වැටත් – නියරත් ගොයම කෑම – අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුව කෑම

mahendranමෙරට පුරවැසි බව ඉල්ලන බොහෝ දෙනාට එය ලබාදීම ප‍්‍රතික්ෂේප කරන වත්මන් ආණ්ඩුව සිංගප්පූරු පුරවැසියකු වන අර්ජුන් මහේන්ද්‍රන් කඩිමුඩියේ රටට ගෙන්වා දවසක් තුළ ඔහුට ලංකාවේ පුරවැසිකම ලබාදුන්නා. පුරවැසිකම පමණක් නොව ලංකාවේ මූල්‍ය පාලනයේ හදවත ලෙස සලකන මහබැංකු අධිපතිකමත් ලබාදුන්නා. අර්ජුන් මහේන්ද්‍රන් ගැන මුලින්ම අහන්න ලැබුණේ ඒ විදියට.

අර්ජුන් මහේන්ද්‍රන් ගැන දෙවැනි වර අහන්න ලැබෙන්නේ යහපාලන ආණ්ඩුව තුළ සිටිමින් කළ ඥාති සංග‍්‍රහයක් හා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්. ශී‍්‍ර ලංකා මහබැංකුව විසින් නිකුත් කළ බැඳුම්කර නිකුතුවක් අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාට වංචනික ලෙස ලබාදීම පිළිබඳව ඔහුට චෝදනා ඉදිරිපත් වී තිබෙනවා. ඔහු පිළිබඳව එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීමට ගාමිණී පිටිපනගේ සභාපතීත්වයෙන් යුත්, මහේෂ් කළුගම්පිටිය හා චන්දිමාල් මෙන්ඩිස් සාමාජිකත්වය දරන ත‍්‍රිපුද්ගල කමිටුවක් අගමැතිවරයා විසින් පත්කළ බව මාර්තු 10 වැනිදා වාර්තා වුණා. එහෙත් එදිනම මහබැංකු අධිපතිවරයා සිංගප්පූරුව බලා ගිය බවද වාර්තා වුණා. මහබැංකුවේ ප‍්‍රකාශකයකු ඒ සම්බන්ධයෙන් මාධ්‍යවලට පවසා තිබුණේ එය කලින් යොදාගත් නිල සංචාරයක් බව. ඔහු 13 වැනිදා ලංකාවට පැමිණ යළි 14 වැනිදා වෙනත් සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැරව යන බව එම ප‍්‍රකාශකයා පවසා තිබුණා. මෙතරම් බරපතළ චෝදනාවක් එල්ල වී තිබියදී ඔහු විදේශගත වීම විවාදාත්මකයි. දූෂණ ගැන සැක කරන බොහෝ අයගේ විදේශ ගමන් බලපත‍්‍ර අත්හිට වූ ‘යහපාලන’ ආණ්ඩුව තමන්ගේ මිතුරන් ගැන කටයුතු කරන ආකාරය නිවැරදිද?

කෙසේ වෙතත් අපි මේ වංචාව ගැන වැඩිදුරටත් කරුණු සොයා බලමු. මේ ප‍්‍රශ්නය පටන් ගත්තේ ශ‍්‍රී ලංකා මහබැංකුව බැඳුම්කර නිකුතුවක් නිකුත් කිරීමක් සමඟම. භාණ්ඩාගාර බැඳුම්කරවලින් කරන්නේ රජය පෞද්ගලික අංශයෙන් ණය ගැනීම. සාමාන්‍යයෙන් මෙතරම් මුදලක් අවශ්‍යයි, ඒ සඳහා මේ උපරිම හා අවම අගයන් අතර පවතින පොලියක් ගෙවනවා, ණය ගන්නේ මෙතරම් කාලයකට කියලා මහබැංකුව නිවේදනය කරනවා. එවිට මුදල් රැුගෙන එන ගැනුම්කරුවන් අතරින් වෙන්දේසියකින් අදාල ගැනුම්කරු තෝරා ගන්නවා. භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන්න බොහෝ දෙනා කැමැති එයට විශාල පොලියක් ලැබීම සහ තම මුදලේ සුරක්ෂිතතාව ගැන රජයේ සහතිකයක් තිබීම නිසා.

පෙබරවාරි 24 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් රුපියල් බිලියනයක මුදලක් සඳහා වසර 30 ක කාලයකට (2045 මාර්තු 01 වැනි දින දක්වා) භාණ්ඩාගාර  බැඳුම්කර නිකුත් කරන බව මහබැංකුව පවසා සිටියා. මෙය රජය මධ්‍යකාලීන හා දිගුකාලීන ණය ලබාගන්නා ක‍්‍රමය. ඒ අනුව මෙයට මුදල් යොදවන්නන්ගේ මුදල අදාළ කාලය ඉක්මයාමෙන් පසුව පොලියත් සමඟ ලබාදෙනවා. මෙම බැඳුම්කර සඳහා පොලී අනුපාතය 9.5% සිට 12.5% අතර අගයක් ගන්නා බවත් සාමාන්‍ය පොලී අනුපාතය 11.73%ක් බවත් දැනුම් දී තිබුණා. නමුත් පෙබරවාරි 27 වැනිදා පැවැත් වූ බැඳුම්කර වෙන්දේසියේ දී ලබාගන්නා මුදල රුපියල් බිලියනයක් නොව රුපියල් බිලියන 10 ක් (හරියටම කියන්නේ නම් රුපියල් මිලියන 10,058 ක්) බව එක්වරම ප‍්‍රකාශයට පත් කෙරුණා.

එයට හේතුව ලෙස මහබැංකුව කියන්නේ පෙබරවාරි 26 වැනිදා පැවැති  රැස්වීමක දී කබීර් හෂීම් ඇමැතිවරයා අධිවේගී මාර්ග ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 15 ක පමණ හදිසි අරමුදලක් ඉල්ලා සිටීම නිසා ඒ තීරණය ගැනීමට සිදු වූ බව. කොහොම වුණත් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට එන ගැනුම්කරුවන් සාමාන්‍යයෙන් සූදානම් වන්නේ ප‍්‍රකාශයට පත්වූ මුදලින් 10% ක පමණ ප‍්‍රමාණයකට. ඒ නිසා වෙන්දේසියට පැමිණි අනෙකුත් ප‍්‍රාථමික ගැනුම්කරුවන් ඉදිරිපත් කළ ලංසු 26 ක්ම රුපියල් මිලියන 100 හෝ ඊට අඩු ඒවා. ඔවුන් ඉදිරිපත් කළේත් 9.5% – 11.73% අතර පොලී අනුපාතික. ඒ පොලී සඳහා සාමාන්‍ය බර තැබීම 11.73% ක් බව මහබැංකුව කලින් ප‍්‍රකාශ කර තිබූ නිසා.

නමුත් එක් සමාගමක් අසාමාන්‍ය ලෙස විශාල මුදලක් සඳහා සූදානම්ව සිටියා. ඔවුන් රුපියල් බිලියන 3 ලංසු පවා ඉදිරිපත් කළා. එම සමාගම ඉදිරිපත් කළේත් අනෙක් සමාගම්වලට වඩා ඉහළ 11%-12.5% අතර පොලී අනුපාතික. අවසානයේ රුපියල් බිලියන 5 ක බැඳුම්කර එම සමාගම මිලදී ගත්තා. එයින් වැඩි කොටසකට 12.5% ක් තරම් ඉහළ පොලී අනුපාතිකයක් හිමි වුණා. මෙසේ අධික ලාභයක් ලබාගැනීමට සමත් වූ සමාගම ගැන විමසා බලමු. ඒ සමාගමේ නම සීමාසහිත පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම. (Perpetual Treasuries Limited) එම සමාගම පිළිබඳ තොරතුරු ඇත්තේ ඉතාම අවම ප‍්‍රමාණයක්. එම සමාගමේ නිල වෙබ් අඩවිය වන perpetualtreasuries.com  වෙබ් ලිපිනයට ගිය විට දැක්වෙන්නේ එම වෙබ් අඩවිය තවමත් නිර්මාණය කෙරෙමින් පවතින බව. පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අයිතිකරු ලෙස දැක්වෙන්නේ පර්පෙචුවල් ඇසට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම. (Perpetual Asset Management (Pvt) Ltd) මෙම සමාගම් දෙකේම ලිපිනය ලෙස දැක්වෙන්නේ තුන්වන මහල, අංක 10, ඇල්ෆ‍්‍රඞ් හවුස් ගාර්ඞ්න්, කොළඹ 03 යන ලිපිනය. ඡුඪ 103925 අංකය යටතේ ලියාපදිංචි වී තිබෙන මෙම සමාගමේ කොටස් හිමිකරුවන් දෙදෙනකු සිටිනවා. ඒ ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් හා අර්ජුන් ජෝසප් ඇලෝසියස් නම් එකම පවුලේ සාමාජිකයන් දෙදෙනා.

මෙම සමාගම 2013 ඔක්තෝබර් 9 වැනිදා මහබැංකුව නිකුත් කළ ලිපියකින් 2013 දෙසැම්බර් 4 සිට ප‍්‍රාථමික ගැනුම්කරුවකු ලෙස නම් කර තිබෙනවා. කොටස් වෙළෙඳපොළේ දී අර්ථසාධක අරමුදලේ මුදල් ලබාගෙන ඒවා යළි භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර දැවැන්ත ලාභයක් උපයා ගැනීම නිසා මෙම සමාගම ගැන පසුගිය කාලයේ බෙහෙවින් කතා බහට ලක්වුණා. බළලා මල්ලෙන් එළියට පනින්නේ මෙහිදී. මේ සමාගම අයිති මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාට සහ ඔහුගේ පවුලට.

Primary Dealers of CBOSLමෙවර භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ සැක සහිත කරුණු ගණනාවක් තිබෙනවා. එකක් තමයි රුපියල් බිලියන 1 ක වෙන්දේසිය දවසක් තුළ රුපියල් බිලියන 10 ක වෙන්දේසියක් බවට පත්වුණේ කොහොමද කියන එක. කලින් ප‍්‍රකාශ කළ මුදල මෙන් දස ගුණයක් දක්වා වෙන්දේසිය ඉහළ දැමීම මෙවර සිදු වූයේ ශී‍්‍ර ලංකා මහබැංකු ඉතිහාසයේ ප‍්‍රථම වතාවට. දෙවැන්න එසේ විශාල මුදලක් නිකුත් කරන බව අනෙක් ප‍්‍රාථමික ගැනුම්කරුවන් කිසිවකු නොදැන මහබැංකු අධිපතිවරයාගේ බෑනා පමණක් දැන සිටියේ කෙසේද යන්න. තුන්වැන්න, මේ සඳහා මෙතරම් අධික පොලියක් ලබාදුන්නේ කුමක් නිසාද යන ප‍්‍රශ්නය. මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ රහස් අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා දැන සිටි බව මේ අනුව ඉතාම පැහැදිලියි. නමුත් අර්ජුන් මහේන්ද්‍රන් සන්ඬේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ සිය බෑනා දැන් මෙම සමාගමේ නැති බව.

ඊළඟ ප‍්‍රශ්නය වන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හැසිරීම. මෙම සමාගම අර්ථසාධක අරමුදලේ මුදල් කාබාසිනියා කළ බවට ඇති චෝදනා සම්බන්ධයෙන් පියවරක් නොගත්තේ මන්දැයි මුදල් ඇමැති රවි කරුණානායකගෙන් විමසූ විට ඔහු මාධ්‍ය සාකච්ඡුාවක දී පැවසුවේ පොඩි පොඩි වංචාකරුවන් නොව ලොකු වංචාකරුවන් අල්ලා ගැනීම කෙරෙහි ප‍්‍රමුඛත්වය දිය යුතු බව. නමුත් අර්ජුන් ජෝසප් ඇලෝසියස් නිසා අර්ථසාධක අරමුදලට අහිමි වූ මුදල් ප‍්‍රමාණය රුපියල් බිලියන 2 කට අධිකයි. රවි කරුණානායකට එය සුළු මුදලක් වුවත් සිය වැටුපෙන් කපා ගන්නා මුදලින් සුසැදි අර්ථසාධක අරමුදලේ බිලියන 2 පෞද්ගලික අංශයේ කම්කරුවන්ට විශාල මුදලක්.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත් වීමට ත‍්‍රිපුද්ගල කමිටුවක් නම් කරන ලෙස ජනාධිපතිවරයා 9 වැනිදා ජනාධිපති ලේකම්වරයාට නියෝග කළා. ඒ අතර මාර්තු 10 වැනිදා අගමැතිවරයා ත‍්‍රිපුද්ගල කමිටුවක් නම් කළා. ප‍්‍රශ්නය වන්නේ ඒ කමිටුවේ සිටින ගාමිණී පිටපන, මහේෂ් කළුගම්පිටිය හා චන්දිමාල් මෙන්ඩිස් යන තිදෙනාම එක්සත් ජාතික පක්ෂයේ නීතීඥ සංගමයේ සාමාජිකයන් වීම. ඒ නිසා මෙය තවත් ආකාරයකින් හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක් වීම වළක්වන්න බෑ. අර්ජුන් මහේන්ද්‍රන් රනිල් වික‍්‍රමසිංහගේ සමීප මිතුරෙක්. 2001 දෙසැම්බර් 05 මහමැතිවරණයෙන් රනිල් අගමැති වූ පසු මේ පුද්ගලයාව ලංකාවට ගෙන්වා ඔහුව ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත් කළා. 2015 ජනවාරි 9 වැනිදා අගමැති ලෙස දිවුරුම් දුන් පසු මේ පුද්ගලයාව ගෙන්වා, පුරවැසිකමත් ලබාදී මහබැංකුවේ අධිපති ලෙස පත්කළා. දැන් ඔහුගේ දූෂණ ගැන සොයන්න පත් කළ කමිටුවේ ඉන්නෙත් රනිල්ගේ අන්තේවාසිකයෝ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා තමයි කියන්න තිබෙන්නේ. මේ සිදුවීම ආණ්ඩුවේ ‘යහපාලනය’ ගැන ඉගෙන ගන්න අපට හොඳ අවස්ථාවක් දුන්නා.

සුධීර ප‍්‍රභාෂ්වර

Advertisements