දිනන්න නම් අරගල කරන්න

DSC02599ස්ත‍්‍රියගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය පිළිබඳවත් සමාජ ක‍්‍රියාකාරීත්වය පිළිබඳවත් කතාබහ කරද්දී ඇගේ ක‍්‍රියාකාරීත්වය ආපසු හරවන දහසක් තත්වයන් සමාජය තුළින් හමුවේ. ධෛර්යයෙන්, ආත්ම විශ්වාසයෙන් හා පෞරුෂයෙන් යුතුව ජීවිතය පුරා සක‍්‍රීයව දේශපාලන ක‍්‍රියාකාරීන් වශයෙන් නියැළෙන කතුන් අල්පමාත‍්‍රය. මෙවන් පසුබිමක වාමාංශික දේශපාලන ව්‍යාපාරයෙන් හමුවන නැණසීලි සිල්වා නම් චරිතය ස්ත‍්‍රියගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය පිළිබඳ ආදර්ශයක් විය හැක. මේ ඇගේ කතාවයි.

මම ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසුණේ 1976 දී. එතකොට මම උසස් පෙළ අවසන් කළා විතරයිි. මගේ පියා වාමාංශික ව්‍යාපාරයේ සක‍්‍රීයව දේශපාලනය කළ අයෙක්. ඔහු ගෙදරට රැුගෙන ආ සෝවියට් සඟරා පොත් පත් මම උනන්දුවෙන් කියෙව්වා. ඒ කාලයේ සිටම සමාජ අසාධාරණයට මම දැඩි ලෙස විරුද්ධයි. මම ලබාගත් දැනුම අනුව මේ සමාජය වෙනස් කළ හැකියි, සමාජ පරිවර්තනයක් කළ හැකියි, කියන අදහස මගේ හිතේ තැන්පත් වුණා. දේශපාලනයට මම දායක වුණේ ඒක නිසයි.

මට යම් අදහසක් ආවොත් කෙසේ හෝ එය කරනවා කියන අදහස මගේ පවුලේ අයට තිබුණා. ගෙදර අය මගේ තීරණවලට දැඩි බලපෑම් නොකරන්න එයත් හේතුවෙන්න ඇති. අනෙක් අතට එම වකවානුවේ කාන්තාවන් දේශපාලනයට දායකවීම පිළිබඳ යම් වටිනාකමක් සැලකීමක් තිබුණා. ඒ නිසා මගේ ක‍්‍රියාකාරීත්වයට යම් පිටුබලයක් ලැබුණා. මේ වන විට මගේ දේශපාලන ජීවිතයට අවුරුදු හතළිහකට කිට්ටුයි. වාමාංශික ව්‍යාපාරයේ වගේම සමාජයේ විවිධ හැල හැප්පීම්, ගැටුම්වලට මුහුණ දුන්නා. ටිකෙන් ටික සමාජයේ ආකල්ප, සිතුම් පැතුම් වෙනස් වුණා. වරින් වර සමාජයේ සමහර ඥාති හිතමිතුරන්ගෙන් සිදුවුණා. බලපෑම් තිබුණ වුණත් දේශපාලන ක‍්‍රියාකාරීත්වයේ දී ලබාගත් දේශපාලන දැනුම, අවබෝධය මාව නොසැලෙන දේශපාලන ස්ථාවරත්වයකට පත් කළා. ඒ නිසා මගේ අරමුණේ නොසැලී පය තබාගෙන සිටීමේ හැකියාව මම ලබාගෙන තිබෙනවා. දැන් මගේ වයස සමඟ ඇතිවන අසනීප, ශාරීරික දුබලතා ආදිය නිසා සමාජයෙන් එන අදහසක් තමයි ‘දැන් ඕවා කළා ඇති, විවේකගන්න’ කියන එක. ඒත් අපි තාම අපේ අරමුණ සපුරාගෙන නැති නිසා එහෙම විවේක ගන්න පුළුවන්කමක් නෑ.

88-89 වකවානුවේ දී ඇති වුණ ජීවිතය සහ මරණය අතර ගැටුමේ දී අපට දේශපාලන ක‍්‍රියාකාරීත්වයේ යෙදෙන්න සිදු වුණේ ඉතාම අසීරු භයානක තත්වයන් හමුවේ. ඒත් අරමුණු සහගත බවත් දැඩි සහෝදරත්වයත් එක්ක මගේ ජීවිතයේ ආස්වාදනීයම දේශපාලන අවධිය එය බව මතක් කරන්නේ අදටත් මගේ ජීවිතයට ශක්තියක්, පන්නරයක් එකතු කරගන්න එම අත්දැකීම් සමත් වුණු නිසාමයි. අනෙක් අතට අපි නිවැරදිව දේශපාලන දැනුම ලබාගත යුතුයි. එහෙම දැනුමක් මත ස්ථාවර වූ කෙනෙක් කවර මත ගැටුමක දී වුණත් නිවැරදිම දේශපාලන මඟ තෝරගන්නවා. ඒ නිසා මගේ දේශපාලන ජීවිතයෙදීත් මත ගැටුම්වලදී මට හරි තැන හිට ගැනීමට හැකි වුණා.

මම දේශපාලනයට පිවිසුන අවධියට වඩා අද සමාජ තත්වයන් වෙනස්. අපේ කාලයේ දී පාසල් අධ්‍යාපනයෙන් පසු කෙනකුට සමාජ කටයුතු, කලා කටයුතු ආදිය සඳහා ඉඩක් තිබුණා. ඒත් විවෘත ආර්ථික රටාව කරළිගත වුණාට පස්සෙ අද කාන්තාවන් පාසල් අධ්‍යාපනය අවසන් කරන්නටත් කලින්ම රැුකියාවක් ලබා ගැනීම මුදල් උපයා ගැනීම වගේ දේවල් අරමුණු කරගෙන මැහුම්, කේක් පංති, රූපලාවන්‍ය හෝ රැුකියා සුදුසුකම් සපුරා ගන්න කාලය යොදවනවා. මානසිකත්වය ගොඩනැඟිල තියෙන්නෙම ආර්ථික වාසි ලබා ගැනීම දෙසට. සමාජ ක‍්‍රියාකාරීත්වයට වටිනාකම් නැතිවෙලා, මොකක් හෝ අල්ලසක් ලබා ගත හැකි දෙයකට පමණක් කොටු වීමේ ප‍්‍රවණතාවක් ගොඩනැඟිලා. ඒ වගේම රටේ ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන නොසලකන අතිශය පෞද්ගලිකත්වයකට කොටුවෙලා. 85%ක් පමණ කාන්තාවන් තවමත් ස්වාධීනත්වය සොයා නොයන, යටත් මානසිකත්වයක සිටිනවා. තමන්ට හැෙඟන දේට වඩා සමාජය විසින් පටවන දේ බාරගන්න අය බවට කාන්තාවන් පත් වෙලා. ඒත් හිතන්න, අද ස්ත‍්‍රීන් කොතරම් ගෘහ මූලික කාර්යභාරයක් ඉටුකරනවාද කියලා. ගේදොර සියලූ කටයුතු, දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපන කටයුතු ආදියේ තීරකයා කාන්තාව. ඒත් ඇගේ ජීවිතය ගැන ස්වාධීනත්වය ගැන, තීරණ ගන්න ඇයට බැහැ. එය ඇය විසින්ම තමන්ගේ පෙම්වතාට සැමියාට, පියාට පවරලා ආර්ථික ලාභ අරමුණු කරගෙන ගොඩනැඟුුණු මානසිකත්වයත් තමන්ගේ ස්වාධීනත්වය අහිමි කරගැනීමත් කියන මේ කරුණු දෙකම නිසා බොහෝ කාන්තාවෝ දේශපාලනයෙන් දුරස්් වෙලා. ඔවුන් මොකක් හෝ දේශපාලන අවස්ථාවකට සහභාගී වෙන්නේම ආර්ථික වාසියක් පතාගෙනයි. රැුකියාවල නියුතු කාන්තාවන් වුණත් අවම වශයෙන් වෘත්තීය සමිති තුළවත් ක‍්‍රියාකාරී වෙන්නේ ඉතාම අඩුවෙන්.

අනෙක් කාරණය ගෙදර දොර කටයුතුවලදී රැුකියාවක් කරන කාන්තාවට පීඩනයන්ට මූණ දෙන්න සිදු වෙනවා. සමාජයේ සහෝදරත්වය, ආදරය, සෙනෙහස වගේ බැඳීම් දුරස් වෙලා. කාන්තාවක්ට පවුලේ කටයුතුවලදී ලැබෙන සහයෝගය ඉතාම අඩුයි. රැුකියාවක් කරලා ඇවිත් ඇය නිවසේ කටයුතුත් කළයුතු වෙනවා. ඉවුම් පිහුම්, දරුවන්ගේ කටයුතු, පිරිසිදු කිරීම් ආදී කටයුතු රාශියකින් හෙම්බත් වීම, වෙහෙසට, පීඩනයට පත්වීම නිසා දේශපාලන කටයුතු තබා රූපවාහිනියේ ප‍්‍රවෘත්ති විකාශයක් නැරඹීමත් ඇයව වෙහෙසට පත් කරනවා. හැබැයි අද කාන්තාවෝ අධ්‍යාපනයේ ඉහළටම යනවා එදාට වඩා. ඒත් ඒ ගුණාත්මක වෙනස සමාජයේ පේන්න නැහැ. ඉහළම අධ්‍යාපනය ලැබූ කාන්තාවන් උනත් හරිම පටු සීමාවන්ට කොටු වෙලා. ධනේශ්වර දේශපාලන පක්ෂවල ක‍්‍රියාකාරීත්වයක් පෙන්වන කාන්තාවෝ ගැන හිතන්න. ඇත්තටම ‘බාලයි, ලාබයි’ වගේ. ගුණාත්මක නැහැ. ඒ ජීවිතවලත් තියෙන්නේ හරිම පෞද්ගලික අරමුණු. දේශපාලනයට කාන්තාවක් සම්බන්ධ වීම දී සමාජයේ තියෙන පුරුෂාධිපත්‍ය සංකල්ප බලපානවා. ඒවා අභිබවා පෞරුෂයෙන් යුතු දේශපාලන චරිතයක් වෙන්න නම් අපි දේශපාලන දැනුම උකහාගත යුතු වෙනවා. ඒත් එක්කම ක‍්‍රියාකාරීව සමාජයේ හැසිරිය යුතු වෙනවා. මේ දෙකෙන් තමයි දේශපාලන පෞරුෂය ගොඩනඟාගෙන තමන්ගේ අදහස අන්‍යයන් වෙත ගෙනයාමට හැකිවන්නේ. අනෙක් අතට තමන් දරන මතයට අනුව තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම අනිවාර්යයි. දෙබිඩි ජීවිත ගත කරන අයට සමාජය තුළ දේශපාලනිකව ස්ථාවර විය නොහැකියි. ජීවිත ආදර්ශය ඉතාමත් වැදගත්.

කොහොම උනත් අවසානයේ දී මට කියන්න තියෙන්නේ වසර 40කට ආසන්න කාලයක් දේශපාලනයේ යෙදුනු කෙනෙක් විදියටත් ජීවිත කාලය පුරාම සමාජය තුළ කාන්තාවන්, පිරිමින්, දරුවන් සමඟ සමාජ ඇසුරක යෙදුණු කෙනෙක් විදියටත් කාන්තාවන්ට සමාජයේ ප‍්‍රශ්න රාශියක් තිබෙනවා. තාක්ෂණය ඉදිරියට ගියාට, රැුකියා වැඩි වුණාට, අධ්‍යාපන අවස්ථා වැඩි වුණාට සංවර්ධනය කියන එක ඇගේ ජීවිතයට ලැබිල තියෙන්නේ අඩුවෙන්. අතමිට සරු ඉහළ පෙළේ කාන්තාවන්ට ජීවිතයේ යම් නිදහසක් ලැබිල තිබුණට ඉතිරි 99%ක්ම කාන්තාවෝ බරපතළ පීඩනයක් ජීවිතයේ අත්විඳිනවා. ඒ නිසා ඒ තත්වය වෙනුවෙන් හ`ඩ නඟන්න, අරගල කරන්න, නිදහස ලබාගන්න, ස්වාධීනත්වය අත්කර ගන්න ඇය දේශපාලනයේ නිරත විය යුතුමයි. එසේ නොමැතිව අංශු මාත‍්‍රික ජයග‍්‍රහණයක්වත් අපිට අත්පත් කරගන්න බැහැ.”

සටහන- කුමුදු පී. මුණසිංහ

Advertisements