උඩත් කචල් යටත් කචල්

maithree sobithaආණ්ඩුව තුළ බල අරගලය වර්ධනය වෙමින් පවතින ආකාරය ගැනත් එම සීතල යුද්ධයට විපක්ෂය මැදිහත් වෙමින් සිටින ආකාරය ගැනත් අපි කිහිප විටක් ලියූවෙමු. පසුගිය සතිය ද ඒ සඳහා වන උදාහරණ රාශියක් සැපයූ සතියකි. ආණ්ඩුව තුළ සිටිනා පක්ෂ අතර, විපක්ෂය තුළ සිටින පක්ෂ අතර මෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ද ප‍්‍රතිවිරෝධතා ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සිදුවීම් ගණනාවක් හරහා සංඥා නිකුත් විය. ගින්දර ඇවිළෙන්නේ ඉහළින් පමණක් නොවේ. සමාජයේ පහළ පන්තීන් තුළ ද අතෘප්තිය, විරෝධතා සහ ප‍්‍රශ්න මෝරා යමින් තිබේ. පාලකයන් කඩිනමින් සම්මත කරගන්නා අණ පනත් තවදුරටත් එම ගින්න අවුළුවාලමින් එයට පිදුරු දමමින් තිබේ. දැන් සමාජය ඉහළින් මෙන්ම පහළින් ද එන තාපයෙන් පිළිස්සෙන ආප්පයක් බවට පත්ව තිබේ. මෙම අර්බුදය හමුවේ විසඳුමක් සඳහා මාර්ගයක් විවර කරගත හැක්කේ කෙසේද? අවධානය යොමුකළ යුත්තේ ඒ පිළිබඳවය.

  • සීතල යුද්ධ

ආණ්ඩුව තුළම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර දිගහැරෙන සීතල යුද්ධය පිළිබඳවත් එයට හේතු පාදක වී ඇති කරුණු පිළිබඳවත් අපි මීට පෙරද සාකච්ඡුා කළෙමු. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වීමෙන් අනතුරුව ඔහු විධායක ජනාධිපති ධුරය අහෝසි කර ගෙදර යන්නේ නැති බවද අපි මීට මාස තුනකටත් පෙර සටහන් කළෙමු. ජනාධිපතිවරණයට පෙර මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප‍්‍රමුඛත්වයෙන් ගොඩනැඟුණු සමාජ සාධාරණත්වය සඳහා ව්‍යාපාරයේ ප‍්‍රමුඛතම සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. එමඟින් කරළියට ගෙන එන ලද පොදු අපේක්ෂකයා පිළිබඳ කතාබහේ ද තේමාව වූයේ විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහි පොදු අපේක්ෂකයාය. ඒ කාලයේ දී බොහෝ දෙනා කිව්වේ තනි කරුණක් මත පදනම් වූ අපේක්ෂකයකු (ීසබටකැ ෂිිමැ ක්‍්බාසා්එැ* ඉදිරිපත් කිරීම නුසුදුසු බවයි. අපේක්ෂකයා අනිවාර්යෙන්ම ආර්ථිකය වැනි මාතෘකා පිළිබඳ ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කළ යුතු බවයි. අවසානයේ දී මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා විය. ඔහු ආර්ථිකය වැනි ක්ෂේත‍්‍ර පිළිබඳ ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කළේත් නැත. ඒ අතරම ඔහු විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරන සටන් පාඨය ගත්තේ ද නැත. ඔහු කීවේ විධායක ජනාධිපති සතු බලතල අඩු කරන බව පමණි. එසේ කප්පාදු කරන බලතල මොනවාද යන්න ජනාධිපතිවරණය තුළ විස්තරාත්මකව පැහැදිලි කළේ ද නැත.

මෛත‍්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකිරීමට හේතුව අපි ඒ දිනවලම පැහැදිලි කළෙමු. අප කීවේ මීයක් කඩන්නේ අත ලෙව කෑමට නොවන බවය. ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය ද පසෙක තබා එවකට තිබූ ආණ්ඩුවෙන් ඉවත් වූයේ ‘ඓතිහාසික වගකීම ඉටුකර’ ගෙදර යාමට නොවේ. ඔහු සියලූ බලතල අගමැතිවරයාට පවරා දී නාමික ජනාධිපතිවරයකු ලෙස රාජ්‍ය උත්සව අවස්ථාවලදී කොඩිය එසවීමේ කටයුත්තට පමණක් සහභාගී වීමට කැමති නොවනු ඇත. ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත්වී කැබිනට් ඇමැතිවරයකු ලෙස දේශපාලනය කිරීමට ද නොපෙළෙඹෙනු ඇත. එමෙන්ම ඔහු මේ තරගයට අවතීර්ණ වූයේ දේශපාලනයට සමුදී පොළොන්නරුවට ගොස් ගොවිතැනක් කිරීමට, හාල් මෝලක් පවත්වාගෙන යාමට හෝ මනම්පිටියේ වැලි ගොඩ දැමීමට නොවන බව ද අපි පැවසුවෙමු. ඔහුගේ මාර්ගය වැටී ඇත්තේ ජනාධිපති බලතල ඔස්සේය. එනිසා විධායක ජනාධිපති සතු බලතල අඩු කරන බව කීවත් කුමන බලතල ඉවත් කරයිද යන්න සැක සහිත බව ද අපි එදා පැවසූවෙමු.

දැන් මහපොළොව මත දිග හැරෙමින් තිබෙන්නේ අප එදා පැවසූ ජවනිකාමය. පසුගිය සතියේ රැුස් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අපූරු අදහසක් සම්මත කරගෙන තිබිණි. ඒ අදහසෙහි කොටස් කිහිපයකි. පළමුවැන්න විධායක බලය අඩුකරන ව්‍යවස්ථා සංශෝධනය තනිව ගෙනෙන්නේ නම් එයට සහාය නොදෙන බවත් එය ඉදිරිපත් කළ යුත්තේ මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් සමඟ සංයුක්තව පමණක් බවත් ශ‍්‍රීලනිපයේ ස්ථාවරය වී තිබිණි. මෙය හැඳින්විය හැකි හොඳම උපමාව වන්නේ නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයක් සහ තවත් ටිකක් සෙවීමයි. කෝදුරු තෙල් හත්පට්ටයම ලැබුණත් අර ‘ටික’ ලැබෙන්නේ නැත. ඒ එක පැත්තකි. අනෙක් එක විධායක ජනාධිපති සතු බලතල අහෝසි කිරීමේ දී මෛත‍්‍රීපාල සිරිසේන යම් බලතල ප‍්‍රමාණයක් තබාගෙන ඔහුගේ ධුරකාලය අවසන් වීමෙන් අනතුරුව ඊළඟ ජනාධිපතිවරයා සඳහා ඒවා ඇතුළත් නොවීමේ යෝජනාවයි. එම යෝජනාවට අනුව බලතල කප්පාදු කළත් වත්මන් ජනාධිපතිවරයා පූර්ණ බලැති ජනාධිපතිවරයෙකි. මේ යෝජනා ඉදිරිපත් කරන අත කුමක් වුවත් ඒ හ`ඩ මෛත‍්‍රීපාලගේ බව නිසැකය. ඔහුගේ උත්සාහය වන්නේ දිගටම විධායක බලය තමන් අත තබාගෙන ඒ බලය හරහා එක්සත් ජාතික පක්ෂය තුලනය කිරීමය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම යෝජනාවට රනිල් වික‍්‍රමසිංහ දැඩි ප‍්‍රහාරයක් එල්ල කළේ ඔහු ද මේ සීතල යුද්ධයේ කොටස්කරුවකු වන බැවිනි. රනිල් පවසා තිබුණේ ශ‍්‍රීලනිපයේ මතය ජාතික විධායක සභාවේ මතයට එකඟ නොවේනම් විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කිරීමට කටයුතු කරන බවයි. ඔහු ඒ අතුල් පහර එල්ල කළේ මෛත‍්‍රීපාලටය.
මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මහින්ද පාර්ශ්වය හිස එසවීම වළක්වා මෛත‍්‍රී පාර්ශ්වය ශක්තිමත් කිරීම කෙරෙහි ද එහි නායකයන්ගේ අවධානය යොමු වී තිබෙන බව පෙනේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට වෙනත් පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැුස්වීම්වලට යාම, රැුස්වීම්වල කතා කිරීම හා තම පෞද්ගලික අදහස් මාධ්‍යවලට පැවසීම තහනම් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ශ‍්‍රීලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා ප‍්‍රකාශයට පත්කළ මෙම තීරණයේ අරමුණ මාර්තු 6 වැනිදා මහනුවර දී පවත්වන රැුලියත් ඇතුළු මහින්ද රාජපක්ෂගේ දේශපාලන භූමිකාව ශක්තිමත් කරන ක‍්‍රියාකාරීත්වයන්ට ශ‍්‍රීලනිප දෙවන හා තෙවන පෙළ නායකයන් සම්බන්ධ වීම වැළැක්වීමයි. මේ අතර මහ මැතිවරණය කල් දමා ගැනීමේ උත්සාහයන් ද හැම පැත්තෙන්ම ඉදිරියට එනු දැකිය හැකිය. දින සියයෙන් ඉටු කිරීමට පොරොන්දු වූ කරුණු තවත් දින කිහිපයක් හෝ ලබාගෙන ඉටු කිරීමෙන් පසුව මිස මහ මැතිවරණයක් නොපැවැත්විය යුතු බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා කර ඇති ප‍්‍රකාශය මේ සඳහා එක් උදාහරණයකි.

  • පහළින් ගිනි ඇවිළවීම

මෙසේ දේශපාලන ලෝකයේ ඉහළින් දිය යටින් ගින්දර ගෙනියන ක‍්‍රීඩා ක‍්‍රියාත්මක වෙමින් තිබෙන අතර ජනතාවගේ පහළ පන්තීන් මෙන්ම අතරමැදි පන්තීන් ද බරපතළ අර්බුදයක මුව විට සිටී. එය දෙආකාරය. එක් පැත්තකින් එය ආර්ථික පීඩනයකි. පසුගිය අතුරු අයවැය හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල පහත දැමූ බව පැවසුවත් එය ජනතාවගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේ දී ලබා දී ඇති සහනය කොපමණදැයි පෙනෙන්නේ දැන්ය. මේ සහන නිසා පවුලකට මසකට රුපියල් 7500 ක් ඉතිරි වන බව ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය දාක පාර්ලිමේන්තුවේ දී පැවසීය. එතරම් මුදලක් ඉතිරිවන්නේ නම් මේ මාසය වන විට එය ප‍්‍රදර්ශනය විය යුතුය. නමුත් එවැනි සහනයක් ලැබී නැති බව හැම දෙනාම අත්දැකීමෙන්ම දනියි. ආර්ථිකය තුළ පහළ පන්තීන්ට එවැනි ප‍්‍රතිලාභ හිමිකර දෙන ප‍්‍රතිපත්තියක් මේ ආණ්ඩු දියත් නොකරන නිසා මේ තත්වයේ හදිසි වෙනසක් ඇති නොවනු ඇත.

අනෙක් කරුණ වන්නේ පසුගිය ආණ්ඩුව ගෙන ගිය ජනතා ද්‍රෝහී ක‍්‍රියාමාර්ග මේ ආණ්ඩුව විසින් ද ඉදිරියට ගෙන යාමයි. පසුගිය බ‍්‍රහස්පතින්දා දඹුල්ල පැල්වෙහෙර බීජ ගොවිපළේ ඉඩම් පෞද්ගලිකකරණය කිරීමට එරෙහිව ගොවි උද්ඝෝෂණයට එල්ල වූ මර්දනය මීට හොඳම නිදසුනකි. ගොවිපළේ ඉඩම්වලින් කොටසක් හැරී ජයවර්ධනගේ සමාගමට බදු දෙන ලද්දේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසිනි. අලූත් ආණ්ඩුව බලයට පැමිණි පසු එම ඉඩම් යළි පවරා ගන්නා ලෙස ගොවීන් උද්ඝෝෂණය කළ අතර ආණ්ඩුව එයට දුන් පිළිතුර වූයේ පොලිසිය ලවා ගොවීන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත  කිරීමයි. කෘෂිකර්මාන්තය සඳහා කරන රාජ්‍ය මැදිහත්වීම් කප්පාදු කිරීමත් කෘෂිකර්මය වැනි නිෂ්පාදනීය ක්ෂේත‍්‍ර අතහැර සංචාරක කර්මාන්තය වැනි සේවා ක්ෂේත‍්‍රවලට ප‍්‍රමුඛතාව ලබාදීමත් (බීජ ගොවිපළේ ඉඩම් බදු දෙන ලද්දේ හෝටලයක් ඉදිකිරීම සඳහාය* පදනම් කරගත් ආර්ථික ප‍්‍රතිපත්තිය වෙනස් වී නැති බව ඉතාම පැහැදිලිය. අනෙක් උදාහරණ වූයේ වරාය නගරයට එරෙහි උද්ඝෝෂණයට කළ පොලිස් බාධා කිරීම්ය. පසුගිය අඟහරුවාදා පරිසර සංවිධාන ගණනාවක් වරාය නගරය ඉදිකිරීම නතර කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ අතර පොලිසිය උද්ඝෝෂකයන්ට බාධා කළ බවට චෝදනා එල්ල විය. වරාය නගරය බලයට ඒමට පෙර වත්මන් ආණ්ඩුවේ නායක කාරකාදීන්ගේ විවේචනයට බඳුන් වුවද බලයට පැමිණි පසු ඔවුන් තමන්ගේ ප‍්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියම බව පෙන්වමින් සිටී. එදිනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික ඖෂධ නියාමන ප‍්‍රතිපත්ති පනත් කෙටුම්පත පෙන්වා දෙන්නේ ද මේ ආණ්ඩු මාරුව කොට්ටය මාරු කිරීමක් පමණක් වී ඇති අතර හිසරදය සුව වී නැති බවය.

හිසරදය සුව කිරීමට කොට්ටය මාරු කිරීම ප‍්‍රමාණවත් නැත. ඉහළින් හා පහළින් ඇවිළෙන මේ ගින්න නිවා දැමිය හැක්කේ ප‍්‍රබල ජනතා ක‍්‍රියාකාරීත්වයකින් පමණි. දැන් විසඳුමක් නැත. වර්ධනය වෙමින් පවතින තත්වයන් පෙන්වා දෙන්නේ ජනතා බලවේගවල සංවිධානාත්මක ක‍්‍රියාකාරීත්වය වැඩි වැඩියෙන් අවශ්‍ය වන බව පමණි. ජනාධිපතිවරණයෙන් පසු ගෙවී ගොස් ඇත්තේ මාස දෙකක් පමණ කෙටි කාලයකි. ඒ කෙටි කාලය තුළ යළි යළිත් තහවුරු කෙරෙමින් පවතින්නේ ජනතාව විවිධ සැලැසුම්කරුවන් මත නොව තම ස්වශක්තිය මත, අරගලය මත විශ්වාසය තැබිය යුතු බවය. ගෙවී ගියේ කෙටි කාලයක් වුවත් ඒ කෙටි කාලය සමාජයට දශක ගණනක පාඩම් උගන්වා ඇත.

Advertisements