසරණය සහ සුලභත්වය ගැන ද තත්වය එසේමය. සාමාන්‍යයෙන් සුලභත්වය යනුවෙන් අදහස් කෙරෙන්නේ එය වෙළෙඳපොළේ සීමා රහිතව ලබාගත හැකි බව නොවේ. ඖෂධ අතර ජීවිත ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ (Life Saving Medicine) අත්‍යවශ්‍ය ඖෂධ (Essencial Medicine) ප‍්‍රයෝජනවත්, එහෙත් අත්‍යවශ්‍ය නොවන ඖෂධ (Usefull Medicine) ආදී වශයෙන් ඖෂධ වර්ග කෙරේ. සේනක බිබිලේ ප‍්‍රතිපත්තියට අනුව සිදු කෙරුණේ ලංකාවට අවශ්‍ය ඖෂධ 232 ක ලේඛනයක් සකස් කිරීමයි. වත්මන් තත්වයන්ට අනුව එය යාවත්කල් කළ යුතු අතර මෙම පනතේ එවැනි උත්සාහයක් දරා නැත. එකම ඖෂධය විවිධ වෙළෙඳනාම ගණනාවක් යටතේ විවිධ මිල ගණන්වලට විකිණීම නැවැත්වීමට පනතේ කිසිදු විධිවිධානයක් නැත. ඖෂධ ලියාපදිංචියේ දී අයදුම් කරන ඕනෑම ඖෂධයක් ලියාපදිංචි කරනවා මිස නිශ්චිත සීමාවකට වඩා වෙළෙඳනාම ලියාපදිංචි කළ නොහැකි බව දක්වා නැත. ඖෂධවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් අතිශය වැදගත් වන්නේ රජයේ ඖෂධ ආනයනයට හා නිෂ්පාදනයට මැදිහත් වීමයි. එහෙත් පනත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගැන නිහඬය. වචනයක් වත් කියන්නේ නැත. පනත කතා කරන්නේ ඖෂධවල තත්ව නියාමනය පිළිබඳව පමණි. ඒ පිළිබඳව ද වැදගත් කරුණු පනතේ නැති අතර සියල්ල තීරණය කරන රෙගුලාසි පැනවීමේ බලය කැබිනට් මණ්ඩලයට පවරා තිබේ. පනතේ 142 (2) වගන්තිය තුළ පමණක් කරුණු 31 ක් පිළිබඳ රෙගුලාසි පසුව තීරණය කරන බව පවසා ඇත. මේ අනුව පනත පසුකාලීනව කැබිනට් මණ්ඩලයට අවශ්‍ය පරිදි හැඩගැන්විය හැකි මැටි ගුලියකි. ඒ අතර ගුණාත්මක බව නියාමනය සඳහා සකස් කර ඇති ව්‍යුහය ද බෙහෙවින් ප‍්‍රශ්නකාරීය. සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය ගැන කියමින් එය පාවාදී ඇති බවට හොඳම නිදසුන් හමුවන්නේ එයිනි.

පනතේ ඇති දේ

පනත තුළ ඖෂධ නියාමනය සඳහා අධිකාරියක් පත්කිරීමට නීතිමය ප‍්‍රතිපාදන සකස් කර ඇත. ලංකාවට ගෙන්විය හැක්කේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහිතව ලියාපදිංචි වන ඖෂධ පමණි. ඒ අනුව ලංකාවේ බාල ඖෂධ සංසරණය වීම වැළැක්වීම සඳහා මෙන්ම ලංකාවේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ද අධිකාරිය සතු ප‍්‍රමුඛ වගකීමක් ඇත. එනිසාම අධිකාරිය ඖෂධ සමාගම්වල ග‍්‍රහණයෙන් හා බලපෑමෙන් මුදාගැනීම තීරණාත්මක අවශ්‍යතාවකි. එහෙත් මෙම පනතේ 4 (6) වගන්තියට අනුව අධිකාරියේ සාමාජිකයන් 13 දෙනාගෙන් 10 දෙනකුම පත්කරන්නේ සෞඛ්‍ය ඇමැතිවරයාය. 9 (2) වගන්තියට අනුව ඇමැතිවරයාට ඒ දස දෙනාගෙන් ඕනෑම කෙනකු අවශ්‍ය විටෙක ඉවත් කළ හැකිය. අධිකාරියේ සභාපතිවරයා පත්කිරීමේ බලය ඇමැතිවරයා සතු බව 5 (1) වගන්තියේ දැක්වෙන අතර සභාපතිවරයා ඉවත් කිරීමේ බලය ද ඇමැතිවරයා සතු බව 5 (3) වගන්තියේ සඳහන්ය. සභාපතිවරයා අධිකාරියේ සැලකිය යුතු බලයක් හොබවයි. ඒ බව පැහැදිලි වන්නේ සභාපතිවරයාට අවශ්‍ය අවස්ථාවල අමතර ඡුන්දයක් සතු බව 10 (2) වගන්තියේ සඳහන් වීමෙනි. මේ ආකාරයට අධිකාරියේ බහුතරයක් සහ සභාපතිවරයා පත්කිරීම, ඉවත් කිරීම ඇමැතිවරයා සතුවීම නිසා අධිකාරිය සෞඛ්‍ය ඇමැතිවරයාගේ රූකඩයක් බවට පත්වනු ඇත.

අධිකාරියට වඩා ඉහළින් අභියාචනා මණ්ඩලයක් පිහිටුවා ඇති අතර අධිකාරිය විසින් ගනු ලබන තීරණ තමන්ට එන අභියාචනා සලකා බලා වෙනස් කිරීමේ බලය අභියාචනා මණ්ඩලයට ඇත. අධිකාරිය අභියාචනා මණ්ඩලයේ නිර්දේශ පිළිගත යුතු බව 123 (7) වගන්තියේ පැහැදිලිව දක්වා තිබේ. පනතේ 123 (1) වගන්තියට අනුව වගන්තියට අනුව අභියාචනා මණ්ඩලයේ තිදෙනාම පත්කිරීමේ බලය ඇමැතිවරයා සතු වේ. ඒ අනුව අභියාචනා මණ්ඩලය හරහා අධිකාරියට බලපෑම් කිරීමේ බලය ද ඇමැති සතුය. එපමණක් නොවේ, 123 (8) වගන්තියට අනුව අභියාචනා මණ්ඩලයේ තීරණ ද වෙනස් කළ හැකි අවසන් අභියාචනා බලධාරියා වන්නේ ඇමැතිවරයාය. මේ අනුව ලියාපදිංචි කරන හා නොකරන ඖෂධ පිළිබඳ අවසන් තීරණ ගැනීමේ සම්පූර්ණ බලය සෞඛ්‍ය ඇමැතිවරයා සතුවේ. පනත මඟින් ලක්ෂ 200 ක ජනතාවගේ ජීවිත ගැන තීරණ ගැනීමේ බලය තනි පුද්ගලයකු සතු කර ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය විවේචනය කිරීමේ දී තනි පුද්ගලයකු අති විශාල බලයක් කේන්ද්‍ර කිරීම නුසුදුසු බවට තර්ක කළ වත්මන් ආණ්ඩුවේ නායකයන්ම ඇමැතිවරයාට ආඥාදායක බලයක් ලබාදෙන පනතක් කෙටුම්පත් කර ඇත.

මේ ආණ්ඩුව වැඩිපුරම කතා කරන ප‍්‍රශ්නය ලෙස ඇත්තේ අල්ලස, දූෂණය හා මහජන මුදල් අවභාවිතය පිළිබඳ ප‍්‍රශ්නයයි. මේ වනතුරු ආණ්ඩුව සිදුකර ඇත්තේ හොරබඩු ඇල්ලීම පිළිබඳ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම පමණක් වන අතර එවැනි සිදුවීම් නතර කළ හැකි ක‍්‍රමවේදයන් හා හොරකමට – දූෂණයට අදාළ හේතු ගැනවත් සංවාදයක් නැත. ඖෂධ පනත දෙස බලන විට පෙනී යන්නේ ආණ්ඩුව කරන්නේ පනින රිලවුන්ට ඉණිමං බැඳීමක් බවය. ඖෂධ ලියාපදිංචිය පිළිබඳ අවසන් තීරණ ගැනීමේ බලය තනි පුද්ගලයකු සතු වන විට ඖෂධ සමාගම් කළ යුත්තේ ඒ පුද්ගලයා තමන්ට අවැසි ලෙස මෙහෙයවීමට ක‍්‍රමයක් සකස් කරගැනීම පමණි. අනෙක් අතට ඖෂධ අධිකාරියේ සාමාජිකයන් ජාවාරම්කරුවන්ගේ ඉත්තන් වීම වැළැක්වීමට පනතේ ඇති ක‍්‍රමවේදය කුමක්ද? මීට පෙර පනත් කෙටුම්පත සඳහා බොහෝ පාර්ශ්ව යෝජනා කළේ අධිකාරියේ සාමාජිකයන් පත්වීමට වසර 5 කට පෙර සිට ඖෂධ සමාගමක සේවය නොකළ අය විය යුතු අතර ධුරයෙන් ඉවත් වී වසර 3 ක් යනතුරු ඖෂධ සමාගමක සේවයට නොයන බවට ගිවිසුමක් අත්සන් කළ යුතු බවයි. එහෙත් පනතේ 6 (3) වගන්තියට ඊයේ වනතුරු ඖෂධ සමාගමක සේවය කළ අයකුට පවා අද නිල වශයෙන් එයින් ඉල්ලා අස්වී අධිකාරියේ වගකීමක් දැරිය හැකි අතර එම වගකීමෙන් ඉවත් වී වසර 3 ක් යනතුරු ඖෂධ සමාගමක සේවය කළ නොහැකිය. මේ අනුව අධිකාරියට මැදිහත් වීම සඳහා ජාවාරම්කාර සමාගම්වලට හොඳින් ඉඩකඩ විවෘත කර ඇත.

ඖෂධ නියාමන අධිකාරියට අමතරව ජාතික උපදේශක මණ්ඩලයක් පනතේ 30 වගන්තියෙන් පත් කර තිබේ. එම අධිකාරියේ සාමාජිකයන් 23 දෙනාගෙන් වෛද්‍ය වෘත්තිකයන් සිටින්නේ 4 දෙනකු පමණි. එහෙත් පනතේ 31 (1), (2), (ම) හා (ඩ) උපවගන්තිවලින් පෙනෙන ආකාරයට පිළිවෙළින් ශ‍්‍රී ලංකා ඖෂධවේදී සංගමය, ශ‍්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය හා ලංකා ඖෂධවේදී කාර්මික මණ්ඩලයේ, නියෝජිතයන් ලෙස සමාගම්වල නියෝජිතයන් තිදෙනකු උපදේශක මණ්ඩලයේ ඇත. අධිකාරියට උපදෙස් දීම සඳහා ඖෂධ සමාගම් හා වෙළෙන්දන් අවශ්‍ය වන්නේ කුමක් සඳහාද? අනෙක් අතට උපදේශක සභාව හා අධිකාරිය අතර කිසිදු නීතිමය බැඳීමක් පනතේ සඳහන්ව නැත. අධිකාරිය උපදේශක සභාවේ උපදෙස් පිළි නොපදින්නේ නම් එයට කළ හැකි දෙයක් නැත. උපදේශක සභාව සැරසිල්ලක් පමණි. මේ උපදේශක සභාව විහිළුවක් වන්නේ 31 (1) (එ) වගන්තියට අනුව රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නියෝජිතයකු හා 31 (1) (අ) වගන්තියට අනුව ලංකාවේ ජනතාව වෙනුවෙන් නියෝජිතයකු උපදේශක සභාවට නම් කර ඇති නිසාය. එය ඉල ඇදෙන විහිළුවක් වන්නේ එම නියෝජිතයන් තෝරන්නේ ඇමැතිවරයා නිසාය.

හොරා සහ අම්මා

ඖෂධ ලියාපදිංචියට අදාළ ගැටලූ රාශියක් ඇත. පනතේ 59 (1) වගන්තියට අනුව ‘ ඕනෑම කෙනකුට’ ඖෂධයක් ලියාපදිංචි කිරීමට අයදුම් කළ හැක. ඒ සඳහා අවශ්‍ය කිසිදු පූර්ව සුදුසුකමක් නැත. 61 වගන්තියට අනුව ලියාපදිංචිය ප‍්‍රතික්ෂේප කිරීම ගැන සඳහන් වුවත් කිසිදු සමාගමක් අසාදුලේඛනගත කරන බවට සඳහනක් පනතේ නැත. සමාගම් ගැන ආණ්ඩුවට ඇත්තේ පුදුම ආදරයකි. දිගින් දිගටම ගුණාත්මක භාවයෙන් අඩු ඖෂධ ඉදිරිපත් කිරීම නිසා ලියාපදිංචිය නොලැබෙන සමාගම්වලටත් අසාදුලේඛනගත නොවී හැමදාමත් අයදුම් කළ හැකිද? පනත සකස් කළ අය හා ඒ වෙනුවෙන් පෙනී සිටින අය මේ ප‍්‍රශ්නවලට පිළිතුරු දිය යුතුය. මෙසේ සමාගම්වලට සිය මුදල් බලය හරහා ඕනෑම බාල බෙහෙතක් අධික මිලකට අපට පෙවීමට අවස්ථාව සලසා දෙන පනත සමාගම් බලගැන්වන ආකාරය ගැන හොඳම නිදසුන හමුවන්නේ අධිකාරියේ මූල්‍ය ප‍්‍රතිපාදන පිළිබඳ කොටසෙනි. එය සෞඛ්‍ය සේවය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය මැනවින් විදහා දක්වයි. පනතේ 18 (2) වගන්තියට අනුව අධිකාරිය පවත්වාගෙන යාමේ සම්පූර්ණ වියදම රජයෙන් නොලැබේ. අධිකාරිය විවිධ සේවා සැපයීමෙන්, අධිකාරිය සතු දේපළ කුලියට දීමෙන්, අධිකාරියේ බලය භාවිත කර කරන දඩගැසීම් – බදු ගැසීම් – රාජ්‍ය සන්තක කිරීම් ආදියෙන් සිය වියදම සොයා ගත යුතුය. දැන් විශ්විද්‍යාල නඩත්තු වන්නේත් සිය විද්‍යාගාරවල සමාගම්වලට සේවා සැපයීමෙන් දේශන ශාලා – ක‍්‍රීඩා පිටි ආදිය කුලියට දීමෙන්, ජංගම දුරකථනයක් විදුලි සැපයුමට සම්බන්ධ කිරීම වැනි සරල දේවලට පවා දඩ අය කිරීමෙන් ආදී ලෙසිනි. සෞඛ්‍ය සේවයට ඇත්තේ ද එම ප‍්‍රතිපත්තියමය. වැදගත්ම කොටස වන්නේ ‘ ඕනෑම මාර්ගයකින්’ (from any source) ලැබෙන පරිත්‍යාග, ණය, ප‍්‍රතිපාදන ආදිය ද අධිකාරියේ නඩත්තු මාර්ග ලෙස සඳහන්ව ඇති කොටසකි. මෙසේ ණය හා තෑගි දෙන ‘මාර්ග’ මොනවාද? ඒ ඖෂධ ජාවාරම්කරුවන් බව ස්ථිරය. අවසානයේ දී සිදුවන්නේ ඖෂධ සමාගම්වල මුදලින් නඩත්තු කරන අධිකාරියක්, එම සමාගම්වල ඖෂධ තත්ව පාලනයට හා ලියාපදිංචියට මැදිහත් වීමයි. එනම් හොරාගේ අම්මාගෙන් පේන ඇසීමයි.

මේ සියලූ කරුණු නැවත සලකා බලන විට පෙනෙන්නේ මේ කරන්නේ සේනක බිබිලේ නාම පුවරුව යටතේ සේනක බිබිලේ ප‍්‍රතිපත්ති විනාශ කර සෞඛ්‍ය සේවය වෙළෙඳ භාණ්ඩයක් කරන මෙහෙයුමක් පනත හරහා ක‍්‍රියාත්මක වන බවය. ජනතාවගේ ජීවිතවලට වඩා ජාවාරම්කරුවන්ගේ ලාභය ප‍්‍රමුඛ කොට සලකා නවලිබරල් ප‍්‍රතිපත්තිය පිළිගන්නා පක්ෂ මේ පනතට අත එසවීමෙන් හෝ නිහඬව සිටීමෙන් අනුමැතිය පළකර ඇත. මේ ජනතා විරෝධි අණපනත් පරාජය කරන වගකීම අතට ගත යුතුව ඇත්තේ ජනතාවය. එය කළ යුත්තේ පාර්ලිමේන්තුව තුළ නොව අරගල බිමේදීය.
දිනිත් හෙට්ටිආරච්චි

Advertisements