එක්සත් ජනපද ප‍්‍රජාතන්ත‍්‍රදවාදය වෙනිසියුලාවටත්

us_embassy_c

වෙනිසියුලවෛ් අගනුවර කරකස්හි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය

අමෙරිකා එක්සත් ජනපදය දිගු කලක් තිස්සේ වෙනිසියුලාවට එරෙහිව ගෙන ගිය රහසිගත යුද්ධය කිසියම් ආකාරයක විවෘත තලයකට ගෙනැවිත් තිබේ. මදුරෝ ආණ්ඩුව තම රටෙහි ජාතික ආරක්ෂාවට මෙන්ම විදේශ ප‍්‍රතිපත්තියට තර්ජනයක් බවට ජනාධිපති ඔබාමා පසුගිය සඳුදා කළ ප‍්‍රකාශය ඊට පැහැදිලි නිදසුනකි. ඒ යටතේ තෝරා ගත් වෙනිසියුලා ජාතිකයන් 7 දෙනකු සතුව එක්සත් ජනපදය තුළ ඇති වත්කම් අත්හිටුවීමට මෙන්ම ඔවුන්ට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ. අදාළ පිරිසට ගුස්ටාවෝ ගොන්සාලෙස්, ජොසේ ටොරෙස් ඇතුළු ප‍්‍රධාන හමුදා බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම ජොසේ ඇතුළු රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් ද ඇතුළත්ය. සිද්ධිය පිළිබඳ පැහැදිලි කරමින් ධවල මන්දිර ප‍්‍රකාශක ජොෂ් එර්නෙස්ට් කියා සිටියේ වෙනිසියුලා ආණ්ඩුව තම විපාක්ෂිකයනට එරෙහිව ගෙන යන මර්දනය සැලකිල්ලට ගෙන ජනාධිපති ඔබාමා ඉහත තීරණය ගත් බවයි. එහි මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කෙරෙමින් පවතී. මාධ්‍ය නිදහස අහුරා තිබේ. දූෂණය ද ඉහවහා ගොස් ඇත. විරුද්ධ පක්ෂ නායකයන් වන ලියොපොල්ඩෝ ලොපෙස් සහ දානියෙල් සෙබාලොස් ආදීන් ද ඇතුළු දේශපාලන උද්ඝෝෂකයන් සහ සිසුන් විශාල පිරිසක් අත්අඩංගුවෙහි පසු වෙති. ඒ අනුව, ඔවුන් වහාම නිදහස් කොට රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට වෙනිසියුලා ආණ්ඩුව පියවර ගත යුතු බව ධවල මන්දිර ප‍්‍රකාශකයා කියා සිටියේය.

කවර අතකින් බැලූ‍වත් ඔබාමාගේ ප‍්‍රකාශය අතිශයින්ම බැරූරුම් සහගතය. ඊට ප‍්‍රතිචාර ලෙස වෙනිසියුලා ජනාධිපති නිකුලස් මදුරෝ කියා සිටියේ ඔබාමා අමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ප‍්‍රභූවෙහි අවශ්‍යතා මත තම රට ද පාලනය කිරීමට වෙර දරන බවයි. ඔහුගේ යොමුව බරපතළ අත්වැරැුද්දක් සහ අධිරාජ්‍යවාදී මාන්නාධිකත්වයක් නිරූපණය කරයි. ඔබාමාට අවශ්‍යව ඇත්තේ සමාජවාදය කරා යොමු වුණු තම ගමන නැවැත්වීමට බව ඔහුගේ අදහසයි. තම ආණ්ඩුව බිඳහෙළීම සඳහා එක්සත් ජනපදය කුමන්ත‍්‍රණය කරන බවට ද මදුරෝ චෝදනාකර සිටියේය. සැබෑ තර්ජිතයා වනුයේ ඔසාමා බින් ලාඩන් සහ අල් කයිඩාව නිර්මාණය කළ එක්සත් ජනපදයයි. මානව හිමිකම් පිළිබඳ තම දෙබිඩි ප‍්‍රතිපත්තිය අතහැර දිනපතා එක්සත් ජනපදය තුළ මරා දැමෙන කළු ජාතිකයන් ගැන ඔබාමා තම අවධානය යොමු කළ යුතු බව ද මදුරෝ කියා සිටියේය. ‘සම්බාධක පැනවුණු නිලධාරීන් විරුවන් වන අතර එය ඔවුන්ට ගෞරවයකි’. තමන් ඔවුන්ව ආරක්ෂා කිරීමට කැපවන බවට ද ජනාධිපතිවරයා සහතික විය. ඒ අතරම ඔහු සම්බාධක පැනවුණු පිරිස අතර සිටි ජාතික බුද්ධි අංශ ප‍්‍රධානී ගොන්සාලෙස් වෙනිසියුලාවේ නව අභ්‍යන්තර කටයුතු භාර ඇමැතිවරයා ලෙස ද නම් කළේය. තවද, තම පාර්ලිමේන්තුව ඇමතූ මදුරෝ කියා සිටියේ යැංකි තර්ජනයන්ට මුහුණ දෙනු පිණිස තමන්ට වැඩි බලතල අවශ්‍ය බවයි. සතුරාට තම භූමියට පා තැබීම වළක්වනු පිණිස ආරක්ෂක බලමුළු තවදුරටත් තර කරන බව ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කළේය.

උද්ගතව ඇති තත්වය කෙරෙහි ලතින් අමෙරිකානු රාජ්‍යයන් 12ක සාමාජිකත්වය සහිත ඇල්බා සමූහය ද (ALBA)අවධානය යොමු කර තිබේ. ඔවුන්ට අනුව ඔබාමාගේ තීරණය වෙනිසියුලාවෙහි ස්වාධීනත්වය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. එමෙන්ම එය ජාත්‍යන්තර නීතියට ද පටහැණි වෙයි. තවද, ලතිත් අමෙරිකානු රාජ්‍යයේ සංගමය (UNASUR) එ.ජනපද ක‍්‍රියාමාර්ගය බරපතළ ලෙස හෙළා දකියි. එහි ප‍්‍රධානී එර්නෙස්ටෝ සම්පෙර් කියා සිටිනුයේ එක්සත් ජනපදය වෙනිසියුලාවෙහි අර්බුදය තවත් තීව‍්‍ර කරමින් සිටින බවයි. ‘ඒක පාර්ශවීය සම්බාධක හොඳ දෙයක් නොවෙයි’. වෙනිසියුලාව ගැන තීරණ ගත යුත්තේ එහි ජනතාව බව ඔහුගේ අදහසයි. ඇල්බා සමූහයට අතිරේකව ලතින් අමෙරිකානු පාර්ලිමේන්තුව ද ඔබාමාගේ තීරණයට එරෙහිව යෝජනාවක් සම්මත කරනු ලැබීය. තවද, විවිධ වාම දේශපාලන සංවිධාන මෙන්ම තරික් අලි ඇතුළු දේශපාලන විචාරකයෝ ද ඔබාමා වෙනිසියුලාවට එරෙහිව යුද ප‍්‍රකාශකර ඇති පෙන්වා දෙති. ඔහුට අවශ්‍යව ඇත්තේ තමන්ට ප‍්‍රතිමුඛව සිටින ලතින් අමෙරිකානු ප‍්‍රතිමල්ලවයා හමුදා කුමන්ත‍්‍රණයකින් හෝ ලිබියානු/සිරියානු පන්නයේ මෙහෙයුමකින් බිඳ හෙළීම බව ඔවුනගේ අදහසයි.

ලතින් අමෙරිකානු කලාපය තුළ එක්සත් ජනපදය විවිධ කුමන්ත‍්‍රණ සිය ගණනාවක් මෙහෙයවා තිබේ. මැතිවරණයකින් බලයට පැමිණ, රැුඩිකල් සමාජ ප‍්‍රතිසංස්කරණයන්ට නායකත්වය දෙමින් සිටි ජාකොබො එර්බෙන්ස්ගේ ආණ්ඩුව හමුදා කුමන්ත‍්‍රණයකින් බිඳ හෙළීම එක් අවස්ථාවකි. ප‍්‍රතිඵලය ලෙස එක්සත් ජනපද ගැති හමුදා ජුන්ටාවක් ස්ථාපනය කෙරුණු අතර පැන නැඟි සිවිල් යුද්ධයෙන් 2,00,000 කට අධික පිරිසක් මිය ගියහ. 1970 වර්ෂයේ දී චිලියේ බලයට පැමිණි අයෙන්දේ සම්බන්ධව ද ඔවුන් අනුගමනය කළේ මෙවැනිම ක‍්‍රියාමාර්ගයකි. වර්ෂ 1973 දී බලය අත්පත් කර ගත් හමුදාව අයන්දේ ඇතුළු වාම ක‍්‍රියාකාරිකයන් දහස් ගණනක් මරාදමා හමුදා ජුන්ටාවක් ස්ථාපිත කරනු ලැබීය. නිකරගුවාව තවත් එක් තැනකි.
රැුඩිකල් වාම සංවිධානයක් වූ සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ වර්ෂ 1979 දී මහජන විප්ලවයක් මඟින් එවකට එහි සිටි ආඥාදායක සෝමෝසා පලවා හැරියේය. නමුත් ඉන් අනතුරුව එක්සත් ජනපදය මුදල් සහ ආයුධ පොම්ප කරමින් ‘කොන්ට‍්‍රා’ නමැති දක්ෂිණාංශික ත‍්‍රස්ත සංවිධානය බිහි කොට ලේ වැකි සිවිල් යුද්ධයක් රට තුළ ඇවිළවීය. ඉන් මරණයට පත් වූ පිරිස 60,000 ඉක්මවයි. දේපළ විනාශය ගණනය කළ නොහැකි තරම්ය. ඒ අතරම ග්‍රෙනඩාවෙහි පාලන බලය හෙබවූ රැඩිකල් වාම ආණ්ඩුව (New JEWEL Movement) බලයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් හමුදාව එරට ඍජුවම ආක‍්‍රමණය කළේය. කියුබාව සම්බන්ධව ද එවැනි කුමන්ත‍්‍රණ ගණනාවක් වාර්තා වී තිබේ. මේ සියල්ල අතරතුර ලතින් අමෙරිකානු කලාපයෙහි මිනීමරු ආඥාදායකයන් නඩත්තු කිරීම පිණිස ද එක්සත් ජනපදය හැකි සියලූම උත්සාහයන් ගන්නා බව නොරහසකි. සෝමෝසා සහ බැටිස්ටාගේ සිට වර්තමාන කොලොම්බියානු ජනාධිපති සැන්ටෝස් දක්වා අයගේ නැඟීම සහ පැවැත්ම පිරික්සූ විට එය පැහැදිලි කරගත හැකියි.

ඇත්ත කරුණ නම් කොලොම්බස්ලාගේ ලේ වැකි සංහාරයන්ගෙන් සහ මංකොල්ලයන්ගෙන් පසුව එක්සත් ජනපද ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ ද ලතින් අමෙරිකානු ජනයා එබඳුම තර්ජනයකට මුහුණ දී සිටීමයි. දරිද්‍රතාව, වධ බන්ධන, බලාපොරොත්තු බිඳවැටීම සහ අනපේක්ෂිත මරණය එහි දෛනික ජීවිතයේ කොටසකි. අග‍්‍රගණ්‍ය ලතින් අමෙරිකානු සාහිත්‍යකරුවකු ලෙස නොබෙල් සාහිත්‍ය සම්මානය පිළිගැනීමේ දී ගාර්සියා මාකේස් කළ හද සසල කරන කතාවේ කේන්ද්‍රීය තේමාව වූයේ එයයි.

වර්ෂ 1971 දී චිලී ජාතික කවියා වූ පැබ්ලෝ නෙරුඩාට නොබෙල් ත්‍යාගය ලැබුණු තැන් පටන් යුද්ධ පහක් හා මිලිටරි කුමන්ත‍්‍රණ දාහතක් සිදුව ඇති බව ඔහු එහි දී පැවසීය. ඊට අදාළ සමාජ ඛේදවාචකය පිළිබඳ මාර්කේස්ගේ පැහැදිලි කිරීම මෙහි අන් තැනක දැක්වෙයි. මාර්කේස් තම දේශනය කළේ වර්ෂ 1982 තරම් ඈතක දී ය. එතැන් සිට ගත වූ දශක දෙකක පමණ කාලය තුළ දී විනාශය තවත් තීව‍්‍ර වූවා මිස අඩුවක් නොවූ බවද අප සැලකිය යුතුය. තත්වය කිසියම් වෙනසකට ලක් වූයේ කලාපයෙහි මිලිටරි ආඥාදායකයෙන් ක‍්‍රමිකව බලයෙන් ඇද වැටීමත් සමඟිනි. ඊට මූලාරම්භය ලබා දුන්නේ කියුබානු විප්ලවයයි. වර්ෂ 1979 දී නිකරගුවාහි සැන්ඩිනිස්ටාවරුන් බලයට පැමිණිය ද ඔවුහු බලය පවත්වා ගැනීමට අසමත් වූහ. අනතුරුව වර්ෂ 1998 දී හියුගෝ චාවේස් වෙනිසියුලාවෙහි බලයට පැමිණි අතර 21 වැනි සියවසෙහි සමාජවාදය යන තේමාව යටතේ පුළුල් සමාජ ප‍්‍රතිසංස්කරණ  රැසකට ඔහු මුලපිරීය. ඊට දස ලක්ෂ සංඛ්‍යාත පීඩිත ජනකායකගේ ආකර්ශනය හිමි විව. සිදුවන දෙය තම න්‍යාය පත‍්‍රයට සපුරාම පටහැණි බව ඉතා ඉක්මනින්ම එක්සත් ජනපද පාලකයෝ වටහා ගත්හ. වර්ෂ 2002 හමුදා කුමන්ත‍්‍රණය ඊට ඔවුන් දක්වන ලද ප‍්‍රතිචාරයයි. චාවේස් එය පරාජය කිරීමට සමත් වූ අතර එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එරෙහි තම විරෝධය තව දුරටත් තීව‍්‍ර කළේය. ඔහුගේ බලපෑම වෙනිසියුලාවෙන් ඔබ්බට ද පැතිර ගිය බව අපට දැකිය හැකිය. අද වන විට බොලිවියාව, ඉක්වදෝරය ආදී රටවල පාලකයෝ එක්සත් ජනපද න්‍යාය පත‍්‍රයට එරෙහිව වැඩ කරමින් සිටිති. නිකරගුවාව, බ‍්‍රසීලය, ආජන්ටිනාව ඇතුළු කලාපයේ තවත් බොහෝ ආණ්ඩු ගත් විට ඒවා ද එක්සත් ජනපදයට සැලකිය යුතු අවනතභාවයක් නොදක්වයි. ඔවුහු පොදුවේ රුසියානු සහ චීන අක්ෂය වෙත නම්‍යතාවක් දක්වති. පූර්වයෙන් ද සඳහන් කළ ඇල්බා රාජ්‍ය සමූහය ඉහත කී ක‍්‍රියාවලියෙහි එක් සංවිධානාත්මක ප‍්‍රකාශනයක් ලෙස හැඳින්විය හැකිය.

මීට පෙර ලිපියක දී ද අප සාකච්ඡුා කළ පරිදි 21 වැනි සියවසෙහි සමාජවාදය එසේත් නැතිනම් ලතින් අමෙරිකානු සමාජවාදය යනු අධිරාජ්‍ය විරෝධය සහ ජාතිකවාදය සමඟ කැලතුණු කිසියම් සමාජ සුභසාධනවාදී ව්‍යාපෘතියකි. බොනපාට්වාදී ලෙස ධනේශ්වර සහ පීඩිත බලවේග අතර දෝලනය වෙමින්, උත්සන්නවන සමාජ ආතතීන් කළමනාකරණය කරගැනීමට ඔවුහු යත්න දරති. එය සමාජවාදය ලෙස අප වරදවා වටහා ගත යුතු නැත. නමුත් අප අවධානය යොමු කළ යුතු විශේෂ කරුණක් තිබේ. අදාළ වාම ආණ්ඩු වටා දහස් ගණන් පීඩිතයන් ගොනුව සිටිති. තවද, ලතින් අමෙරිකාව තුළ පමණක් නොව දකුණු යුරෝපය තුළ ද රැුඩිකල් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග වර්ධනය වනු නිරීක්ෂණය කළ හැකිය. එක්සත් ජනපදය සවිඥානිකව ඇත්තේ මෙකී සමස්තය සම්බන්ධවයි. කිසියම් මොහොතක පීඩිතයන්ගේ නැඟිිටීම්වලට නිවැරදි නායකත්වයක් ලැබුණහොත් අර්බුදයට ලක් වන්නේ තමන් බව එය හොඳින්ම දනියි.

ඊට දක්වන එක් ප‍්‍රතිචාරයක් ලෙස ජනාධිපති ඔබාමා ප‍්‍රමුඛ බලධාරීන් වෙනිසියුලාවෙහි අන්ත දක්ෂිණාංශික විපක්ෂ බලවේග ශක්තිමත් කොට වීදිවලට කැඳවීය. දැනටමත් 43 දෙනෙකු පැන නැඟි ගැටුම් හේතුවෙන් මිය ගොස් ඇති අතර 3000 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. වෙනිසියුලාවෙහි උද්ධමන වේගය 60% ක පමණ ඉහළ තලයක පවතී. එය පහළ යන බවක් ද දක්නට නොමැත. තෙල් මිල පහළ යාමෙන් එහි ආදායම් තත්වය ද දුර්වලය. දූෂණ, අපරාධ සහ මත්ද්‍රව්‍ය වෙළෙඳාම වැළැක්වීම සම්බන්ධව ද මදුරෝ පාලනය සැලකිය යුතු සාර්ථකත්වයක් පෙන්වා නොමැත. විපක්ෂ බලවේගයන්ට ඉන්ධන සපයනුයේ එම සාධකයන්ය. ඔවුන්ගේ අරමුණ නව ලිබරල්වාදී අපගමනයක් බව පැහැදිලි කරුණකි. ඒවා ඇතැම් තැනක දී සන්නද්ධ ප‍්‍රතිරෝධයන් කරා ද ගමන්කර තිබේ. විපාක්ෂික ධනේශ්වර ප‍්‍රභූව සහ මධ්‍යම පාන්තික බලවේග එක්ව මෙහෙයවන උද්ඝෝෂණ හමුදා කුමන්ත‍්‍රණයක් සමඟ බැඳී ඇති බව වෙනිසියුලානු ආණ්ඩුවෙහි චෝදනාවයි. ඊට අනුව එහි කතෘකයා වනුයේ ඔබාමා තන්ත‍්‍රයයි. කෙසේ වුවත් විපක්ෂයට තවමත් සැලකියයුතු මහජන පදනමක් නොමැත. ඔබාමාට වඩා විවෘතව කලඑළි බැසීමට සිදුව ඇත්තේ එබැවිනි. සම්බාධක සහ උද්ඝෝෂණ මෙන්ම සන්නද්ධ ප‍්‍රතිරෝධයන් වර්ධනය කරවීමෙන් මදුරෝ ආණ්ඩුව දණ ගැස්සවීම එක්සත් ජනපද පාලකයන්ගේ අභිප‍්‍රාය වී තිබේ. හමුදාවෙහි දක්ෂිණාංශික බලවේග ද
මදුරෝට එරෙහිව මෙහෙයවීම සඳහා ද ඔවුන් මැදිහත්ව සිටින බව නොරහසකි. ඉරානය, සිරියාව මෙන්ම රුසියාව සම්බන්ධවද ඔවුහු ඊට සමාන ප‍්‍රතිපත්තියක් අනුගමන කරමින් සිටිති.
එය පරාජය කළ හැක්කේ බොනපාට්වාදී ලෙස පන්තිමය බලවේග අතර තුලනය වීමෙන් නොව ප‍්‍රතිපත්තිමය ලෙස වැඩ කරන ජනයා අතර පදනම් වීමෙන් බව ඉතිහාසය අපට උගන්වන පාඩමයි.

———————————————-
Gabriel_Garcia_Marquez1982 නොබෙල් සාහිත්‍ය සම්මානය ලබාගත් අවස්ථාවේ ගේ‍්‍රබ්‍රියල් ගාර්සියා මාර්කේස් කළ කතාවෙන් කොටසක්

‘‘……..1970 පටන් යුරෝපයේ උපන් පරකි මානය ද පරයා යමින්, ලතින් අමෙරිකානු දරුවන් මිලියන විස්සක් වයස අවුරුද්ද සම්පූර්ණ වීමට පෙර මිය ගියේය. මර්දනය හේතුවෙන් අතුරුදන් වූවන් ගණන ආසන්න වශයෙන් එක්ලක්ෂ විසිදහසක් විය. උප්සලාහි(ස්වීඩනය) සියලූ‍ වැසියන් පිළිබඳව කිසිවකුට ගණන් හිලව් නොමැති වූවාක් මෙනි. අත්අඩංගුවට ගන්නා ලද ගර්භණී කාන්තාවන් විශාල ගණනක් ආජන්ටිනාවේ සිරගෙවල් තුළ දරුවන් බිහිකර ඇත. මිලිටරි අධිකාරීන්ගේ නියෝග මත, රහසේ හදා ගැනීමට හෝ අනාථාගාරවලට යවන ලද සිය දරුවන්ගේ තොරතුරු ඔවුන් කිසිවෙක් දන්නේ නැත. දේවල්වල මෙම ස්වභාවය වෙනස් කිරීමට උත්සාහ දැරීම නිසා මහාද්වීපය පුරා මිනිසුන් හා ගැහැනුන් දෙලක්ෂයක් මරා දමා ඇති අතර මධ්‍යම අමෙරිකාවේ කුඩා හා අවාසනාවන්ත රටවල් තුනක් වන නිකරගුවාව, එල් සැල්වදෝරය හා ගුවාතමාලාව තුළ තවත් ලක්ෂයකට වැඩි දෙනකුට ජීවිත අහිමි වී ඇත. මෙය සිදු වූයේ එක්සත් ජනපදයේ නම් ප‍්‍රචණ්ඩ ලෙස මරණයට පත් අනුරූපී පුද්ගල සංඛ්‍යාවම වසර හතරක් තුළ දහසය ලක්ෂයක් වනු ඇත.

ආගන්තුක සත්කාර පිළිබඳ සම්ප‍්‍රදායක් සහිත චිලී රටේ ජනගහනයෙන් සියයට දහයක් හෙවත් දසලක්ෂයක් දෙනා එරට හැර ගොස් තිබෙනවා. තමන් මහාද්වීපයේ වඩාත්ම ශිෂ්ට රට ලෙස සලකා ගත්තා වූ මිලියන දෙකහමාරක ජනගහනයක් සහිත කුඩා ජාතියක් වන උරුගුවේ රාජ්‍යයේ සෑම පුද්ගලයන් පස් දෙනකුගෙන් එක් අයෙක් පිටුවහලට ගොස් රටට අහිමි වී තිබෙනවා. 1979 පටන් එල් සැල්වදෝරයේ සිවිල් යුද්ධය, සෑම මිනිත්තු විස්සකටම එක් සරණාගතයෙක් බිහිකර තිබෙනවා. ලතින් අමෙරිකාවේ සියලූ‍ පිටුවහලූ‍න් හා සංක‍්‍රමණයවීමට බලකෙරුනු අය එකතුකර රටක් හැදුවොත් එහි නෝර්වේ රාජ්‍යයේ ජනගහනයට වැඩි ජනගහනයක් සිටිනු ඇත.

ස්වීඩන සාහිත්‍ය ඇකඩමියේ අවධානයට ලක්විය යුත්තේ, මෙම යෝධ යථාර්ථය බවත් හුදෙක් එහි සාහිත්‍යමය ප‍්‍රකාශනය නොවන බවත් මම නිර්භයව සිතන බව පවසමි. කඩදාසිවලට පමණක් සීමා නොවන, අප තුළ ජීවත් වෙමින්, අපගේ ගණන් නැති දෛනික මරණවල සෑම ක්ෂණයක්ම නිර්ණය කරන යථාර්ථයකි, එය. වික්සෝපයෙන් හා අලංකාරයෙන් අනූන, අතෘප්තිකර නිර්මාණශීලීත්වයේ මූලාශ‍්‍රයක් පෝෂණය කරන මෙම වැදගැම්මකට නැති දඩාවතේ යන කොලොම්බියානුවා, වාසනාව විසින් තෝරා එවන ලද එක් නැත්තෙක් පමණක් වේ……”

(උපුටා ගැනීම ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි.)

ගාමිණි හෙට්ටිපතිරණ

Advertisements