දින සීයෙන් හරි අඩක් ගෙවුණු පසු ආණ්ඩුව කොයිබටද?

2-more-mps-leave-rajapaksa-government-1112201416223774ආණ්ඩුව ඉදිරියේ දැල්වී තිබෙන්නේ කහ එළියකි. ඉන්පසුව දැල්වෙන්නේ කොළ එළියක්ද නැත්නම් රතු එළියක්ද යන්න අවිනිිශ්චිතය. ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළෙන් හරි අඩක් ගෙවුණ පසු රටේ දේශපාලන තත්වය එබඳුය. නමුත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා මහත් උද්දාමයෙන් යුතුව විවිධ ප‍්‍රකාශ පාර්ලිමේන්තුවේ දී සිදුකරමින් සිටින බවක් පසුගිය කාලය තුළ දක්නට ලැබුණි. සමහර ප‍්‍රකාශ තර්ජනාත්මක ඒවා වූ අතර සමහර ප‍්‍රකාශ විරුද්ධ පාර්ශ්වය ඉලක්ක කරගත් උපහාසයෙන් යුතුව කරන ලද ඒවාය. කෙසේ වෙතත් මෙබඳු තත්වයක් 2002 එජාප ආණ්ඩු සමයේ ද දක්නට ලැබුණි. එම ආණ්ඩුවේ අගමැතිවරයා වුයේ ද වර්තමාන අගමැති රනිල් වික‍්‍රමසිංහමය. නමුත් ඔහුගේ ආණ්ඩුව එදා වසර දෙකකට පමණක් සීමා විය. එවකට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය යළිත් බලය අල්ලා ගනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ ගොඩන`ගා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළිනි. එහි ප‍්‍රතිඵලය බවට පත්වුයේ පසුගිය ජනවාරි 8 වැනිදා තෙක්ම එජාපයට විපක්ෂයේ සිටීමට සිදුවීමයි. ඒ අනුව 94 සිට බලන කල 2002-2004 කෙටි කාලය හැරුණු විට පසුගිය ජනවාරිය දක්වා එජාපය විපක්ෂයේ සිට ඇත.

මෙම තත්වය යටතේ එජාපයට ආණ්ඩු බලය තහවුරු කරගැනීම පහසුවෙන් ජය ගත හැකි අභියෝගක් නොවේය. ඕනෑම කී‍්‍රඩා තරගයකට පෙර ඊට මුුහුණ දීමට නියමිත කී‍්‍රඩකයන් ශරීර උණුසුම් කිරීමේ ව්‍යායාමවල යෙදී සිටින අයුරු දක්නට ලැබිය හැකිය. ඒ අයුරින්ම වර්තමාන ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළ මඟින් එහි පාර්ශ්වකාර පක්ෂ ඉදිරි මහ මැතිවරණයට පෙර කරනු ලබන පෙර පුහුණුවීම්වල යෙදී සිටින අයුරු මේ දිනවල දැකිය හැකිය. නමුත් මහ මැතිවරණයෙන් පසුව වුවද එජාපයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් දින 100 ක් වැනි කෙටි කාලයකින් අත්පත් කරගත නොහැකිය. නමුත් එජාපයේ අරමුණ වී ඇත්තේ එළඹෙන මහ මැතිවරණයෙන් පසු ඇතැම් සුළු පක්ෂවල (දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, කඳුරට ජනතා පෙරමුණ වැනි* සහාය සහිතව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීමයි. එමඟින් එජාපයට ආණ්ඩුවේ අගමැති ධුරය රැුකගත හැකිවනු ඇත. නමුත් එවැනි ආණ්ඩුවකට වැඩිදුර කාලයක ආයුෂ නොමැති බව 2002 අත්දැකීමෙන් එජාපය අවබෝධ කර ගෙන ඇත. එළඹෙන මහ මැතිවරණයෙන් පසු වසර දෙකක ජාතික ආණ්ඩුවක් යෝජනා කරන්නේ ඒ නිසාය. එනම් සුළු පක්ෂවලට අමතරව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහාය ද එම වසර දෙක සඳහා යොදා ගනිමින් සිංහල ජාතිවාදයේ බලවේගවලින් ආණ්ඩුවට එල්ලවිය හැකි අභියෝගය වළක්වා ගැනීමයි. මෙහි සරල අදහස නම් එජාපයට ශක්තිමත් දේශපාලන බලයක් ගොඩනඟා ගැනීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් ලබාදෙන කෘතිම ශ්වසනය අත්‍යවශ්‍ය බවයි.

මෙම එජාප සැලැස්මට එරෙහිව එල්ල වූ පළමු දුෂ්රා පන්දුව බවට පත්වූයේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් රැුගෙන ගෙන ආ මහ මැතිවරණයට පෙර ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ යෝජනාවයි. පවතින පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන්නේ 2016 අපේ‍්‍රල් මාසයෙන් බැවිනුත් මහ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් යෝජනා වී ඇති බැවිනුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් බලන කළ එම යෝජනාවට ද සාධාරණ පදනමක්් ඇත. නමුත් පසුගිය ජනාධිපතිවරණය සඳහා මෛතී‍්‍රපාල සිරිසේනගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ දින 100 වැඩපිළිවෙළ තුළ එළඹෙන අප්‍රේල් 23 වැනිදායින් පසු පවතින පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට මැතිවරණ පොරොන්දුවක් ලබාදී ඇත. ඒ අනුව ඊට පිටතින් පවතින පාර්ලිමේන්තුව තුළ ජාතික ආණ්ඩුවක් ගොඩනැඟීමට හෝ එළඹෙන අපේ‍්‍රල් 23 වැනිදායින් පසු පවතින පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට හෝ සදාචාරමය අයිතියක් මෛතී‍්‍රපාල සිරිසේන හෝ ඔහු සභාපතීත්වය දරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නොමත. නමුත් එජාපය එම යෝජනාවට විරුද්ධ වන්නේ එම පදනමින් නම් නොවේ. එවැනි ජාතික ආණ්ඩුවක් තුළින් ඉදිරි මහ මැතිවරණයකින් එජාපයට ලබාගත හැකි ජයග‍්‍රහණ සීමා වන නිසා එජාපය මෙම යෝජනාවට විරුද්ධ වේ. දැනට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් මීට පෙර ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාව මෙන්ම ජාතික ආණ්ඩු යෝජනාව ද එජාපයේ විරෝධය හමුවේ මේ වන විට පසුපසට ගෙන ඇති බවක් පෙනේ. එමෙන්ම එම පක්ෂයේ ඉදිරි කි‍්‍රයාමාර්ග තවමත් පැහැදිලි නැත.

කෙසේ වෙතත් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් අතර පවතින ප‍්‍රතිවිරෝධතා එළිපිට ප‍්‍රදර්ශනය වීමට පටන් ගෙන ඇත. පසුගිය දා රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා උපහාසයෙන් යුතුව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් මහින්ද – චන්ද්‍රිකා ගොඩනැඟීමට උත්සාහ කරන බවත් ඊට තමා සුභපතන බවත්ය. පෙරළා මෛතී‍්‍රපාල සිරිසේන මේ හා සමාන ප‍්‍රකාශයක් පසුගිය දා සිදුකර තිබුණි. එනම් තම පක්ෂය දෙකඩ කිරීමට ඇතමුන් උත්සාහ කරන බවයි. එහිදී තවදුරටත් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පරාජයෙන් පසු මැදමුලනේ පිහිටි ඔහුගේ නිවසට යාමට හෙලිකොප්ටර් යානා දෙකක් දී තිබුණු බවත් එය සිදු කර තිබුණේ තමාගේ අනු දැනුමකින් තොරව බවත්ය. නමුත් මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ නම් තමන්ට මෙන්ම තම පවුුලේ අයටත් සිරබත් කෑමට සිදුවන බවත් එහිදී තවදුරටත් ප‍්‍රකාශ කර තිබුණි. මෙම`ගින් අනියමින් චෝදනා න`ගන්නේ කාටද? එය බොහෝ දුරට රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ඉලක්ක කරගනිමින් සිදු කරන ලද ප‍්‍රකාශයකි. මහින්ද රාජපක්ෂ පාර්ශ්වයක් ශි‍්‍රලනිපය තුළ ශක්තිමත් කි්රීමට ඇතමුන් දරන වෑයම එජාපයේ සැලැසුමකට අනුව සිදුවන බව මෛතී‍්‍රපාල සිරිසේන පාර්ශ්වයේ විශ්වාසය වී තිබේ. තවදුරටත් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා තම පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම අමතා ප‍්‍රකාශ කර තිබුණේ පසුගිය මස 18 වැනි දින නුගේගොඩ පැවැති රැුලියට සෙන`ග රැුගෙන ඒමට බස් රථ ලබාදුන්නේ කවුරුන්ද යන වග තමා දන්නා බවයි. 

මේ අයුරින් මෛතී‍්‍ර – රනිල් ගැටුම ප‍්‍රකාශයට පත් වෙද්දී ආණ්ඩුවේ සෙසු පාර්ශ්වකරුවන්ද මෙම ප‍්‍රධාන පාර්ශ්ව දෙක වටා ස්ථානගත වෙමින් පවතියි. ඒ අනුව පසුගිය දිනවල ජවිපෙ කි‍්‍රයාකාරීත්වය දෙස බලන විට පෙනී යන්නේ ජවිපෙ අනියම් සහාය එජාපය වෙත හිමි වෙමින් පවතින බවයි. මේ අතර හොරුන් රකින ජාතික ආණ්ඩු ප්‍රෝඩාව එපා යනුවෙන් උද්ඝෝෂණ රැුලි මාලවක් ජවිපෙ සංවිධානය කර තිබේ. ජවිපෙ සහාය එජාපයට හිමි වෙද්දී ජාතික හෙළ උරුමය නියෝජනය කරන පිවිතුරු හෙටක් සංවිධානයේ සභාපති අතුරලියේ රතන හිමියන් ප‍්‍රකාශයක් සිදු කරමින් තම සංවිධානය එකඟ වූයේ රනිල් වික‍්‍රමසිංහට අගමැති ධුරය දීමට මිස එජාප ආණ්ඩුවක් පිහිටුවීමට නොව බව ප‍්‍රකාශ කර තිබුණි. දැනට සකක් වෙමින් පවතින ව්‍යවස්ථා සංශෝධනවලට උන්වහන්සේ විරුද්ධ බව ද ප‍්‍රකාශ කර ඇත. ආණ්ඩුවේ සෙසු පාර්ශ්වකරුවන් වන මාදුළුවාවේ සෝභිත හිමි සහ රාජිත සේනාරත්න ඇමැතිවරයා ද විධායක ජනාධිපති ක‍්‍රමයේ සංශෝධන සමඟ මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයක් ද අවශ්‍ය බවත් ඉදිරි මහ මැතිවරණ පැවැත්විය යුත්තේ නව මැතිවරණ ක‍්‍රමයට අනුව පමණක් බවත් කියා සිටිති. කෙසේ වෙතත් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමට දින 100 වැඩපිළිවෙළ තුළ සුළු පක්ෂ මෙන්ම එජාපය ද කැමත්තක් නොදක්වන බව පෙනේ. ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් අතර ඇති මෙම ප‍්‍රතිවිරෝධතාවලින් ඉදිරි මහ මැතිවරණයේ දී ඔවුන්ගේ සහාය කුමන පාර්ශ්වයකට හිමිවන්නේදැයි ප‍්‍රකාශයට පත් වේ. ඒ අනුව ආණ්ඩුවේ පැවැත්ම තීරණය වී ඇති එකම සාධකය වන්නේ මෙම පාර්ශ්ව අතර කුමන ප‍්‍රතිවිරෝධතා තිබුණ ද දින 100 වැඩපිළිවෙළ ප‍්‍රදර්ශනාත්මක අර්ථයෙන් හෝ සාර්ථක කර නොගෙන කිසිදු පාර්ශ්වයකට මහ මැතිවරණයට මුහුණ දීමට ඇති නොහැකියාව පමණි.

චන්ද්‍රසිරි ලන්දගේ

Advertisements