සියවස් දෙකක් පුරවැසි අයිතීන් නැති ප‍්‍රජාවක්

653.ht4මිනිසකු ලෙස ඉපිද, මිනිසකු ලෙස ජීවත්වීමේ අයිතිය සම්බන්ධ කතිකාවට අයත් නොවන පුළුල් ජන ප‍්‍රජාවක් මෙරට ජීවත් වේ. ඔවුහු වතුකම්කරුවෝය. ඔවුන් හා බැඳී ඇති සැබෑ සමාජ-ආර්ථික ප‍්‍රශ්නයේ යටගියාව මෙරට යටත් විජිත යුගයෙන් ආරම්භ වූවකි. බි‍්‍රතාන්‍යයන් ලංකාවට පැමිණෙන්නේ 1796 දීය. 1815 වන විට කන්ද උඩරට රාජධානිය ද ඔවුන් යටත් කර ගන්නා ලදී. එසමයෙහි ඉන්දියාවේ සිට ගෙන එන ලද කම්කරුවන් එතැන් සිට අද දක්වාම වසර 200 ක තරම් කාලාන්තරයක් තුළ ජීවත් වී ඇත්තේ වතු අධිකාරිය යටතේය. එකල කොල්ලකාරී ධනවාදය ලෝකය පුරා ව්‍යාප්ත වන්නට විය. ඉන්දීය උප මහද්වීපය පුරා බි‍්‍රතාන්‍ය බලය තහවුරු වූයේ ද මෙහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. දකුණු ඉන්දීය ප‍්‍රදේශවල වතු වගාව සඳහා තැරැුව්කාර සේවය සපයන ලද්දේ ‘පෙරිය කංකානී’වරුය. මොවුහු වතු හාම්පුතුන් හා වතුකම්කරු දෙපාර්ශ්වයේ අතරමැදියන් ලෙස කටයුතු කළහ.

වතුකම්කරුවා යනු ස්ථීර මාසික වැටුප් අහිමි අයෙකි. දෛනික වැටුප්වලට සීමා වූ ඔවුන්ට නිවාඩු ලබා ගැනීමේ අයිතියක් නොමැත. එමෙන්ම ණය අත්තිකාරම් හරහා විශාල ණය බරකට ගොදුරුකර තිබේ. වත්තේම ඉපදී, වත්තේ වැඩකර, වත්තේම පස් කඳු යට මියයන ඔවුන්ට එයින් පරිබාහිර වූ ජීවිතයක් නොමැත. රාජකාරී ක‍්‍රමය අහෝසි කළා වුව ද වත්තේ ඉඩමට බැඳ දමා තිබෙන කම්කරු ශ‍්‍රමයට රිසි සේ තවත් තැනකට ගොස් වැඩ කිරීමට ඇති අයිතිය ද අහිමිකර ඇත. ධනවාදය ලොවට ඒමට පෙර තිබූ වහල් ශ‍්‍රම කි‍්‍රයාවලියකට මොවුන් සිරකර තිබේ. තවද මොවුන් සඳහා වන අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, ප‍්‍රවාහනය හා නිවාස ආදී මූලික පහසුකම් ඇත්තේ ඉතා දුර්වල තත්වයෙන්ය. එනිසා රටේ සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවන මට්ටමටත් වඩා පහත් ස්ථානයකට ඔවුන් ඇද වැටී ඇත. සැබවින්ම  වතු යායේ ලැයින් පේළියකට යන ඕනෑම අයෙකුට මෙකී තත්වය ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. ඔවුන්ගේ නිවාස ජීවත්වීමට නොසුදුසු ඒවාය. පසුගිය අධික වර්ෂාපතනය නිසා බදුල්ල දිස්ති‍්‍රක්කයේ පමණක් වතු නිවාස පවුල් 525 ක් පස් කඳුවලට යට විය. පහසුකම් නොමැති ලැයිම් කාමර ආපදාවට ලක් විය.
එපමණක් නොව ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන විට ඔවුන්ට අනන්‍යව පැවැති සංස්කෘතිය ද අහිමි විය. මෙරට ඔවුනට ජීවත්වීමට සිදුව ඇති ආකාරය තුළ ඔවුන් බලවත් අසාධාරණයකට ලක්ව ඇත. ලැයින් කාමර තුළ වූ ඔවුන්ගේ පවුල් ජීවිතය ද බලවත් අර්බුදවලට මුහුණ පා ඇත. අද වන තෙක්ම වැඩි දියුණු නිවාස ක‍්‍රමයක් සහිත සංස්කෘතික ජීවිතයක් ලබා දීමට පාලකයන් අසමත් වී ඇත. එහෙත් වෙහෙස නොබලා වැඩ කරන ඔවුන්ගේ ශ‍්‍රමයෙහි ලාභය ලොව පුරා ව්‍යාප්ත විය. වත්තට දියවන ජීවිතවල වෙනසක් අදට ද නොමැත. එළඹෙන මාර්තු 31න් පසු ඇරඹෙන වතුකම්කරු ගිවිසුමේ වූ අයිතීන් පිළිබඳ අවබෝධයක් ද ඔවුන්ට නැත. ලංකාවේ වුව අනෙකුත් ජන ප‍්‍රජාවන් සිය මානව අයිතීන් වෙනුවෙන් කතා කළ ද ඒ අයිතීන් ඉල්ලා සටන් කිරීමට වතුකම්කරු ජනයාගේ දැනුම ප‍්‍රමාණවත් නැත. ඔවුන්ගේ මානව අයිතීන් උල්ලංඝනය වී තිබේ. ඒවා ලබාගත යුතුයැයි සිතන ඒ පිළිබඳ කතා කරන පිරිස් ද ඉතා අල්පය.

දකුණු ඉන්දියාවෙන් නැව්වල පටවා රාමේශ්වරම් මුහුදු තීරයෙන් මෙරටට එවන ලද දස දහස් ගණනක් වූ වහල් ශ‍්‍රමිකයන් තලෙමන්නාරමට ගොඩ බසින ලදී. ඔවුහු මන්නාරමේ සිට නුවරටත් නුවරින් කඳුකර බිම්වලටත් පා ගමනින්ම පැමිණ ඇත. ඒ එන අතරමග අසනීප වී මියගිය, කුසගින්න, පිපාසය, විඩාව නිසා මියගිය පිරිස ගණන් කළ නොහැකිය. සංක‍්‍රමණ ශ‍්‍රමය උන්නත් මළත් ඔවුන්ට ලාභ උල්පතකි. ලක්ෂ ගණනින් මිය ගිය සහ වනාන්තර එළිපෙහෙළි කිරීමේ දී සිදු වූ විපත්වලින් මියගිය ඔවුන්ගේ ජීවිත පොළොවට පොහොර වී තේ යාය සරු කරන ලදී. මෙසේ එළිපිටම ශ‍්‍රමය කොල්ලකමින්
රැුස් කළ අප‍්‍රමාණ ලෙස මුදල් සංචිතවලින් රාජ්‍යන් බිහි කළ අතරම ලාභ සමුච්චයන් ලෝකයට රැුගෙන යාම අදටත් නතර වී නොමැත. යහපාලනය, වංචා ¥ෂණ ගැන හඬ නඟන දේශපාලකයන් පීඩාවට පත් කම්කරු ගොදුරු වී සිටින ශ‍්‍රම කොල්ලය පිළිබඳ කතා කිරීම අතහැර දමා ඇත. දුක්ඛිත ජීවිතයේ පහළ වාටියේ දිවි ගෙවන මිනිසුන් දෙස බැලීමට ද ඔවුන්ට වෙලාවක් නොමැති තරම්ය. අද වන විට එක් පුද්ගලයකු සඳහා වන නිදන කාමර ප‍්‍රමාණයේ සාමාන්‍ය අගය සියයට 1.1 කි. වතු කම්කරුවනට අදාළව එය 0.6කි. ඔවුන්ගේ දිළිඳුභාවයේ ප‍්‍රතිශතය සියයට 32කි. එය මුළු දිවයිනේම දරිද්‍රතා ප‍්‍රතිශතය වන සියයට 15.2ක මෙන් දෙගුණයකටත් අධිකය. දවස තිස්සේ කහට කෝප්පයක් බී වැඩ කරන ඔවුන්ගෙන් සියයට 49.2 කටම දෛනික කැලරි අවශ්‍යතාව සම්පූර්ණ වන්නේ නැත. වත්තේ වැඩ කරන කාන්තාවන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය ඉතා අවම මට්ටමක පවතී. මෙරට ඉපදී දින 28 ක් තුළ මියයන ළදරුවන්ගේ ප‍්‍රමාණය ළදරුවන් දහසකට 13.9 කි. එහෙත් වතුකරයේ එම ගණන 31 කි. අවුරුදු 5 ට අඩු ළමුන්ගේ මරණ අනුපාතය දහසකට 51.6 කි. 9,34,313 ක් වන වතුකරයේ ජනතාවට සේවා සැපයීමට ඇත්තේ රෝහල් 50 ක් පමණි. ගර්භණී වාට්ටු 179 කි. ඒවායේ ද කාර්ය මණ්ඩල හිඟය, බෙහෙත් හා සම්පත් හිඟය ඉතා බරපතළය. එමෙන්ම, වතුකර ජනපද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයන්ට ඇතුළත්කර තිබේද පවුල් සෞඛ්‍ය සේවා විධිමත්ව සිදු වේද මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවා තිබේද යන්න ප‍්‍රශ්නාර්ථයකි.

1970 න් පසු මෙරට වතු පාසල් රජයට පවරා ගන්නා ලදී. එහි ගුණාත්මක බව අවශ්‍ය සම්පත් සැපයීම රටේ ජාතික මට්ටමට අවම වශයෙන් හෝ සමීප නොවන්නකි. සැබවින්ම වතුකර ජනතාව නූගත්කමේ ගිල්වා ඇත. බොහෝ දැරියන් අඩු වයසින් විවාහ වේ. ඔවුන්ට යමක් තේරුම්ගත හැකි වයස වන විට දරුවන් සමඟ අනාරක්ෂිත ජීවිතවලට ගොදුරු වී අවසන්ය. පස්වන ශ්‍රේණියෙන් පසුව පාසල් හැර යන ප‍්‍රතිශතය සියයට 8.4 ක් තරම් ඉහළ අගයක් ගනී. අඩුම තරමින් ධනවාදයේ දෙනවා යැයි කියන සංවර්ධන ප‍්‍රතිලාභ පවා හිමිකර දීමට මෙරට පාලකයන් අසමත් වී ඇත.

1964 න් ඇරඹි ‘‘සිරිමා-ශාස්ත‍්‍රී’’ ගිවිසුම හරහා මෙරට වතුකම්කරුවන් යළි ඉන්දියාවට යවන ලදී. නමුත් සිරිමා රජය අස්ථාවර වීමෙන් පසු එකී ගිවිසුම බිඳ වැටුණි. ඔවුන් වෙනුවෙන් ගෙන ඇත්තේ මෙරටට ගෙන ඒම, යළිත් ඉන්දියාවට යැවීම වැනි අමානුෂික, යුක්ති ධර්මයට පවා එකඟ නොවන ක‍්‍රියාමාර්ගයන්ය. වත්තේ වැඩකළ පසු අර්ථසාධකයෙන් ජීවත් විය නොහැකි වැඩිහිටි මව්වරුන් මෙරට සිංහල, මුස්ලිම් නිවෙස්වල දරුවන් බලා ගැනීමට, ගේ දොර වැඩ කිරීමට පුරුදු වී ඇත. ඔවුන් ජීවත් වන්නේ ද ඉතා අඩු වැටුප් ලබමින්ය. බොහෝ ස්ථානවල වැඩ කරන කෝකිවරුන්, මුට්ට කර ගසන්නන්, ස්කාගාර සේවකයන් සහ මෙහෙකාර සේවකයන් වන්නේ වතු ජන කොටස්ය.

ඔවුන් මුහුණ දෙන භාෂාව හා සංස්කෘතික ප‍්‍රශ්නය ද අතිශයින්ම බරපතළ වූවකි. ශී‍්‍ර ලංකා රජය මෙරට භාෂා ප‍්‍රශ්නයට හා එහි පරිපාලනයට අදාළ විසඳුම් දී ඇත. ඒ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තියෙහි 13, 16 හා 18 යන අනු වගන්ති තුළින්ය. මෙරට සිංහල දමිළ භාෂා රාජ්‍ය භාෂා ලෙස නම් කළ අතර ඉංග‍්‍රීසි අමතර භාෂාවක් ලෙස හඳුන්වා දී ඇත. පාර්ලිමේන්තු නීති කෙටුම්පත් තුළ මෙසේ සඳහන් වුව ද සැබෑ සමාජ ජීවිතයේ දී ඒ වෙනුවට 83 කළු ජූලිය හා උතුරේ ගැටුම්වලට දශක ගණනාවක්ම ඔවුහු ගොදුරු වූහ. එසේම මහජන නියෝජිත ආයතන සහ පරිපාලන ක්ෂේත‍්‍රය අත්දැකීම ඉතා අමිහිරි වූවකි. වතුකරයේ දමිළ කම්කරුවා සිංහල භාෂාව නොදනී. රජයේ පරිපාලන නිලධාරීන් ද දමිළ භාෂාව නොදනී. මේ නිසා වූ අනවබෝධය, අපහසුතාව, නොසලකා හැරීම සම්බන්ධ උදාහරණ අත්දැකීම් අතිවිශාලය. සියලූ ලිඛිත ප‍්‍රකාශන සෑම භාෂාවකින්ම ලබා ගැනීමට අයිතිය ඇත. එහෙත්් රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවල කටයුතු කිරීමේ දී මේ සියල්ල කාර්යක්ෂමව සිදුවේද යන්න ගැටලූවකි. එමෙන්ම වතු කම්කරුවන් මෙරට සිවිල් පරිපාලනය තුළ නිදහස් පුරවැසියන් ලෙස පිළිගෙන ඇත්තේ නීති කෙටුම්පත් තුළ පමණි. සැබෑ සමාජ ජීවිතයේ දී ඔවුන් අදටත් පුරවැසි අයිතීන් නොලද ස්ථිර මාසික වැටුප් නොමැති වහල් කම්කරුවන් පමණි. එනිසා ඔවුන්ගේ අයිතීන් සම්බන්ධ සැබෑ අරමුණින් යුතු මානවහිතවාදී මැදිහත් වීමක් වෙනුවෙන් අප අරගල කළ යුතුය. මිනිසුන්ගේ වත්මන් වගකීම් තුළ කිසිවක් හමුවේ පසුපසට දැමිය නොහැකි අරගලයක් කඳුකර ජනතාව තුළින් පෙරට ගත යුතුව ඇත.

ඉන්දුමතී විද්‍යාරත්න

Advertisements