ජීවිත ආරක්ෂාව පතා කබලෙන් ලිපට වැටීම

shanthainjail2

ලේඛකයා සටන්කාමී ලෙස පෑන බාවිත කල වරදට ලංකාවේදී හිරගත කළ අවස්ථා කීපයකි

රාජපක්ෂ රෙජීමයේ දඩයමට ලක් වූ මාධ්‍යවේදියකුගේ සරණාගත අත්දැකීම මා නේපාලයට පැමිණියේ 2012 ජූලි 19 වැනිදාය. අදට අවුරුදු දෙකයි මාස නවයක් ගත වී ඇත.  2012 ජූලි 19 වැනිදා මා නේපාලයට පැමිණියේ එම අවුරුද්දේ අගොස්තු 03 වැනිදා ෂමිට් හෝටලයේ දී පැවැති ‘දකුණු අසියානු ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයට’ සහභාගි වීම සඳහාය. මා එම සම්මේලනයට සහභාගි වූයේ, වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයකු වශයෙනි.

අගෝස්තු 03 වැනිදාට කලින් මා හට (2012 ජූලි 19) නේපාලය බලා පැමිණීමට සිදු විය. මන්ද  ශ‍්‍රී ලංකා රජයේ ආරක්ෂාව මඟින් 2012 ජූලි 05 වැනිදා කොළඹ, නුගේගොඩ ප‍්‍රදේශයේ දී  මා පැහැර ගැනීමට  කළ  උත්සාහය  හේතුවෙනි. ඒ වන විට මම එක්සත් ජාතික පක්ෂයේ නිල වෙබ් අඩවිය වන ‘ලංකා එක්ස් නිව්ස්’ වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙස සේවය කරමින් සිටියෙමි.  මා පැහැර ගැනීමේ සිද්ධියට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  විසින් 2012  ජූලි 01 වැනිදා පිටකෝට්ටේ පිහිටා තිබූ එක්ස් නිව්ස් වෙබ් අඩවිය වටලා මාධ්‍යවේදීන් නමදෙනෙක් ඇතුළු එහි සේවය කළ සේවකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත්හ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මා පිළිබඳව එම අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන්ගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කළහ.

එක්ස් නිව්ස් කාර්යාලය වැටලූ‍වේ මා විසින් ලියන ලද ‘අමරේලාගේ සහ රජපක්ෂලාගේ කතාව’ සහ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති (2012 හිටපු*ගේ කප්පම් කල්ලියක දෙදෙනෙක් පැහැර ගෙන රුපියල් ලක්ෂ 60 ක් ඉල්ලති’ යන ලිපි මඟින් සමාජයට මුදා හළ සත්‍යයට ඇති බිය නිසාය. ඊට අමතරව ‘දේශපාලකයන් නැතුව කුඩු බිස්නස් බැහැ’ ‘මාමස්මී සහ ප‍්‍රගීත් එක්නැළිගෙඩ රැුගෙන ගිය ජයලත් කවුද?’  යන ලිපි ද ඉහත ලිපි තරම් ජනතා සතුරන් කෝප කරවා තිබිණි. මා පැහැරගැනීමේ සිද්ධියට ආසන්නතම හේතුව ලෙස ඉහත ලිපි සහ සම්මුඛ සාකච්ඡුාව බලපාන්නට ඇත. කෙසේ නමුත්  මගේ මාධ්‍ය භාවිතාව මගේ දේශපාලන අදහස් ඊට බලපාන්නට ඇත.
ඉන් පෙර මා සේවය කළ ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියට ද එහි මාධ්‍යවේදීන්ට ද තර්ජන ඇති විය. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට මා සම්බන්ධ වන්නේ  2007 වර්ෂයෙ. අවුරුදු පහකට ආසන්න කාලයක් මම එහි සේවය කළෙමි. ඒ කාලය තුළ රජයේ ආරක්ෂක අංශවල, ජනතා විමුක්ති පෙරමුණේ සහ හිටපු ඇමැති විමල් වීරවංශලාගේ තර්ජන ගර්ජනවලට මට මුහුණ දෙන්නට සිදු විය.

මේ අතර වෙනත් ආකාරයේ තර්ජන ද ඇති විය. ”ශාන්තයා වැඩිය දැඟලූ‍වොත් කෙළවනවා යැයි” මව්බිමේ අයිතිකරුවා වන  පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු විසින් පවසා තිබිණි.  හිටපු ආරක්ෂකගේ පාතාල සොල්දාදුවකු වන ජයමාන්න විසින් දිගින් දිගටම සිදු කළ තර්ජන මෙහිදී සඳහන් කළ යුතුව ඇත. 2012 ජූලි 05 වැනිදා නුගේගොඩ දී මා පැහැර ගැනීමට ගත් උත්සාහයට ගෝඨාභයගේ සම්බන්ධයක් ඇතැයි කියා මම විශ්වාස කරමි. අයි.පී. ආනන්ද ජයමාන්න සේවය කළේ මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේය.
ඉන් පෙරාතුව මා නිහ`ඩකිරීමේ උත්සාහයක් ලෙස  කිරිඳිවල අධිකරණයට සහ  මහෙස්ත‍්‍රාත්  අරවින්ද පෙරේරාට අපහාස කළා යැයි චෝදනා නඟන ලදී. පදනමක් සහිත තොරතුරු මත ලියූ ලිපියක් නිසා මා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාරගත
කරන ලදී. ඒ අවස්ථාවේ පැනවුණු ‘ලංකා ඊ නිව්ස් තහනම’ ඉවත් කරගැනීම සඳහා එහි කර්තෘ සඳරුවන් සේනාධීර ක‍්‍රියාත්මක වූයේ මා පාවාදීමටය. ඔහුගේ එම වගකීම් විරහිතභාවය මාධ්‍යකරණයේ ද දක්නට තිබුණු නිසා මම ලංකා ඊ නිව්ස් ආයතනයෙන් ඉවත් වූයෙමි. ඊට පසු මම ‘මව්බිම’ටත් ඉන් අනතුරුව ‘ලංකා එක්ස් නිව්ස්’ වෙබ් අඩවියටත් සම්බන්ධ වූයෙමි. එසේම විකල්ප පුවත්පත්  ලෙස ‘ජනරළ’ට සහ ‘රාවය’ට නිදහස් මාධ්‍යවේදියකු ලෙස මවිසින් ලිපි සපයා ඇත.

මව්බිම සහ මම

2011 ඔක්තෝබර් 01 වැනිදා මම මව්බිම පුවත්පතට සම්බන්ධ වූයෙමි. මව්බිම පුවත්පතේ මට සේවය කිරීමට ලැබුණේ මාස පහකට ආසන්න කාලයක් පමණි. රාජපක්ෂ පවුලේ ඍජු මැදිහත්වීම මත ජනමාධ්‍ය ආයතනයකින් ඉවත් කළ පළමු මාධ්‍යවේදියා මා යැයි කීවොත් එහි අතිශයෝක්තියක් නැත.  පසුව රාජපක්ෂ පවුලේ බලපෑම මත ‘ඉරුදින’ පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘ ලෙස කටයුතු කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර  ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ සේවය කළ ෆෙඞ්රිකා ජෑන්ස් සහ පසුව ‘දෙරණ’ රූපවාහිනියේ පුවත්පත් සිරස්තල කියැවූ මාධ්‍යවේදියකු ද ඉවත් කළහ.
රාජපක්ෂ රෙජීමයේ බලපෑම මත මාව මව්බිමෙන් ඉවත් කිරීමට එරෙහිව ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර  කලාවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක සම්මේලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ මාධ්‍ය ව්‍යාපාරය ද පෙනී සිටියේය. මා ඉවත් කිරීම සම්බන්ධයෙන් මව්බිමේ අයිතිකරු අලස් සමඟ මාධ්‍ය සංවිධාන නියෝජිතයෝ සාකච්ඡුාවක් ද පැවැත්වූහ. ‘ශාන්තට රජයේ ආරක්ෂක අංශවලින්  තර්ජන ඇති නිසා, ඔහුව ඉවත් නොකරන්නැ’යි ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ හිටපු ප‍්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් විසින් එම සාකච්ජාවේ දී අලස්ගෙන් ඉල්ලා සිටි බව දැනගන්නට ලැබුණි. කෙසේ වෙතත් අලස්ගේ තක්කඩි අවශ්‍යතා ඉටු කරන බත්බැලයකු බවට පත් නොවූ නිසා, පසුව  ලලිත් අලහකෝන් ද ‘සිලෝන් ටුඬේ’ පුවත්පතෙන් ඉවත් කරන ලදී.

නේපාලයට පැමිණි පසු  දකුණු ආසියානු ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයට සහභාගි වීමෙන් පසු මාස කිහිපයක් නේපාලයේ රැුඳී සිටියේ නැවත ලංකාවට යෑමේ අදහසිනි. නමුත් ඒ මොහොතේ බලාපෙරොත්තු නොවූ සිදුවීමක් සිදුවිය. ඒ වන විටත් වැඩ කරමින් සිටි ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවියේ  කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක රුවන් ෆර්ඩිනැන්ඩස් ‘රන්දිව’ පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් දෙමින්  ‘ශාන්ත විජේසූරිය රට අතහැර ගියා’ යැයි කියා තිබුණි. ‘රාජපක්ෂ පවුලට මඩ ගහන වෙබ් අඩවි ගැන හෙළිකරන තුරු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලා සිටිනවා’ යැයි ද ඔහු පවසා තිබිණි. ඔහුගේ එම ප‍්‍රකාශය පදනම් විරහිත  ප‍්‍රකාශයක් බව මම ‘රන්දිව’ පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් දෙමින් කියා සිටියෙමි. ෆර්ඩිනැන්ඩස්ගේ ඒ ප‍්‍රකාශයත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගේ මවගේ නිවසට ගොස්  තිබිණි. මා විදේශගතව සිටින බව දැනගෙනත් ඔවුන් අගෝස්තු 10 වැනිදා මගේ මවගෙන් මා පිළිබඳව විමසා තිබිණි. එසේම ඔවුහු වරින්වර දුරකථන මාර්ගයෙන් මා විමසා මවට කරදර කරන්නට පටන් ගත්හ. එසේවීමට ආසන්නතම හේතුව ෆර්ඩිනැන්ඩස් කළ ප‍්‍රකාශය විය හැකිය. නමුත් අපරාධ පරීක්ෂණ නිලධාරීන් මා පිළිබඳ විපරම් කිරීම පිටුපස ඇති එකම හේතුව ඔහුගේ ප‍්‍රකාශයම යැයි මම කාරණය ලඝු නොකරමි. මා ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් ඉවත් වූ පසු  කප්පම් වරදාන දී දිනාගන්නට ආරක්ෂක අංශ නිලධාරීන් මා සමඟ කතා කළ හඬ පට මා සතුව ඇත. මා යටත් කරගන්නට ආරක්ෂක අංශවලට බැරි වූ තැන නුගේගොඩ දී මා පැහැරගැනීමටත් තැත් කරන ලදී.

රුවන් ෆර්ඩිනැන්ඩස් සහ මා පැහැර ගැනීමට සැලැස්මක් ඇතැයි ආරක්ෂක අංශ හිතවතුන් විසින් කල්තබාම මා දැනුවත් කර තිබිණි. 2012 ජූලි 01 එක්ස් නිව්ස් කාර්යාලය වැටලූ‍වේ මා සමඟ ෆර්ඩිනැන්ඩස් අත්අඩංගුවට ගැනීමටය. පසුව ෆර්ඩිනැන්ඩස් හිටපු ඇමැති මර්වින් සිල්වා සමඟ ගොස් ජනාධිපති හමු වී සමාව අයැද සිටියේය. ෆර්ඩිනැන්ඩස් පාවාදුන්නේ මා පමණක් නොව ‘ලංකා එක්ස් නිව්ස්’ සහ ‘මිරර්’ අඩවියේ එවකට සේවය කළ සියලූ‍ දෙනාමය.  ප‍්‍රගතිශීලීන්ගේ ද වාමාංශිකයන්ගේ ද දේශපේ‍්‍රමීන්ගේ ද ඊළම්වාදීන්ගේ ද ජාතීවාදීන්ගේ ද තක්කඩින්ගේ ද ධනපති නායකයන්ගේ ද ගජ මිතුරකුට එය සරල වැඩකි. ආණ්ඩු හදන, පෙරළන හැමට උවමනා කරන මැජික්කාරයකු ලෙස ඔහු එවැනි තක්කඩින් සියලූ‍ දෙනාට එක විට ගනු දෙනු කළ හැකි ගේම්කාරයෙකි.
ආරක්ෂක අංශවල තර්ජන

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගන්නා පුද්ගලයන් විසින් මගේ මවට සහ  බිරිඳට කතා කර මා පිළිබඳ විමසා විවිධ තර්ජන සහ අනියම් බලපෑම් ද සිදු කොට තිබේ. රාජපක්ෂ ආණ්ඩුව යටතේ පමණක් නොව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සම්ප‍්‍රාප්තියෙන් පසුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මගේ මවට කතාකොට මා පිළිබඳ විමසා ඇත. රාජපක්ෂ රෙජීමය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගේ මවට පිළියන්දල පොලිස් ස්ථානයට කැඳවා තුන්වතාවක් කටඋත්තර ලබාගත්හ. මව සහ බිරිඳ ඔවුන්ට කරන හිරිහැර සහ තර්ජන සම්බන්ධයෙන්  පිළියන්දල පොලිසියේ පැමිණිලි පහක් පමණ දමා තිබේ. මගේ මාධ්‍ය භාවිතාව නිසාම, පවුලේ අයට අනේකවිද දුක් ගැහැටවලට මුහුණ දෙන්නට සිදු විය. රජයේ  ආරක්ෂක අංශවලින් දිගින් දිගටම එල්ල වූ තර්ජනත් හේතුවෙන් අවුරුදු තුනකට ආසන්න කාලයක් මා මගේ දරුවාගෙන් වෙන්ව සිටීමත් නිසා අද ඔහු මානසික වශයෙන් දුබල වී ඇත.

මගේ මවට සහ බිරිඳට රජයේ ආරක්ෂක අංශවලින් හා ආරක්ෂක අංශවලින් යැයි කියාගන්නා පුද්ගලයන් සිදුකරන බලපෑම් වැඩි වීමත් සමඟ පියවරක් ගැනීමට මට සිදු විය. මේ පිළිබඳ පොලිස්පතිවරයාගෙන් විමසන්නැයි ඉල්ලීමක් ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති  ලසන්ත රුහුණගේ වෙත ඉල්ලීමක් කළෙමි. පසුව වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්ට 2013.10.22 දාතම ලිපියක් යොමු කරමින් ඉහත කාරණාව සම්බන්ධයෙන් විමසීමක් කරන ලදී. 2013.10.27. දාතම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය බස්නාහිර පළාත (දකුණ* මිරිහාන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නමින් එම සංගමයට පිළිතුරු ලිපි දෙකක් යවා ඇත. අපරාධ පරීක්ෂණ නිලධාරීන් මගේ මවගේ නිවසට ගොස් හා දුරකතන මාර්ගයෙන්  කතා කර මා පිළිබඳව විමසා සිටි බව එම ලිපි මඟින් තහවුරු කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගේ මවගේ නිවසට ගොස් ඇත්තේ පැහැර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මා කළ පැමිණිල්ල විභාග කිරීමට බව මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මඟින් එවා ඇති ලිපියේ සඳහන් වේ. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ‍එවන ලද ලිපියේ  සඳහන් වන්නේ වෙනත් කරුණකි. තමිල්නාඩුවේ ‘පීපල්ස් වොච්’ සංවිධානය විසින් කර ඇති පැමිණිල්ලකට අනුව තම නිලධාරීන් මගේ මවගේ නිවසට ගොස් ඇත්තේ ඇයගෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා බව එහි හෙළිදරව් කර ඇත. නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් උත්තර බඳින්නට ගොස් බළලා මල්ලෙන් එළියට පැන්නේය.
මෙම ලිපි හුවමාරුවලින් පසුත් පිළියන්දල පොලිසියේ නිලධාරීන් මා පිළිබඳ විමසා මගේ මවගෙන් කටඋත්තර ලබාගත්හ.

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ මා පිළිබඳව සෝදිසියෙන් සිටින නිසා මගේ මවගේත් බිරිඳගේත් මාධ්‍ය මිතුරන්ගේත් ඉල්ලීම මත මම නැවත ලංකාවට පැමිණීමේ අදහස අතහැර දැමුවෙමි. පසුව 2013 මාර්තු 14 නේපාලයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සරණාගත මහ කොමසාරිස් කාර්යාලයට ගොස් සරණාගතභාවය සඳහා ඉල්ලූ‍ම් කළෙමි. වර්ෂ 2013 අගෝස්තු 06 වැනි දින මට නේපාලයේ සරණාගතභාවය ලැබිණ.
මා නේපාලයට පැමිණියේ යුරෝපයට යෑම සඳහා නොවේ. සමහර මාධ්‍යවේදීන් මෙන් රාජපක්ෂ ආණ්ඩුවෙන් මරා දැමූ දෙමළ ජනතාවගේ මළකඳන් මතින් හෝ ඔවුන්ගේ ප‍්‍රශ්න විකුණාගෙන ජීවත්වන්නට මට අවශ්‍ය නොවීය. මා නේපාලයට ආවේ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) සංවිධානයේ සම්මේලනයට සහභාගී වී නැවත ලංකාවට යෑමේ අරමුණ ඇතිවය. නමුත්   නැවැත ලංකාවට යා නොහැකි තත්වය නිසා මම යුරෝපයට යෑමට උත්සාහ කළෙමි.
පසුගිය කාලයේ ලංකා‍වේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් ජිනීවාහි පෙනී සිටින ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදීහු ඊට විවිධ ආකාරයෙන් වළ කැපුහ.

නිර්වචන අනුව නම්, දේශපාලනික, ආගමික, ජාති කුලභේද, සමලිංගික ප‍්‍රශ්න සහ වෙනත් විවිධ සමාජ දේශපාලනික වෙනස්කම් නිසා තමන්ගේ මව් රටෙන් පිටමං වන්නට සිදු  වූ සියලූ‍ දෙනා සරණාගතයෝ වෙති. ඔවුන් කළු ද සුදු ද මිටි ද උස ද උගත් ද නුගත් ද ලස්සන ද අවලස්සන ද ක‍්‍රිස්තියන් ද  බෞද්ධ ද  මුස්ලිම් ද යන්න වැදගත් නැත. මම ද අද එවැනි සරණාගතයකු වෙමි.
මා  කතා කරන්නේ නේපාලය වැනි දුප්පත්  රටවල සිට දියුණු යැයි කියාගන්නා රටවලට ගිය සරණාගතයන් පිළිබඳ නොවේ.  යුරෝපය, අමෙරිකාව, කැනඩාව,  ඕස්ටේ‍්‍රලියාව, නෝර්වේ සහ නෙදර්ලන්තය වැනි රටවල්වල නැවත පදිංචි කරන ලද සරණාගතයන්ගේ ජීවිත සුන්දර නැතත් ඔවුන් පැවැත්ම පිළිබඳ අවදානමකට මුහුණ නොදෙති. නමුත් නේපාලයේ දී අපේ ජීවිත අවිනිශ්චිතය. ලංකාවෙන් පැමිණි අපට අමතරව පාකිස්ථානය, මියන්මාර් (රෝහින්ජා ඇතුළු), සෝමාලියා, බංගලිදෙස්, කෙන්යා, ඉරාක්, ඇෆ්ගනිස්ථාන්, ඉරාන්,  ඊජීප්ත්තුව, ටිබේට්, බුටනිස් සහ කොංගෝ වැනි රටවලින් පැමිණියෝ මෙහි සරණාගතයන්ව සිටිති. අපි පැවැත්ම පිළිබඳ බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිමු.
අපේ මුල් කපා අපේ රටවල්වලින් උගුලා දැමීම නිසා, අපේ දරුවන් බිරින්දෑවරු, මව්පියන් සහ අපේ ඥාතීන් සීකඩ වී ඇත. සමහරුන්ගේ දරුවන්, බිරියන්, ස්වාමිපුරුෂයන් සහ ඥාතීන් මරා දමා තිබේ. හුදකලාව සහ කාලකණ්ණිකම අද අපේ දරුවන්, බිරියන්, මව්පියන් සහ ඥාතීන් මෙන් අපව වට කොට ගෙන සිටියි. නේපාලයේ අපට වැඩි කාලයක් රාත‍්‍රීන් ගත කරන්නට සිදුව ඇත්තේ අඳුරේය. නේපාල් ආණ්ඩුව ජනතාවට විදුලිය ලබාදෙන්නේ දිනකට පැය 06 කි. ලෝකයේ ජල මුලාශ‍්‍රව ඇති රටවල් අතරින් දෙවැනි ස්ථානය හිමිවන්නේ නේපාලයටය. නමුත් නේපාලයේ  අග නගරය වන කත්මණ්ඩුවල ජීවත් වන ජනතාව පානීය ජලය සඳහා ද මුදල් ගෙවිය යුතුය.
ලංකාවේ දී ධනවාදයේ අඳුරට එරෙහිව ? දවල් නොබලා සටන් වැදුණු මට නේපාලයේ අඳුරට සාප කරමින් බොහෝ කාලයක් සිටින්නට සිදු විය. නමුත් මා ඇතුළු ශ‍්‍රී ලාංකේය සරණාගතයන් කිහිපදෙනකුට එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානයේ (UNHCR) රුදුරු කප්පාදුවලට එරෙහි පැන නැඟී ඇති අරගලයකට මඟ පෙන්වීමට හැකි විය.

අප ජීවත් වන්නේ කඳවුරුගතව නොව නාගරිකවය.   අපට කත්මණ්ඩු නගරයෙන් පිටට යෑම තහනම්ය. අපව හඳුන්වන්නේ නාගරික සරණාගතයන් (Urban Refugees) වශයෙනි.  එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලය මඟින් පෙබරවාරි මස වන තෙක් තනි සරණාගතයකු සඳහා නේපාල් රුපියල් 5,750 ක් ගෙවන ලදී. නමුත් මේ මාර්තුවේ සිට අපේ දීමනාවෙන් 25% ක් කප්පාදු කර ඇත. මට දැන් ලැබෙන්නේ නේපාල් රුපියල් 4,313 කි.  එය අමෙරිකන් ඩොලර් 44 කට සහ ශ‍්‍රී ලංකා රුපියල් 6,900 කට සමාන මුදලකි.  එම මුදලෙන් කළ යුතු වැයකිරීම් මෙසේය. කාමර කුලී රුපියල්  2 ,200 ක් විදුලි බිල රුපියල් 200 ක් ගෙවූ පසු මසක් ජීවත් වීම සඳහා මා අත ඉතිරි වන්නේ නේපාල රුපියල් 1,913 කි.
පස්දෙනෙක්ගෙන් සමන්විත පවුලකට ජීවත් වීම සඳහා කප්පාදුවට පෙර නේපාල රුපියල් 17,500 ක් ගෙවූ අතර දැන් එය 12,938 ක් දක්වා කප්පාදු කර ඇත. නේපාලයේ දී
පස්දෙනෙක්ගෙන් සමන්විත පවුලකට අවම පහසුකම් යටතේ ජීවත් වීම සඳහා රුපියල් 25,000 ක මුදලක් අවශ්‍ය බවට ගණන් බලා තිබේ.  මේ වනවිට නවක සරණාගතයන් විශාල පිරිසකට එම කාර්යාලය මඟින් සරණාගතභාවය පිරිනමා ඇතත්, ඔවුනට සරණාගත දීමනාව ලබා නොදෙයි. ඔවුනට අද නේපාලයේ හිඟාකෑම හැර වෙනත් විකල්පයක් නැත.
ආරක්ෂා සහිතව ජීවත්වීමේ උභතෝකෝටිකය තුළ අපි ලංකාවෙන් නේපාලයට පැමිණ කබලෙන් ලිපට වැටී ඇත.
ශාන්ත විජේසූරිය (නේපාලයේ සිට)

Advertisements