‘ලිබරල්’ රනිල්ගේ චණ්ඩිපාට්

ranil thanthi tvමහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් තිබූ බරපතළම විවේචන වූයේ එහි ඒකාධිපති ස්වභාවය, දූෂිතබව හා ජාතිවාදයයි. මහින්දගේ පාලනය අවසන් කර මෛත‍්‍රීගේ පාලනය සහ රනිල්ගේ ආණ්ඩුව පිහිටුවීමට කැප වූ බොහෝ දෙනා අපේක්ෂා කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය සහ ජාතික සංහිඳියාවයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයට එවැන්නක් ගොඩනැඟිය හැකිදැයි සැක පහළ කළ හැම දෙනාටම මෛත‍්‍රී පාලනයේ සහායකයන්ගෙන් ලැබුණේ එකම පිළිතුරකි. ‘රනිල් ලිබරල්, රනිල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකියි, රනිල් හොරකම්වලට ඉඩදෙන එකක් නෑ. රනිල් දෙමළ ජනතාවගේ අයිතීන් ලබා දෙයි’ පිළිතුර වූයේ එයයි. දිගු පිළිතුර එසේ තිබිය දී කෙටි පිළිතුර දෙන්නේ ‘රනිල් ලිබරල්’ කියාය. දැන් සිටින්නේ නවලිබරල් නායකයන් මිස ලිබරල් නායකයන් නොවන බව අපි එදා පැවසුවෙමු. නවලිබරල් ගමන් මෙඟ් මෙලෙසම ඉදිරියට යන්නේ නම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වය, දූෂණය හා ජාතිවාදය මේ පාලනයේ ලක්ෂණ වනු ඇතැයි අපි නොයෙක් වර ලියුවෙමු. එවිට ‘ලිබරල්’ රනිල් ගැන සිහින දුටු අය කීවේ ‘දෙකම එකයි’ කීම අන්තවාදී වන අතර ‘යම් වෙනසක්’ ඇති වනු ඇති බවයි. තවත් ඇතැම් අය ජනාධිපතිවරණයේ දී රනිල්-මෛත‍්‍රී කඳවුරට උදව් කළේ ජාතික ප‍්‍රශ්නය පිළිබඳ ජාතිවාදී නොවන දෘෂ්ටියක්, දෙමළ ජනතාව පිළිබඳ සමීපතාවක් රනිල්ට ඇති බව විශ්වාස කරමිනි.

මේ අතර පසුගියදා ඉන්දියාවේ තන්ති ටී.වී (Thanthi TV) නම් රූපවාහිනී නාළිකාව රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡුාවක් කළේය. එම සම්මුඛ සාකච්ඡුාවේ ලිඛිත පිටපතක් හින්දු පුවත් වෙබ් අඩවියේ පළ කෙරිණි. රනිල්ගේ ‘ලිබරල්කම’ ගැන හොඳම නිදසුන් ඒ සම්මුඛ සාකච්ඡුාවෙන් ලබාගත හැක. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, විදෙස් සබඳතා ආදී ක්ෂේත‍්‍ර පසෙක තිබිය දී රනිල් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය පිළිබඳව හා උතුරු පළාත් සභාව පිළිබඳව ලබා දෙන පිළිතුරු වෙත අවධානය යොමු කරමු. යුද්ධයේ දී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු වී තිබේදැයි සෙවීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට උතුරු පළාත් සභාව සම්මත කළ යෝජනාව ගැන රනිල්ගේ ප‍්‍රතිචාරය මෙසේය.

”මේක ඉතාම, ඉතාම වගකීම් විරහිත ප‍්‍රකාශයක්. මම එයට එකඟ නැහැ. මහ ඇමැතිවරයා මෙවැනි යෝජනා සම්මත කරනවා නම් අපට ඔහු සමඟ කතා කිරීමත් දුෂ්කරයි. මෙය යම් මහ ඇමැතිවරයකු දිල්ලියේ පාලනය සමූල ඝාතනයක් කළ බවට චෝදනා කළහොත් ඉන්දීය ආණ්ඩුව ගන්නා ස්ථාවරයමයි. ප‍්‍රශ්නය විසඳන ආකාරය ගැන මම සම්බන්දන් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් සමඟ කතා කරමින් ඉන්නවා. ඔව්, යුද්ධයක් තිබුණා. හැම පැත්තෙන්ම මිනිස්සු මැරුවා. මතක තබා ගන්න දෙමළ ජාතිකයන් මැරුණු තරම්ම මුස්ලිම් හා සිංහල ජනතාවත් මරා දැමුවා”

යුද්ධයේ අවසන් කාලයේ මියගිය සංඛ්‍යාව පිළිබඳ මාධ්‍යවේදියා විමසද්දී රනිල් පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම අගය 40,000 ක් බව පවසන අතර නිල වාර්තා පවසන්නේ එය 5000 ක් බවයි. දෙමළ සන්ධානය පවසන පරිදි ලක්ෂයක් පමණ මියනොගිය අතර මියගිය ගණන 40,000 කටත් වඩා අඩු විය හැකි බවයි. එම පිරිස මියගියේ ද එල්.ටී.ටී.ඊ.ය ජනතාව මිනිස් පලිහක් ලෙස භාවිත කළ නිසා බව රනිල් පවසා තිබේ. මෙම කරුණ පිළිබඳව රනිල් පවසන ස්ථාවරය මීට පෙර මහින්ද රාජපක්ෂ පැවසූ ස්ථාවරයම වන අතර මියගිය සංඛ්‍යාව පිළිබඳ සිය ස්ථාවරය පවසද්දී මහින්ද රනිල් තරම් කුඩා සංඛ්‍යා ඉදිරිපත් කළේ නැත. කොළඹ සිට යාපනයට ගිය විග්නේෂ්වරන්ට මහ ඇමැතිවීමට හැකි වුණේ එල්.ටී.ටී.ඊ.ය උතුරේ දෙමළ දේශපාලන නායකයන් විනාශ කළ නිසා යැයි කියමින් රනිල් විග්නේෂ්වරන්ට ටොක්කක් ඇන තිබේ. තවත් තැනක රනිල් කියන්නේ විග්නේෂ්වරන් බොරුකාරයෙක් බවය. ඔහු සිය සම්මුඛ සාකච්ඡුාවේ දී විග්නේෂ්වරන් හමු වී නැති අතර හමුවීමට අපේක්ෂාවක් ද නැති බව කියයි.

තන්ති ටීවී – ඔබ උතුරේ මිලිටරිකරණය ඉවත් නොකරන බව මහනායක හිමිවරුන්ට පවසා ඇතැයි ඔහු කියනවා.
රනිල් – මම කවදාවත් ඔහුට කිසිවක් කියා නෑ. විග්නේෂ්වරන් කවදාවත් මා සමඟ ගනු දෙනු කර නැහැ. ඔහු කවදාවත්ම ගනු දෙනු කර නෑ.
තන්ති ටීවී – ඔහු වාර්තා ලබා දුන් විට ඔබ සිනාසී පැවසුවා….
රනිල් – මම විපක්ෂයේ සිටිය දී ඔහු එකම එක දවසක් පැමිණ තිබෙනවා. මම ඔහු සමඟ ගනු දෙනු කර නෑ. මට විග්නේෂ්වර සමඟ ගනුදෙනුවක් නෑ. ඔහු බොරුකාරයෙක්.
තන්ති ටීවී – ඒ කියන්නේ ඔබ සහ විග්නේෂ්වරන් අතර ළඟ දී හමුවක් තිබුණේ නෑ?
රනිල් – විග්නේෂ්වරන් මට ලිපියක් එව්වා
තන්ති ටීවී – ඔහුගේ කතාවේ අන්තර්ගතය වූයේ …
රනිල් – මම විග්නේෂ්වරන්ට කතා කළේ නෑ. මම යාපනය ගැන විග්නේෂ්වරන් සමඟ සාකච්ඡුා කරන්නේ නෑ. මම ඒ ගැන දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡුා කරන්නේ පාර්ලිමේන්තුවේ දී
තන්ති ටීවී – ඔබ ඔහුව හමුවන්නේ නැද්ද?
රනිල් – ඔහු ඒවා ඉල්ලා අස් කර ගන්නා තුරු මම ඔහු හමුවෙන්නේ නැහැ. මම කිසිසේත්ම ඔහුව හමු වන්නේ නෑ.

මෙසේ යුද්ධයේ දී උතුරේ ජනතාවට සිදු වූ හානිය අවප‍්‍රමාණ කරමින් කතා කරන රනිල් උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයා බොරුකාරයකු ලෙස හෙළා දකියි. ඒ අතරම ඔහු කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ නොදෙන අතර කැමති වන්නේ අභ්‍යන්තර පරීක්ෂණයකට පමණක් බවත් පවසයි.

තන්ති ටීවී – ජාත්‍යන්තර පරීක්ෂණයකට එකඟ නැත්තේ ඇයි මහත්මයාණනි?
රනිල් – ඒ ඉන්දියාව වගේම ශ‍්‍රී ලංකාවත් රෝම සම්මුතියට අත්සන් කර නැති නිසා. ඒ නිසා යුක්තිය පසිඳලීම සිදු වන්නේ දේශීය අධිකරණ තුළ පමණයි.

තවදුරටත් අදහස් දක්වන රනිල් වික‍්‍රමසිංහ කියන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයකට තමා කිසිසේත් එකඟ නොවූ අතර එයට එකඟ වූයේ මහින්ද රාජපක්ෂ බවයි. මෙම සම්මුඛ සාකච්ඡුාව නරඹන්නකුට රනිල්ගේ රූපය හා කඩහඬ නොඇසෙන්නේ නම් මේ සාකච්ඡුාව දෙන්නේ මහින්ද යැයි සිතෙනු ඇත. ඒ තරමට පිළිතුරු සමාන්තරය. රූපවාහිනී මාධ්‍යවේදියා ද ඒ ගැන විමසයි.

තන්ති ටීවී – ඔබ සහ රාජපක්ෂ ඉන්නේ එකම තැන නේද?
රනිල් – මම ඉන්නේ රාජපක්ෂ ඉන්න තැන නොවෙයි.
තන්ති ටීවී – නමුත් ජාත්‍යන්තර පරීක්ෂණය ගැන? ඔහු කතා කළේත් ජාත්‍යන්තර ප‍්‍රජාවට වගකියන දේශීය ක‍්‍රියාවලියක් ගැන.
රනිල් – මම ඉන්නේ ඉන්දියානු ආණ්ඩුව ඉන්න තැන. අපරාධ සහ නීතිමය ගැටලූ පිළිබඳ යුක්තිය පසිඳලන විට අප කිසිවකුත් රෝම සම්මුතියට අත්සන් තබා නැති නිසා එය සිදු වන්නේ ඉන්දියානු ජනරජය තුළ, ශ‍්‍රී ලංකා ජනරජය තුළ. මමයි රෝම සම්මුතියට අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කළේ.

මෙම සාකච්ඡුාවේ දී රනිල් පැහැදිලිව කියන්නේ උතුර තුළ අධික ඝනත්වයකින් ස්ථානගත කර ඇති හමුදා ඉවත් කිරීමක් සිදු නොකරන බවයි. හමුදාව ලංකාවේ හැම පළාතකම සිටින බවත් කිසිම දිස්ත‍්‍රික්කයකින් හමුදාව ඉවත් නොකරන බවත් පවසන රනිල් උතුරේ ජනගහනයට සාපේක්ෂව හමුදා ඝනත්වය වැඩිනේදැයි විමසූ විට පවසන්නේ එය තුලනය වන්නේ කාලයත් සමඟ බවයි. මේ ආකාරයට රනිල් දෙන පිළිතුරු සියල්ල මහින්දගේ පිළිතුරුවලටම සමාන්තරය. වත්මන් මොහොතේ ලංකාව වැනි රටවල පාලනය සිදු වන්නේ මෙලෙසය. මූණු මාරු වූවාට ක‍්‍රියාත්මක වන්නේ එකම ප‍්‍රතිපත්තියයි. ඇතැම් අය ‘ලිබරල්’ යැයි සිතූ රනිල් ‘බයියකු’ ලෙස සැලකූ මහින්දගේ වචනම පුනරුච්ඡුාරණය කිරීමේ රහස එයයි.

සුධීර ප‍්‍රභාෂ්වර

Advertisements