87-හමුදා එවීම සහ නරේන්ද්‍ර මෝදි පාර්ලිමේන්තුව ඇමතීම

modi and maithreeඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ඇත. මෙම සංචාරයේ එක් විශේෂිත සිදුවීමක් වන්නේ ඔහු ලංකාවේ පාර්ලිමේන්තුව ඇමතීමයි. මෙම ලිපිය ලියන මොහොත වන විටත් නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණ නැත. එනිසා ඔහුගේ පාර්ලිමේන්තු කතාවේ අන්තර්ගතය පිළිබඳව කිසිවක් කිව නොහැකිය. නමුත් මෙම ලිපිය මඟින් මා අවධානය යොමු කරන්නේ ඉන්දීය අගමැතිවරයා ලංකාවේ පාර්ලිමේන්තුව ඇමතීම පිළිබඳ දේශපාලන සංසිද්ධියයි.

ලංකාවේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය හා නීතිය අනුව අගමැතිවරයා හා ජනාධිපතිවරයා තීරණය කරන්නේ නම් විදේශීය රාජ්‍ය නායකයකුට පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාව ලබාදිය හැකි බව පැවසේ. මෙතෙක් රාජ්‍ය නායකයන් හතරදෙනකු නිල වශයෙන් ලංකාවේ පාර්ලිමේන්තුව අමතා ඇත. එනම් ඉන්දීය අගමැතිවරයාට ද මෙවර ඒ අවස්ථාව හිමි වී ඇත. වෙනත් වචනවලින් කියතොත් වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත් අගමැති රනිල් වික‍්‍රමසිංහත් එම අවස්ථාව ලබාදීමට තීන්දුව ගෙන ඇත.
1987 දී කුප‍්‍රකට ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීම සඳහා එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ලංකාවට පැමිණියේය. ඉන් අනතුරුව කිසිදු ඉන්දීය රාජ්‍ය නායකයකු නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ නැත. ඒ අනුව නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිවරයාගේ වත්මන් ලංකා සංචාරය ඒ අතින් ද ඓතිහාසික වනු ඇත. නමුත් මෙම සංචාරයන් දෙකම ලංකාවේ නිදහස සහ ස්වාධීනත්වය අතින් ඉතිහාසයට එක්කරන්නේ කළු පැල්ලම්ය.

87 දී ඉන්දු – ලංකා ගිවිසුමට එවකට ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අත්සන් තැබුවේ සිය කැමැත්තෙන් නොවේ. ඔහු, අමෙරිකාවේ ඉතා හොඳ කීකරු ගෝලයකු විය. යැංකි ඩිකී යන අන්වර්ථ නාමයෙන් ජේ.ආර්. ජයවර්ධන හැඳින්වූයේ ද ඒ නිසාය. එවකට ඉන්දියාව ලෝක දේශපාලනයේ දී අමෙරිකානු කඳවුර නියෝජනය කළේ නැත. ඒ වෙනුවට ඉන්දියාව සෝවියට් දේශය පිළිබඳ මිත‍්‍රශීලීත්වයක් පෙන්වනු ලැබීය. අනෙක් අතට ආසියානු කලාපයේ ආර්ථික සහ දේශපාලන ආධිපත්‍ය තමන් සතු කරගැනීමේ අමෙරිකානු වුවමනාවත් ආසියාවේ මහා බලවතකු ලෙස නැඟී සිටීමේ ඉන්දියානු උවමනාවත් නිසා ඉන්දියාව සහ අමෙරිකාව අතර ප‍්‍රතිවිරෝධතාවක් එවකට පැවැතුණි. ඒ අනුව ජේ.ආර්. ජයවර්ධන විසින් අනුගමනය කරන ලද අමෙරිකානු ගැති ආර්ථික හා විදේශීය ප‍්‍රතිපත්තියට එරෙහිව ඉන්දියාව ඉතා තීරණාත්මක පියවරක් 87 දී ගනු ලැබීය. එහි ප‍්‍රතිඵලය වූයේ ඉන්දීය හමුදා ලංකාවේ උතුරු නැෙඟනහිර ප‍්‍රදේශවලට ගොඩබැසීම සහ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත වීමයි. ඒ අනුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පමණක් නොව එවකට පැවැති පාර්ලිමේන්තුව ද ඉන්දියාව හමුවේ දණ නමා ඇත.
ඉතිහාසගත කතාව එසේ තිබිය දී දැන් අපි වර්තමාන කතාවට ප‍්‍රවේශ වෙමු. අද ඉන්දියාව සහ අමෙරිකාව අතර මිත‍්‍රශීලීත්වයක් ගොඩනැඟී ඇත. සෝවියට් සමාජවාදී කඳවුර බිඳවැටීමෙන් පසු අමෙරිකාව විසින් ඉන්දියාව මිත‍්‍රශීලී රටක් ලෙස පිළිගැනීමට ලක්කර ඇත. විශේෂයෙන් චීනය සතුව ඇති ආසියානු කලාපයේ වෙළෙඳ හා දේශපාලන ආධිපත්‍ය බිඳදැමීමේ දී අමෙරිකාව ඉන්දියාව තම මිතුරකු ලෙස සලකයි.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය චීනය සමඟ ආර්ථික ගනුදෙනු සිදුකරනු ලබනුයේ, මෙම ලෝක දේශපාලන තත්වය යටතේය. ඒ නිසා මෙම සියලූම ආර්ථික ගනුදෙනු ඉන්දියාවේ සහ අමෙරිකාවේ නොසතුටට හේතු විය. ඉන්දියාව ලංකාවේ පැවැති පසුගිය ජනාධිපතිවරණයට ඍජුවම මැදිහත් විය. ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ ඉන්දියාවට කැඳවා උපදෙස් ලබාදීම ඒ සඳහා ඇති ප‍්‍රසිද්ධ සාක්ෂි වේ. ඒ අනුව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවේ පාර්ලිමේන්තුව අමතන්නේ ඉන්දියාවේ ද මැදිහත් වීම මත සිදුවූ දේශපාලන බල පෙරළියකින් පසුවය. ඒ නිසා 87 දී ඉන්දීය හමුදාව ලංකාවට ගොඩබැසීමත් නරේන්ද්‍ර මෝදි ලංකාවේ පාර්ලිමේන්තුව ඇමතීමත් අතර දේශපාලන හරයෙන් කිසිදු වෙනසක් නැත.
ලිපිය අවසන් කිරීමට ප‍්‍රථමයෙන් තවත් එක් කරුණක් අවධාරණය කළ යුතුව ඇත. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ ලංකාවේ ආර්ථිකයට චීනයට ඇතුළුවීමට සැලකිය යුතු ඉඩකඩක් විවර කරන ලදී. නමුත් ඒ තුළින් ලංකාවේ පීඩිතයන්ට අත් වූ සෙතක් නොමැත. නිදසුනක් වශයෙන් චීනය සමඟ සිදු කළ ගල්අඟුරු
බලාගාරය හැඳින් විය හැක. ඒවායෙන් ආර්ථිකමය වශයෙන් සිදුවන පාඩුවට අවසාන වශයෙන් වන්දි ගෙවිය යුත්තේ ලංකාවේ ජනතාවයි. අනෙක් අතට විදේශ ප‍්‍රතිපත්තිය අතින් බැලූවද මෙමඟින් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ ජාතිවාදය පිටුදැකීමට පිටුබලයක් ලැබී නැත. වර්තමාන මෛත‍්‍රී – රනිල් පාලනයේ ආර්ථික හා විදේශීය ප‍්‍රතිපත්තියෙන් ද සාමාන්‍ය ජනතාවට ලැබෙන ප‍්‍රතිලාභය කුමක්ද? ඒ සඳහා ද කෙටි නිදසුනක් ඉදිරිපත් කළ හැකිය. ලංකා ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් සියලූදෙනා නිදහස් කළේ ඉන්දියාවට තම හිත හොඳකම පෙන්වීම සඳහාය. නමුත් මේ වන තෙක් ඉන්දියාව විසින් අත්අඩංගුවට ගත් ලාංකේය ධීවරයන් එලෙස නිදහස් කර නැත. දෙරට අතර පවතින මෙම බල අරගලයට තවමත් වන්දි ගෙවන්නේ ඉන්දීය සහ ලාංකේය පීඩිත ජනතාවයි. ඒ නිසා පැරණි ආණ්ඩුවේ සහ නව ආණ්ඩුවේ ආර්ථික හා විදේශ ප‍්‍රතිපත්ති අතින් පවතින මෙම සුළු වෙනස්කම් මඟින් ජනතාවට අත්වෙන සෙතක් නැති තරම්ය.

චන්ද්‍රසිරි ලන්දගේ

Advertisements